දෙමළ සන්ධානයට විපක්ෂ නායකකමවත් නොදී ජාතික සමගියක් ඇතිකරන්න බෑ – ජයතිලක කම්මැල්ලවීර – පුරවැසි බලය

kammella -අපේ රට ලෝකයේ ඉතාම පුංචි රටක්. අපේ රට තවමත් දුප්පත් රටක්. අපේ රට යැපෙන්නෙ විදේශයෙන් ලැබෙන ආධාරවලින්, ණය වලින්. එහෙම රටක් දේශපාලඥයන් නඩත්තු කිරීම සඳහා වියදම් කරන මහජන මුදල් කන්දරාව මේ රටට කිසිසේත්ම ඔරොත්තු දෙන්නෙ නෑ. සාහිත්‍යවේදී ජයතිලකකම්මැල්ලවීර එසේ ප‍්‍රකාශ කළේ කොළඹ 10 මරදාන, පිහිටි සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ය.

හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කරන්න, විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්න මේ රටේ මහජන මුදල් වියදම් කිරීම අපරාධයක්. පක්‍ෂ කීපයක් එකතුවෙලා ද ආණ්ඩු කරන්නෙ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ, මේ වගේ පුංචි, දුප්පත් රටකට ඇමතිවරු කීදෙනක් අවශ්‍යද? අමාත්‍යංශ කීයක් අවශ්‍යද? මේ අමාත්‍යංශ නඩත්තු කිරීම සඳහා ඔරොත්තු දිය හැකි මහජන මුදල කොපමණද? මේ කාරණා ඉතාම වැදගත්. එක්සත් ජාතික පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එකතුවෙලා හවුල් ආණ්ඩුවක් හදාගන්නකොට, ඇමති මණ්ඩලය 75 ක් 80 ක් දක්වා ඉහළ දමා ගැනීමේ යෝජනාවක් තියෙනව. එහෙම ඇමති මණ්ඩලය වැඩි කරනනෙ ඇයි? එහෙම අමාත්‍යංශ අලූතෙන් ඇති කිරීමට ඇති අවශ්‍යතාව කුමක්ද? ඒ කිසිවක් පැහැදිලි නොකර මේ හවුල පවත්වාගෙන යාම සඳහා එක එක්කෙනා ඉල්ලන නිසා ඇමතිකම් වැඩිකරනකොට ඒ වැය දරන්න වෙන්නෙ මේ රටේ දුප්පත් මහජනතාවට. ඒ නිසා අපි කිසිසේත් මේ ඇමති මණ්ඩල වැඩිකිරීමට එක`ග වෙන්නෙ නෑ. මම පෞද්ගලිකව අදහස් කරන්නෙ මේ වගේ රටකට ඇමතිවරු 20 ක් හිටියම හොඳටම ඇති. නමුත් 30 දක්වා පිළිගැනීමක් තියෙන නිසා  එය 30 ට සීමාවිය යුතුයි කියලයි අපි අවධාරණය කරන්නෙ.

මේ රටේ තියෙන බරපතලම ගැටළුව තමයි ජාතික ගැටළුව. 1970 ගණන් වෙනකම් මේ රටේ ආණ්ඩු කරන යාන්ත‍්‍රණය ඇතුළෙ දෙමළ නියෝජිතයො හිටිය. වරක් දෙමළ සංධානය පාර්ලිමේන්තුවෙ විරුද්ධ පක්‍ෂය බවට පත් වුණා. විරුද්ධ පක්‍ෂය බවට පත්වුණු ඒ දෙමළ මන්ත‍්‍රීවරු ටික ව්‍යවස්ථා ප‍්‍රශ්නයක් මතුකරල පාර්ලිමේන්තුවෙන් එලව දැම්ම. එදා සිට මේ දෙමළ සිංහල ජනයා අතර සමගිය ගොඩනගන්නට කතා කරන කවුරුවත්, මේ රටේ පාලන බලයට දෙමළ නියෝජිතයො සම්බන්ධ කරගැනීමට කතා කරන්නෙ නෑ.

අද විරුද්ධ පක්‍ෂය විදිහට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවට ඇතුල් වෙනව නම්, ඒ පක්‍ෂයට චරිත දෙකක් ර`ගපාන්න අයිතියක් නෑ. ආණ්ඩුවෙ ඇමතිකම් දරමින් ආණ්ඩුව හැටියටත්, එළියෙ ඉඳිමින් විරුද්ධ පක්‍ෂය හැටියටත් ඉඳීම, මේ රටේ දේශපාලනයට ගෙන එන ඉතාමත් නරක පූර්වාදර්ශයක්. එය නොකළ යුතුයි. ඒ අනුව විරුද්ධ පක්‍ෂ නායකකම හෙබවීමට අයිතිවාසිකම තියෙන්නෙ දෙමළ සංවිධානයටයි . අඩුවශයෙන් විරුද්ධ පක්‍ෂ නායක කමවත්, ද්‍රවිඩ නියෝජිතයන්ට දීලා ඒ අය පාර්ලිමේන්තුව ඇතුළෙවත් පිළිගැනීමට ලක්කරන්නෙ නැත්නම්, මේ රටේ ජාතික සමගියක් ගොඩනගන්න පුලූවන් කියල අපි විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා අපි අවධාරණයෙන් කියා සිටිනව ශ‍්‍රී ලංකි නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය හවුල් ආණ්ඩුවක් හදනව නම්, කරුණාකර සුදුසුකම් තියෙන දෙමළ සංවිධානයට විරුද්ධපක්‍ෂ නායකකම බාර දෙන්න. ඒක එහෙම නොකරන්න මන්ත‍්‍රීවරුන්ගෙ අත්සන් එකතුකරමින්, ඒක කතානායකට දෙන්න කටයුතු කරමින් වැඩ කරන්නෙ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක්ම තමයි. මේක ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය හැටියට ජනාධිපතිතුමා, මේ කාරණය පිළිබඳව පැහැදිලි ප‍්‍රකාශයක් කළ යුතුයි .

ජනාධිපතිතුමා ඊයෙ පාර්ලිමේන්තුව අමතා කළ විශේෂ ප‍්‍රකාශයෙ වැදගත් කාරණා ගණනාවක් කිව්ව. එතුමා ම පහුගිය කාලෙ ප‍්‍රකාශ කරපු ජනාධිපති ක‍්‍රමයෙ සියලූ බලතල ඉවත්කරනව කියන එක, එතුමා මැතිවරණ නිරීක්‍ෂකයන් ඉදිරියෙදිත් ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කෙරුවා, ‘මම මේ රටේ ජනාධිපති හැටියට තියෙන සියලූ බලතල ඉවත් කරනව කියල.’ නමුත් ඔහුගේ පාර්ලිමේන්තු කතාවේ ඒ ගැන සඳහනක් වුණේ නෑ. එතුමා කිව්වෙ පාර්ලිමේන්තුව තීරණය කළ යුතුයි ජනාධිපති ක‍්‍රමය ඉවත් කරනවද නැද්ද කියල. මම හිතන්නෙ එය එතරම් ගැලපෙන කතාවක් නෙමෙයි. විදේශ නියෝජිතයො හමුවෙ කළ ප‍්‍රකාශය එතුමා කළ යුතුව තිබුණා මන්ත‍්‍රීවරුන් හමුවෙදිත්. ‘ජනාධිපති ක‍්‍රමය ඉවත් කළයුතුයි’ කියල ප‍්‍රකාශයක් කෙරුව නම් මන්ත‍්‍රීවරුන් හමුවෙදිත් අපිට පුරවැසි බලය හැටියට එය අගේ කරන්න තිබුණ.
මේ රටේ අලූත් ව්‍යවස්ථාවක් හැදීම. එය ඉතාමත් හොඳ දෙයක්. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදන්න කාලයක් ගත වෙනව. එතෙක් මේ ජාතික ගැටලූව කියන එක මේ විදිහටම තවදුරටත් පවත්වාගෙන යනවද? අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් එන්න සමහරවිට අවුරුද්දක් දෙකක් ගත වෙන්න පුළුවන්.  මේ තාවකාලික ආණ්ඩුවට, හවුල් ආණ්ඩුවට මේ කෙටි කාලසීමාවේදී ඒක කරන්න පුළුවන්ද කියල කියන්න අපිට අමාරුයි. එතෙක් මේ රටේ අඩු වශයෙන් 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව නිසි බලතල ඇතුව බලාත්මක කිරීම තමයි මේ රටේ ජාතික සමගිය ඇති කිරීමට ප‍්‍රධාන කාරණය බවට පත්වෙන්නෙ. ඒ නිසා අපි ඉල්ලා සිටිනව දැන්වත් 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එහි නිසි බලය සහිතව බලාත්මක කරන්න කියන ඉල්ලීම.

දූෂණ වංචා නාස්ති පිළිබඳව දැනට කෙරෙන පරීක්‍ෂණ කිසිවක්, කිසිම හේතුවක් නිසා ආපස්සට ගන්නවත්, අඩපන කරන්නවත් එපා කියන ඉල්ලීම අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්න කැමතියි. එතුමා පාර්ලිමේන්තුව අමතා කළ කතාවෙදිත් ඒ බව කිව්වා. අපි එය අකුරට ඉටුකරන ලෙස පුරවැසි බලය හැටියට ඉල්ලා සිටිනව.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *