|

දේශද්‍රෝහී මත්තල සටන – සී.ජේ. අමරතුංග

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකට හදිසියේ මත්තල යාමට මතක් වී ඇති බව වාර්තා විය. ඔවුන් කඩිමුඩියේ එහි ගියේ තත්ත්වය සොයා බලන්නටය. ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා ඉන්දියාව සමඟ බදු ගිවිසුමකට එළඹීමට කටයුතු කිරීමේ ප්‍රවෘත්ති පළවීමත් සමඟ මොවුන්ට මේ කුලප්පුව ඇති වූ බව පැහැදිලිය. මේ ගමන සිදුකිරීමේ අරමුණ එම ගිවිසුමට විරෝධය ප්‍රකාශ කිරීමය. හැකිනම් එය නවතා දැමීමට කටයුතු කිරීමය.

මෙම කණ්ඩායම කියන්නට යන්නේ මෙය මහා අපරාධයක් බවය. ඔවුන් කියන්නේ මෙය මත්තල ඉන්දියාවට විකිණීමක් බවයි. ඒ ගැන ඒකාබද්ධ විපක්ෂයේ එක එක්කෙනා කියන්නේ වෙන වෙන කතාය. විමල් වීරවංශට අනුව මෙය මහා පාවාදීමකි. තවත් අයකුට එය න්‍යෂ්ටික තර්ජනයකි. මහ බලවතුන්ගේ බල අරගලයකි. ඔවුන් කියන්න හදන්නේ මත්තල ඔය තියෙන විදිහට තියෙන්න අරින්න කියා විය යුතුය. එවිට රටට විශාල ලාභයක් අත්වෙනවා කියා ඔවුන් සිතා සිටිනවා විය හැකිය.

මත්තල ගිය මෙම කණ්ඩායමට ඇත්තටම දැකගන්නට ලැබුණේ කුමක්ද? ක්‍රියාත්මක ගුවන් තොටුපොළක ලක්ෂණයක් ඔවුනට දැකගන්නට ලැබුණේ නැත. ගුවන්තොටුපොළක් කීවාට එක ගුවන් යානයක්වත් ඔවුනට දැකගත හැකිවූයේ නැත. එක ගුවන් මගියෙක්වත් එහි සිටියේ නැත. මගීන්ට සේවා සපයන කවුන්ටර සියල්ල වසා දමලාය. එහි සේවකයන් ලෙස සිටින උදවිය තැන තැන සිටියේ තම තමන්ගේ වැඩක් බලාගෙනය. යම් පිරිසක් එතැනට පැමිණි අමුත්තන් බලන්නට පැමිණියා විය හැකිය.

වියදමක් පමණයි

විපක්ෂයේ මන්ත්‍රී පිරිස මෙතැනට තමන්ට පක්ෂ මාධ්‍ය ආයතනවල පිරිසක් කැඳවාගෙන තිබිණි. ගුවන් මගීන් සඳහා තිබූ ආසනවල වාඩිවී මාධ්‍යයට ඡායාරූප අවස්ථාවක් ලබාදීමටද මන්ත්‍රීවරු කටයුතු කළහ. ආණ්ඩුව මත්තල නම් මේ මහා අනර්ඝ වස්තුව විකුණන්නට යනවාය කියා ඊළඟට මහා අඬහැරයක් පෑවෝය.

ඒකාබද්ධ විපක්ෂයේ මේ පිරිස කියන විදිහට නම් මත්තල ගුවන්තොටුපොළ කියා කියන මෙම ගොඩනැගිලි හා ඉදිකිරීම් ටික අතින් වියදම් කර ගනිමින් ඔහේ පවත්වාගෙන යා යුතුය. ඉඳහිට එහි පැමිණි ගුවන් යානාවලින් වසරකට ලැබුණු මුළු ආදායම රුපියල් මිලියන හැටපහකි. වසරක මෙය නඩත්තු කිරීම සඳහා වියදම මිලියන දෙදහස් පන්සියයකි. ඒ මුදල වියදම් කරමින් මෙය දැන් වසර පහක් තිස්සේ පවත්වාගෙන යනු ලබයි.

මත්තලට නිතිපතා පැමිණි අන්තිම ගුවන් යානයද පසුගියදා එම ගුවන් ගමන් අත්හිටුවා දැමීය. ඊට පෙර අනෙක් ගුවන් යානා ගමන් නතර කර දැමුවේය. ඒ එම ගමන් ආර්ථික වශයෙන් ලාභදායක නොවන නිසාය. ඒ කියන්නේ මෙතෙක් ලැබුණු ආදායමද අහිමි වන බවයි.

ලාභදායක හා ආදායම් ලබන ව්‍යාපෘතියක් බවට මත්තල ගුවන්තොටුපළ පත්කිරීමට අප රටට නොහැකි බව දැන් පැහැදිලි කාරණයකි. රාජපක්ෂ ආණ්ඩුවටද එය බැරිවිය. දැනුත් බැරිය. ඉතිරිව ඇත්තේ විකල්ප දෙකකි. එ‍කක් නම් මෙම ගුවන්තොට නඩත්තු කිරීමට තවත් වියදම් නොකර එය වසා දැමීමට කටයුතු කිරීමයි. එවිට අපට රුපියල් මිලියන දෙදහස් පන්සියයක් ඉතිරි කරගත හැකිය. දෙවැන්න නම් මෙය වාණිජ වශයෙන් වාසිදායක ව්‍යාපෘතියක් කර ගැනීමට සුදුසු පාර්ශ්වකරුවකු සමඟ ගිවිසුමකට එළඹීමයි. ආණ්ඩුව කරන්නට යන්නේ ඉන් දෙවැන්නයි.

මත්තල ගුවන්තොටුපොළ හඳුන්වන්නේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කියාය. ජාත්‍යන්තර කීවාට එයට දැන් දේශීය ගුවන් යානාවත් එන්නේ කලාතුරකිනි. එයට ජාත්‍යන්තර මාධ්‍යයෙන් විරුදාවලියක්ද ලබාදී තිබේ. එනම් ලෝකයේ හිස්ම ගුවන්තොටුපළ කියාය. ඒ කියන්නේ හැම තිස්සේම එය පාලු කාන්තාරයක් වගේ තිබෙන නිසාය.

අපූරු සටනක්

ඒකාබද්ධ විපක්ෂය මහ සටනක් ආරම්භ කොට ඇත්තේ එය එසේම තබාගන්නටය. විරුදාවලිය රැකගන්නටය. අපූරු සටනකි.

මෙම ගුවන්තොටුපළ ඉදිකිරීම මහින්ද රාජපක්ෂ රජයේ මෝඩ හා හිතුවක්කාර වැඩවලින් එකකි. මහින්ද රාජපක්ෂ මහතා දැක්කේ විශාල සංවර්ධිත නගරවල ගුවන්තොටුපළ හා වරාය තිබෙන බවයි. ඒ අනුව හිතුවේ වරායක් හා ගුවන්තොටක් කියා දෙයක් හැදූවිට එතැන මහ නගරයක් ඉදිවී සංවර්ධනය වන බව විය හැකිය. එම නිසා වරායක්ද ගුවන්තොටක්ද, ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක්ද, සම්මන්ත්‍රණ ශාලාවක් ද ඉදිකළේය. පාරවල්ද කාපට් කර දැම්මේය. හැබැයි එයින් මහ නගරයක් නම් ඉදිවූයේ නැත. රවි කරුණානායක මහතා කීවේ ගඟක් නැති තැනක පාලමක් දැම්මා ව‍ෙග් වැඩක් කියාය.

මහින්ද රාජපක්ෂ මහතා මේ වැඩ කළේ තනිකර හිතුවක්කාරයටය. මේවාට ‘සක්‍යතා අධ්‍යයන කළේ නැත. නීතිය’ හිතුවා කෙරුවා යන්නයි.

රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණ ආයතනය එම දිනවලම මෙයට විරුද්ධ විය. ඔවුන් කීවේ මත්තල හදනවාට වඩා කටුනායක තවත් ගුවන්පත ඉදිකොට සංවර්ධනය කිරීම වාසිදායක බවය. ඒ සමඟම හදිසි අවස්ථාවක් සඳහා පුත්තලම ගුවන් පථය සංවර්ධනය කළ හැකි බවය. පුත්තලම තිබෙන්නේ ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ගයන්ටද ආසන්නවය.

එසේ කීවද මහින්ද රාජපක්ෂ මහතා ඒවා ගණන් ගත්තේ නැත. ඔහු හිතුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළක් තිබෙනවා නම් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළක්ද තිබිය යුතු බව විය හැකිය. ඉතින් චිනුන්ගෙන් ණයට මුදල්ගෙන ගුවන්තොටුපළක් හදා නම දාගත්තේය.

මෙම ගුවන්තොටුපළ හැදුවේ පරිසරවේදීන්ගේද විරෝධය මැදය. මහ වනයක්ව තිබූ මෙම ප්‍රදේශයේ වන අලි ගහනය අධිකය. එමෙන්ම මෙය සංචාරක කුරුල්ලන් එන ප්‍රදේශයකි. මොනරුන්ගේද රජදහනකි. මත්තල ගුවන්තොටුපළ හදන්න වන අලි දෙසීයක් ප්‍රදේශයෙන් පළවා හරින්නට සිදුවිය. එසේ වුවද තවමත් එය වන අලි ගැවසෙන ප්‍රදේශයකි. කුරුල්ලන් වැදීම නිසා ඉඳහිට එන ගුවන් යානා ගණනාවකටද හානි සිදුවිය. මොනරුන් සම්බන්ධයෙන් තත්ත්වය එයමය. පසුගිය කාලයේ ප්‍රදේශයේ සතුන් එළවීමේ කටයුතුවලට වරකට තුන් සියයක් පමණ දෙනා යොදාගෙන තිබිණි. පසුව එයද තවත් වැඩි කරන්නට සිදුව තිබිණි.

මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා වියදම ඩොලර් මිලියන 209 කි. ඉන් ඩොලර් මිලියන 190 ක් චීනයේ එක්ෂිම් බැංකුවෙනි. ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියන 19 කි. චීනයෙන් ගත් මිලියන 190 දැන් පොලියත් සමඟ ගෙවිය යුතුය. මේ පළමුවන පියවර පමණකි.

ගුවන්තොටුපොළ ඉදිකොට ඇත්තේ ඕනෑම විශාල ගුවන් යානයක් ගොඩබාන්නට හැකිවන ලෙසටය. වසරකට ගුවන් ගමන් 30,000 ක් කළ හැකිය. මගීන් ලක්ෂ දහයක් ප්‍රවාහනය කළ හැකිය. ප්‍රවාහනය කළ හැකි භාණ්ඩ ප්‍රමාණය ටොන් 45,000 කි. මෙහි දෙවන පියවර සැලසුම් කොට තිබුණේ මගීන් ලක්ෂ පනහක් වසරකදී ප්‍රවාහනය කරන්නටය. ගුවන් ගමන් වාර 45,000 කටය. පළමු පියවරවත් සාර්ථක කරගත නොහැකි තැන දෙවන පියවර අත්හැර දමනු ලැබීය.

‘කවුරුවත් නැති ඈත කඳු මුදුනකට ගිහින් අපි ආප්ප කඩයක් දාගෙන ජීවත්වෙමු’ කියා පෙම්වතියක් පෙම්වතෙකුට කී බවට කතාවක් ඇත. එය විහිළු කතාවකි. එවැනි වැඩ සිහිබුද්ධිය ඇති අය කරන්නේ නැත. හැබැයි මහින්ද රාජපක්ෂ මහතා කර ඇත්තේ එබඳු වැඩය. මත්තල ඉන් එකකි. වැඩිය කවුරුත් යන නොඑන කැලෑවක ගුවන්තොටුපළක් දැමීමද කවුරුත් නැති පළාතක ආප්ප කඩයක් දැමීමට වඩා වෙනසක් නැත.

සාධාරණ මිලක්

වත්මන් ආණ්ඩුවට කල්පනා කරන්නට සිදුවූයේ මෙය ගොඩගන්නා ආකාරයයි. ඒ සඳහා ජාත්‍යන්තර වශයෙන් යෝජනා කැඳවන ලද්දේ 2016 දී ය. එයට කවුරුත් ඉදිරිපත් වූයේ නැත. ඉන්දියාවද දුන්නේ තුට්ටු දෙකේ යෝජනාවකි. ඔවුන් ගුවන්තොටුපළ මිලකර තිබුණේ ඩොලර් මිලියන 290 කටය. අප රට මිල කළේ මිලියන 325 කටය. වැඩේ නැවතී තිබුණේ එම මිලට ඉන්දියාව එකඟ නොවීම නිසාය. දැන් එයට එකඟ වී ඇත. මත්තලට වූ වියදම මිලියන 210 ක් නිසා 325 වටිනාකම සාධාරණය.

එසේ වටිනාකම තක්සේරු කළද විකිණීමක් සිදුවන්නේ නැත. සිදුවන්නේ වසර හතළිහක බදු ගිවිසුමක් යටතේ පැවරීමයි. ලාභය හෝ පාඩුව බෙදී යන්නේ ඉන්දියාවට සියයට හැත්තෑවක් හා ශ්‍රී ලංකාවට සියයට තිහක් වශයෙනි. දැන් මෙය ලාභදායක ව්‍යාපෘතියක් බවට පත්කිරීමට දෙරට එක්ව කටයුතු කළ යුතුව ඇත. ඒ සඳහා ප්‍රදේශයේ වෙනත් සංවර්ධන කටයුතු ද කිරීමට සිදුවෙයි.

මත්තල ගුවන්තොටුපළ දැන් තියෙන හැටියට තියාගෙන ඉන්නවාට වඩා කාට හෝ නිකම් භාරදී සංවර්ධනය කර ලාභගන්න කීවද රටට ලාභයකි. ගුවන්තොටින් ලාභ ගන්න නම් ප්‍රදේශයේ වෙනත් සංවර්ධන කටයුතු කළ යුතුව ඇත. කර්මාන්ත හා සංචාරක ව්‍යාපාර නැංවිය යුතුය. එයින් රටට අත්වන්නේ විශාල ලාභයකි. එමෙන්ම රැකියා හා ව්‍යාපාරික අවස්ථාද බිහිවෙනු ඇත. එම සංවර්ධනය පමණක් වූවද ප්‍රමාණවත්ය. දැන් ඇති කර ගන්න යන්නේ ඊට වඩා රටට වාසිදායක ගිවිසුමක් බව පෙනෙන්නට තිබේ.

අත යට ගැහිලි

රාජපක්ෂලා වැඩ කළේ මෙහෙම රට ගැන සිතා බලා නොවේ. ඔවුනට අවශ්‍ය වූයේ විශාල ලෙස මුදල් වියදම් වන ව්‍යාපෘතිය. ඒ මුදලින් ප්‍රතිශතයක් කොහේ හෝ කාගේ හෝ නමකින් ඇති බැංකු ගිනුමකට බැරවනු ඇත. ඒවා තවමත් සොයාගන්න බැරිය. යන්තම් එළියට එන්නේ මැතිවරණයට ලැබුණු සොච්චමකි. සොච්චම කීවාට එයද කෝටි සියයකට වැඩිය. එතකොට අත යටින් ගිය අනෙක් ගණන් ගැන හිතාගත හැකිය.

හම්බන්තොට වරාය සංවර්ධනයට චීනුන් සමඟ ගිවිසුම්වලට එළඹි මත්තල ගුවන්තොටුපොළ සඳහා ඉන්දියාව සමඟ ගිවිසුම්වලට එළඹීම ඒකාබද්ධ විපක්ෂයට පේන්නේ මහ බලවතුන්ට කොටස් බෙදාදීමක් වශයෙනි. එසේ වුවද ආණ්ඩුව කරමින් සිටින්නේ සියලු රටවල් සම්බන්ධ කරගනිමින් තුලනයක් ඇති කර ගැනීමය. එක් බලවතකුට යටවී ස්වාධීනත්වය නැතිවත තත්ත්වයකට පත්වීම වැළැක්විය හැක්කේ එවිටය. ඒ සඳහා ආණ්ඩුව චීනය, ඉන්දියාව මෙන්ම ජපානය සිංගප්පූරුව පමණක් නොව යුරෝපා රටවල් ද සම්බන්ධ කරගෙන ඇත. ආසියානු සංවර්ධන බැංකුව ව්‍යාපෘති රාශියකට දායක වී ඇත. ලෝක බැංකුව සහ තවත් ආයතන ආධාර දී ඇත. මෑතකදී වාර්තා වූයේ මාර්ග සංවර්ධනයට කෝටි අටදහසක් ණයක් ලෙස නොව ආධාරයක් ලෙස ලබාදීමට ඇමෙරිකාව එකඟ වී ඇති බවයි.

මොනවා කෙරුවත් තම ගම් ප්‍රදේශය සංවර්ධනය කිරීමටද සිහිනයක් මහින්ද රාජපක්ෂ මහතාට තිබුණා නම් අපට පෙනෙන්නේ දැන් රනිල් වික්‍රමසිංහ මහතා එම සිහිනය සැබෑ කරමින් සිටින බවයි. එසේ කරන්නේ මහින්ද බිහිකර තිබූ සුදු අලින් කොට අදින අලින් බවට පත්කර ගැනීමෙනි. මහින්දට කරන්න බැරි වූ දේ රනිල් කරනවිට ඒකාබද්ධ විපක්ෂයේ උදවියට එය දරාගන්නට බැරිය. ඒ නිසා හදන්නේ මොකක් හෝ වලියක් ඇද ගන්නටය.

හම්බන්තොට වරාය මෙන්ම මත්තල ගුවන්තොටද සංවර්ධනය කිරීමේ වාසි අත්වන්නේ ජනතාවටය. රටේම ජනතාවට මෙන්ම විශේෂයෙන්ම එම ප්‍රදේශවල ජනතාවට එම සංවර්ධනයේ වාසිය හිමිවෙයි. එය නවතන්නට වෙර දැරීමෙන් ඒකාබද්ධ විපක්ෂ‍ය කරන්නේ ජනතාවට තම ජීවන තත්ත්වය ඉහළ දා ගැනීමට තිබෙන අවස්ථා අහිමි කිරීමට උත්සාහ දැරීමයි. ඒ අනුව ඔවුන් කරන්නේ ජනතා ද්‍රෝහි ක්‍රියාවකි. එමෙන්ම එය රටට එරෙහිව කරන දේශද්‍රෝහී ක්‍රියාවකි.

සී.ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *