ශී‍්‍ර ලංකාවට දේශපාලඥයින් අවශ්‍යව ඇත- ජගත් හේමචන්ද්‍ර

ඉතා පිරිසිදු දේශපාලඥයින් මෙන්ම පිරිසිදු දේශපාලනයක් පැවති අප රටට අද සිදු වී ඇති දෙය පිළිබඳව අපට ඇත්තේ ඉතා දුංඛ්‍යදායක තත්වයක් බව පවසනු කැමැත්තෙමු.

අධිරාජ්‍යවාදින් අප රට පාලනය කල යුගයේ ස්ථාපිත කල රාජ්‍ය මන්ත‍්‍රණ සභාව තුල අසුන් ගත් ශ‍්‍රී ලංකික මන්ත‍්‍රිවරු මොන ආකාරයේ දේශපාලන දර්ශනයන් දැරුවත් ඔවුන් සමග රටේ පුරවැසියන් එකග වුවත් නොවුවත් ඔවුන් සැබැවින්ම අවංකව රටට ආදරය කල අය ලෙස පිලිගත හැක.ඩොනමෝර් කොමිෂම විසින් හදුන්වා දුන් සර්ව ජන ඡුන්දයෙන් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ශ‍්‍රී ලාංකිකයන් ලෙස තේරි පත් වු නියෝජිතයන් සෑම අතින්ම මහත්වරු ලෙස හුවා දැක්විය හැක.

ඞී. එස්. සේනානායක, ශී‍්‍රමත් ඞී. බී. ජයතිලක, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක සහ රාජ නිතිඥ ෆ‍්‍රැන්සිස් සොයිසා වැනි උගත් බුද්ධිමතුන් රාශීයක් රාජ්‍ය මන්ත‍්‍රණ සභාව ඔපවත් කළෝය.ආචාර්ය එන්. එම්. පෙරේරා, දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වවා, ඞී. එම්. රාජපක්‍ෂ යන වාමාංශීක නායකයන් 1930 ගණන් වල සිට රාජ්‍ය මන්ත‍්‍රණ සභාව සහ පාර්ලිමේන්තුව වාද විවාද තුලින් සහ නව අදහස් යෝජණා වලින් අර්ථවත් ලෙස පෝෂණය කලහ. රටේ සංවර්ධනයත්, ජනතාවගේ සුභ සාධනයක් වෙනුවෙන් ඔවුන් නැගු හඩ රට තුලම දෝංකාර නැංවිය. නව උත්තේජණයක් ඇති කලහ. එයින් ජනතාව ප‍්‍රබෝධවත් විය. සටන්කාමි විය. ජාතික අනුරාගයක් ඇති විය. ඔවුන්ගේ සාරගර්භ, වාද විවාද අසා සිටිමටත්, මුද්‍රිත මාධ්‍යවලින් දැන ගැනිමටත් ජනතාව උත්සුකවිය. එයින් උරාගත හැකි ඉතා වටිනා අදහස් ඒ තුල ගැබ් වී තිබු බැවිනි. එම නිසා ජනතාව ඒ අයට ගෞරව පුද කලහ. ඒ කිසිදු මන්ත‍්‍රිවරයෙක්, ඇමතිවරයෙක්, මහජන මුදල් අවභාවිතා කිරිමක්වත් අයතා පරිදි සාක්කුවේ දමා ගැනිමක්වත් සිදු නොකරන ලදි. ඔවුන් ජනතා මුදල් පරිහරණය කලේ දෙවියන්ගේ මුදල් වලටත් වඩා අරපරිස්සමෙනී.

එස්. ජේ. වි. චෙල්ලනායකම්, රාජනිතිඥ, ජී. ජී පොන්නම්බලම්, වි. ධර්මලිංගම්, සී. සුන්දරලිංගම් වැනි උතුරින් පාර්ලිමේන්තුවට පැමිණි අයද තම ජනතාවගේ අභීලාෂයන් ඉදිරිපත් කල අතර මහජන මුදල් වලට අත නොතබන ලදී. ඇත්තටම ඔවුන් ද සැබෑ මහජන නියෝජිතයන් බව අවිවාදයෙන් පිලිගත යුතුය. එම නිසා සියලූ ජන කොටස් ඔවුන්ට ගරු කලෝය.

බුද්ධිමතුන්ගෙන්, දැහිතකාමින්ගෙන් පෝෂණය කල අපගේ පාර්ලිමේන්තුවට කණ කෝකා හැඬිමට පටන්ගත්තේ 1977 මැතිවරණයෙන් පසුව බව අප කවුරුත් දන්නා කරුණකි. එයට හේතු වුයේ දක්‍ෂ අගමැතිවරියක් වුවද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට එතුමියගේ ඥාතියෙකු වු පිලික්ස් ඩයස් බණ්ඩාරනායක වැනිය වුවන්ගේ බස් වලට නතු වී වාමාංශික පක්‍ෂ එම ආණ්ඩුවෙන් ඉවත් කර ධනපති පංතිය සුරතල් කිරිම හේතුවෙනී. 1977 ජුලි 22 දින හයෙන් පහේ බලයක් සහිතව ආණ්ඩුව පිහිට වු ජේ. ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක‍්‍රමයක් ඇති කර ඡුන්දක‍්‍රමය වෙනස් කර මනාප ක‍්‍රමය හදුන්වා දී මැතිවරණ සිතියම හකුලා ජන මත විචාරයක් පවත්වා මුලූ රටම උඩු යටිකුරු කරන ලදි. ධනපති ක‍්‍රමය පවත්වා ගෙන යාමට සහ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්ති හදුන්වා දිමට එමගින් ඔවුන්ට රුකුලක් විය. විධායක ජනාධිපතිගේ බල ක‍්‍රමය අතට ගත් ජයවර්ධන 1980 ජුලි වැඩ වර්ජනය අමානුෂික ලෙස මර්දනය කරන ලදී. විධායක ක‍්‍රමය අවශ්‍ය බව කියන කාටත් එහි රසය අමතක වී ගොසිනී. හිට්ලර් පාලනයක් ඕනෑ කියන අයට එවැනි දෑ අමතක විම රටේ අභාග්‍යයකී. ධනපති පංතියේ නායකයෙකුගේ ගති ලක්‍ෂණ ඔහු වෙතින් මනාව පිලිබිඹු විය.

එතැන් සිට පාර්ලිමේන්තුවට පත් වන ඇම්බට්ටයන් කලේ තමන්ගේ පමනක් නොව හතර වරිගයටත්, උන්ගේ ඇම්බට්ටයන්ටත් වන සම්පත විනාශ කරමින් ඇල දොල, ගංගා, ආදිය තමන්ට රිසි පරිදි විනාශ කරමින් මහජන මුදල් ආයතා ලෙස පරිහරණය කිරීමට ඉඩ ලබා දිම නොවේද? අද පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ කවුද? මහජන අභිලාෂයන් තුට්ටුවකට ගණන් නොගෙන මහජනයා තලා පෙලා කටයුතු කරන , හොර පාස් පෝස්ට් හදන, මාල කඩන, කැලෑ කපන, මහජන මුදල් අවභාවිතා කරමින් තම සාක්කු පුරවා ගන්නා හොරු නොවේද? අධිකරණයේ නිර්දෝෂිභාවය ඉදිරිපත් කර නිදහස් වෙනවා වෙනුවට වාරණ නියෝගයෙන් අධිකරණ ක‍්‍රියාවලියට හරස් වන තක්කඩියන් නොවේද?

සුදෝ සුදුවතින් සැරසී මහජන මුදල් තඹයක්වත් තම සාක්කුවට නොදමාගත් එවුන් මෙන්. මාධ්‍ය සංදර්ශණ තුලින් ජනතාව මුලා කිරිමට අමුලික බොරු බේගල් ඇඳ බාන අය නොවේද? රටේ මැතිවරණ ක‍්‍රමය වේවා. යහපත් නිති පනවන විට අද පාර්ලිමේන්තුවේ සිටින බොහෝ දෙනා කල්පනා කරන්නේ තම පක්‍ෂයට සිදු වන්නේ කුමක්ද? තමාගේ දේශපාලන දිවියට කන කෝකා හඩයිද යනුවේන් බව ඔවුන් කියන කරන දැ වලින් මනාව අපට පැහැදිලි වේ. ඵල ඇති රුකට පනින රිලවුන් වැනි අය බව පැහැදිලි වේ. යහපත් නිති ගෙන එන විට තමන් ගැන තම පක්‍ෂයේ අනාගතය ගැන සිතා තිරණ ගන්නා මන්ත‍්‍රිවරු මිස ජනතාව වෙනුවෙන් තිරණ ගන්නා මන්ත‍්‍රිවරු අද මැතිසබේ නැත. දිනෙන් දින පක්‍ෂ පාට මාරු කරන අය බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ. මෙවැනි අංගුන්තරයන් පාර්ලිමේන්තු යවා ඔවුන්ට රටේ ජනතාවගේ සහ මතු පරපුරේ අනාගතය භාර දී බලා සිටිය හැකිද?

මේ වාචාලයින් සහ හොරුන් දියවන්නාවෙන් පන්නා දමා රට වෙනුවෙන් කටයුතු කරන සැබෑ මහජන නියෝජිතයින් තම නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට පත් කර යැවිම. පුරවැසියන් වන අපගේ යුතුකම සහ වගකිම වනු ඇත. පිරිසිදු බුද්ධිමත් නියෝජිතයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවක් ඉදිරියේ දී ගොඩනගමු. ඒ සඳහා හොඳ කල්කිරියාවේන් යුතු මානව වාදී සැබෑ දේශපාලන්ඥයින් ශී‍්‍ර ලංකාවට අවශ්‍ය වී ඇත.

ජගත් හේමචන්ද්‍ර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *