කළු ජූලියේ සෙවණැලි – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

මා සමඟ නගරයේ පා‍සැලේ එක පන්තියේ ඉගෙනුම ලැබූ මිතුරියක ගුරු පත්වීමක් ලැබ මගේ ගමේ පාසලට පැමිණ සිටියදී මට හමුවූවාය. හමු වූ මුල් දිනයේ වහා මා හමුවට පැමිණි ඇය අන් අයට නොඇසෙන සේ කීවේ තමා දැන් ලෙච්චමී නොව ලක්ෂ්මී බවයි. එනම්, ඇය තමාගේ මුල් නම ලෙච්චමී යන්න සිංහලට හුරු නමක් වන ලක්ෂ්මී ලෙස වෙනස්කර ගෙන ඇති බවයි. බැලූ බැල්මට ඇගේ නම වෙනස්කර ගැනීම සරල ලෙස පෙනුණද එහි යාථාර්ථය හිතන තරමට සරල නැත. හේතුව ඇගේ නම වෙනස් කිරීමේ යටි අරුත වන්නේ තම දෙමළකම රැකගෙන සමාජයේ ජීවත් විය නොහැකිය යන සැකය සහ භීතිය ඇය තුළ පවතින බවයි.

ඇය ඇතුළු පවුලේ අය 1983 කළු ජූලියේ දී දිවි බේරාගත්තේ ඉතා අපහසුවෙනි. අසල්වැසි සිංහල ජනතාවගේ අනුකම්පාව සහ රැකවරණය නිසාවෙනි. එහෙත් නගරයේ සුරුට්ටු මුදලාලි වශයන් ප්‍රකටව සිටි සුන්දරම් මුදලාලි හෙවත් ලෙච්චමීගේ පියාට සිය ව්‍යාපාරය කළු ජූලිය නිසා අහිමි විය. එකල එම නගරයේ දේශපාලන බලය හිමි පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයාගේ අනුග්‍රහය ලැබුණු සංවිධානාත්මක මැර කල්ලිය විසින් ඇගේ පියාගේ ව්‍යාපාරය කොල්ලකා ගිනිබත් කරනු ලැබූ බැවිනි. පසුව එම හේතුව නිසාම පියා සිය ව්‍යාපාරික ස්ථානය පිහිටි භූමිය සිංහලයෙකුට විකුණා දැමුවේය.

මා හමු වූ විට ලෙච්චමි (දැන් ලක්ෂ්මී) හැසිරුණු ආකාරය අනුව පෙනෙන්නේ කළු ජූලියෙන් වසර 35ක් ගෙවුණු තැනදීත් සිංහල භීතිකාව තුරන් වී නැති බවයි.

වසර තිස්පහකින් මෙරට දෙමළ සංහාරයක් සිදුව නැති නමුත් එවැන්නක් කොයි මොහොතේ හෝ පුපුරා යා හැකි වටපිටාවක් තිබේ. එය දකුණට හිට්ලර් කෙනෙක් අවශ්‍ය බවටත්, උතුරට ප්‍රභාකරන් කෙනෙක් අවශ්‍ය බවටත් කෙරෙන ප්‍රකාශ ඉක්මවා ගිය කරුණකි.

මෙරට මේ මොහොතේ පවතින දේශපාලන වටපිටාව ගැඹුරින් විමසා බැලුවහොත් එකල නම් 1983 කළු ජූලිය සමයේ පැවති තත්ත්වයම නොවූව ද ඊට ආසන්න තත්ත්වයක් ඇති වෙමින් පවතින බවක් හඳුනාගත හැකිය.

කළු ජූලියට මුල් වූ 1983 ජුලි 23 එල්.ටී.ටී.ඊ. ප්‍රහාරය ඉබේ ඇති වූවක් නොවේ. දිගු ඉතිහාසයක එක් කෙළවරකි. ‍ෆ්‍රෙඩරල් ඉල්ලීම් ඉවත දැමීම, පනහට පනහ නොසලකා හැරීම, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ආදී දේශපාලන ‘මෝඩකම්’ එහි ඉතිහාසයේ එක් කෙළවරක් නියෝජනය කරන බව අපට අකැමැත්තෙන් වුව පිළිගන්නට සිදුවේ.

අනෙක් අත‍ට 1983 ජූලි 23 වෙනිදා ප්‍රහාරයේ ආසන්නම සිදුවීම වශයෙන් 1981 ජුනි යාපනය සංවර්ධන සභා මැතිවරණය. යාපනය පුස්තකාලයට ගිනි තැබීම, පාන්කුලම් සරණානාගත කදවුරට ගිනි තැබීම, ගාන්ධියම් ව්‍යාපාරයේ කාර්යාලය සීල් තැබීම ආදිය ද නොසලකා හැරිය හැකි ‍නොවේ.

ජූලි 23 ප්‍රහාරයෙන් මිය ගිය සෙබළුන්ගේ සිරුරු ඔවුනගේ ගම්වලදී භූමදාන කරන්නට කටයුතු යෙදුවේ නම් කළු ජූලියට ඉඩ ‍නොලැබෙන්නට තිබුණි. එවක පොලිස්පතිවරයා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් ඇඳිරි නීතිය පනවන්ට කළ ඉල්ලීමට ඔහු එකඟ වූයේ නම් දෙමළ ජනතාවට එල්ල කළ ප්‍රහාර සිදු නොවන්නට හෝ වැඩිවර්ධනය නොවන්නට තිබුණි.

අමිර්තලිංගම් මහතාගෙන් විපක්ෂනායක ධුරය උදුරා ගැනීම අප තේරුම් ගත යුත්තේ කෙසේද? දකුණේ ආණ්ඩුව පිළිබද දෙමළ ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙන්නට එය හේතුවක් නොවී ද? මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධන් මහතාගෙන් විපක්ෂ නායක ධුරය උදුරා ගැනීමට කුරුමානම් අල්ලමින් සිටිති. ඒ අතර උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා සහ ආණ්ඩුකාරවරයා අතර ආරෝවකි. විජයකලා මහේෂ්වරන්ගේ චෝදනාව වෙන්නේ උතුර නොසලකා ඇති බවයි. ආණ්ඩුව උතුරේ සංවර්ධනය වෙනුවෙන් ඒ මේ දේ කරමින් සිටින බව කියැවුණද එහි සංවර්ධනය පිළිබඳ උනන්දුවක් දක්වන බව සැබෑවක් වුවද, ආණ්ඩුවට වසර තුනක් ගත වන තුරුත් මෙය මේසේ වූවාය කිය හැකි සංවර්ධනයක් උතුරේ සිදුව නැති බව පිළිගත යුතුය. විජයකලා මහත්මියගේ චෝදනාව වන්නේ උතුරේ පවතින ඇබෑර්තු පවා දකුණෙන් පුරවන්නට කටයුතුකරන බවයි. සංවර්ධන ක්‍රම යෝජනා කිරීම ප්‍රාග්ධන මත තීන්දුවන කරුණක් වුවද උතුරේ අබෑර්තු පවතිනම් ඒවා පුරවමිනුත් තිබේ නම් එහිදී උතුරට පුමුඛතාව නොදීම ගැටලුළුවකි.

ඊළඟ කාරණය උතුර සම්බන්ධයෙන් වැරදි අදහස් සමාජගත කරන්නට ආණ්ඩු විරෝධීන් දිගින් දිගටම කටයුතු කරමින් සිටීමය. උතුරේ යුධ හමුදා කඳවුරු ඉවත් කරන්නේය, ඒ හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් තිබේය, බුද්ධි අංශ දුර්වල කර තිබේය එසේ හෙයින් නැවත එල්.ටී.ටී.ඊ. ය නැවත හිස ඔසවමින් තිබේය ආදි වශයෙන් සිංහල සමාජය තුළ මහත් භීතිකාවක් වපුරන්නට විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය මේ වනවිටත් සමත්ව තිබේ.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගත් කල ද තත්ත්වය එසේමය. දකුණේ ජාතිවාදය හැකි සෑම ආකාරයෙන්ම වපුරන්නට මහින්දවාදීන් කටයුතු කරන මුත් එම ප්‍රකාශ හෝ වැඩපිළිවෙළ නිශේධනය කළ හැකි වැඩපිළිවෙලක් ආණ්ඩුව අනුගමනය කරන බවක් පෙනෙන්නට නැත.

දිගන සිදු වීම දිග්ගැස්වීම තුළින් ගම්‍යවූයේ ද සිදුවිය හැකි අනතුර කලින් හඳුනා ගැනීමට සහ එය වලක්වා ගැනීමට ආණ්ඩුව දැක් වූ නොහැකියාවයි. සිද්ධිය පුපුරා යනු බව වැටහුණු වහාම ඇඳිරි නීතිය පැනවූයේ නම් විනාශය වලක්වා ගන්නට තිබුණි.

වාර්ගික අර්බුධයක් වලක්වා ගැනීමේදී භෞතික සංවර්ධනය වැදගත්ය එහෙත් ඊටත් වඩා අවශ්‍ය වනු ඇත්තේ ජාතීන් අතර අන්‍යොන්‍ය විශ්වාසය හා අවබෝධය තහවුරු කිරීමේ වැඩසටහන්ය. කනගාටුවට කරුණ වන්නේ වත්මන් ආණ්ඩුව ද සංවර්ධනයට මුල් තැන දෙන තරමට ජාතික සමගියට කටයුතු කරන බවක් පෙනෙන්නට නොතිබීමය.

1983 කළු ජූලියේ වගකීම පැටවෙන්නේ පැවති ආණ්ඩුව මතය. එහෙත් මේ වන විට පවතින්නේ ආණ්ඩු විරොධින් සහ වෙනත් ජාතිවාදින් ආගම්වාදින් රට ගිනි ගබන්නට ගන්නා උත්සාහයකි. දිගන ගැටුම පිටුපස මහසොහොන්නුන් ද මහසොහොන්නුන් පිටුපස බොදු බලය ද ඒ දෙකටම උඩගෙඩි දෙන්නට ඒකාබද්ධය ද සමාජ මාධ්‍යය ද ඉන්නා බව ආණ්ඩුව වටහාගත යුතුය. ඒ උත්සාහය පරාජය කරන්නට කටයුතු කළ යුතුය. ලෙච්චමීලාට නම වෙනස්කර නොගෙන බියෙන් සැකයෙන් තොරව ජීවත් වෙන්නට හැකි වන්නේත් උතුරේ දෙමළා ගැන හෝ මුස්ලිම්වරයාගැන හෝ අනියත බියෙන් තොරව පොදු සිංහල ජනතාවට නින්දට යා හැකි වන්නේත් එවිටය.

1983 කළු ජූලිය ජාතිවාදි ප්‍රහාරයක් ලෙස හුවා දක්වන්නට උත්සාහ ගත්තා වුවද ඇත්ත තත්ත්වය නම් එය සංවිධානාත්මක සුළු පිරිසකගේ මිලේච්ඡ ක්‍රියාවක් යන්නය. සියලු සිංහලයන් එක්ව දෙමළ ජනතාවට ප්‍රහාරයක් එල්ල කළේ නම් ලක්ෂ්මි ලෙස නම් වෙනස්කර ගන්නට ලෙච්චමීලාට දිවි ගලවා ගන්නට නොලැබෙනු ඇත. ජාතිවාදය ඔස්සේ දේශපාලන හා වෙනත් පටු අරමුණු ඉටුකර ගන්නට සංවිධානාත්මක සුළු පිරිස උත්සාහ ගනිද්දී ඊට විරුද්ධ සුළු පිරිසක් ජාතිවාදින්ගෙන් දෙමළ ජනයා ආරක්ෂා කර ගන්නට බියෙන් සැකයෙන් යුතුව වුවද ඉදිරිපත් වූහ. ජාතිවාදි නොවන බහුතරය ප්‍රහාරවලටත් මිනිසුන් බේරාගැනීමටත් ඉදිරිපත් නොවී නිකටේ අත තබාගෙන කම්පාවෙන් යුතුව නිහඬව බලා සිටියහ.

ආණ්ඩුව කළ යුතු වන්නේ උතුරේත් දකුණේත් ජාතිවාදි නොවන බහුතරය බල ගැන්වීමටය. ජාතිවාදය හමුවේ නිහඬව නොසිට ඉදිරිපත්වන තත්ත්වයකට ඔවුන් ශක්තිමත් කිරීමය. එය කළ හැක්කේ කතා පැවැත්වීමෙන් නොවේ. දියුණු වැඩසටහන් ඒ සඳහා අවශ්‍යය. ලෙච්චමීලාගේත් දම්මිකාලාගෙත් බිය තුරන් කළ හැක්කේ එවිටය.

චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *