අපරාධය සහ දඬුවම – එම් ඕ ඒ ද සොයිසා

 

 

 

 

 

 

බරපතළ අපරාධකරුවන්ට මරණ දඬුවම නියම කළ යුතුද? මේ සම්බන්ධයෙන් පුළුල් සමාජ කථිකාවතක් මේ වනවිට සමාජය පුරා පැතිරෙමින් පවතී. සමාජ කථිකාව ආරම්භ වූයේ බරපතළ ඝනයේ මත්ද්‍රව්‍ය අපරාධකරුවන්ට මරණීය දණ්ඩනය පැමිණවිය යුතු බවට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කිරීමෙන් පසුවය. ජනාධිපතිවරයාගේ තීරණයට පක්‍ෂව මෙන්ම විපක්‍ෂවද මේ දිනවල විවිධ අදහස් ප්‍රකාශ වන ආකාරය දැකිය හැක.

ජනාධිපතිවරයාගේ තීරණයට පක්‍ෂව අදහස් දක්වන අය කියා සිටින්නේ රටපුරා වේගයෙන් පැතිර යන මත්ද්‍රව්‍ය භාවිතය සහ වෙනත් සාහසික අපරාධ මර්දනය කිරීම සඳහා මරණ දඬුවම පැමිණවීම සාධාරණ සහ යුක්ති සහගත වන බවය. එවැනි බරපතළ ඝනයේ දඬුවම් දීමකින් තොරව වේගයෙන් පැතිරී යන අපරාධ රැල්ල මර්දනය කළ නොහැකි බව මෙම කණ්ඩායම තවදුරටත් කියා සිටී. මෙම අය දරන මතය වන්නේ වරදට දඬුවම් පැමිණවීම අවශ්‍ය දෙයක් වන බවත්, උපරිම වරදට උපරිම දඬුවම් පැමිණවීම කිසිසේත්ම අයුක්ති සහගත සහ අසාධාරණ ක්‍රියාවක් නොවන බවත්ය. එසේ නොකළහොත් මිනිසුන් පොදු පාලනයකට යටත් කොට පොදු සමාජ අභිවෘද්ධිය සඳහා ඉදිරියට මෙහෙයවීමට නොහැකි බව ඔවුන් තවදුරටත් කියා සිටී.

අනෙක් අතට මරණ දඬුවම පැමිණවීමට එරෙහිව අදහස් දක්වන අය කියා සිටින්නේ එය සාධාරණ සහ යුක්ති සහගත ක්‍රියාවක් නොවන බවය. ඔවුන් දක්වන ආකාරයට දඬුවම් දීමේ අරමුණ විය යුත්තේ අපරාධකරුවන් පුනරුත්ථාපනය කර සමාජයට වැඩදායි පුද්ගලයින් බවට පත් කිරීමය. නමුත් මරණ දඬුවම දීමෙන් එම අරමුණ ඉටු නොවේ. ඔවුන් තවදුරටත් දක්වන ආකාරයට මරණ දඬුවම පැමිණවීම මගින් මිනිස් ජීවිතයක වටිනාකම නොමනා ලෙසින් සහැල්ලූවට ලක්කරන අතර එමගින් මිනිසා අත් විඳින වේදනාව ද අනුකම්පා විරහිතව නොසලකා හැර ඇත. මරණ දඬුවම දීමෙන් පෙන්නුම් කරන්නේ පළිගැනීමට ඇති ආශාව බව ප්‍රකාශ කරන මෙම අය වැඩි දුරටත් කියා සිටින්නේ එමගින් යළිත් වරක් පෙන්නුම් කරන්නේ දතට-දතක්, ඇසට- ඇසක් ඉල්ලීමේ මෘග ගෝත්‍රික ගතිගුණය ප්‍රකාශ වීම බවය.

ඔවුන්ගේ අදහස වන්නේ මරණ දඬුවම පැමිණවීම අපරාධ වැළැක්වීමේ කාර්යක්‍ෂම නිවාරණයක් නොවන බවය. එබැවින් මරණ දඬුවම පැමිණවීම අපරාධ නිවාරණය කිරීමේ මාර්ගයක් හැටියට භාවිතයට ගැනීමට යමෙකු ඉලක්ක කරගෙන එය ක්‍රියාවට නංවනවා නම් එමගින් අපරාධ සිදුවීම වැළැක්විය නොහැකි බවත් එය අපරාධ වැළැක්වීමේ නිරර්ථක ප්‍රයත්නයක් පමණක් වන බවත් මරණ දඬුවම පැමිණවීමට විරුද්ධ අය තවදුරටත් කියා සිටී. මේ සියල්ලට වඩා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට විරුද්ධ අය පවසන්නේ එමගින් මිනිසා සතු අයිතිවාසිකම් අතුරින් ප්‍රධානම සහ මූලිකම අයිතිවාසිකම වූ ජීවත් වීමේ අයිතිය උදුරා ගන්නා බවය. මෙය ශීලාචාර සමාජයක සිදු නොවිය යුතු දෙයක් හැටියට ඔවුන් දකින්නේ.

ඉහතින් දැක්වූයේ මරණ දඬුවම පැමිණවීම සම්බන්ධයෙන් මේ දිනවල පැතිරී පවතිමින් තිබෙන කථිකාවතේ පැතිකඩ දෙකය. එමගින් පෙන්නුම් කරන්නේ මරණ දඬුවම පැමිණවීම සම්බන්ධයෙන් පොදු සමාජ අභිමතයක් නොමැති බවය. මෙහි දී මතුවන ප්‍රශ්නය වන්නේ ඉහත සඳහන් ප්‍රතිවිරුද්ධ මත දෙකෙන් පිළිගත යුත්තේ කුමන මතයද යන්නය. වෙනත් ආකාරයකට කියනවා නම් මරණ දඬුවම පැමිණවීම සාධාරණය යන මතයද නැතිනම් එය අයුක්ති සහගත සහ අසාධාරණ ක්‍රියාවක් ලෙස සලකමින් ප්‍රතික්ෂේප කරන මතයද යන්නය. මේ පිළිබඳ අවසාන තීරණයකට එළඹීමේ දී ප්‍රථමයෙන්ම කිවයුතු කරුණ වන්නේ ආගම, සදාචාරය, පව්-පින් සහ හැඟීම් යනා දී විඥානවාදී කරුණු පදනම් කරගෙන නීතිය දෙස නොබැලිය යුතු බවය. නීතිය දෙස බැලිය යුත්තේ නීතිය අනුවම විනා නීතියට පරිභාහිර කරුණු පදනම් කරගෙන නොවේ. මේ අනුව බැලීමේ දී පෙනී යන්නේ අපරාධය සහ දඬුවම එකිනෙකින් වෙන්කළ නොහැකි අන්‍යෝන්‍ය වශයෙන් එකට බැඳී පවතින ක්‍රියාවන් දෙකක් වන බවය.

මෙයින් ගම්‍ය වන අදහස ඉතාම පැහැදිලි වේ. එනම් අපරාධය අනිවාර්යයෙන්ම දඬුවමක් හා සම්බන්ධ වන බවය. මෙම දඬුවම සරල අවවාද කිරීමේ සිට මරණීය දණ්ඩනය තෙක් වෙනස් විය හැක. දඬුවම් ක්‍රියාවට නැංවීමේ දී සළකා බැළිය යුත්තේ දඬුවමේ බරපතළකම නොව කරන ලද අපරාධයට ලබා දී තිබෙන දඬුවම සාධරණ සහ යුක්ති සහගත එකක් වනවාද යන්න සහ එය නියම කර තිබෙන්නේ සාධාරණ සහ යුක්ති සහගත පදනමක් මතද යන්නය. මේ අනුව නියම කර ඇති සාධාරණ සහ යුක්ති සහගත දෙයක් වනවා නම් සහ එය නියම කර තිබෙන්නේ රටේ පවතින නීතියට අනුව පවත්වන ලද සාධාරණ, යුක්ති සහගත හා අපක්‍ෂපාතී විනිශ්චය කිරීමකින් පසුව නීතියට අනුව ස්ථාපිත කරන ලද අධිකරණයක් විසින් නම් එම දඬුවම අසාධාරණ සහ අයුක්ති සහගත දෙයක් ලෙස හැඳින්වීම කිසිසේත්ම නොකළ යුතු දෙයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

එසේ කරන්නේ නම් එහි අවසාන ප්‍රතිථලය වන්නේ සමාජය තුළ නීතිය හා ස්ථාවරභාවය පවත්වා ගෙනයාමට නොහැකි වීමය. දඬුවම් කළයුතු අවස්ථාවක දී එය නොකර හැරීමෙන් පැන නැගිය හැකි සමාජ අස්ථාවරභාවය බරපතළ අපරාධකරුවෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කොට සමාජයෙන් එම පුද්ගලයා තුරන් කර දැමීමට වඩා භයානක ප්‍රතිඵල ගෙනදිය හැක. මෙයින් එක් දෙයක් පැහැදිලි වේ. එනම් ආගම, පව්පින් සහ ශීලාචාරවාදය යන කරුණු පදනම් කරගෙන මිනිස් සමාජයක් පාලනය කළ නොහැකි බවය. මිනිස් සමාජයක් පාලනය කිරීමේ අත්‍යවශ­්‍යයම කොන්දේසියක් වන්නේ අපරාධයට දඬුවම් කිරීමය. මරණ දඬුවම පැනවීම දඬුවම් කිරීමේ ක්‍රියාදාමයේ එක් දඬුවමක් පමණක් වේ. එය කළ යුතුම දෙයක් නම් කළ යුතුමය. නොකර සිටීම සමාජයේ පොදු යහපත් පැවැත්මට කරන ද්‍රෝහි කමක් වේ.

භයානක අපරාධකරුවෙකුට වඩා වටින්නේ සමස්ත සමාජයේ යහපත් පැවැත්ම බව මෙහි දී අමතක නොකළ යුතුය.

මිනිස් සමාජයක් පාලනය කිරීම හා දඬුවම් කිරීම අතර පවතින සම්බන්ධතාව කුමක්ද යන කරුණ කෙරෙහි අවධානය යොමු කිරීම මෙහි දී අවශ්‍ය වේ. මිනිස් සමාජයක් ගොඩනැ‍ඟී තිබෙන්නේ තනි පුද්ගලයෙකුගෙන් හෝ පුද්ගලයින් දෙතුන් දෙනෙකුගෙන් නොවේ. මිනිස් සමාජයක් සමන්විත වන්නේ මිනිසුන් ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රමාණයකගෙන්ය. මේ අය සමානරූපී පුද්ගලයින් නොවේ.

ශාරීරික වශයෙන් මෙන්ම ගතිගුණ හා සිරිත් විරිත් අතින්ද මේ අය එකිනෙකට වෙනස් වේ. විවිධත්වය මිනිස් සමාජය හා බැඳී පවතින අනිවාර්ය ලක්‍ෂණය වේ. මිනිස් සමාජයක් අභිවෘද්ධිය කරා යාම සඳහා අනිවාර්යයෙන්ම කළයුතු දෙය වන්නේ මිනිස් සමාජය වෙලාගෙන සිටින විවිධත්වය යටපත් කොට අභිවෘද්ධිය කෙරෙහි බලපාන පොදු කරුණු සම්බන්ධයෙන් ඒකීයත්වයක් ගොඩනගා ගැනීමය. මෙය කළ හැක්කේ මිනිසුන් පාලනයකට යටත් කිරීමෙන් පමණි. නීති අවශ්‍ය වන්නේ මේ සඳහාය.

නීති මගින් ඉටුකරන ප්‍රධාන කාර්යයන් තුනක් තිබේ. එයින් පළමුවැන්න වනුයේ මිනිසුන්ගේ විවිධත්වය පාලනය කරමින් ඔවුන් පොදු සමාජ ජීවිතයකට අනුගත කිරීමය. දෙවැන්න වන්නේ සමූහ ජීවන පැවැත්මකට හුරුපුරුදු කිරීමය. තුන්වැන්න වනුයේ ඉහත දැක්වූ පළමු සහ දෙවන ක්‍රියාමාර්ග හරහා සමාජය අඛණ්ඩව පවත්වා ගෙන යාමය. මෙයින් පැහැදිලි වන එක් වැදගත් කරුණක් තිබේ. එනම් යම් අයකු නීතිය කඩ කරන්නේ නම් එම පුද්ගලයා විසින් ඉහත දැක්වූ යහ සමාජ පැවැත්ම සඳහා අවශ්‍යයෙන්ම තිබිය යුතුයැයි පිළිගැනෙන මූලික කොන්දේසි තුනම කඩ කරන බවය. එසේනම් එවැනි පුද්ගලයකු අනිවාර්යයෙන්ම සමාජ ද්‍රෝහියකු වේ. සමාජ ප්‍රගමනයේ සතුරෙකු වේ. නීතිය මගින් කරනුයේ මෙවැනි සමාජ ද්‍රෝහීන්ට දඬුවම්කිරීමය. මෙයින් පෙනී යන්නේ සමාජ ක්‍රමයක යහපත් පැවැත්ම සඳහා මෙන්ම සමාජ ක්‍රමයේ අඛණ්ඩ පැවැත්ම සඳහාද අපරාධ කරන සමාජ ද්‍රෝහීන්ට දඬුවම් කිරීම අනිවාර්යයෙන්ම කළයුතු බවය.

මේ අනුව බලනවිට යළිත් වරක් කිව හැක්කේ මීට ඉහතින්ද දැක්වූ පරිදි අපරාධය සහ දඬුවම එකිනෙකට සම්බන්ධ එකිනෙකින් වෙන්කළ නොහැකි ක්‍රියාවන් දෙකක් වන බවය.

වෙනත් ආකාරයකට කියනවා නම් එකම කාසියක දෙපැත්ත හා සමාන වන බවය.. එකක් අනෙකෙන් වෙන්කළ නොහැක. වෙන් කිරීමට ගියහොත් සිදුවන්නේ යහපතක් ඇතිවීම නොව සමස්ත සමාජ ක්‍රමයම විනාශ වී යාමය. මෙයින් එක් දෙයක් තේරුම් ගත යුතුය. එනම් යමෙකු අපරාධයක් කරන්නේ නම් එයට නියමිත විඳීමටද අපරාධය කරන්නා ලැහැස්ති වී සිටිය යුතු බවය.

අපරාධකරුවෙකුට මරණ දඬුවම නියම කිරීම කෙරෙහි අදාළ වන්නේද මෙම නියමයයි. කරන ලද අපරාධයට නියමිත දඬුවම මරණ දඬුවම නම් එය එයාකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය. ඒ දෙස බැලිය යුත්තේ සදාචාරය හෝ පින්පව් අනුව නොව කරන ලද අපරාධයේ ස්වභාවය හා එහි ත්‍රීවතාව පදනම් කර ගෙනය. සදාචාරය හෝ පින්පව් මත දඬුවම දෙස බැලීමට ගියහොත් සිදුවන්නේ නීතිය සතු ගෞරවය හා අභිමානය නැති වී යාමය. නීතිය සහැල්ලූවට ලක්වීමය. නීතියේ ආධිපතිත්වය බිඳ වැටීමය. මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය විය හැක්කේ සමාජය අනධිකාරී තත්ත්වයකට පත්වීමය. මෙයින් එළඹිය හැකි අවසාන නිගමනය කුමක්ද? මරණ දඬුවම නියම කිරීම යහපත් සමාජයක පැවැත්ම සඳහා තිබිය යුතු නීතිමය අවශ්‍යතාවක් වන්නේ නම් එය ක්‍රියාවට නැංවීම අයුක්ති සහගත හෝ අසාධාරණ ක්‍රියාවක් නොවන බවය.

මරණ දඬුවම මගින් අපරාධ මුළුමණින් නිවාරණය කළ නොහැකි බව සත්‍යයක්ය. නමුත් මරණ දඬුවම මගින් අපරාධ යම් ප්‍රමාණයකින් වාරණය කිරීමට හැකියාව තිබෙනවාය යන තර්කයද මෙහි දී නොසලකා නොහැරිය යුතුය. මිහිපිට මිනිසුන් වාසය කරන තුරු අපරාධ මුළුමණින්ම නිවාරණය කළ නොහැක. එසේවූවද මරණ දඬුවම පැමිණවීම මගින් අපරාධ ඇතිවීම යම් ප්‍රමාණයකට පාලනය කළහැක. හේතුව අපරාධ මුළුමණින්ම නැතිකිරීමට හැකිවීම නොව මරණ දඬුවම ක්‍රියාවට නැංවීම මගින් සමාජයට හානිකර එක් අපරාධකරුවකු හෝ මෙලොවින් තුරන් කිරීම හේතුවෙන් සමාජය තුළ ඇතිවන මරණ බය නිසා අපරාධ කිරීමට මිනිසුන් තුළ ඇතිවන නැමියාව යම් ප්‍රමාණයකට හෝ පාලනය කිරීමට හැකිවීමය. මරණ දඬුවම ක්‍රියාවට නැංවීම හෝ නොනැංවීම පිළිබඳව තීරණය කළ යුත්තේ මෙම පදනම මතය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *