සැල්පෝනයාට සෙංකෝලයක්

“විජයකලා මගෙ විජය කලා… අපි එගොඩ කළා අපි එගොඩ කළා…” ප්‍රවෘත්ති බලමින් සිටි සාටක රජා, සරම කැටිකරගෙන නටන්නට පටන් ගත්තේය.

ඒ දෙස විශ්මයෙන් බැලූ බිසව රජාට කීවේ, මොකක්ද මෙයා ඔය විකාරේ නවත්වන්න. ඔන්න තුනෙන් දෙකේ බලයත් පේනවා කියාය.

‘තුනෙන් දෙකේ නෙමෙයි තුනෙන් තුනේම බලය පෙනුනත් නිකන් ඉන්නේ කොහොමද විජයකලා ගේ කතාව ඇහුනම… මම නටනවා නෙමෙයි ඉබේ නැටවෙනවා.’ කියා රජා කීවේය.

මොකක්ද ඔය කතාවෙ ඔච්චර ජොලියක් තියෙන්නේ සෙල්පෝනයා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන කිව්ව වෙලාවෙවත් ඔයාට මෙච්චර ජොලියක් ති‍බුණෙ නැහැ නේද කියා එවිට බිසව ඇසුවාය.

සැල්පෝනයා කට ඇරියොත් ආයේ අමුතු බෝම්බයක් ඕන නැහැ. වැසිකිළි වළක කට විවෘත කළා වගේ පළාතම විනාශවෙනවා. කියූ සාටක රජා, සැල්පෝනයාගෙයි අප්‍රසන්න රණවීරයගෙයි අවලං හැසිරීම නිසා විජයකලා කෙල්ලගෙ මසුරං කටින් පිටවෙච්ච රත්තරං වචන ටිකේ ඉස්කෝර්එකවත් අපට හරියට ගන්න බැරිවුණා යැයි වැඩිදුරටත් කීවේය.

ඔයාලා විජයකලා ගේ කතාවෙන් කෑල්ලක් අල්ලගෙන උඩ පනිනවා. විජයකලා කියපු කතාව සම්පූර්ණයෙන් මිනිස්සු දැන ගත්තොත් ඔයාලගෙ බෙල්ලත් ගහල යනවා. කියා එවිට බිසව කීවාය.

අපේ බෙල්ල ගහල යන කතා මොනවද විජයකලා කියලා තියෙන්නෙ? එවිට රජා ඇසූවිට, යුද්ධෙ ඉවර වුණාට පස්සෙ ඇමතිලාගේ වාහන වලින් උතුරට කුඩු අරගෙන ගියා කියන්නෙ ඔහෙලට නෙමේ නම් වෙනකාටද? කියා බිසව කිවාය.

යකෝ ඔය ගෑනි එහෙම කතාවකුත් කියල තියෙනව ද? එහෙම කීව නම් අර භාරත ලක්ෂ්මන්ට කළා වගේ දුමින්දයාට කියල වෙඩි තියන්න වටිනවා. කියා රජා කීවේය.

දුමින්ය කීවේ කොයි දුමින්දට කියා බිසව ඇසූවිට වෙන ඉතින් කවුද අපේ කොලොන්නාවේ දුමින්දය මිසක්. මොකද අනුරාධපුරේ දුමින්දයා අපිට ඒ වගේ උදව්වක්වත් කරන එකක්යෑ. ඌ හදන්නෙම මගේ ඔළුව කන්න. කියා රජා කීවේය.

කොලොන්නාවේ දුමින්දයාගෙන් වැඩක් කර ගන්න නම්, මැරිලා ඉපදෙන්න වෙයි. ඒ හදයා දැන් බත් කන්නේ දැන් වැඩිකඩ පැත්තෙන් කියා කියූ බිසව ඇසුවේ, ඇත්තටම විජයකලාගේ කතාවෙන් ඔයාට එච්චරටම ‍ජොලිගියේ මොනවටද? කියාය.

ඇයි යෝධියේ තේරෙන්නෙ නැද්ද නිව්යෝර්ක් ටයිමිස් කතාව හින්දා හම්බන්තොට නැව් නැති වරායෙ ගිලිලා මැරෙන්න හිටපු  අපට විජයකලා ගේ කතාව හින්දා ගොඩයන්න පුළුවන් වුණා නේද? කියා එවිට රජා කීවේය.

විජයකලාගේ කතාවෙන් ගොඩයන්න ඔයාලට පුළුන් නම්, වෙඬරුවේ නායක තැන කියපු කතාවෙනුත් ගොඩයන්න තිබුණා නේද කියා එවිට බිසව ඇසුවාය.

මගෙ බුදු අම්මෝ වෙඬරුවේ උපාලියා මතක් කරන්න එපා පොරට දානෙ ගිලලා උස්මුරුත්තෙට ඇවිත් වචන වමරලා තවඩිංගෙන් අපේ බයගෝතා අමාරුවෙන් ගහගත්තු එළියත් නිවෙනවා’ කියා එවිට රජා කීවේය.

ඒක නෙමෙයි මෙයා, ඔයාගෙ සෙල්පෝනයයි, අප්‍රසන්න දෙන්නා හොඳ වචන ස්පෝකන් ක්ලාස් එකකටවත් යවල ගෙන්න ගත්තොත් නරකද කියා බිසව රජා ගෙන් ඇසුවේ සැල්ෆෝන් සහ අප්‍රසන්න කතානායකට අමතන අසභ්‍ය වචන ඒ මොහොතේම ලයිව් රූපවාහිනියෙන් විකාශය වන්නට පටන් ගත් නිසාය.

ඕකුන්ට හොඳ වචන උගන්වලා බැහැ. පොහොට්ටුව වටේ ඉන්න මැස්සො චූන් කරන්න උන්ගෙ ඔය කතා බොහොම වටිනවා. කියා එවිට රජා බිසවට කරුණු කාරණා පැහැදිලි කර දුන්නේය.

ඒ වුණාට අජිත් පී. අන්න කියනවා, අප්‍රසන්නගෙයි සැල්ෆෝන්ගෙයි අශෝභන හැසිරීම නිසා පාර්ලිමේන්තුවෙ කටයුතු කඩාකප්පල් වුණා. ඒකෙන් අනික් මන්ත්‍රීවරුන්ගෙ වරප්‍රසාද කඩවුණාය ඒ නිසා සැල්ෆෝනුයි, අප්‍රසන්නයි වරප්‍රසාද කමිටුවට කැඳවන්න ඕනෑය කියලා, එවිට බිසව කීවාය.

උන් වරප්‍රසාද කමිටුවට කැඳවලා මොනව කරන්නද? සැල්ෆෝනයා උසාවියට කැඳවලත් හදන්න බැරි වුණා යැයි, කියූ රජා නැවත කීවේ ‘ආරේ ගති නෑරේ’, ‘කල් තිබුණත් බලු වලිගය උණ පුරුකේ – ස්වල්පයකුත් ඇද යන්නේ නැත ඒකේ’ වගේ කතා ඉස්සර ඉදන්ම කියල තියෙන්නෙ. මාත් ඇතුළු ‍අපේ නොපිපෙන කල්ලියේ ගති දැනගෙනය. කියා රජා කීවේය.

අන්න ඒ පාර සෙංකෝලෙ කඩන්න හදනවා. බිසව කීවේ රූපවාහිනියට ඇඟිල්ල දික් කරමිනි.

ඔයා ඔච්චර කලබල වෙන්න එපා. භයාගිරිය ගිලපු එකාට අග්ගලාවත් කජ්ජක් ද කියනවා වගේ කෞතුකාගාරෙත් කඩපු අපිට සෙංකෝලෙ මොකක් ද කියා රජා බිසව සන්සුන් කරන්නට උත්සාහ කළේය.

ඒත් මෙයා සෙන්කෝලෙ කැඩුවොත් අපරාදෙ නේද කෞතුකාගාරෙ කැඩුවට බඩු අපතෙ ගියේ නැහැනෙ. ඒ වගේ සෙන්කෝලෙත් නොකඩා අරන් ආවනම් ඩේසි ආච්චිගෙ හැරමිටියට හරි ගන්න තිබුණා, නේද කියා බිසව කන්කෙඳිරි ගෑවාය. මේ යහපාලකයන්ට වැඩක් කරන්න තේරන්නෙ නැහැ ඕවා බොහොම සරලව විසඳන්න පුළුවන් ප්‍රශ්න කියා රජා කී විට බිසව පැවසුවේ අනක්ගුණක් නැති එවුන් සෙන්කෝලය උත්සන්න කඩන්න කොල්ලකාගන්නවා නම් උන්ගෙ චරියාව හදන්නෙ නැතුව වෙන මොනවා කරන්නද? කියාය. ඔයත් පනින මන්ත්‍රිලට ඉනිමං බඳිනවා වගේ කතා කියන්න එපා කියා ද ඇය කීවාය.

අයියෝ මෙයා මම උපන්තේකට පනින මන්ත්‍රීලාට ඉනිමං බැඳලා නෑ. මම ඊට වඩා අතිශය ගෞරවණීය විදිහට උන්ට සලකනවා. ඇමතිකම් දෙනවා. දහසින් බැඳි පියලි රුපියල් ලක්ෂ ගණනින් දෙනවා. ඒ දීපුවගෙ රඟ දන්න නිසා තමයි ඕකුන් තාමත් මගෙ වැටේ ඇඹලයො වගේ පිරිල ඉන්නෙ කියා එවිට රජා කීවේය.

ඒ වුණාට මෙයා මහෙම ගියොත් සැල්ෆෝනයා පාර්ලිමේන්තුවට බෝම්බ ගහයි. අප්‍රසන්නයා සෙංකොලෙ කඩයි. එතකොට මේ රටට මොකද වෙන්නෙ කියා බිසව කීවාය. ‍

ඕකට තියෙන්නෙ එකම එක විසඳුමයි. ඉන්නකො, කියා රජා දුරකථනය ළඟට ගියේය.

මොකක්ද ඔයා කරන්න හදන්නෙ, පාර්ලිමේන්තුවේ නාඩගම් නටන්න එපා කියල සැල්ෆෝනයාලට කියන්න ද කියා බිසව ඇසුවාය.

පිස්සුද මෙයා, මම මේ හදන්නෙ අපේ චීන මස්සිනාට කතා කරන්න. කියා එවිට රජා කීවේය.

අර මක්කට ද පාර්ලිමේන්තුවේ ගොරි නවත්තන්න චීන හමුදාව ගෙන්නන්ද?  කියා බිසව ඇසුවාය.

අපෝ නැහැ. අටකලන්පන්න පැත්තෙන් තවත් අක්කර පාළොස් දාහක් දෙන්නම් කියල තවත් සල්ලි ටිකක් ගෙන්න ගන්න යැයි රජා කීවේය.

අර මක්කැටයි ආයෙත් චීන සල්ලි තවත් තොප්පියක් දාගන්න ද? කියා බිසව ඇසුවාය.

අරුන් දෙන්නට සෙන්කෝල දෙකක් හදවලා දෙන්න. එතකොට සෙන්කෝලෙට මරා ගැනිල්ල නතර කරයි නේද? කියා රජා කීවේය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *