මොහාන් ඔබ පියවි සිහියෙන්ද? – අනුර සූරියබණ්ඩාර

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ මෙරට බුද්ධිමතුන් සම්බන්ධයෙන් අත්දකිනු ලබන පොදු ඛේදවාචකයක් වන්නේ ඔවුන්ගේ ස්වාධීන්ත්වය පිළිබඳ ගැටලුවයි. ඊට ආසන්නම උදාහරණය ලෙස ප්‍රවීන මාධ්‍යවේදි විදෙස් විත්ති විචාරක මෝහාන් සමරනායක මහතා 2018 ජුලි 15 වන ඉරිදා සිංහල පුවත්පතකට සපයා තිබුණු ලිපිය දැක්විය හැකිය.

මෝහාන් සමරනායක මහතා කලක් අප හඳුනාගෙන සිටියේ වාමාංශික නැඹුරුවක් සහිත නිදහස් මතධාරියකු වශයෙනි. විදෙස් තොරතුරු විග්‍රහයේ දී ඔහු ඇමරිකානු විරෝධි නැතහොත් ඇමරිකානු පිළිවෙත් විවේචනය කරන්නකු ලෙස කැපී පෙනුනා සේම ඔහුගේ මධ්‍යස්ථ භාවය විශේෂයෙන්ම විදෙස් විග්‍රහවල දී කැපී පෙනුණි. එසේම ඔහු මනා තො‍රතුරු හා මූලාශ්‍ර සහිතව කරුණු වි‍ශ්ලේෂණය කරන්නෙක් ලෙසද පාඨක විශ්වාසය දිනා සිටි තැනැත්තෙකි.

මෑතක සිට ඔහුගෙන් ප්‍රකාශමාන වන බලවත් දුර්වලතාවක් වන්නේ ඊනියා ජාතික වාදයක් කර තබා ගනිමින්, රාජපක්ෂවරුන්ට හා රාජපක්ෂ රෙජිමයටත් සුදු හුණු ගාන තත්ත්වයකට ඇද වැටීමයි. ඒ සඳහා ආසන්නම උදාහරණය ලෙස ඉහත සඳහන් කළ ලිපිය දැක්විය හැකිය.

ලිපිය ලියැවී තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සුජාතභාවය දැඩි ලෙස ප්‍රශ්න කිරීමකට ලක් වූ, චීන සමාගමකින් ඒ මහතාගේ දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා ඩොලර් මිලියන 7.6 ක මුදල පිළිබඳ පුවත සම්බන්ධයෙනි. එකී ලිපියේදී මෝහාන් සමරනායක මහතා මෙසේ සදහන් කරයි.

“නිව්යෝර්ක් ටයිම්ස් ලිපිය හෙළිකරන පරිදි චීන වරාය සමාගම රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඡන්ද ව්‍යාපාරයට අරමුදල් දුන් බව හෝ නොදුන් බව සහතික කිරීමට මේ ලියුම්කරුට සාක්ෂි නැත. එය වන්නටද පිළිවන. නොවන්නටද පිළිවන. චීන සමාගම මහින්දට මුදල් දුන්නේයැයි සිතිය හැක්කේ, ධනවත් හා බලවත් රාජ්‍යයන් සෙසු රටවල අභ්‍යන්තර කටයුතු හැම විටම මැදිහත් වී ඇති බව සලකන විටය….”

ඒ අනුව මෝහාන් සමරනායක මහතාට, රාජපක්ෂ මහතාට චීන මුදල් ලැබුණු බවට හෝ නොලැබුණු බවට සාක්ෂි නැත. එනම්, නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව සත්‍යයක් ලෙස පිළිගන්නට ඒ මහතා සූදානම් නැත. එවැනි තත්ත්වයක් තුළ පවා එනම් මහින්ද රාජපක්ෂ මහතාට ම එම මුදල් ලැබුණා ද නැද්ද යන්න නොදැන පවා රාජපක්ෂ මහතාගේ ගැලවුම් කාරයකු ලෙස පෙනී සිටීමට සමරනායක මහතා පසුබට ‍නොවේ.

තර්කානුකූලව හිතන්නෙකුට නම් රාජපක්ෂ මහතා චීනයෙන් ලබාගත්තේය යන කරුණට විශේෂ බරක් තැබීමට අවශ්‍ය තරමටත් වඩා හේතු තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව ඒ මහතාගේ පාලන කාලය තුළ සිදු වූ ගනුදෙනුවල ස්වභාවයයි. ඊට හොඳම නිදසුනක් වන්නේ මේ දිනවල දිගහැරෙමින් පවතින ශ්‍රී ලංකන් එයාර් ආයතනය පිළිබඳ පරීක්ෂණයේ හෙළිදරව් වෙන කරුණුය. එම සමාගමට මත්පැන් සැපයීමේදීත් ප්‍රචාරක කටයුතුවලදීත් තම හිතවතුන්ට උපරිම වාසි සැලසෙන ආකාරයට රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කර ඇති ආකාරය අදාළ පරීක්ෂවලදී අපූරුවට හෙළිදරව් වී තිබේ. හෙල්පින් හම්බන්තොට සම්බන්ධයෙන් ගත්තා වුවද මූල්‍යමය කටයුතුවල දී රාජපක්ෂ මහතාගේ දෑත් පිරිසිදු නැති බව තහවුරු වූ බව සමරනායක මහතා නොදන්නවා විය නොහැකිය. එසේ නම් චීනයෙන් මුදල් ලැබුණද නැද්ද යන්න හරිහැටි නොදැන සමරනායක මහතා රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීම විසින් ඔහුගේ බුද්ධිමත් භාවය මෙන්ම මධ්‍යස්ථ භාවය ද අභියෝගයට ලක්කෙරේ.

රාජපක්ෂ මහතාට චීනයෙන් මුදල් ලැබණේ නම් එය සාධාරණීකරනය කරන්නට මෝහාන් සමරනායක මහතා අපූරු තර්කයක් ඉදිරිපත් කරයි. එය නම් 2016 වසරේ මූල්‍ය වාර්තාවකට එවක ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි ලියන ලද පෙරවදනකි. සිය ව්‍යාපෘතියකින් ලොව පුරා ප්‍රජාතන්ත්‍රතවාදය පුළුල් කිරීමට ඩොලර් මිලියන 585ක් වැය කළ බව එහි සඳහන් වීමයි.

අරමුදල් සැපයුණු රටවල් තුනක් ජෝන් කෙරි මහතා විසින් සඳහන් කර ඇති බවත්, ඒ ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ මියන්මාරය බවත් පවසන සමරනායක මහතා අපූරු උපකල්පනයක් ද කරයි. ඒ මෙසේය,

“ශ්‍රී ලංකාවට හරියටම ලැබුණු මුදල කොපමණ ද එය කා අතට පත්වූයේ ද යන්න තවම හෙළි වී නැත. එහෙත් ශ්‍රී ලංකාවට ලැබුණු මුදල චීන සමාගමෙන් මහින්ද රාජපක්ෂට ලැබුණු ඩොලර් මිලියන 7.6 ට වැඩි බවට නැත්නම් ‍එමෙන් කීප ගුණයක් බව නිගමනය කරන තර්ක ශ්‍රාස්ත්‍රය සමරනායක මහතා හෙළි කළ යුතුය.

සමරනායක මහතාගේ තර්ක ක්‍රමයට නොවුනත් යහපාලන කණ්ඩායමට සහ රාජපක්ෂ මහතාට ඇමරිකාවෙන් සහ චීනයෙන් මැතිවරණයට මුදල් සැපයුවේ නම් එම මුදල් අතර වෙනස වටහා ගත හැකි තර්ක ක්‍රමයක් තිබේ. ඒ මෙසේය; මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණ චීන මුදල් යනු පෝද්දල ජයන්තට පහර දී අතපය කඩා දැමූ, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ, එක්නැලිගොඩ අතුරුදන් කළ, තාජුදීන් ඝාතනය කළ, කටුනායක, මීගමුව, රතුපස්වල දි සාමකාමී උද්‍ඝෝෂනයනට වෙඩි තබා ඝාතනය කළ අගවිනිසුරුවරිය බලහත්කාරයෙන් ගෙදර යවා කැලෑ නීතිය උසාවියට ගෙන ආ ඒකාධිපති පාලනයක් නැවත රට තුළ ස්ථාපනය කිරීම සඳහා ලැබුණු මුදලකි.

යහපාලන කණ්ඩායමට ඇමරිකාවෙන් හෝ වෙනයම් රටකින් හෝ මුදලක් ලැබුනේ නම් එය ඉහතකී ආකාරයේ මිනිස් ඝාතක දුර්දාන්ත ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති පාලනයක් වෙනුවට රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටු වීමට ලැබුණු මුදලකි. ඒ දෙකම සමාන යැයි ‍මොහාන් සමරනායක මහතාගේ තර්ක ක්‍රමය අනුව ගම්‍ය වන්නේද?

මෝහාන් සමරනායක මහතා මෙසේද කියයි “ලෝකයේ රටක නායකයකු තම රටට ආදරය කිරීම, තම රට සතු සම්පත් ස්වකීය ජනතාවගේ සුබසිද්ධියට යෙදවීම නිව්යෝර්ක් ටයිමිස් පත්‍රයට අනුව උමතු ජාතිවාදයකි. එබඳු නායකයන් කුමන්ත්‍රණ මගින් බලයෙන් පහකොට සිරතග කළ යුතු බව පත්‍රයේ අදහසයි.”

මෝහාන් සරමනායක මහතා කියන්නට උත්සාහ දරන්නේ රාජක්ෂ මහතා රටට ආදරය කළ බවද, රාජපක්ෂ මහතා තරම් රටට එතරම් ආදරය කළ අයකු නම්, ‍පො‍ර්ට් සිටියේ ඉඩම විකිණීමට ෂංග්‍රිලා හෝටලයට දීම ගැන කියන්නේ කුමක්ද? රාජපක්ෂ මහතා ‘රට සතු සම්පත් ස්වකීය ජනතාවගේ සුබ සිද්ධියට යෙද වූ’ බව කෙසේ‍ වෙතත් රට සතු සම්පත් රාජපක්ෂ පවුලේත් එම පවුලේ වන්දිභට්ටයන්ගේත් හෙන්චයියන්ගේත් සුබ සිද්ධිය වෙනුවෙන් යෙද වූ බවට නම් සාක්ෂි උවමනාවටත් වඩා තිබේ. එසේ හැසිරීම පාලකයකුගේ වැදගත් ලක්ෂණයක් යැයි විශ්වාස කරන්නට මෝහාන් සමරනායක මහතා සූදානම් නම් එයට බාධා කළ යුතු නැත. එහෙත් මඩට බසින්නට එතුමාට ඇති අයිතිය අනෙකුත් ශ්‍රී ලාංකිකයන් මඩට ඇද දැමීමට එතුමාට ඇත්තේ නැත.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *