වර්ජන , ගර්ජන හා කුමන්ත්‍රණ – භාතිය බරුකන්ද

අර්ධ වාර්ෂික පරීක්ෂණය පැවැත්වෙන හෙයින් ප‍්‍රධාන ජාතික පාසලක අධ්‍යාපනය ලබන මගේ දියණිය මේ දිනවල නිවසේ කිසිවෙකු සමග කතා බහකින් පවා තොරව පාඩම් වැඩවල නිරතව සිටිනවා. ඇය තම සම්පූර්ණ කාලය යොදවන්නේ විභාගය සඳහා පාඩම් කිරීමට නිසා අත්‍යවශ්‍යයෙන්ම නැරඹිය යුතු රූපවාහිනී ප‍්‍රවෘත්ති පවා නැරඹීමට මට අවස්ථාවක් නැහැ. ඒ වෙනුවට දියණිය පාඩම් වැඩ අවසාන කරන තෙක් පොතක් හෝ පුවත්පතක් බලමින් කාලය ගත කිරීම හෝ සෝපාව මැත වැතිරී අඩ නින්දේ පසුවීමට මට සිදුව තිබෙනවා.

පාසල් ගුරුවරියක් වන මගේ බිරිඳ ද දියණියගේ පාඩම් වැඩවලට උපකාර කරන අතර ප‍්‍රශ්න පත‍්‍ර බැලීමට කාලය ගත කරන හෙයින් මේ දිනවල අප නිවසේ ඇත්තේ පන්සලකටත් වඩා දැඩි නිහැඬියාවක්. මෙවන් නිහැඬියාවක් විභහග කාලවලදී සරසවි පුස්තකාලයේ පමා මා දැක නැහැ. මේ තත්ත්ව අප නිවසට පමණක් සීමා වූ තත්ත්වයක් නොවන බව පැහැදිලි වන්නේ දුම්රියේ ද කාර්යාලයේ ද බොහෝ දෙනකු මේ විභහග සමය තුළ කාර්යබහුල වී ඇතිවා පමණක් නොව කිසියම් මානසික ආතතියකට ද පත්ව සිටින බවක් දැකිය හැකි නිසයි. මධ්‍ය වාර විභාගය සමග ළඟ ළඟම ඉදිරි අගෝස්තු මාසයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයත්, අපොස උසස් පෙළ විභාගයත් පැමිණෙන නිසා තත්ත්වය තවත් අති සංකීර්ණ වී තිබෙනවා. කොටින්ම මුළු රටෙන් බහුතර පිරිසක් මේ වන විට සිටින්නේ විභාග මානසිකත්වයෙනුයි.
හැකි තරම් ඉක්මනින් විභාගය අවසන් වී යළි පොතක් පතක් බලමින්, කාටුන් එකක් බලමින් අප සමග කාලය ගත කිරීමට පුල පුලා බලා සිටින මගේ දියණියට හෝ විභාග මානසිකත්වයෙන් සිටින මගේ බිරිඳට මේ මොහොතේ රටේ ලෝකයේ සිදුවන දේශපාලන කළබැගෑනි ගැන කල්පනාවක් නැහැ. ඔවුන් දෙදෙනාගේම එකම අපේක්ෂාව වන්නේ හැකි තරම් ඉක්මනින් මේ විභාග මානසිකත්වයෙන් මිදී යළි සුපුරුදු දිවිය වෙත එළඹීමයි. මා සමග කතා කළ සියලූම දෙනාගේ පොදු අදහස වූයේ

‘‘ළමයෙක්ට විභාගයක් තියෙනවා කියන්නේ අපිත් විභාග ලියනවා වාගේ වැඩක් තමයි. ඒකටම කැප වෙන්න ඕනෑ’’ මේ ඔවුන්ගේ පොදු අදහසයි. මෙය දුක් ගැනවිල්ලක් ද චෝදනාවක් ද එසේත් නැති නම් ස්වයං විවේචනයක් දැයි සිතෙන්නේ අවසානයේ මෙසේද සඳහන් කිරීම අනිවාර්යය වන නිසයි. ‘‘අනේ අපිත් ඉස්කෝලේ ගියා. ඒත් අපේ කාලේ මෙහෙම නැහැනේ ’’ ඒ ඔවුන්ගේ අවසාන වාක්‍ය කණ්ඩයයි.

මුළු පවුලම හා සමාජයම දැඩි විභාග භීතිකාවක ගිලෙමින් සිටියදී පසුගිය අඟහරුවාදා රාත‍්‍රියේ මගේ බිරිඳ අලූත් ප‍්‍රවෘත්තියක් හෙළි කළා.

‘‘අපි බ‍්‍රහස්පතින්දාට ස්ට‍්‍රයික්. ඉස්කෝලේ යන්නේ නැහැ’’ ඇය ඇයටම ආවේණික උද්යෝගීමත් ස්වරයෙන් කිව්වා.

‘‘ඇයි මේ විභාග අස්සේ කවුද ස්ට‍්‍රයික් කරන්නේ ? මොකටද ස්ට‍්‍රයික් කරන්නේ ?’’ මම සුපුරුදු උච්ච ස්වරයෙන් විමසුවේ ඒ වන විටත් වටින් ගොඩින් ලැබී තිබූ ප‍්‍රවෘත්තිය ඇය විසින් සනාථ කළ නිසා පමණක් නොව විභාග පැවැත්වෙමින් තිබියදී පමණක් නොව වෙනත් ඕනෑම අවස්ථාවක ගුරුවරුන් විසින් සිදු කරන වැඩවර්ජනයක් මා පිළිකුළෙන් හෙළා දුටු නිසයි. අනෙක් අතට මීට සති කිහිපයකට පෙර පැවැති ගුරු වැඩ වර්ජනයට ඇය සහාය නොදී පාසල් ගිය බව මගේ මතකයේ තිබුණ නිසයි.

‘‘දන්නේ නැහැ’’ මේ ඇයගේ කෙටි පිළිතුරයි. මේ බ‍්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත වැඩවර්ජනය ගැන එක් ගුරුවරියකගේ අදහස වශයෙන් සැලකිය නොහැක්කේ පසුගිය කාලය පුරාම සිදු වූ බොහෝ ගුරු සංගම් කටයුතු කල්ලි වැඩවලින් ඔබබ්ට නොගිය බවට පොදු විවේචනයක් ගුරුවරුන් අතර පැවැති නිසයි.
බ‍්‍රහපතින්දා පාසල් නොපැවැත්වෙන බව සහ එදින විභාගය නොපැවැත්වෙන බව ඇසූ මගේ දියණිය තුළ ද දැඩි කම්පනයක් ඇති වූ බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි වුණේ ‘‘අනේ …’’ යැයි ඇය කෙඳිරිලි ස්වරයෙන් තම කණස්සල්ල පළ කළ නිසයි.

කුහකකමත් ඉක්මවා ගිය තත්ත්වයක්

ඉහත සිදුවීමට මාතෘකාව වූ වැඩවර්ජනය 26 වැනිදාට අනිවාර්යයෙන් පැවැත්වෙන බව ‘‘අධ්‍යාපනය සුරැුකීමේ වෘත්තීය එකමුතුව’’ නම් අලූතින් කලඑළියට පැමිණි සංවිධානය විසින් නිල වශයෙන් දැනුම් දී තිබුණා. ඊට ජනමාධ්‍ය මගින් ද පුළුල් ප‍්‍රචාරයක් ලබාදී තිබුණා. එහෙත් අනපේක්ෂිතව හෝ ඉතා සැලසුම් සහගතව ජනාධිපතිවරයා හමුවී තම ගැටලූව ගැන සාකච්ඡුා කර තමන් වෙත එල්ල වීමට නියමිතව තිබූ ලෝක අපවාදයෙන් සේම අසාර්ථක විය හැකි වැඩවර්ජනයෙන් ද තාවකාලිකව ගැළවෙන්න අදාළ සංගම්වලට පසුගිය 25 වැනිදා සවස් වන විට හැකි වුණා.

ගුරුවරියක් වන මගේ බිරිඳ හවුල්කාරියක් කරමින් ද පාසල් ශිෂ්‍යාවක් වන මගේ දියණිය වින්දිතයෙක් බවට පත් කරමින් ද සිදුවීමට නියමිතව තිබූ මේ වැඩවර්ජනය ගැන මා සංවේදී වුණේ කරුණු කිහිපයක් නිසයි. ඒ මහින්ද රාජපක්්ෂ රෙජිම පාලනය පෙරළා දැමීමට නොබියම සටන් කළ (මෙම ලියුම්කරු ද ලංකා ගුරු සංගමයේ නායක ජෝෂප් ස්ටාලින් ඇතුළු ගුරු සංගම් නායකයින් සමග ජී.එස්.පී. ප්ලස් අහිමි කිරීමට එරෙහිව අත් පත‍්‍රිකා ද බෙදා තිබෙනවා* ජෝෂප් ස්ටාන්ලි මහතා ප‍්‍රමුඛ ගුරු සංගම් කිහිපයක් අද රාජපක්ෂ රෙජිමය යළි බලයට ගෙන ඒමට පාවඩ එළමින් සිටින අවස්ථාවාදී කල්ලිවල පහසු ගොදුරක් වීම තුළ ඇති වූ කම්පනයයි. සමස්ත අධ්‍යාපන සේවයම රාජපක්ෂකරණය වූ යුගයේ එහි සියලූ වාසි අත්පත් කොට ගනිමින්, විරුද්ධ පාක්ෂිකයින් දඩයම් කරමින් දීන පාලනයක් ගෙන ගිය ඇතැම් අධ්‍යාපන බලධාරීන්ගේ හා ඇතැම් ගුරු සංගම්වල සටකපට උඟුලක රාජපක්ෂ පාලනය සමග ඍජුව ගැටුණු ගුරු සංගම් කිහිපයක් පැටලී ඇති බව පෙනී ගිය නිසයි.
මෙය තරමක් කුරිරු චෝදනාවක් වුවත් මා එසේ කියන්නේ ඉතාම පැහැදිලි හේතු සාධක සහිතවයි. ඒ රාජපක්ෂ කල්ලිය යළි බලයට ගෙන ඒම සඳහා පාවඩ එළමින් සිටින අවස්ථාවාදී කල්ලි රජයට එරෙහිව භාවිත කළ හැකි සෑම අවස්ථාවක් ම අසීමිතව භාවිතයට ගන්නා ආකාරයක් පසුගිය කාලය පුරාම දැක ඇති නිසයි. ජාතික තලයේ අතිෂයින් තරඟකාරී විභාග ද්විත්වයක් අත ළඟ තිබියදී හා සෙසු පාසල් සිසු සිසුවියන්ගේ ප‍්‍රගතිය මැන බැලෙන අර්ධ වාර්ෂිත පරීක්ෂණය පැවැත්වෙමින් තිබියදී ඉතාමත් අත්තනෝමතික ලෙස දියත් කිරීමට සියලූ දේ කර අවසාන මොහොතේ ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව තාවකාලිකව හකුලා ගත් වැඩවර්ජනය පසු පස රාජපක්ෂවාදීන්ගේ බළල් අත් පැහැදිලිව දැකිය හැකියි. අපි ඒ බව අවධාරණය කරන්නේ මේ වැඩවර්ජනය මගින් ඉටුකර ගැනීමට අපේක්ෂා කළ අරමුණු සියල්ල රාජපක්ෂ කල්ලියේ වුවමනා එපාකම් මත පදනම් වූ ඒවා නිසයි.

මෙයින් එක් ප‍්‍රධාන අරමුණක් වන්නේ වත්මන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් දියත් කර ඇති අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ හා නවීකරණ කටයුතු අඩාල කිරීම හෝ කඩාකප්පල් කිරීමයි. ඒ දශක දෙකකට අධික කාලයක් (1994 සිට* රාජ්‍ය බලය සමග ගනුදෙනු කරමින් අධ්‍යාපන පද්ධතිය තම බූදලයක් කර ගෙන සිටි ගුරුවරුන්ගේ සිට අධ්‍යාපන පරිපාලන නිලධාරීන් දක්වා විශාල පිරිසකට යහපාලන ප‍්‍රතිසංස්කරණ මගින් තම ගොදුරු බිම් අහිමි වන නිසයි. අනෙක් අතට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සිදුවන ප‍්‍රතිසංස්කරණ හා නවීකරණ මගින් ගරුත්වයක් ලබා ගැනීමට වත්මන් අධ්‍යාපන ඇමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවට අවස්ථාවක් ලබා නොදීමයි. එමගින් රාජපක්ෂ කල්ලිය පසුගිය කාලය පුරාම මතුරන ‘‘මේ ආණ්ඩුව වැඩක් නොකළ බව’’ යළි යළිත් ජනතාව හමුවේ කියා පෑමට අවස්ථාවක් උදාකර ගැනීමයි.

‘‘අපි හෙට වැඩට එන්නේ නැත්තේ මේක අපිට අදාළ හින්දා නෙමෙයි, අකිලට රිද්දන්න ඕනෑ නිසයි’’ කියමින් කොළඹ ජාතික පාසලක ගුරුවරියන් පිරිසක් මා සමග ප‍්‍රකාශ කළේ ඉහත සඳහන් පටු අරමුණේ සිට බව ඉතාම පැහැදිලියි.

බළලූන් ලවා කොස් ඇට බෑවීම

රාජපක්ෂ බළල් අත් විසින් බා ගැනීමට තැත් කරන අනෙක් කොස් ඇටය වන්නේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ 1994 දී එජාපයට රාජ්‍ය බලය අහිමි වූ දා සිට 2015 ජනවාරි 08 වැනිදා දක්වා දශක දෙකකට අධික කාලයක් පුරා නිමක් නැති දේශපාලන පළිගැනීම්වලට ලක්වෙමින් මේ දක්වා අධ්‍යාපන සේවයේ රැුකියාව කරන අතලොස්සට ( දශක දෙකක් පමණ කාලය තුළ පළිගැනීම්වලට ලක් වූ බොහෝ පිිරිසක් කිසිදු යුක්තියක් ඉටු නොවී විශ‍්‍රාම ගොස් සිටිනවා* හෝ යුක්තිය ඉටු කිරීමට තිබෙන අවසන් අවස්ථාව ද කෙසේ හෝ කඩාකප්පල් කිරීමයි. මෙය ඉතාම සංවිධානාත්මකව හා කෲර ලෙස දියත් වන සැලසුමක් වශයෙන් නම් කළ හැකියි. මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම මගින් අධ්‍යාපන සේවයේ නිරතව සිටියදී දේශපාලන පළිගැනීම් හේතුවෙන් අගතියට පත් පිරිසකට පමා වී හෝ යුක්තිය ඉටු කිරීමට තිබෙන අවස්ථාව අහිමි වෙනවා. එවිට දශක දෙකක් පුරා අඛණ්ඩව ක‍්‍රියාත්මක වූ පළිගැනීම සදාකාලික කිරීමට පමණක් නොව ‘‘අපේ ආණ්ඩුවක් තිබිලත් අපිට යුක්තිය ඉටු කර ගන්න බැරි වුණා. මෙහෙම ආණ්ඩුවක් වැඩක් නැහැ’’ කියන අස්ථානයට පැමිණීමට ද මෙම වින්දිතයින්ට සිදු වෙනවා. එය ආණ්ඩුවේ පැවැත්මට කිසිසේත් හිතකර තත්ත්වයක් නොවෙයි. මෙය එක ගලින් කුරුල්ලන් දෙදෙනකුම මරා ගැනීමට වඩා වැඩි දෙයක් නොවන බව අප අවබෝධ කර ගත යුතුයි.

දශක දෙකක් පුරා අඛණ්ඩව දේශපාලන පළිගැනීම්වලට ලක් වූ තම වෘත්තීය සඟයින් වෙනුවෙන් පමා වී හෝ යුක්තිය ඉටුකර ගැනීම සටන් වැඳීම පසෙක ලා එම අවස්ථාව රාජපක්ෂ කල්ලියේ පහසු ගොදුරක් බවට යළි පත් කිරීමට ඇතැම් වෘත්තීය සමිති ගන්නා මේ ප‍්‍රයත්නය අපගේ කණස්සල්ලට හේතු වී තිබෙන්නේ ඉහත සඳහන් තාර්කිත හේතු මතයි. එනිසා අපි අවධාරණය කරන්නේ මේ සුළු පිරිසට පමා වී හෝ යුක්තිය ඉටු වීමට තිබෙන අවසන් අවස්ථාව ද වළක්වාලමින් කටයුතු කිරීම මනුෂ්‍යත්වයට පවා නිගාවක් බවයි. යහපත් මිනිස් පරපුරක් බිහි කිරීමට කැප වී සිටින මිනිසුන්ට නොහොබිනා කටයුක්තයි බවයි.

යහපාලන අපේක්ෂාවන්ට එරෙහි වීම

රටේ සාමාන්‍ය ජන ජීවිතයට තීරණාත්මක අධ්‍යාපන වෘත්තීය සමිති පාසල් සිසුන් ප‍්‍රාණ ඇපයට ගනිමින් තම පටු හා දුෂ්ඨ අරමුණු ඉටුකර ගැනීම මාන බලද්දී යළිත් රජයේ වෛද්‍යවරුන් ද තමන් විසින්ම තැබූ ගිනිස් වාර්තාව අලූතින් ලියන්න සූදානම් වන බව මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් ශ‍්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර පසුගිය දා අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව අසරණ රෝගීන්ගේ කර පිටින් ගොස් රාජපක්ෂ කල්ලියට පාවඩ එලන්නයි යළිත් සූදානම් වෙන්නේ.
මේ දෙපාර්ශ්වයේ ම වැඩවර්ජන මගින් මූලිකව ම පැහැදිලි කරන යථාර්ථය වන්නේ තම පටු හා අවස්ථාවාදී අරමුණු වෙනුවෙන් සියලූම මානව ගුණ යහපත්කම් පවා දීමට කිසිදු චකිතයකින් තොරව ඉදිරිපත් වන බවයි. අහිංසක පාසල් සිසුන් ප‍්‍රාණ ඇපයට ගන්නා අධ්‍යාපන ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෘත්තීය සංගම් සේම අහිංසක රෝගීන් ප‍්‍රාණ ඇපයට ගන්නා රජයේ වෛද්‍යවරුන් ද කරන්නේ ස්වාර්ථය වෙනුවෙන් මෙරට සාමාන්‍ය ජනතාව ප‍්‍රාණ ඇපයට ගැනීමයි. මන්ද මේ කිසිදු වෘත්තීය ක‍්‍රියමාර්ගයකින් මුදල් ගෙවා අධ්‍යාපනය (ජාත්‍යන්තර පාසල්* සහ සෞඛ්‍ය පහසුකම් ලබන ධනවත් පංතියට කිසිදු අගතියක් හෝ පීඩාවක් නොවන නිසයි.

මෙහිදී අධ්‍යාපන වෘත්තීය සංගම්වල සේම රජයේ වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනවල ද තවත් සමානත්වයක් /පොදු න්‍යාය පත‍්‍රයක් දැකිය හැකියි. ඒ රජයේ තීරණාත්මක ආර්ථික හා දේශපාලන (විශේෂයෙන් ආර්ථික* ප‍්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් දක්වන දැඩි විරෝධයයි. එවා කඩාකප්පල් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට ඇති සූදානමයි.

මේ තත්ත්වය ඉතාම පැහැදිලිව 2015 ජනවාරි 08 වැනිදා ජයග‍්‍රහණය කළ පොදුජන ඉල්ලීම්වලට (ලබා දුන් පොරොන්දුවලට ද* කරන අවමානයක් වශයෙන් සැලකිය හැකියි. මන්ද වත්මන් ආණ්ඩුව බලයට පත් වූ දා සිට ආණ්ඩුවේ සියලූම ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ හා වැඩපිළිවෙළට එරෙහිව අධිකරණයට යන්නේ, උද්ඝෝෂණය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඇප කැප වූ, (සියලූ දේ කළ* බලවේග හා කල්ලි මිස යහපාලනය වෙනුවෙන් ඇප කැප වූ කණ්ඩායම් නොවෙයි. මේ තත්ත්වය අපට සැලකිය හැකි වන්නේ රාජපක්ෂ කල්ලියට අවශ්‍ය ආකාරයට හෝ ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයකට අනුව ආණ්ඩු කිරීමට යහපාලන ආණ්ඩුවට තර්ජනය කරන බලහත්කාරී තත්ත්වයක් වශයෙනුයි. මෙය කිසිසේත් ඉවසා සිටිය යුතු තත්ත්වයක් නොවෙයි. 2015 ජනවාරි 08 වැනිදා සහ අගෝස්තු 17 වැනිදා පැවැති මැතිවරණවලදී මේ රටේ අති බහුතර ජනතාව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවට බලය ලබා දුන්නේ ඔවුන්ටම අනන්‍ය දේශපාලන හා ආර්ථික න්‍යාය පත‍්‍රයක් අනුව රට පාලනය කිරීමට මිස රාජපක්ෂවාදීන්ට අවශ්‍ය ආකාරයට ආණ්ඩු කිරීමට නොවෙයි. මෙය ආණ්ඩුව සේම ඊනියා ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කල්ලි විසින් වටහා ගත යුතු සත්‍යයක්.

එදා නොතිබූ කැක්කුම අද ඇයි ?

මෙහි ඇති හාස්‍යජනක තත්ත්වය වන්නේ අද මේ සියලූ ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ හා වැඩපිළිවෙළවලට එරෙහිව මාරාන්තිකව සිටින පාර්ශ්ව පසුගිය මහින්ද රාජපක්ෂ පාලන යටතේ මේ ආකාරයේ පුළුල් සහභාගීත්වයක් හෝ විනිවිධභාවයක් කිසි විටක අපේක්ෂා නොකළ බවයි. ඉල්ලා නොසිටි බවයි.
මේ තත්ත්වය පැහැදිලි කර ගැනීමට සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ම නිදසුනට ගත හැකියි. අද මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු කල්ලි කියන්නේ මේ ගිවිසුම ඔවුන්ට නොපෙන්නා හොරෙන් අත්සන් කළ රටට හානිකර ගිවිසුමක් බවයි. ඔවුන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන කිසිම කරුණක් පිළිගැනීමට සූදානම් නැහැ. ඔවුන් අඛණ්ඩව අවධාරණය කරන්නේ, ජන ගත කරන්නේ ගිවිසුම් විරෝධී තම මතය ම පමණයි.

එහෙත් අපට මෙවැනි නිදහස් පරිසරයක් මහින්ද රාජපක්ෂ යුගයේ දකින්න ලැබුණේ නැහැ. කොළඹ යුධ හමුදා මූලස්ථාන ඉඩම විකිණීම, කොළඹ වරාය නගරය සිට හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ දක්වා එම යුගයේ චීනය සමග අත්සන් කළ කිසිම ගිවිසුමක් විපක්ෂය සමග හෝ විද්වත් සංවිධාන (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි * සංවාදයට භාජනය කළ බවක් අපි කිසිවෙකුගේ මතකයේ නැහැ. රාජපක්ෂ යුගයේ ඒ සියල්ල සිදු වුණේ පවුලේ ආර්ථික හා දේශපාලන න්‍යාය පත‍්‍ර අනුව මිස පොදු ජන න්‍යාය පත‍්‍රයකට අනුව නොවෙයි. ඒ නිසයි චීනය සමග කළ සෑම ව්‍යාපෘතියකටම කම්කරුවාගේ සිට සෑම දෙයක්ම චීනයෙන් රැුගෙන ආවේ. ඒ වැඩ බිම් සියල්ල චීන කොළණි බවට පත් වුණේ. අද සිංගප්පූරුකරණයක් ගැන ව්‍යාජ භීතියක් මවා පාන මේ කල්ලි එදා යථාර්ථයක් බවට පත් චීන කොළණිකරණය ගැන එක වචනයක් ප‍්‍රකාශ කළේ නැහැ.

මේ තත්ත්වය තුළ අද අපට පැහැදිලිව දැකිය හැකි වන්නේ ආණ්ඩුව විසින් මහත් වෙහෙසක් දරමින් රටට උරුම කර දුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය මේ කල්ලි විසින් දැවැන්ත ලෙස අපයෝජනය කරමින් එකී නිදහස ස්වේච්ඡුාවෙන්ම යළි පවාදීමට කැස කවමින් සිටින බවයි. මේ තත්ත්වය බුද්ධිමත් ජනතාව විසින් වහාම පරාජය කළ යුතුයි. මන්ද 1956දී පොදුජන විජයග‍්‍රහණයක් වෙනුවෙන් පෙරට පැමිණි පංච මහා බලවේගයේ ගාමක බල කණු ත‍්‍රිත්වය (සඟ, වෙද, ගුරු* අද කරළියට පැමිණ සිටින්නේ එවැනි ජනතාවාදී ජයග‍්‍රහණයක් අපේක්ෂාවෙන් නොව යළි පවුල් පාලනයකට රට පාවාදීමට නිසයි. හකුලා ගත් අධ්‍යාපන වැඩවර්ජනය සේම ඈතින් කස හඬ ඇසෙන වෛද්‍ය වැඩවර්ජනය ද අපට හඬගා කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුක ගැනීමට තවත් බලා සිටීමට කාලයක් නැති බවයි.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *