විනය වණයක් වීම – නිශාන්ත කමලදාස

සමාජය තුළ විනයක් පැවතීම එහි පැවැත්මට අත්‍යාවශ්‍ය ය. ඇතැම් විට දැඩි පාලකයකු ඉල්ලීමෙන් දකුණ ද ප්‍රභාකරන්ගේ ආගමනය අපේක්ෂා කිරීමෙන් උතුර ද අදහස් කරන්නට ඇත්තේ ඒ වුවමනාව විය හැකි ය.

විනය පවත්වා ගෙන යෑම සඳහා ආදර්ශය ලැබෙන්නේ හා ලැබිය යුත්තේ පාසලෙන් බවට ද මතයක් සමාජය තුළ තිබේ. ඒ නිසා ම සිසු දරුවන්ගේ විනය පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් පාසල අතිවිශාල අවධානයක් යොමු කරයි. එය පවත්වා ගෙන යෑම සඳහා විනය භාර ආචාර්යයවරයෙක් ද විනය කමිටුවක් ද ඒ තුළ තිබේ.

විනය පවත්වා ගෙන යෑමේ කටයුත්ත සඳහාම පත් කරනු ලැබ සිටින ශිෂ්‍ය නායකයන් යනුවෙන් හැඳින්වෙන පිරිසක් ද වෙති. විනය පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය වුවහොත් සිසුන්ට විවිධ දඬුවම් දීමේ බලය ද ඔවුන්ට පවරා තිබේ. නැතහොත් ඔවුන් විසින් පවරා ගෙන තිබේ. විනය කැඩීමට යොමුවන දරුවන්ගේ මාපියන් ද පාසලට කැඳවා ඔවුන් විනය කමිටුව ඉදිරියට කැඳවා විනය පවත්වාගෙන යෑමට මාපිය සහභාගිත්වය ද ලබා ගැනේ.

ඊට අමතරව පාසලට එන මාපියන්ට ද විනය පද්ධතියකට යටත් වීමට සිදු වේ.

මේ සියලු තැන්හි ඉදිරියට එන ප්‍රධාන සාධකය නම් ඇඳුම ය. හිස කෙස් ය. අඳින පළඳින දෑ ය. කොටින්ම බාහිර පෙනුම ය. එය සංවර එකක් විය යුතු යැයි යන්න මේ විනයේ පදනම ය. මෙය සරල කාරණයකින් ඔබ්බට ගොස් තිබේ. ඒ සෑහෙන විස්තරාත්මක පිරිවිතර සමග ඒ බාහිර සැරසීම ඉදිරිපත් වීම හරහා ය. උදාහරණයක් ලෙස ගවුමට නම් ඇඳිය යුතු දිගක් තිබේ. සපත්තුවකට නම් ඊට නියමිත හැඩයක් තිබේ. කොණ්ඩයට නම් ඊට නියමිත දිගක් තිබේ. එහෙත් මේ හැම දෙයක් ම කෙතරම් විස්තර කොට ඉදිරිපත් කොට තිබුණ ද හැම විටම අර්ථ දැක්වීමට යටත් ය.

උදාහරණයක් ලෙස ගවුම ගනිමු. දණ හිසේ සිට මෙතරම් දිගකින් එය තිබිය යුතු යැයි විස්තර පත්‍රිකාවක ලියා තිබෙන්නට පුළුවන. ඒත් දණ හිස පටන් ගන්නේ කොතැන ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න තිබිය හැකි ය. සපත්තුවේ ඉදිරිපස රවුම් විය යුතු ය. රවුමක් ලෙස ගැනෙන්නේ කුමන හැඩය ද යන ගැන විවිධ අර්ථ කතනයන් තිබිය හැකි ය. කොණ්ඩය දිග විය යුතු ද නැත. කෙටි විය යුතු ද නැත. එහෙත් එය කෙතරම් ද යන්න ගැන අවුලක් තිබේ. එය තම තම නැණ පමණින් තීරණය කළ හැකි නිසා ය.

ඒ නිසා විනය පවත්වා ගෙන යන පාසල් “පොලීසිය“ට වැඩ රාජකාරි බහුල ය. ඒ තමන් නුරුස්සන අයට දඩුවම් දීමටත් කැමති අයට නිදහස දීමටත් කලින් කී අර්ථ කථනයන් යොදා ගැනීමට කල්පනා කළ යුතු නිසා ය. ඒ විනිශ්චයන්ගෙන් පසු දිය යුතු දඬුවම් තීරණය කළ යුතු ව තිබෙන නිසා ය. උදාහරණයක් ලෙස ගවුම කොට වැඩි නම් දණ ගසා ගවුම දණ හිස තෙක් ඇද වසා ගන්නා ලෙස නියම කිරීමට ද කොණ්ඩය කොට වැඩි නම් කළු සපත්තු පොලිස් උලා දැමීමට ද සපත්තුවේ රවුම නැත්නම් එය ගලවා ලේසවලින් බැඳ බෙල්ලේ එල්ලා ගැනීමට ද වැනි දඬුවම් ගැන සලකා බැලිය යුතු ව තිබෙන නිසා ය.

මේ හැම දඬුවමක ම පොදු සාධකය නම් විනය කඩන එකා හෝ එකිය හැකිතාක් පහළට දමා අවමානයට පත් කිරීම ය. අර්ථකථනය විවෘත නිසා ම, එය විවිධ විය හැකි නිසා ම, මේ විනය පටිපාටියට යටත් කොට ඕනෑම කෙනෙකු අල්ලා ගැනීම පහසු ය. ඒ තුළ ගුරුවරයෙකුට ගුරුවරියකට පමණක් නොව ශිෂ්‍ය නායකයෙකුට ද පොර වීමට හැකි ය. එවන් අවස්ථාවක් දුටු විට මග හරින අය අඩු ය. උස් තැන් දැක හැකිලෙන්නටත් මිටි තැන් දැක පුප්පන්නටත් අප බොහෝ දෙනෙකු හපනුන් බැවිනි.

චිරාත් කාලයක් විනය හැදුවත්…

මේ විනය පවත්වා ගෙන යන්නේ පාසල් සිසු සිසුවියන්ට කුඩා කාලයේ සිට විනය පුරුදු පුහුණු කිරිමට බව කියවේ. චිරාත් කාලයක සිට මේ විනය පවත්වා ගෙන යන්නේ නමුදු රට තුළ නම් විනයක් ඇතැයි පෙනෙන්නට නැත. පාරේ ඇවිදින පදිකයන්ගෙන් ද වාහන පදවන රියැදුරන්ගෙන් ද මහ මග දමන කසළවලින් ද ගංඉවුරක හා ගං පතුලේ දමා ඇති කුඩු කරන ලද බෝතල්වලින් ද පෙනෙන්නේ විනය එහෙමකට නැති බව ය. එපමණක් නම් මදෑ. ඉගෙන ගත්තා යැයි කියන වෘත්තිකයන් තුළ පවා එය දැක ගත හැක්කේ අඩුවෙනි. තමන්ගේ ඉල්ලිම් වෙනුවෙන් අසරණ රෝගින් ගල ග්‍රහණයට ගන්නා වෛද්‍යවරුන් තුළ ද දේශපාලනඥයන්ගෙන් හව්හරණය ලබනු වස් රටේ සම්පත් බිලි දෙන අනෙකුත් වෘත්තිකයන් තුළ ද විනය දැකීමට හැක්කේ අඩුවෙනි.

මෙයට හේතුව කුමක් විය හැකි ද? මෙයින් විද්‍යාමාන වන්නේ කුමක්ද? විනය තිබෙන්නේ ඇඳුමේ බව, බාහිර පෙනුමේ බව, සිසු සිසුවියන් මේ පාසල් ක්‍රියාකාරිත්වයෙන් තේරුම් ගැනීම ද? විනය පිරිහී තිබෙන්නේ ඔවුන්ට ලබා දුන් දඬුවම ප්‍රමාණවත් වී නැති නිසා ද? පාසල හා සමාජය දෙකක් ලෙස ඔවුන් විසින් හඳුනා ගෙන ඇති බව ද? තරමක් දිගට වැඩුණු කොණ්ඩයට තමන් දඬුවම් ලැබුවේ කුමන හේතුවක් නිසා දැයි ඔවුන්ට කියා දී නොමැති කම ද? විනය තිබිය යුත්තේ හැසිරීමේ දී බව ඔවුන්ට අවබෝධ කර දීමට පාසල අසමත්ව ඇති බව ද? දණ්ඩනය මිස විනය පවත්වා ගෙන යා යුත්තේ ඇයි ද යන්න ගැන ප්‍රමාණවත් සංවාදයක් පාසල තුළ සිදු ව නැති බව ද? දණ්ඩනය හරහා ඇති කරන ලද ශික්ෂණය දණ්ඩනයෙන් නිදහස් වූ වහාම ඉවත් ව යන බව ද?

ඒ කුමක් වුවත් එකක් පැහැදිලි ය. සමාජයේ විනය ඇති කිරීම සම්බන්ධයෙන් පාසල් භූමිකාවෙන් තීරණාත්මක යමක් නම් සිදු ව නැති බව ය. ඒත් පාසල මේ අවුල සම්බන්ධයෙන් කිසිවක් නොකරන්නට හිතා හදා ගෙන ඇති වගක් පෙනෙන්නේ ය. එය තමන් චිරාත් කාලයක් තිස්සේ ආගමික චර්යාවක් ලෙස කර ගෙන ආ විනය, ඒ ආකාරයෙන්ම පිහිටුවමින්, එයින් තවමත් යමක් වේ යැයි අපේක්ෂා කරමින් සිටින්නේ ය.

මව් පියන්ටත් නිල ඇඳුමක්!

නිල ඇඳුමක් ඇත්තේ සිසු සිසුවියන්ට පමණක් නොවේ. පාසලට එන මාපියන්ට ද වෙනත් අමුත්තන්ට ද අනුමත ඇඳුමක්, එක්තරා ආකාරයක නිල ඇඳුමක්, තිබේ. වඩාත් නිවැරදිව කියන්නේ නම් අනුමත නොකළ ඇඳුමක් සහිත ව එන කවරෙකුට වුව දඬුවම් නො ලැබෙතත් පාසලට ඇතුළු වීමට නම් නොහැකි වෙයි. මෙය බොහෝ පාසල්වල බහුලව භාවිතා වන්නේ කාන්තාවන් සඳහා ය. ඇතැම් තැනක එය පිරිමි පාර්ශ්වයට ද අදාළ ය.

කාන්තාවන් සම්බන්ධයෙන් නම් සමහර පාසලක එය සාරියට සීමා කර තිබේ. වෙනත් කිසිම ඇඳුමකින් පාසලට පැමිණිය නොහැකි ය. අදහස වෙනත් ඇඳුමකින් සැරසී පැමිණීමෙන් මව්වරුන්ගේ හිරි ඔතප් බිඳිය හැකි වීම ය. ඊට අමතරව එයින් මනස පරල කර ගන්නා සිසුන් අවිනීතව හැසිරෙතැයි යන භීතිය ය.

නැවත වතාවක් පාසල අල්ලා ගෙන ඇත්තේ වැරදි කොනකින් ය. මේ කල්පනා කරන ආකාරය කිහිප අතකින් ම වැරදි ය.

පළමුව, සාරිය හිරි ඔතප් නොබිඳෙන ඇඳුමක් ය යන වැරදි නිගමනය ය. සාරියක් විවිධ ආකාරයෙන් ඇඳිය හැකි ය. එය සිරුරේ වඩාත් ම ශෘංගාරාත්මක කොටස් මතු වන පරිදි ඇඳිය හැකි සෙක්සි ඇඳුමකි. ඒ කෙසේ දැයි විස්තරයක් කළ හැක්කේ වුව ද එය වැඩිහිටි වයසේ ළදරුවන් ගහන රටක පුවත්පතකට නොහොබිනවා යැයි සිතුන නිසා මෙහි ලියන්නේ නැත. තත්වය එසේ වුව ද සාරිය අඳින ආකාරය සම්බන්ධයෙන් සීමා පනවන්නට පාසලට බැරි ය. අවසරය ලැබෙන්නේ ආරක්ෂක සේවයේ නියුතු අයෙකුගෙන් නිසා ඒ බලතල ඔවුන්ට ලබා දී අමාරුවේ වැටෙන්නට ද පාසල් අධිකාරිය නිර්භීත නැත. ඒ නිසා ඔවුන් කරන්නේ සාරිය කුමන ආකාරයෙන් හැඳ ආව ද සංවර ඇඳුමක් ලෙස පිළිගැනීම ය.

දෙවනුව, මාපියන් නිසි ලෙස ඇඳ පැමිණීමෙන් සියල්ල හරි යතැයි සිතීම ය. සිසුන් පාසලින් එලියේ දී පාසල විසින් අසංවර යැයි සළකනු ලබන විසූක දස්සන දකින එකක් නැතැයි ද එවැනි දේ දැක්ක ද ඒවා ඉදිරියේ කෙසේ හැසිරුනේ වුව ද කමක් නැතැයි ද සිතීම ය. පාසලින් එලියේ ඉන්නා මාපියන්ගේ ඇඳුම කුමක් වුව ද එය පාසලින් බාහිරව ඇඳ සිටිනතාක් ප්‍රශ්නයක් නොවෙතැයි සිතීම ය.

තෙවනුව, ප්‍රශ්නය ඇත්තේ මාපියන්ගේ ඇඳුමේ නොව ඇඳුම පිළිබඳව සමාජගත ව ඇති වැරදි සිතුවිලි පරම්පරාවේ නොවේ යැයි දැකීම ය. විශ්වාස කිරීම ය. සැබෑ ප්‍රශ්නය ඇත්තේ ඇඳුම ගැන සමාජය දකින ආකාරය තුළ ම ඊට දී ඇති ලිංගික වටිනාකමේ ය. බොහෝ දෙනෙකු නොදන්නා කාරණය නම් වික්ටෝරියානු යුගයේ කාන්තාවන් මුළු ඇඟ ම වැසෙන සේ ඇඳුම් ඇන්ද බවත් ඒ යුගයේ නිරාවරණය වූ වළලු කර ශෘංගාරාත්මක සිතුවිලි ජනිත කරවීමට හේතු වූ බවත් ය. වසා සිටීමෙන් සියල්ල සංවරව අවසන් වේ යැයි යන මුළාව ම සමාජයක් ලෙස අප තේරුම් ගන්නේ නැත. තහංචිය ම ආකර්ෂණයට අවශ්‍ය මාවත විවෘත කර දෙන බව අප වටහා ගන්නේ නැත. බලන්න එපා යැයි කියන්න. ඔබට බැලීමට ඒ වගන්තිය ම සෑහෙන්නේ ය. කහ පැහැති අලියෙකු ගැන හිතන්න එපා යැයි කියන්න. ඔබ කවදාවත් දැක නැති කහ පැහැති අලියෙකු ඔබ විසින් සිතින් මවා ගන්නවා ඇත. සමාජය ඇඳුම තුළ සංවරත්වය හොයන විට සිදුවන්නේ ඒ තුළ අසංවරත්වය දැකීමට මිනිසුන් පෙළඹවීම ය.

(කිසිදු උත්තේජනයක් ඇති නොවීමට නම් මව්වරුන් ඇඳ ගෙන ආ යුත්තේ එක්කෝ හිජාබයකි. නැත්නම් ගෝනියකි. එයිනුත් බේරා ගැනීමට බැරි නම් කළ යුත්තේ පිරිමි දරුවන් ඉන්නා පාසල්වලට මව්වරුන්ගේ පැමිණීම මුළුමණින් තහනම් කිරීම ය. තවත් ඉදිරි පියවරක් ගන්නේ නම් පිරිමි පාසල්වලට ගුරුවරියන් පත් නොකිරීමට ද වග බලා ගැනීම ය. සදාචාරමය වශයෙන් ලෝකයේ හැම රටක්ම පරදවා ඉදිරියට යෑමේ අපේක්ෂාවෙන් සිටින අපේ අධ්‍යාපන අධිකාරීන් හෙට අනිද්දා මේ පියවර ගත හොත් අප පුදුම විය යුතු නැත.)

සිව්වෙනුව, දරුවන්ට මිනිසුන්ට ගරු කරන්නට, ඔවුන්ගේ වෙනස් අනන්‍යතාවයන්ට ගරු කරන්නට, විවිධත්වයට ගරු කරන්නට, නූගැන්වීමේ ය. තමන්ට වඩා වෙනස් විදිහට අඳින පළඳින මිනිසුන් දෙස මැදිහත් සිතින් බලන්නට නූගැන්වීමේ ය. එක් එක් සංස්කෘතික පසුබිම් තුළ හැදී වැඩෙන මිනිසුන් සිටින සමාජයක ඒ විවිධත්වය පිළි නොගන්නා ලෙස බල කර සිටීමේ ය. ඒ තුළ බහුතරය අනුයන ඇඳුම ඉහළ බවටත් සෙසු ඇඳුම් පහළ බවටත් තමන්ගේ ඇඳුම සංවර බවටත් සෙසු ඇඳුම් අසංවර බවටත් කියා සිටීමේ ය.

පාසල කරන්නේ කළ යුතු වැඩ තිබිය දී නොකළ යුතු වැඩට මැදිහත් වීම ය. ඒ තුළ දරුවන් නිසි මග යොමනු වෙනුවට, නිසි මග ට යොමු කිරීමේ නාමයෙන්, වැරදි මගට යොමු කිරීම ය.

විනය ඇඳුම බවට පිරිහෙලුනු විට අන් සියලු අංශයන්ගේ විනය පිරිහීමක් සිදු වුව ද ඒ ගැන අපට කතා කළ නොහැකි ය. මක්නිසා ද යත් විනය යනු සදාචාරාත්මක හැසිරීම බව අප සිසුන්ට කියා දී නැති බැවිනි. එය නොවැදගත් බාහිර පෙනුමට, වඩාත්ම ඇඳුමට, ලඝු කර ඇති හෙයිනි.

ඇතැමෙක් අපට විරුද්ධ වනු ඇත. ඇඳුමට අමතරව සිසුන්ට ගුරුවරුන් පන්තියට පැමිණි විට නැගිටින්නටත් සිනුවට අනුව කටයුතු කරන්නටත් පෝලිමේ රැස්වීමට යන්නට එන්නටත් උගන්වා ඇතැයි කියන්නට ඔවුන්ට පුළුවන. මේ සියල්ල බොහෝ පාසලවල අඩු වැඩි වශයෙන් වෙන බව ඇත්ත ය. එහෙම බැලුවහම ඇඳුම මූලික වුව ද තවත් දේ ද ඇතැයි පිළිගැනීමට අපට ද සිදුවන්නේ ය. එහෙත් මේ සියල්ල පිටට පෙනෙන සන්දර්ශන ය. ඇතුළතින් හදන සදාචාරයක් වෙනුවට එලියට පෙනෙන්නට දණ්ඩනයෙන් ගොඩ නගන ලද සන්දර්ශන ය. එය ඇඳුමට දෙවැනි වන්නේ නැත. අඳින ඇඳුම එක් එක් ශිෂ්‍ය ශිෂ්‍යාවට ය. මේ “ඇඳුම“ සමස්ත පාසලට ය. පාසලේ බාහිර පෙනුමට ය. එසේ බලන කල තව වටයකින් සනාථ වන්නේ ද අප කලින් කි එක ම ය.

විනය දණ්ඩනයෙන් පමණක් පනවනවා වෙනුවට, පවත්වා ගෙන යනවා වෙනුවට, අවබෝධයෙන් ක්‍රියාත්මක කළ යුතු දෙයක් බවට අප තේරුම් නොගන්නා තාක්, ඒ අවබෝධය ඇති කරනු සඳහා යමක් නොකරන තාක්, අපට විනය ලෙස දැකිය හැකි වන්නේ මතු පිට කෙරෙන සන්දර්ශනයන් පමණ ය.

පන්සල තුළ කීකරුව ගාථා කියන සුදු වතින් සැරසුණු උපාසික උපාසිකාවන් දානෙ බෙදන වෙලාවේ දි හොඳ කොටස අහිමි වෙතැයි යන බියෙන් සංවරය නැති කර ගන්නේත් බිත්තියේ මුල්ලකට ඇති තමන්ගේ අයිතිය වෙනුවෙන් වෙනත් උපාසික උපාසිකාවන් සමග රණ්ඩු කරන්නේත් උපාසක උපාසිකා විනය සිසුන්ගේ විනය මෙන් ම බාහිර සන්දර්ශනයක් පමණක් නිසා ය. අභ්‍යන්තර පිරිසිදුකම බාහිරින් පෙන්වන්නට හදන පිරිසිදුකමට අහලකවත් නැති නිසා ය. ඇඳුම ඇන්දහම එයින් ම සෑහීමකට පත් වන නිසා ය. දානයේ සුවඳ හමුවේත් බිත්තියට හේත්තුව සිටීමේ සුවපහසුව හමුවේත් විනය කැළෑ වදින නිසා ය.

බණ අසා සිල් පද කැඩීම

පන්සිල් සමාදන් වන, බණ අසන, දන් දෙන, පුද පූජා පවත්වන දේශපාලනඥයින් වැඩි දෙනෙකු දැනට ප්‍රචලිතව ඇති පරිදි දෙවැනි සිල්පදය ද එයින් නොනැවතී සමස්ත පංච ශීලයම පාහේ හිරිකිතයක් නැතිව කඩන්නේ ඒ නිසා ය. එහෙමට භක්තියක් ආගම ගැන නැත. එහෙත් පෙන්වන්නේ ආගමේ ආරක්ෂකයින් හා එහි අග්‍ර අනුගාමිකයන් තමන් බව ය. පෙන්නුවාහම ඇති ය. අවශ්‍ය බාහිර දර්ශනය ය. පාසලේ දි දණ්ඩනය ලබමින් අභ්‍යාස කළේ ද විනය ලෙස දැක්කේ ද ඒක ය.

ගිහි විනය වෙන ය. උපාසක උපාසිකා විනය ඊට වෙනස් ය. භික්ෂූ විනය ඒ සියල්ලට වෙනස් ය. එහෙත් සිවුරු දරන බොහෝ භික්ෂූන් තුළ ගිහි විනයවත් නැත.

සිවුරකින් සැරසෙන ඇතැම් භික්ෂූන් වහන්සේ කෙනෙක් බුද්ධ පූජාව පවත්වන විට පෙන්වන සංවරකම පාරේ යන පෙලපාලියක දී නැතිනම් දේශපාලන වේදිකාවක දී නැති කරගන්නේ ද ඒ නිසා ය. මෛත්‍රිය ගැන දහම් දෙසන විනය ධර භික්ෂූන් වහන්සේ ලා ම මිනිසුන්ගේ පමණක් නොව නො දරුවන්ගේ ද නින්දට බාධා කරමින් ලවුඩ්ස්පීකර් බණ හෝ පිරිත් ප්‍රචාරය කරමින් ඔවුන්ට හිරිහැර කරන්නේ ද ඒ නිසා ය. සංවරයක් මෛත්‍රියක් සැබෑවට නැත. එය ප්‍රදර්ශනය කිරිම පමණක් සෑහෙන්නේ ය. කුඩා කල පන්තියේ උගත්තේ ද පසු කලෙක පිරිවෙනේ දී අභ්‍යාස කළේ ද පන්සලේ දී හුරු වූයේ ද ඒ සඳහා ය.

ජාතික ගීයට කෙලින් වී සීරුවෙන් සිට ගන්නා මේ රටේ පුරවැසියන්ගේ ශරීරම රට ඉදිරියට ගෙන යෑම සඳහා කරන වෑයමක දී පසුපසට ගොස් දිරා මාරු වන්නේ ද මේ නිසා ය. ඉන් වැඩි දෙනෙකු තම පුද්ගලික අභිමතාර්ථ සාක්ෂාත් කර ගනු වස් රටට එරෙහිව යන්නේ ද ඒ නිසා ය. රටට ඇති එහෙමට කැප වීමක් නැත. එහෙත් අන් අය ඉදිරියේ එය පෙන්විම සෑහෙන්නේ ය. ප්‍රදර්ශනයම ප්‍රමාණවත් වන්නේ ය. ඒ උගත් විනයේ හැටියට ය.

සසර වසනතුරු නිවන් දකින තුරු මේ හෙළ දෙරණේ යළි උපදින්නට හේතු වාසනා පතන අය, විශේෂයෙන් එය වඩාත් හැගීමෙන්, වඩාත් ඉදිරියට විත් ගයන අය, බටහිර රටකට සේන්දු වී ඒ ගීයම ගයමින් ඒ රටවලම නැංගුරම්එලන්නේ ඒ නිසා ය. යළි උපදින්නට වාසනාව පැතීම සන්දර්ශනයක් ය. සැබෑ පැතුම දියුණු රටක දියුණුවේ අග්‍රඵලය භුක්ති විඳීම ය.

මේ සියලු තැන් හි පෙනෙන්නේ අවසානයේ ජය ගන්නේ සහ මතුවන්නේ බාහිර සන්දර්ශනය බව ය. ඒ පාසලින් ආරම්භ කළ විනය පිහිටුවීමේ වෑයමේ ඛේදජනක හා තාර්කික අවසානය ය.

සිදු ව ඇත්තේ විනය වණයක් (තුවාලයක්) වීම ය. ඒ තුළ සැබෑ ලෙස තිබිය යුතු විනය වන (කැළෑ) වැදීම ය.

ඒ නිසා දැන් තතනන්නේ අතුරුදහන් වී ඇති, වන ගත වී ඇති, විනය නැවත ආනයනය කිරීමට ය. දකුණේ නම් ඒ ජර්මනියෙනි. වර්තමාන ජර්මනියෙන් නොවේ. හිට්ලර්ගේ ජර්මනියෙනි. උතුරේ නම් ඒ අතීතයෙනි. ප්‍රභාකරන් වැඩ වාසය කළ අතීතයෙනි. ඒ නව විනයක් නොවේ. පරාජිකා වූ වණයක් වූ චිරාත් කාලයක් පුරුදු පුහුණු කළ අසාර්ථක වූ පැරණි විනය ම ය. දැන් වෑයම වැඩි තීව්‍රතාවයකින් යුතුව එයම නැවතත් අත්හදා බැලීමට ය. වැඩ තමන් උගත් විදිහකට විනා වෙන විදිහකට වෙන්නට බැරි ය. මේ කරන්නට හදන්නේ ප්‍රශ්නය ඇති කළ යාන්ත්‍රණයෙන් ම ප්‍රශ්නයට විසඳුම් සෙවීම ය. එය මෝඩ කමකි. ඒත් අවාසනාවට මෝඩ කමට බේත් නැත.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *