රාජපක්ෂලාට අපල කාලයක් – අකුරැස්සේ වින්සන්ටි ප්‍රනාන්දු

මෙය රාජපක්ෂලාට තොප්පි පිට තොප්පි වැටෙන කාලයක් යයි කියන්න පුළුවනි. මල්වානේ ඉඩම් ප්‍රශ්නය, ඩේසි ආච්චිගේ සහ බේබිගේ දේපොළ පිළිබඳ කතාන්දර, සිරිලිය සවිය ගිණුම, සිල්රෙදි බෙදීම, ලිත් පොත් මුද්‍රණය, මව්පිය සමරු ස්මාරක, ෂැන්ගිලා ඉඩම ආදිය ජනතාවට අමතක වන්නට හැර, පළාත් පාළන ඡන්දය යන්තමින් තලා ගන්නට රාජපක්ෂ පවුලේ පක්ෂය වන පොහොට්ටුවට පුළුවන් වුණා. එම ජයග්‍රහණය එක්තරා අකාරයකට රාජපක්ෂවරුන්ගේ දක්ෂකමටත් ජනප්‍රියකමටත් වඩා ආණ්ඩුවේ මන්දගාමී බව නිසා ඇති වූ තත්ත්වයක් වශ‍යෙනුත් සලකන්න පුළුවනි. හේතුව, ඉහත සඳහන් වංචා දූෂණ ගැන කඩිනමින් පරීක්ෂ සිදුකෙරුණා නම් රාජක්ෂවරුන් මේ වන විට සිටිය යුත්තේ පාර්ලිමේන්තුවේ හෝ වියත්මග හෝ එළිය වේදිකාවේ නොව හිර ගෙවල්වල වන නිසයි.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලත් සමග නැවත වටයකින් පිම්බෙන්නට රජපක්ෂවරු උත්සාහ කළේ ගෝඨාභය රාජපක්ෂට නැති වීරත්වයක් ප්‍රබුද්ධත්වයක් බුද්ධියක් ආරෝපණය කරමින් බව පෙනෙන්නට තිබුණා. මුලින් එළිය නමැති ව්‍යාපාරය හරහා එසේ කරන්නට ඔවුන් උත්සාහ කළ නමුත් එය හිතූ තරමට සාර්ථක වුයේ නැහැ. ඒ නිසා මෙවර අලුත් වටයකින් වියත්මග නමැති නාම පුවරුවට මුවා වී ගෝඨා පුම්බන්නට උත්සාහ ගත්තා. එය අසාර්ථක වූයේ වෙඬරුවේ උපාලි හාමුදුරුවන්ගේ කාලීන ධර්ම දේශනාව නිසායි. ‘කට බොරු කීවත් දිව බොරු කියන්නේ නැහැ’ කියා කතාවක් ජන වහරේ තියෙනවා. වෙඬරුවේ උපාලි හාමුදුරුවන්ටත් සිදු වූයේ එයමයි. ගෝඨාභය යනු සුපින්වත් මහත්මයකු ලෙස වේශ නිරූපණය කිරීමේ උත්සාහයක තමන් යෙදී ඉන්නා බව උන්වහන්සේට අමතක වී ගෝඨාගේ සැබෑ ස්වරූපය එනම් ඔහු හිට්ලර් පන්නයේ ඒකාධිපති අදහස් තියන ආඥාදායකයකු බව උපාලි හාමුදුරුවන් ගේ කටින් පැන්නා. හිට්ලර් වගේ හරි රට හදන්නයි උන්වහන්සේ කීවේ, බලය ලැබුණ විගස රාජපක්ෂවරු ගමන් කරන්නේ හිට්ලර් වාදයකට බව උන්වහන්සේගේ යටි හිත දන්න නිසයි.

වෙඬරුවේ හාමුදුරුවන්ගේ වචන වල දෝෂය හරින්නට පොහොට්ටු කල්ලිය ගත් සෑම උත්සාහයක්මත් කෙළවර වන්නේ ගෝඨා යළි යළිත් ඒ මඬවළේම එරීමෙන්. ගෝඨාභය යනු යහපත් පවුල් දිවියක් ඇති එනම් ඒකභාර්යා පිළිවෙත අනුගත නිර්මාංශිකයකු බවට මතයක් ගොඩනගා ගෝඨා බේරා ගන්නට ඩලස් අලහප්පෙරුම මහතා ගත් උත්සාහය එවැන්නක්. ඒ උත්සාහයත් ලත් තැනම ලොප් වුයේ හිට්ලර් ද ඒකභාර්යා වෘතය අනුගමනය කළ නිර්මාංශිකයකු බව හෙළිදරව් වූ නිසයි. බහුභාර්යා සේවනයේ නොයෙදෙන මස්මාංශ අනුභව නොකරන තැනැත්තෙකුට වුවත් වියරු මනුෂ්‍ය ඝාතකයකු ආඥදායකයකු විය හැකි බව ඒ ඔස්සේ ජනතාවට තහවුරු වුණා. තවත් අතකින් ගත් විට හිට්ලර් යනු චිත්‍ර ශිල්පියෙක්. ඒ අනුව කලාකාරයකුට වුවත් වියරු ඒකාධිපතියකු වන්නට පුළුවනි.

ගෝඨාභයගේ තොප්පිය ගලවා ගත නොහැකිව වටපිට බලමින් සිටි රාජපක්ෂවරුනට ඊළඟ තොප්පිය වැටුණේ මෙරටින් නොව ගෝඨාගේ දෙවැනි මව්බිම වන ඇමරිකා එක්සත් ජනපදයෙන්මයි. ඒ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් පළකළ ලිපියක් හේතුවෙන්. How China got Sri Lanka to caught UPA port  නැතහොත් ‘වාරයකින් වන්දි ගෙවන්නට චීනය ලංකාව පත්කළ ආකාරය’ නමැති ලිපිය මගින් මාරිය අබි හබ්බි නමැති ඇමරිකානු පුවත්පත් කලාවේදිනිය හෙළිදරව් කළේ, 2015 ජනවාරි ජනාධිපතිවරණ සමයේ චයිනා වාරාය සමාගමේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකු ගිණුමෙන් අවම වශයෙන් ඩොලර් මිලියන 7.6ක් රාජපක්ෂ ඡන්ද ව්‍යාපාරයේ සම්බන්ධීකාරකයන්ට මුදා හැර ඇති බවයි. ඡන්දයට දින 10 කට කලින් ඩොලර් මිලියන 3.7ක් චෙක්පත් කීපයකින් මුදාහැර තිබුණු බව එම ලිපියෙන් අනාවරණය කළා.

ඒ වනතුරු නාමල්ට, බැසිල්ට, ගෝඨාට, ශිරන්තිට දූෂණ වංචා චෝදනා ඍජුව එල්ල වී තිබුණත් මහින්ද රාජපක්ෂ මහතා හිරියේ මගේ අත්වල ජරාව නැහැ කියා පෙන්වමින්. නමුත්, නිව්යෝර්ක් ටයිම්ස් හෙළිදරව්ව නිසා මහින්දගේ හෙළුව රට ඉදිරියේ විතරක් නෙමෙයි ලෝකය ඉදිරියේත් නිරාවරණය වුණා. රට බේරාගත් වීරයා රට පාවාදී රට ණය උගුලක කොටුකර ඡන්ද අල්ලස් ගත් ආකාරය එයින් රටම දැන ගත්තා.

දැන් අලුත්ම වටයකින් එල්ල වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ දයාබර නෑනණ්ඩියක වන පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ කැරැට්ටුවයි. පුෂ්පා රාජපක්ෂ යනු අන්කිසිවකු නොව හිටපු සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ බිරියයි.

මෙවර හෙළි වී ඇති කරුණු අනුව 2012 වසරේ දී රුපියල් මිලියන 19.41ක මුදලක් පුෂ්පා රාජපක්ෂ පදනමේ ගිණුමට ලැබී තිබෙනවා. එම මුදල් ලැබී ඇත්තේ කළම්බු ඉන්ටර්නැෂනල් කර්ටේනර් ටර්මිනල් සමාගමට අයත් හොංකොං ඇන්ඩ් ෂැංහයි බෑංකිං කෝපරේෂන් (HSBC)චෙක් පතකින්. දිනය 2012 මැයි 21 චෙක්පත ලියා ඇත්තේ පුෂ්පා රාජපක්ෂ පදනමට අයත් මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ අංක 204-1-001-5-0003290 කරණ ගිණුමටයි.

කළම්බු ඉන්ටර්නැෂනල් කර්ටේනර් ටර්මිනල් (CICT) යනු කොළඹ දකුණ වරායේ මෙහෙයුම් කටයුතු කරන හවුල්කාර සමාගමක්. හොංකොං මුල් කරගත් චයිනා මර්චන්ට් පෝර්ට්ස් හෝලිඩින්ස් කම්පැනි ලිමිටඩ් (සී. එම්. පොර්ට්ස්) සී අයි සී ටි හි කොටස්වලින් 85%ක් අයත් ඉතිරි 15% ශ්‍රී ලංකා වරාය අධිකාරයට අයිතියි. 2011 දී කොළඹ දකුණ වරායේ දිගුව (නව පර්යන්තය) ඉදිකිරීමට පැවරුණේ CICT සමාගමටයි. එය ඉදිකර පරිහරණය කර බාරදීමේ පදනම හෙවත් (BOI) පදනම යටතේ. එම සමාගමටම හම්බන්තොට වරායෙන් 85% ක් ඔවුනට පවරා තිබීමත් රාජපක්ෂලා‍ගේ දෙබිඩි පිළිවෙතට සාක්ෂියක්.

මුල් කාරණයට නැවත අවධානය යොමු කළොත් ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ තමන්ට බලය පැවති කාලයේ රටේ ආර්ථිකය සංවර්ධනය කිරීම කෙසේ වෙතත් තම පවුලේ ආර්ථිකය සංවර්ධනය කර ගෙන ඇති ආකාරය දැන් නැවත වරක් පැහැදිලියි.

ඊළඟ කාරණය පසුගිය කා‍ලයේ එන්.ජී.ඕ. (NGO) හෙවත් රාජ්‍ය නොවන සංවිධානවලට බැණ වැදුණු රාජපක්ෂවරුම කන්නට වුවමනා වූ විට කබරගොයාත් තලගොයා කරගන්නා ‍සේ පුෂ්පා රාජපක්ෂ පදනම නමැති රාජ්‍ය නොවන සංවිධානයට චීනයෙන් මුදල් බැරකරගෙන තිබීමයි.

මෙරට මහතීර් මොහමඩ් කෙනෙකු නැති අඩුවක් මේ හෙළිදරව්ව අනුව පැහැදිලි වෙනවා. එසේ කියන්නේ එෆ්. සී. අයි. ඩී.ය විසින් ඉහත ගනුදෙනුව සම්බන්ධව බී වාර්තාවක් (බී586/15) 2015 වසරේ දී කොළඹ මහේස්ත්‍රාත් හමුවේ ගොනුකර විමර්ශන වාර්තාව 2015 ජුනි 05 දින නීතිපති වෙත යොමුකර ඇති බව ද කියැවෙන නිසයි. නමුත් ඊට අදාල නීති උපදෙස් මෙතෙක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබී නැතිලු. පිට පිට වැටෙන තොප්පි වලින් බේරි රාජපක්ෂලාට බලය පිළිබඳ හීන දකින්නට තවමත් ඉඩ ලැබී ඇත්තේ මේ හේතු නිසා නොවේද? සියල්ල නිවැරැදි වී  සැබෑ දූෂිතයන්ට දඬුවම් ලැබෙනු දකින්නට විශේෂිත මහාධිකරණ පිහිටුවීමෙන් පසුවවත් හැකි වෙයිද? අපි බලා ඉමු.

අකුරැස්සේ වින්සන්ටි ප්‍රනාන්දු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *