ඩීසල් විදුලි බලාගාරවලින් විදුලිය මිල දී ගැනීමට විරුද්ධ වූ ලං වී ම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීගේ වැඩ තහනම් !

කොන්ත්‍රාත් කාලය ඉකුත් වූ ඇඹිලිපිටිය, මාතර ,හා පුත්තලමේ ඩීසල් විදුලි බලාගාරවලින් යලිත් විදුලිය පෙර මිලටම මිල දී ගැනීමට විරුද්ධව කටයුතු කළ බව කියන ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් අබේවික්‍රම මහතාගේ වැඩ තහනම් කොට ඇති බව ලං වී ම ආරංචි මාර්ග කියයි . ඔහුගේ වැඩ තහනම් කොට ඇත්තේ ඉහල නිලධාරීන්ට අවනත නොවීම හා පෞද්ගලික ව්‍යාපාර කටයුතු වල යෙදීම යන චෝදනා මත බව කියති .

ඉහත බලාගාරවලින් මිලදී ගත් විදුලිය සදහා ගෙවීම් කිරීමට මණ්ඩලයේ ප්‍රධාන නීති නිලධරයාගේ අනුමැතිය ඉල්ලීම ඉහල නිලධාරීන්ට අවනත නොවීමක් ලෙස සලක ඇති බව වාර්තා වෙයි . පෞද්ගලික ව්‍යාපාර කටයුතු වල යෙදීම ලෙස චෝදනා කොට ඇත්තේ බස් රථ කිහිපයක් ඔහුගේ නමින් ධාවනයට එක්කොට තිබීමයි .

මේ පිලිබදව මුලික පරීක්ෂණයක් සිදුකොට ඇති බව කියතත් එය සිදුකොට ඇත්තේ ස්වභාවික යුක්තියේ මුලධර්ම වලට පටහැනිවය . එහිදී  මෙම නිලධාරියට එරෙහි චෝදනා හෝ සාක්ෂි ඉදිරිපත් කොට නැත .

ලං වී ම සභාපතිවරයා විසින් මෙම වැඩ තහනම කර ඇත්තේ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී වරයා විදේශ ගත වී සිටි අවස්ථාවකදීය .

වැඩ තහනමට ලක් වූ නිලධාරියා පෙන්වා දී ඇත්තේ ඩීසල් විදුලි බලාගාරවලින් යලිත් විදුලිය පෙර මිලටම මිල දී ගැනීම ලං වී මට බරපතල පාඩුවක් බව හා එම බලාගාර මිලදී ගැනීම වඩා ලාභදායක බවය . එමෙන්ම මහජන උපයෝගිත කොමිසමේ අනුමැතියකින් තොරව මෙම ගිවිසුම්වලට එලබීම නීති විරෝධි බැවින් ඒවාට ගේවීම් කිරීමට පෙර  ප්‍රධාන නීති නිලධරයාගේ අනුමැතිය අවශ්‍ය බව ද මෙම නිලධාරියා ප්‍රකාශ කොට ඇත . මණ්ඩලයේ ඉහල නිලධාරීන්ගේ අදහස වී ඇත්තේ මෙය ඉහල නිලධාරීන්ගේ නියෝග නොතකා හැරීමක් බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *