කොළ නැති ගහේ අවසන් ගමන – නිශාන්ත කමලදාස

මත් කුඩු ව්‍යාසනයක් සේ පැතිරී ඇත. ඒවා හසුවන්නේ ග්‍රැම් ගණනින් නොවේ. කිලෝ ග්‍රැම් ගණනිනි. පාර්සල් හෝ ගෝනිවලින් පමණක් නොවේ. කන්ටේනර් වලිනි. සිල්ලර ගනුදෙනු කෙසේ වෙතත් තොග ගණනින් ගනුදෙනු කරන සැටියක් පෙනෙන්නට තිබේ. ඒ අහුවෙන ඒවා ය. එහෙම අහුවෙන්නේ නැති ඒවා ද තවත් විශාල ලෙස තිබිය හැකි ය. සමහරු නම් කියන්නේ ලංකාව වෙනත් දේ සම්බන්ධයෙන් මධ්‍යස්ථානයක් වෙන්නට වලි කෑව ද අවසානයේ ලොවටම මත්ද්‍රව්‍ය සපයන මත් කුඩු මධ්‍යස්ථානයක් වී ඇති බව ය.

එහෙම බැලුවහම මේ තරහ මරහ සාධාරණ ය. මරලාවත් ඉවත් කළ යුතු යැයි යන හැඟීම ද සාධාරණ ය.

තරහ මරහ සාධාරණ වුව ද ඒ ඔස්සේ අනුගමනය කරන්නට යන නිශ්චිත වැඩ පිළිවෙළත් සාධාරණ ද යන්න අප විසින් විමසිය යුතු ය.

මත් කුඩු ව්‍යාසනය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කළ යුත්තේ මත්ද්‍රව්‍ය බෙදන අයට පමණ ද? ඒ අය එතැනට තල්ලු කළ සමාජය ඒ සම්බන්ධයෙන් වගකිව යුතු නැද්ද?

“අහිංසක“ කීකරු දරුවෙකු විය. ඔහු මිනීමරුවෙකු කළේ ඔහුගේ ගුරුවරයා ය. මිනිසුන් 999 ක් මරා අවසානයේ බුදුන්ගේ මැදිහත් වීමෙන් පැවිදිව රහත් වූයේ ඒ මිනීමරුවා ය. ඒඅංගුලිමාල ය. නැත, අහිංසක ය. ඒ යුගයේ මිනිසුන් අංගුලිමාල සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා පෙළපාලි ගියේ නැත. ආගමික නායකයෝ ඔහුගේ ජීවිතය ඉල්ලා කෑ ගැසුවේ නැත.

සමාජයට අත පිසදා ගත හැකි ද?

අපේ සංඝයා වහන්සේලා හා කාදිනල් මැල්කම් රංජිත් ද ඇතුළුව වෙනත් ආගමික නායකයින් අපරාධකරුවන් සම්බන්ධයෙන් රජයෙන් යුක්තිය ඉල්ලා සිටින විට, දණ්ඩනය ඉල්ලා සිටින විට, අමතක කරන කාරණය එය ය. අපරාධයන් හි වගකීම මුළුමණින් ඒ ඒ පුද්ගලයන් වෙත පවරමින් සමාජයකට අත පිස දා ගත හැකි ද?

ආගමික නායකයන් මේ වක්‍රකාරයෙන් කියන්නේ අපරාධ මැඩලිම සම්බන්ධයෙන් තමන් ෆේල් බව ය. ඇත්තටම මට සිතෙන්නේ සමාජයක් ලෙස ම අප ෆේල් බව ය. සැවොම කරන්නට උත්සහ කරන්නේ, සියලු පව්, අල්ලන අපරාධකාරයන් පිටින් යවමින්, තමන්ගේ අත් පිස දා ගැනීම ය.

වරදවා තේරුම් නො ගැනීම පිණිස තව දුර යන්නට මත්තෙන් තව යමක් සටහන් කළ යුතු ය. මේ කියන්නේ අපරාධකරුවන්ට දඬුවම් නොදිය යුතු බව නොවේ. උන් නිදහස් කොට සියල්ලේ වගකීම සමාජය වෙත පවරා ගත යුතු බව ද නොවේ. එහෙත් දිය හැකි උපරිම දඬුවම දී උන් තොලොංචි කොට, අප නිදහස් වීමේ, භයානක වෑයම ගැන නැවත සිතිය යුතු බව කියන්නට ය.

මත් කුඩු ව්‍යාපාරයට සම්බන්ධ බවට දේශපාලනඥයන් ගණනාවකගේ නම් සඳහන් වන්නේ කාලයක සිට ය. ඇතැම් දේශපාලනඥයන් හඳුන්වන්නේ ම “කුඩු“ යන විශේෂණය පදය නමට මුලින් දමා ය. පසු ගිය පාලන සමයේ එවැනි එක් දේශපාලනඥයෙක්ගේ නිවසක් පොලීසිය විසින් වටකරනු ලැබ, එම ආරංචියෙන් කම්පනයට පත් ව, රටේ ප්‍රධානියා ම ඔහු මුණ ගැසෙන්නට ගොස් සැනසුව බව, අමතක අය, මතක් කර ගන්නේ නම් හොඳ ය. ඒ අය අදට ද යහතින් ජීවත් වෙති. කුඩුවලට සම්බන්ධ යැයි කියන තවත් දේශපාලනඥයෙකු මිනීමැරුමකට අසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී රජය කරවන ඇත්තන්ගේ විශේෂ ආරක්ෂාව මැද වෙන රටකට හෙමින් සැරේ මාරු කළ බව ද මතක් කර ගැනීම හොඳ ය. කුඩු ගෙනා කන්ටේනරයක් පරීක්ෂා නොකර නිදහස් කරන්නට උපදෙස් ලැබෙන්නේ ද එවකට පැවති ආණ්ඩුවේ ඉහළම තැනකින් බව ද මතක් කර ගැනීම යහපත් ය. මේ සියල්ලෙන් කියවෙන්නේ කුමක් ද? මේ රැකැට්ටුවල නායකයන්ට ඉහළම දේශපාලන රැකවරණය ලැබෙන බව ය.

පොලීසියේ මහත්තැන්ට, මේ පාතාලයේ මැරයන්ට, සැලියුට් ගහන්නට සිදු වූ බව ද අප අසා ඇත. එපමණක් නොවේ. පොලීසියේ ම ඇතුළතින්මත් උන්ට සහයෝගය ලැබෙන බව ද කියවේ. නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට යන පොලීසියේ නිලධාරීන්ට මේ නිසා පොලීසිය තුළින් ම බලපෑම් එල්ල වෙන බව ද කියවේ.

දෙවැනි පෙළ අල්ලා ගැනීම

ඒ අනුව පොලීසියට අල්ලා ගත හැක්කේ හෝ පොලීසිය විසින් අල්ලා ගනු ලබන්නේ, දෙවැනි පෙළ ක්‍රියාකාරිකයන් පමණ ය. මෙහෙයවන අය පැත්තක සිටියදී දෙවැනි පෙළ ක්‍රියාකාරිකයන් කොළ නැති ගහේ යවන එක කෙතෙක් දුරට නිවැරදි වන්නේ ද? උන් මුළුමණින්ම අහිංසක යැයි අපි නොකියමු. එහෙත් උන් මුල් පෙළ නායකයෝ නොවෙති. මුල එලෙසම තිබිය දී, එයට රැකවරණය සපයන අතරතුර, පොඩි අතු කපා දැමීමෙන් සිදු විය හැක්කේ කුමක් ද?

වඩාත් උත්ප්‍රාසජනක කාරණය වන්නේ මෙසේ බන්ධනාගාර ගත කළ අයවළුන් එහි සිට මත්කුඩු ජාවාරම මෙහෙයවන බවට ඉහළින් ම ඇසෙන කතා ය. ඒ කියන්නේ මෙසේ බන්ධනාගාර ගත කර සිටින දෙවැනි පෙළට ද අවශ්‍ය සැප සම්පත් දැනටමත් ලැබෙන බව ය. ඔවුන් සාපේක්ෂ නිදහසක් ද නිල ආරක්ෂාවක් ද ලබමින් කටයුතු කරමින් ඉන්නා බව ය. ඒ කියන්නේ මේ ජාලය දේශපාලනය පොලීසිය හා බන්ධනාගාරය යන සියල්ල කෙරෙහි ආධිපත්‍ය පතුරුවමින් ක්‍රියාත්මක වන බව ය.

ඒ කිසිදු තැනකට අත නොතබා, පහත් තැනින් වතුර බැස යෑමට සලස්වා, කොළ නැති ගහේ එල්ලීම කොතෙක් දුරට සාධාරණ වන්නේ ද?

ඇතැම් විටක උන් එල්ලුම් ගස් යවා ඉවර කරන එක මුල්පෙළ නායකයන්ට අස්වැසිල්ලක් වන්නට ද ඉඩ තිබේ. ඒ තමන්ට විරුද්ධව කොයි වෙලේ හෝ ඉදිරිපත් විය හැකි සාක්කි මුළුමණින්ම ඉවත් කිරීමට ඒ මගින් හැකි වීම නිසා ය. ඉතින් අප නොදැනුවත්වම කරන්නේ ඒ අයගේ වුවමනාව ඉටුකිරීම ද?

සාක්කි ඉවත් කිරීම සඳහා නීති රීතිවලට පිටින් යමින්, හිරගෙදර ඝාතන නිල හමුදාව විසින් නොනිල මට්ටමෙන් සිදු කළේ යැයි වාර්තා වන රටක ජීවත් වන අපට, මේවා පිටුපස තිබෙන කතා තේරුම් ගැනීමට, බොහෝ පැති කඩ ගැන සිතන්නට සිදු වන්නේ ය.

මේ සියල්ල මොහොතකට පැත්තකින් තබා මේ පියවරෙන් කුමක් හෝ ආකාරයකට කුඩු ප්‍රශ්නයට විසඳුම් ලැබේ දැයි බලමු. වැරදි දෙයක් කර හෝ හරි ප්‍රතිඵලයක් ලැබේ නම් ඒ වැරදි දේ හරි යැයි සිතන ජනතාවක් අපට ඇති නිසා ඔවුන්ගේ කෝණයෙන් ද මේ දෙස බැලිය යුතු ය. මොකක් හරි කරල ඉවර කරල දාන්න යැයි කියන මේ ජනතාව ඇත්තටම අපේක්ෂා කරන්නේ ප්‍රතිඵල ය.

ඔවුන්ගේ සිතුවිලි සරල ය. මරණ දණ්ඩනය නිසා, මිනිසුන් ඊට බියෙන්, වැරදි නොකරනු ඇත. සියලු මිනිසුන් නැතත් සෑහෙන මිනිසුන් ගණනක් ඊට හීලෑ වෙනු ඇත. මේ කතාව නිවැරදි දැයි විමසිය හැක්කේ සංඛ්‍යාලේඛන පිරික්සීමෙනි.

සංඛ්‍යා ලේඛන

ලෝකයේ මිනීමැරුම් වැඩිම රටවල් 10 ආශ්‍රිත ව කරුණු විමසන විට පෙනී යන්නේ ඉන් රටවල් 6 ම මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන බව ය. එයින් කියවෙන්නේ කුමක් ද? දණ්ඩනය මිනීමැරුම් වැළැක්වීමේ ලා එහෙමට බලපෑමක් කර නැති බව ය.

ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ඔස්ට්‍රියාව, ෆින්ලන්තය, නවසීලන්තය, සිංගප්පූරුව, ස්විස්ටර්ලන්තය, කැනඩාව, චෙක් රට හා ස්ලොවේනියාව ලෝකයේ වඩාත් සුරක්ෂිත රටවල් දහය ය. මේ රටවල් අතුරින් මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ සිංගප්පූරුවේ පමණකි. එයින් පෙනී යන්නේ රටක සුරක්ෂිතතාවය ඇති කිරීමට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කිසිලෙසකින්වත් පූර්ව කොන්දේසියක් නොවන බව ය.

ද ඉකොනොමිස්ට් සඟරාව 2015 පළ කළ ලිපියකින් කියා සිටියේ රටවල් 32 ක මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දණ්ඩනයට නීති ඇතත් එය සැබැවින් ක්‍රියාත්මක වන්නේ රටවල් 6 ක පමණක් බව ය. අප මේ එකතු වන්නට හදන්නේ ඒ 6 දෙනාගේ කණ්ඩායමට ය.

සංඛ්‍යාලේඛන කෙසේ කීවත්, අපේ සාමාන්‍ය දැනුම කියන්නේ, දඬුවම වැඩි කළ තරමට ඊට ඇති පෙළඹීම අඩු කළ හැකි බව ය. ඒ නිසා මෙය අත්හදා බැලීමක් ලෙස හෝ ක්‍රියාත්මක කළ යුතු බව ය.

එල්ලා මැරීමට අලුගෝසුවන් තවම නැති නිසා අපට මේ සංවාදය තරමක් දුරට කර ගෙන යා හැකි ව තිබේ. ඒ නිසා ම මේ කියන කාරණය, එනම් දඬුවම වැඩි කළ තරමට පෙළඹීම අඩු වෙතැයි යන්න, ඔබේ විග්‍රහයක දී, ඉදිරි සංවාදයක දී, සැලකිල්ලට ගත හැකි පරිදි විමසන්නට බලමු.

යුද්ධ කාලයේ දී හමුදාවට බැඳුණු බොහෝ දෙනකු තමන් ගන්නේ අවදානමක් බව දැන සිටිය හ. එහෙත් වෙන අය අසු වුව ද, තමන් ඊට හසු නොවෙතැයි යන කුඩා විශ්වාසයක්, ඒ හැම කෙනෙකු තුළම, අවසානය දක්වා ම තිබුණි. මරණය ස්ථිර බවක් වටහා ගෙන මරණය මුණ ගැසිමට ඔවුන් හමුදාවට බැඳුණා නොවේ.

ගුවන්යානා අනතුරු ගැන සංවේදී කතා අපි අසමු. ගුවන් අනතුරකින් බේරෙන අය ස්වල්ප දෙනෙකු බව ද අපි ඒ කතා අතරතුර දැන ගනිමු. එහෙත් අප ගුවනින් නොයා සිටින්නේ නැත. ඒ ඇයි? වෙන අයට වුණාට අපට එහෙම එකක් වෙන එකක් නැතැයි සිතීමට අප ඉදිරිපත් වන නිසා ය.

මෝටර් සයිකල්වල ගමන් යන අයට වෙන අනතුරු ගැන අපි නිතර අසමු. එය අනතුරුදායක වාහනයකැයි දනිමු. එහෙත් පාරේ මෝටර් සයිකල් පදවන අය ඉන් අඩු වී නැත. දුම්පානයෙන් පෙනහළු පිළිකා වැළඳීමේ අතිවිශාල ඉඩක් ඇතැයි අපි නිරන්තරයෙන් අසමු. දුම් බොන අය මේ අසා මෙයින් ඉවත්ව තිබේ ද? නැත. එසේ පිළිකා නොහැදුන අය ද සිටින නිසා තමන් එවන් එක් කෙනෙකු වෙනු ඇතැයි ඔවුහු සිත හදා ගනිති.

දණ්ඩනයකට පාත්‍රවීමට ඇති ඉඩකඩ

මෙයින් පෙනෙන්නේ කිමෙක් ද? දණ්ඩනය තිබීමෙන් පමණක් සියල්ල විසඳෙන්නේ නැති බව ය. එයට පාත්‍රවිමට ඇති ඉඩකඩ ද අපරාධකරුවන් විසින් විමසන බව ය.

“මා කුඩු බිස්නස් එක කරන්නේ අහවල් අහවල් අයගේ ආශීර්වාදය හා රැකවරණය ඇතුව නම්, අල්ලා ගත්ත ද නඩු නැතිව නිදහස් විමේ ඉඩක් තිබෙන නිසා, මට එහි නිරත වීමට ලොකු අවුලක් නැත. අල්ලාගෙන නඩු දැම්ම ද උසාවියේ ඉහළම නීතිඥ මහතෙකුගේ සේවය මගේ සේවාදායකයා විසින් මට සපයනු ලබන නිසා නඩුවෙන් නිදහස් වීමේ ඉඩක් ද තිබේ. බලය යොදා සාක්කි වෙනස් කිරීමටත් මුදල් ගෙවා මිනිසුන් නිහඬ කිරීමටත් මගේ සේවාදායකයාට එතරම් අපහසුවක් නැත. නඩුවකින් අපේ සේවාදායකයා ලෙහෙසියෙන් පරාද වී නැත. ඒ නැතත් මගේ සේවාදායකයාගේ අනුහසින් ජනාධිපති සමාවක් මට ලබා ගැනීමට ද ඉඩක් තිබේ. ඒ නිසා ම මට හැඟෙන්නේ මරණය නැමැති දණ්ඩනය මට බොහෝ දුර බව ය. ලැබෙන ඵල ප්‍රයෝජන සංසන්දනය කිරීමේ දී මේ අවදානම සුළු දෙයකි. මේ අටමගලය නොවෙන්න ජීවත් වෙන්න වෙන්නේත් මැරිලා වගේ නිසා අන්තිමේ දී මැරෙන්න සිදු වුවහොත් එහි ද ඒ හැටි ගැටලුවක් නැත“. මෙහෙම හිතන කෙනෙකු මරණ දණ්ඩනය පැනවීම නිසා හීලෑ වෙයි ද?

ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අඩුලුහුඩුකම් බොහෝ ය. නඩු කල් යන්නේ දින මාස අවුරුදු ගණනින් පමණක් නොවේ. ඇතැම් විට දශක ගණනින් ය. ඒ අතර සාක්කිකරුවෝ මිය ගොසින් ද උන්ට අමතකව ගොසින් ද උන්ගේ උනන්දුව හීන වී ගොසින් ද තිබිය හැකි ය. ඒ වනවිට පැමිණිලි පාර්ශ්වය දහදොළොස් වතාවක් මාරු වී තිබිය හැකි ය. ඒ මාරුවන හැම වතාවක ම සාක්කි ද මූලාශ්‍ර ද උනන්දුව ද හැලී යන්නේ ය. මේ නිසා ම රටේ අපරාධ සම්බන්ධයෙන් චුදිතයෙකු වැරදිකරුවකු වීමේ ඉඩ ලෙස වාර්තා වන්නේ සියයට 7 ට අඩු ප්‍රමාණයකි. ඒ කියන්නේ ගැලවීමේ ශාක්‍යතාවය සියයට 93 ක් බව ය. එහෙම රටක මරණ දඬුවමින් වැඩක් වේ ද?

අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය අනුව නඩුවක් අවසාන කිරීමට යන සාමාන්‍ය කාලය සිද්ධිය සිදු වී වසර 17 කි. මරණ දඬුවම ලැබෙන විට චුදිතයා ස්වභාවික ලෙස ජීවිතයෙන් සමු අරගෙන සිටිය හැකි ය. එහෙම දඬුවමක් ගැන තැකීමක් කළ යුත්තේ කවුද? බොහෝ දෙනෙකු මරණ දඬුවම දෙන්නැයි කියන විට ඒ ප්‍රකාශ කරන්නේ මෙවැනි කරුනු කාරණා ගැන වගේ වගක් නැතුව ය. මෙතෙක් වේලා මේ ලිපිය කියවන්නට ඔබට සංයමයක් තිබුණේ නම් ඔබ දැන් මා වෙත දමා ගසන්නට ප්‍රශ්නයක් ගොනු කරමින් ඉඳීමේ ඉඩකඩක් තිබේ. “හොඳයි, මේ ගැන කළ යුතු යැයි ඔබ කියන්නේ කුමක් ද?“. දැන් අප වෑයම් කරන්නේ ඒ සාධාරණ ප්‍රශ්නයට පිළිතුරු බැඳීමට ය.

කළ යුත්තේ කුමක් ද?

මත්ද්‍රව්‍ය බහුලව භාවිතා කරන්නේ තරුණ පරපුර ය. ඔවුන්ට අධ්‍යාපන අවස්ථා සීමිත ය. රැකියා අවස්ථා සීමිත ය. ව්‍යාපාරික අවස්ථා සීමිත ය. ඒවාට තිබෙන වැට කඩොලු අසීමිත ය. මේ නිසා ඇති ව තිබෙන අසහනය අති විශාල ය. ඒවා වඩා පළල් කිරීමට රජය ගන්නා උත්සහයන් පවා කඩා දැමීමට පේවී ඇති බලවේගවල ගොදුරු බවට මේ සීමිත කඩ ඉඩ පැන ගත් තරුණ තරුණියන් ම එකතු වී කරන නාඩගම් බලන්නට සෙසු තරුණ තරුණියන්ට සිදු වී තිබීමේ කරුමය ද අති මහත් ය.

ආතතිය පීඩනය ඇති කිරීමට තරම් අනවශ්‍ය තරගයකට උන් යොමු කරවා තිබේ. උන්ව බැඳ තැබීමට ක්‍රියාත්මක වන දහසක් බලවේග මේ සමාජය තුළ ක්‍රියාත්මක වේ. පාසල, ආගම, රජය, පොලීසිය, සමාජය යන මේ හැම එකකින්ම පනවන්නේ තහංචි ය. පිරිමි ළමයෙකු ගැහැනු ළමයකුගේ අතින් අල්ලාගෙන ඇවිදීමටවත්, කුඩයක් යටට වී දොඩමළු වීමටවත්, බැරි ආකාරයේ තහංචි ය. තමන්ට රිසි ඇඳුමක් ඇඳ සිටීමටවත් නොහැකි ලෙස පනවා ඇති සමාජ තහංචි ය. මේ වැට කඩොලු, බැඳීම්, ආතතිය හා තහංචි සිහියෙන් කඩන්නට බැරි තරමට දරුණු ය. ඒවා කැඩිමට ශක්තිය සපයා ගන්නේ විවිධ මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙනි.

සමාජය විසින් මත්ද්‍රව්‍ය වැපිරීමට අපූරු තෝතැන්නක් මේ ලෙස බිහිකර තිබේ. වැඩි අමාරුවක් නැතිව ම මත්ද්‍රව්‍ය විකිණිය හැකි වාතාවරණයක් ඇති කර තිබේ. ඊට සාමාන්තරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඉහළින් සහයෝගය ද රැකවරණය ද නොඅඩුව ලැබේ.

අප කළ යුත්තේ මේ තත්වයේ වෙනසක් කිරීම ය. එය ලෙහෙසි පහසු නැත. එයට කල් ගත වෙන්නේ ය. එහෙත් කළ යුතු ව තිබෙන්නේ ද එය ය. මහා ප්‍රශ්නවලට කුඩා විසඳුම් නැත. කාලයක් තිස්සේ ක්‍රමයෙන් විකාශනය වුණු, ඔඩු දුවා ගිය, ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් නැත.

කළ යුතු දේ නොකර මත්ද්‍රව්‍ය විකුණා අසුවන අය පමණක් කොළ නැති ගහේ යැවීමේ ෂෝට්කට් එකේ එල්ලීමෙන් අපට ළඟා කර ගත හැක්කේ කුමක් ද? එක පැත්තකින් යමක් කළේ යැයි හිත හදා ගැනීම ය. අනිත් පැත්තෙන් කළ යුතු, එහෙත් නොකරන දේ, මිනිසුන්ගෙන් සඟවා තැබීම ය. තවත් පැත්තකින් මරණ දඬුවම තවදුරටත් ක්‍රියාත්මක වන රටවල් හයේ ගැන්සියට පැනීමට ය. ඒ ඇරෙන්නට මේ හදිසි තීන්දුවෙන් කළ හැකි යමක් නැත.

අලුගෝසුවෙකු නොමැති වීමේ විරාමයෙන් ඉඩ හසර පාදා ගෙන මේ තීරණය නැවත විමසිය යුතු ය. ආවේගශීලී මිනිසුන්ගේ විසිල් හඬින් නිර්මල තර්කයන් සහ හේතු ඵල සංවාදයන් නොගිලී යා යුතු ය. ඒවා යටපත් නොකර මතු කර ගත යුතු ය. කළ යුතු දේ මතු කර ගෙන, එය කිරීමට, උත්සුක විය යුතු ය.

නිශාන්ත කමලදාස

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *