හිට්ලර් හොඳා මෙයා එපා – රුවන් ලොකුවිතානගේ

එකාබද්ධයේ දෙබිඩි විරෝධය

‘‘ඔවා දෙනු පහරට – තමා සම්මතයෙහි පිහිටා සිට’’ කියලා රුවන් වැකියක් අප අතර තිබෙනවා. ඒත් අපේ බොහෝ දෙනෙක් කැමැති වෙන්නේ ඉහත සඳහන් රුවන් වැකිය අමතක කරලා වඩාත් පහසු ‘‘කකුළු න්‍යාය’’අනුගමනය කරන්න. ඒත් ගමේ ගොඬේ වැඩවල දී, තමන්ගේ පුද්ගලික වැඩවල දී මේ කකුළු න්‍යාය භාවිතයෙන් සිදුවන අවැඩට වඩා දැවැන්ත විනාශයක් ජාතික දේශපාලනයේ දී කකුළු න්‍යාය අනුගමනය කිරීම මගින් සිදු වෙනවා. අපට මේ කකුළු න්‍යාය වඩාත් හොඳින් අභ්‍යාස කරන ආකාරය අපේ පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීත්වය සහ ඇතැම් අවස්ථාවාදී රෙජිම ජනමාධ්‍ය හැසිරීම සුලභව දැකගත හැකියි.

ඒකාබද්ධ විපක්ෂයේ මේ කකුළු න්‍යාය වඩාත් හොඳින් ප්‍රදර්ශනය කළ අවස්ථා තුනක් අපට පසුගිය සති කිහිපය තුළ දැක ගැනීමට ලැබුණා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව නූතන හිට්ලර් ලෙස අභිෂේක කරනු දැකීමට නායක භික්ෂූන් වහන්සේ නමක් තම කැමැත්ත එළිපිට ප්‍රකාශ කිරීම, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ චීන ගනුදෙනු පිළිබඳ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කළ හෙළිදරව්ව හා නියෝජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනයේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් උද්ගත වූ තත්ත්වයයි ඒ.

මේ සිදුවීම් තුනේදීම ඒකාබද්ධ විපක්ෂය සහ රෙජිම මාධ්‍ය හැසිරීම අපට සිහිපත් කළේ ‘‘ඔවා දෙනු පරහට – තමා සම්මතයෙහි පිහිටා සිට’’ යන කියමන සහ තමන් හරහට ගමන් කරමින් කෙළින් ගමන් කරන මෙන් තම දරුවන්ට උපදෙස් දෙන බව කියන ‘‘කකුළු න්‍යාය’’යි. ඒකාබද්ධ විපක්ෂය හා රෙජිම මාධ්‍ය විසින් අනුගමනය කරන මේ කකුළු න්‍යාය හේතුවෙන් රට තුළ සිදුවන දේශපාලන හා සමාජයීය විනාශය ගැන ජනතාව වඩාත් සංවේ දී විය යුතු වන්නේ මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ ඇතුළු පරාජිත රෙජිමය දිගින් දිගටම අඛණ්ඩව අභ්‍යාස කරමින් සිටින මේ කකුළු භාවිතයෙන් අගතියට හා අපේක්ෂාභංගත්වයට පත්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අඛණ්ඩ අරගලයක යෙදෙමින් එය දිනාගත් මෙරට සාමාන්‍ය ජනතාව වන නිසයි.

පරාජිත රෙජිමයේ එකම අපේක්ෂා වන්නේ යළි හිට්ලර් පන්නයේ රාජපක්ෂ යුගයක් බිහි කිරීම නිසයි. මේ තත්ත්වය වඩාත් සරලව පැහැදිලි කරන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා නූතන හිට්ලර් ලෙස අභිෂේක කිරීමේ සිට විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය හරහා යළි කොටි පිබිදීමක් නිර්මාණය කරන ඊනියා භීතිය දක්වා සියලූ සිදුවීම් හරහා නිර්මාණය වන්නේ 2015 ජනවාරි 08 පොදුජන විජයග්‍රහණය මගින් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදය යළි රාජපක්ෂ පවුලේ පවුල් හා හවුල් පාලනයක් බවට පත් කරන මාවත එළිපෙහෙළි කිරීමයි. ජනවාරි 08 විප්ලවයට දායකත්වය දුන් ජනතාවට සරදම් කිරීමයි.

මහින්ද-ගෝඨා විජයකලාගෙන් ගොඩ යාම

ලෝකයේ අපකීර්තිමත්ම, ම්ලේච්ඡතම වර්ගවාදී ඝාතකයාගේ පුනරුත්පත්තියක් සඳහා විවරණ දෙමින් වෙඬරුවේ උපාලි හිමියන් කළ ප්‍රකාශය හමුවේ කසාය බිව් ගොළුවන් සේ සිටි විමල් වීරවංශ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය ( ඒකාබද්ධ විපක්ෂයෙන් වේඬරුවේ උපාලි හිමියන්ගේ මේ ප්‍රකාශය හෙළා දැක්කේ වාසුදේව නානායක්කාර මහතා සහ කුමාර වෙල්ගම මහතා විසින් පමණි ) සහ රෙජිම මාධ්‍ය, විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශයේ දී දුම්මල වරම අතට ගත් කපුවන් සේ පරල වෙන ආකාරයක් අපි දැක්කා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ අපකීර්තිමත්ම මන්ත්‍රීවරයෙක් ලෙස අභිෂේක ලැබීමට සියලූ ම සුදුසුකම් මහත් ඉහළින් සපුරා ඇති විමල් වීරවංශ සහ මර්වින් සිල්වා මහතාගෙන් පසු කැලණියේ දේශපාලන චණ්ඩියා ලෙස අභිෂේක ලබා ගැනීමේ දොළදුකෙන් පෙළෙන ප්‍රසන්න රණවීර මෙහි දී තමගේ දේශපාලන මුඪභාවය මනාව ප්‍රදර්ශනය කළ ආකාරයත් මුළු රටම දැක්කා.

විජයකලා මහේෂ්වරන් මහත්මියගේ හුදකලා ප්‍රකාශය එනම්, යාපනයේ ජනතාව ඉදිරියේ කළ සංවේ දී කතාව පාර්ලිමේන්තුව තුළ සහ රෙජිම මාධ්‍ය හරහා ඔසවා තැබීම මගින් ඒකාබද්ධ විපක්ෂය කෙටි කාලීන අරමුණු දෙකක් ඉටුකර ගැනීමේ වෑයමක යෙදෙන බව පැහැදිලිව දැකගත හැකියි. ඒ වෙඬරුවේ උපාලි හිමියන් හරහා සමාජගත කළ ගෝඨා සිහිනයට එල්ල වූ දැවැන්ත විරෝධය සහ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව මගින් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපේ‍්‍රමී සළු ගලවා දැමීමේ අපකීර්තිය අකාමකා දැමීමට පහසු අවස්ථාවක් නිර්මාණය කර ගැනීමයි.

මෙය මහින්ද හා ගෝඨාභය විජයකලා හරහා ගොඩයාමක් ලෙස අපට සැලකිය හැකියි. මන්ද විජයකලාගේ ප්‍රකාශය නොවී නම් මේ මොහොත වන විට මහින්ද රාජපක්ෂගේ දේශප්‍රේමී සළු සේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඒකාධිපති සිහිනය ද ලත් තැනම ලොප්වන නිසයි. ඒ නිසා විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය ඔසවා තබමින් කරන සියලූම මාධ්‍ය හා දේශපාලන විජ්ජා සැලකිය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කරන අවස්ථාවාදී ප්‍රයත්න වශයෙනුයි.

හිට්ලර්-ප්‍රභාකරන් යළි වුවමනා ඇයි? යන ප්‍රශ්නය දේශපාලනය ගැන සංවේ දී බොහෝ දෙනෙක් නැඟීමට හේතුව වන්නේ අන්ත වර්ගවාදය හරහා ලෝකය වනසා දැමූ ම්ලේච්ඡ ඝාතකයින් ලෙස පිළිකුළට ලක්ව ඇති නාමය පමණක් නොව නාසි සංකේත පවා ජර්මනිය ඇතුළු යුරෝපයා රාජ්‍ය තහනම් කොට ඇති හිට්ලර් සහ වේලූපිලේලේ ප්‍රභාකරන්ගේ ආගමනයක් ගැන යළි සිතීමට පවා සිහි කල්පනාවක් ඇති අයකුට හැකියාවක් තිබේද යන්න විශ්වාස කළ නොහැකි නිසයි.මේ සඳහා පහසු ප්‍රවේශයක් අපට පසුගිය 03 වැනි දා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් මහතා කළ ප්‍රකාශයක් මගින් ලබාගත හැකියි. මේ මාධ්‍ය හමුවේ දී විජිත හේරත් මහතා අවධාරණාත්මකව ප්‍රකාශ කළේ ‘‘එක පැත්තකින් හිට්ලර් ඉල්ලද් දී තව පැත්තකින් ප්‍රභාකරන්ව ඉල්ලන’’බවයි.

හෘද සාක්ෂියට එරෙහි වීම

මෙහි දී ඇතැම් බෞද්ධ භික්ෂූන්, ගිහියන්, දේශපාලනඥයින්, ජනමාධ්‍යකරුවන් හා විද්වතුන් ද ඇතුළත් අන්ත වර්ගවාදී හා ආගම්වාදී කල්ලිවල ආකල්ප හා වුවමනා එපාකම් පහසුවෙන් වටහා ගත හැකියි. අද හිට්ලර් ආගමනයක් ගැන පෙරුම්පුරන මේ සියල්ලන්ම පසුගිය පාලනය යටතේ සියලූ ආකාරයේ මූල්‍ය හා සමාජ වරදාන සිත් සේ භුක්ති විඳි අයයි. තමන්ගේ හැකියාවට, තත්ත්වයට වඩා දැවැන්ත වත්කම් හා බලයකට හිමිකම් ලබාගත් අයයි.

බිඳවැටෙනු ඇතැයි සිහිනෙන් පවා විශ්වාස නොකළ රෙජිම පාලනය බිඳ වැටුණු දා සිට ඉහත කල්ලිය බොල් පිළිම යළි ඔසවා තැබීමට කැසකවන්නේ යළිත් ධනය, බලය අත්පත් කර ගැනීමට පහසුම මාර්ගය රෙජිමය ඔසවා තැබීම බව මනාව දන්නා නිසයි. ඒ නිසා මේ කල්ලි ‘‘රට ඉවරයි’’ ‘‘බුද්ධාගම ඉවරයි’’ ‘‘ආර්ථිකය ඉවරයි’’ යනුවෙන් කියන වාරයක් පසා රැව්පිළිරැව් දෙන්නේ ‘‘අනේ අපි ඉවරයි’’ ‘‘අපේ ධනය ඉවරයි’’ ‘‘අපේ බලය ඉවරයි’’ යන අඳෝනාවයි. මේ තත්ත්වය උතුරේ දමිළ

දේශපාලන හා සමාජ ප්‍රභූන්ට ද අදාළයි. උතුරේ සමාජය තුළ ද අවස්ථාවාදීන් හා අන්තවාදීන් අදත් එදාවේල උපයා ගන්නේ ප්‍රභාකරන්ගේ කොටි අවතාර සහ දමිළ ජනතාවගේ කඳුළු වෙන්දේසි කිරීම මගින් පමණයි. ඒ නිසා තම අවස්ථාවාදී පැවැත්ම වෙනුවෙන් දකුණේ හිට්ලර් ඉල්ලීම සහ උතුරේ ප්‍රභාකරන් ඉල්ලීම අතර වෙනසක් දැකිය නොහැකියි. මෙය සැලකිය හැකි වන්නේ එකම කාසියේ දෙපැත්ත වශයෙනි.

හිට්ලර්-ප්‍රභාකරන් යළි වුවමනා ඇයි?

විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය හෙළා දකිමින් වලිගය ගිනිගත් හනුමා සේ රට ගිනි තබමින් සිටින විමල් වීරවංශ ඇතුළු පිරිස කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකව සිටිමින් රට බෙදන කතා කීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා රටේ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වන බවයි. රට බෙදීමට එජාපය අනුබල දෙන බවයි. මෙහි දී මතක් කරදිය යුත්තේ, ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටීම දේශපාලන පක්ෂවලට හා පුද්ගලයින්ට තහනම් කරන ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් 1983 අගෝස්තු මස 08 වැනිදා ගෙන ආ 06 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් බවයි.

‘‘… වන මම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට, කෙළින්ම හෝ අන්‍යාකාරයකින්, ශ්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටත දී ආධාරදීම, අනුබලදීම, අනුග්‍රහය දැක්වීම, මුදල් යෙදවීම, ධෛර්යදීම හෝ දේශනා කිරීම නොකරන බව ද ගෞරව බුහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා / දිවුරුම් දෙමි’’ මැයෙන් වූ මෙම ව්‍යවස්ථා සංශෝධනය අනුව දිවුරුම් දීමට දමිළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු අකමැති වීම නිසා ඔවුන්ට විපක්ෂනායකකම අහිමි වුවා මෙන්ම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමට ද සිදු වුණා.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිගත් උතුරේ දේශපාලනඥයින් පාර්ලිමේන්තුවෙන් පිටමං කිරීමේ පාපයට වන්දිය රටක් වශයෙන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ගෙව්ව බව මෙහි දී අමතක නොකළ යුතුයි. තවත් වසර 35කට පසු ජන හමුවක දී කළ සංවේ දී ප්‍රකාශයක් පදනම් කර ගනිමින් තවත් නියෝජ්‍ය ඇමැතිවරියක් පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට දතකන අය 1983 දී සිදු වු ඓතිහාසික අතපසු වීම ගැන යළි අවධානය යොමු කළ යුතුයි.

තවත් කරුණක් වන්නේ 06 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අනුව විජයකලා මහේෂ්වරන් මහත්මිය දඩයම් කරන්නට දතකන්නන්ට තම පාලන සමය තුළ සිදු වූ දේවල් පහසුවෙන් අමකත වීමයි. එනම් කොටි සංවිධානයේ දෙවැනියාව සිටිමින් අරන්තලාවේ භික්ෂූන් වහන්සේ ඝාතනය කළ, අත්අඩංගුවට පත් පොලිස් නිලධාරීන් 600 දෙනකු අමු අමුවේ ඝාතනය කළ, ශ්‍රී දළඳා මාළිගාවට බෝම්බ ගැසූ නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් නියෝජ්‍ය ඇමැතිකමක් ලබාදීමෙන් නොනැවතී ශ්‍රී.ල.නි.පයේ උපසභාපති පදවියකින් ද පිදුම් දුන් බව අමතක කිරීමයි. මේ සමඟ කරුණාගේ සගයා වන පිල්ලේයාන්, ප්‍රභාකරන්ගේ අනුප්‍රාප්තිකයා වන කේ.පී, දයා මාස්ටර් නඩත්තු කරමින් පෝෂණය කළ ආකාරය අද විජයකලා එල්ලීමට දතකන පිරිසට අමතක වීමයි.

විජයකලාගේ ප්‍රකාශයට නොදෙවෙනි ප්‍රකාශයක් ඒකාබද්ධ විපක්ෂයේ නැගෙනහිර මුස්ලිම් නායකයකු වන හිස්බුල්ලා මහතා විසින් ද පසුගිය මහනුවර – තෙල්දෙණිය සිදුවීම් පිළිබඳ පාර්ලිමේන්තුවේ දී කළා ‘‘මේ ආකාරයට ගියොත් මුස්ලිම් තරුණයින්ට ද තුවක්කු ගැනීමට සිදුවෙනවා’’ යැයි අවධාරණය කරමින් එදා හිස්බුල්ලා මහතා කළ එම ආන්දෝළනාත්මක ප්‍රකාශය හමුවේ කසාය බිව් ගොළුවන් සේ සිටි විමල් වීරවංශ එවැනිම සංවේ දී අවස්ථාවක විජයකලා කළ ප්‍රකාශය මත එල්ලීම ගොරකා දඩමක් කිරීමකින් ඔබ්බට ගිය දේශපාලන අවස්ථාවාදයකි.

විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීමට පවා අයිතියක් තිබේදැයි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ලංකා පාර්ලිමේන්තු ඉතිහාසය තුළ අපකීර්තිමත් ම සිදුවීම් දෙකකට විමල් වීරවංශ මහතා ඍජුව සම්බන්ධ වීම නිසාය. ඉන් ප්‍රකට හා බිහිසුණුම සිදුවීම වන්නේ විමල් වීරවංශ මහතාගේ බිරිඳගේ සොහොයුරා අජිත් කුමාර මහතා 1987 දී පාර්ලිමේන්තුවට බෝම්බ ගසා කළ විනාශයයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ද ජීවිතය ද අහිමි කළ මෙම සිදුවීම ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අපකීර්තිමත්ම සිදුවීම වශයෙන් සැලකෙනවා.

දෙවැනි සිදුවීම වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තුවේ බලය යළි තහවුරු කිරීමේ ක්‍රියාවලියේ සුවිශේෂ කඩඉමක් වන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විමල් වීරවංශ මහතා විසින් කළ අපකීරිත්මත් ප්‍රකාශයයි.

බෝම්බ පවුල හා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය

විමල් වීරවංශ මහතා විසින් රචිත ‘‘යදමින් බැඳි අක්ෂර’’ නම් කෘතිය එළිදැක්වීම වෙනුවෙන් 2017 ඔක්තෝබර් 22 වැනිදා කොළඹ පැවැති උත්සවයේ දී විමල් වීරවංශ මහතා දහස් සංඛ්‍යාත ජනතාවක් හමුවේ ප්‍රකාශ කළේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම වැළැක්වීම සඳහා ගත යුතු සෑම පියවරක්ම ගත යුතු බවත් යම් ආකාරයකින් එය වැළැක්විය නොහැකි වුවහොත් පාර්ලිමේන්තුවට ගුවනින් ගොස් බෝම්බ දැමිය යුතු බවයි.

සමාජය තුළ දැඩි විවේචනයට ලක් වූ මේ බිහිසුණු ප්‍රකාශය සම්බන්ධයෙන් නෛතික පියවර ගත හැකි බවත් එය බරපතළ ප්‍රකාශයක් බවත් නීති ක්ෂේත්‍රයේ අදහස වුවත් ඒ ප්‍රකාශය හරහා රට ගිනි තබමින් විමල් වීරවංශ මහතා දඩයම් කිරීමට ආණ්ඩුවට වුවමනාවක් තිබුණේ නැහැ. අද විජයකලාගේ ප්‍රකාශය හරහා තලියේ කිඹුල් දකින රෙජිම මාධ්‍යවලට එදා හිස්බුල්ලාගේ කතාව හා විමල් වීරවංශගේ කතාව පිටු ගණන් ලිවිය යුතු මාතෘකා වුයේද නැහැ. අද එවැනිම සංවේ දී ප්‍රකාශයක් කළ විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්ලීමට විමල් වීරවංශලා සහ රෙජිම මාධ්‍යවලට අවශ්‍යව ඇත්තේ අවස්ථාවාදය හා අන්තවාදය මේ පරාජිත කල්ලියේ එකම ගැළවුම්කාරයා වන නිසයි. මේ තත්ත්වය තුළ අප විමල් වීරවංශ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට හා රෙජිම මාධ්‍යවලට අවධාරණය කරන්නේ රටත් ජනතාවත් වළට කැඳවා ගෙන යන මේ කකුළු න්‍යායෙන් වහාම ඉවත්ව දේශපාලන හා සමාජ සංහිඳියාව වෙනුවෙන් කැපවන ලෙසයි. ඒ හිට්ලර් හෝ ප්‍රභාකරන්නේ අවතාර යළිත් දැකීමට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇපකැප වූ මෙරට අති බහුතරයක් ජනතාව කැමැත්තක් නැති බව සහතික නිසයි.

සටහන

රුවන් ලොකුවිතානගේ 

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *