මහින්ද රාජපක්ෂ කොහෙද යන්නේ- මල්ලෙ පොල් – අනුර සූරියබණ්ඩාර

2015 මැතිවරණ සමයේ චයිනා වරාය සමාගමේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකු ගිණුමින් අවම වශයෙන් ඩොලර් මිලියන 7.6ක් මහින්ද රාජපක්ෂ මහතා ගේ ඡන්ද ව්‍යාපාරයේ සම්බන්ධීකාරකයන් වෙත ලබා දී ඇති බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පළකළ ලිපියට පිළිතුරු නිවේදනයක් යැයි සඳහන්  නිවේදනයක් පසුගිය දිනවල මෙරට පුවත්පත් වල පළකර තිබිණි. වි‍ශේෂත්වය වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පිළිතුරු නිවේදනය පළ කළ ඇතැම් පුවත්පත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පළ කර තිබූ මුල් ලිපිය හෝ ඉන් කොටසක් හෝ පළ නොකිරීමය. ඒ අනුව එම පුවත පමණක් පරිශීලනය කරන පාඨකයන් වෙතොත් ඔවුන්ට සිදු වන්නේ නොදන්නා ප්‍රශ්නයකට දී ඇති පිළිතුරක් බලා සෑහීමකට පත්වන්නටය. අනෙක් අතට එම පිළිතුර කියවන පාඨකයා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ සමස්ථයටම පිළිතුරක් මහින්ද රාජපක්ෂ මහතා සපයා ඇතැයි යන වැරදි විශ්වාසය ද ඇතිකර ගනිති. මෙය සැකයකින් තොරවම පාඨකයා දෙවතාවක් නොමඟ යැවීමකි. එසේම මාධ්‍ය ආචාරධර්මද අමු අමුවේ කෙලෙසීමකි.

දෙවනුව රාජපක්ෂ මහතා, ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියට ලංකාවේ පත්තරවලට පිළිතුරු දීම යනු   සයිමා ඇසූ ප්‍රශ්නයට පෙමාට උත්තර දීම වැනි ක්‍රියාවකි. මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා කර ඇත්තේ මේ වන විටත් ඔහුගේ දේශපාලන කපටි ප්‍රෝඩාවන්ට හසුවී සිටින ඡන්දදායකයා තවත් ප්‍රෝඩාවකට ඇස්බැන්දුමකට කොටුකිරීමය.

නිව්යෝර්ක් ටයිම්ස් වැනි වගකිවයුතු මාධ්‍ය ආයතනයක් සාක්ෂි සාධක නොමැතිව කිසිදු ලිපියක් පළ කරන්නේ නැත. යම් හෙයකින් අදාල පාර්ශව නඩු මගට හෝ වෙනත් නීතිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවුවහොත් තමන් ඉදිරිපත් කළ කරුණු තර්කානුකූලව සාධක සහිතව ඔප්පු කරන්නට සිදුවන බැවිනි. මහින්ද රාජපක්ෂ මහතා එය ඉතා හොඳින් දනී. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට පිළිතුරු දීමට ගියහොත් ඔහුට සිදුවන්නේ දැනට වටින් ගොඩින් හෙළිදරව් වී ඇති කරුණු කාරණා සියල්ල ලුණු ඇඹුල් ඇතිවම ප්‍රසිද්ධ කර ගන්නටය. එවිට ඔහුට අත්වන්නේ කෙසෙල් ගහට කෙටූ කොට්ටෝරුවාට අත් වූ ඉරණමයි. ඒ බව දන්නා මහින්ද රාජපක්ෂ මහතා නිව්යෝර්ක් ටයිම්ස් ලිපියට පිළිතුරක්ය කියමින් ලංකාවේ පත්තරවලට වල්පල් ලියමින් ඡන්දදායකයා මුලා කරයි.

එකී පුවත්පතේ නිවේදනයේ දී නිව්යෝර්ක් ටයිම්ස් ලිපියට පිළිතුරු වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ, ලිපියට පදනම් වී ඇත්තේ 2015 ජුලි මාසයේ රොයිටර් පුවත්පත් සේවය පළකළ ප්‍රවෘත්තියක් බවයි. එහි ඊළඟ තේරුම  මෙකී කරුණම ‍2015 ජුලි මාසසේ රොයිටර් විසින් ද හෙළි කළ බවයි. නමුත් ඒ ප්‍රවෘත්තියට මහින්ද රාජපක්ෂ පිළිතුරු දුන්බවක් සඳහන්‍ නො‍වේ. ඉන් කියැවෙන්නේ කුමක්ද? රොයිටර් පළ කළ පුවත මෙවර නිව්යෝර්ක් ටයිම්ස් පුවත තරමට මෙරට ප්‍රචලිත වූයේ නැත. එබැවින් මහින්ද නිහඬව සිටියේය. ඔහුට වටින්නේ එතෙර හොඳ නම නොව මෙරට ඡන්ද බැවිනි.

පුවත්පත් කලාවට අනුව ප්‍රවෘත්තියක් ඔස්සේ ගොස් වැඩිදුර කරුණු තොරතුරු අධ්‍යයනය කර ලිපි පළකිරීම ගවේෂණාත්මක මාධ්‍යකරණයේ අංගයකි. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් කලාවේදිනිය කර ඇත්තේ ද එයයි. එය අඩුපාඩුවක් නොවේ. මාධ්‍ය ක්ෂේත්‍රය අනුදත් ක්‍රමයකි. පැරණි රොයිටර් වාර්තාව ගැන නැවත පළ කිරීමක් ලෙස මෙවර ලිපිය හුවා දැක්වීමෙන් මහින්ද උත්සාහ කරන්නේ ද අදාළ ප්‍රශ්නය ප්‍රයෝගකාරී ලෙස මගහැර යන්නටය. එසේ නම් මහින්දට තිබුණේ 2015 රොයිටර් පුවතට නොබියව පිළිතුරු දී ප්‍රශ්නය එතැනින්ම කෙළවර කර ගන්නටය.

මහින්ද රාජපක්ෂ තම පිළිතුරු ලිපියේ සඳහන් කරන තවත් කරුණක් වන්නේ ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට චීනය මුදල් යොදවා තිබු‍ණේ නම් චීන වරාය සමාගමට වරාය නගරය නැවත නොලැබෙනු ඇති බව හා හම්බන්තොට වරාය බදු ගැනීමට ලංසු ඉදිරිපත්කිරීමට ද එම සමාගමට ඉඩ නොලැබෙන බවයි.

වරාය නගරය නැවත ලැබීම හෝ හම්බන්තොට වරායට ලංසු ඉදිරිපත් කිරීම හෝ මගින් අදාළ පාර්ශ්වය මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දයට වියදම් නොකළ බවක් තහවුරු වන්නේ නැත. අදාළ පාර්ශව වලට දඬුවමක් ලැබීමට එනම් වරාය නගර‍ය, හම්බන්තොට වරායට ලංසු තැබීම අහිමි වීමට මහින්ද මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් සැපයූ බව පරීක්ෂණයක් මගින් විධිමත්ව ඔප්පු කළ යුතුය. මෙරට පොදු ජනතාවගේ අවාසනාවට මහින්ද යුගයේ අනෙකුත් හොර මැර දූෂණ ක්‍රියා මෙන්ම මෙකී ගනු දෙනුව ගැනද අත්තේ නිද්‍රාශීලී පිළිවෙතකි. වරාය නගරයත් හම්බන්තොට වරායත් චීනයට ලබාගත හැකි වන්නේ එහෙයිනි.

චීන සමාගමට මරට දී අලකලංචියක් නොවූ නමුත් ඔවුනට වෙනත් රටවලදී සිදු වූ අකරතැබ්බ පිළිබද නිව්යෝර්ක් ටයිම්ස් හෙළිකර තිබේ.

ඔවුන් බංගලිදේශයේ දී මහාමාර්ග ආමාත්‍යාංශයේ නිලධාරියකුට තේ පෙට්ටියක බහා ඩොලර් 100,000ක අල්ලසක් දීමට උත්සාහ කිරීමේ චෝදනාව මත අනාගත කොන්ත්‍රාත් අහිමිවිය හැකි බව, අනෙක පිලිපීනයේ දී සිදු කළ දූෂණ හේතුවෙන් චීන සමාගමේ මවු සමාගමට ලෝක බැංකු ව්‍යාපෘතිවල ටෙන්ඩර් වසර 8 කට තහනමක් 2009 වසරේ පමුණුවා ඇති බවයි.

කොළඹ වරායට හා හම්බන්තොට වරායට පැමිණෙන නැව් සංඛ්‍යාව පිළිබද නිව්යොර්ක් ටයිම්ස් ලිපියේ කරුණු  වැරදි බව පවසන්නට මහින්ද රාජපක්ෂ මහතා ගන්නා උත්සාහයද පෙර පරිදිම සුත්තරකාරී ප්‍රයෝගයක් වන්නේ ඒ මහතා හම්බන්තොට නැව් වැඩි කරගත්තේ කොළඹ වරායට පැමිණෙමින් තිබුණු වාහන රැගත් නැව් හම්බන්තොටට බලහත්කාරයෙන් හරවා යැවීමෙන් බව නිව්යෝර්ක් ටයිම්ස් ලිපිය විසින්ම හෙලිදරව් කර ඇති බැවිනි.

තවද හම්බන්තොට වරායේ ණය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ලාභයෙන් ගෙවමින් තිබුණු බවද රාජපක්ෂ මහතා කියයි. අපූරු තර්කයකි. කොළඹ වරාය උපයන මුදලින් ණය ගෙවන්නට හම්බන්තොට වරාය ඉදිකළ යුතුද? මහින්ද මහතාගේ එම ප්‍රකාශයෙන් ද නිව්යෝර්ක් ටයිම්ස් ලිපිය නිවැරැදිබව තහවුරුවේ. එනම් නිව්යෝර්ක් ටයිම්ස් ලිපිය කියන්නේ මෙසේය. “මහා බ්‍රිතාන්‍යයෙන් හතරෙන් පංගුවක් පමණ ඇති, මිලියන 22 ක ජනගහනයක් ඇති, අගනුවර ඉතා දියුණු සහ තවත් පුළුල් කළ හැකි සාර්ථක වරායක් තිබිය දී තවත් වරායක් හැදිමේ ප්‍රඥාගෝචර බව නිලධාරින් මුලසිටම ප්‍රශ්න කළහ. ශක්‍යතා වාර්තා වලින්ද තහවුරු කෙරුණේද හම්බන්තොට වරාය ආර්ථික වශයෙන් සාර්ථක නොවන බවයි.”

වරාය අධිකාරියේ ලාබයෙන් හම්බන්තොට වරායේ ණය ගෙවමින් සිටි බව මහින්ද මහතා කියන විට තහවුරු වන්නේ ඉහත සදහනය. හම්බන්තොට ආදායමක් නැත. ණය ගෙවමින් සිටියේ කොළඹ වරාය උපයන මුදලිනි.

ලිපියේ කරුණු මගහැර යමින් (ලිපිය නොකියවූ පාඨකයාට) මහින්ද මහතා පිළිතුරු දෙන අවස්ථා රැසක් ඇතත් ලිපියේ සංස්ක්ෂිත බවට හානි සිදුවන බවැන් සියල්ල උපුටා දැක්විය නොහැක. එහෙත් තමන්ගේ මළයන්ඩි ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන ඉහලින් වර්ණනා කළේ යැයි මහින්ද රාජපක්ෂ මහතා සිය පිළිතුරු නිවේදනයේ කියන හිටපු ඉන්දීය විදේශ ලේකම් ශිව සංකර් මෙනන් මහතාගේ ප්‍රකාශයකින් නිව් යොර්ක් ටයිම්ස් උපුටා දක්වන කොටසකින් ලිපිය අවසන් කිරීම සුදුසුය. එය මෙසේය,

“මුලින්ම ඔවුන් අපි ළඟට ආවා. ඒත් ඉන්දිය සමාගම් අකමැති වුණා. හම්බන්තොට වරාය එදත් පුස් වෙඩිල්ලක් අදත් එහෙමයි”

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *