ප්‍රගීත් එක්නැලිගොඩට මඩ ගහන්න ගොස් හමුදාවේ දුෂිතයෝ කකුල් කටේ දා ගනිති !

ekneligodaමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළ හමුදා කල්ලිය රැකගැනීමට විවිධ කතා ගොතන දුෂිත නිලධාරී කණ්ඩායම කියන්නට හදන කතාවලින් ඔවුන් කකුල් කටේ දමා ගන්නා තත්ත්වයට පත්ව සිටින බව එම සිදුවීම ගැන අවධානයෙන් සිටින නිරීක්ෂකයෝ කියති . මෙම තත්ත්වය ඇතිවී තිබෙන්නේ ප්‍රගීත් එල් ටී ටී  ඊ යට සම්බන්ද බවට කතා පතුරන්නට යාම නිසාය .

මොවුන් කියන්නට හදන ආකාරයට ප්‍රගීත් සබදතා පවත්වා ඇත්තේ යුද හමුදාවේ කණ්ඩායමක් පවත්වාගෙන ගිය ව්‍යාජ කෝටි සංවිධානයක් සමගය . එම සබදතාවය ගොඩ නගන්නේ ද හමුදාවේ බුද්ධි  අංශයේ වූවමනාවටය . හමුදාවට භාරවූ කෝටි සාමාජිකයකු සතුව තුබූ ප්‍රගීත්ගේ දුරකථන අංකය ඒ සදහා උපයෝගී කරගෙන ඇත . කෝටි සාමාජිකයා සංවිධානයේ දේශ පාලන අංශයේ සිටියෙකි . හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා සමග ප්‍රගීත් මඩු පෙදෙසේ කළ සංචාරයකදී ඔහු තම දුරකථන අංකය ලබාදී ඇත . මේ තාක් දුරට කතාවේ පරස්පරයක් නැත .

ඊළග කතාව නම් හමුදාවේ ව්‍යාජ කෝටි කල්ලිය ගිරිතලේ ප්‍රදේශයේ ව්‍යාජ කෝටි කදවුරක් පවත්වාගෙන ගිය බව හා ප්‍රගීත් එම කදවුරට දෙතුන් වතාවක් ගිය බවයි . ප්‍රගීත් පැහැරගෙන ගියේ 2010 ජනවාරියේදීය . ප්‍රගීත් සමග සබදතා ගොඩනගාගත් හිටපු කෝටි සාමාජිකයා හමුදාවට භාර වී ඇත්තේ 2009 වසර මුලදීය . ඊට වසරකට පෙර නැගෙනහිර පළාත කෝටි සංවිධානයේ ග්‍රහණයෙන් සම්පුර්ණයෙන් මුදාගෙන තිබිණි . 2009 මැයි වනවිට එල් ටී ටී ඊ ය සම්පුර්ණයෙන් වනසා දමා අවසානය . හමුදාව දැන් කියන කතාව ඇත්තනම් නියම කෝටි සංවිධානය විනාශ කළද ගිරිතලේ කැලයේද ව්‍යාජ කෝටි කදවුර අපුරුවට ක්‍රියාත්මක වී තිබී ඇත . එමගින් දකුණේ ඇතැම් ප්‍රහාර කළ බවත් එසේ කළේ ප්‍රධාන කෝටි නායකත්වයේ විස්වාශය දින ගැනීමටය යන්න තවත් කතාවකි . එසේ කීවද 2009 මැයි මාසයෙන් පසුව රටේ කිසිතැනක ත්‍රස්ත ක්‍රියා වාර්තා වී නැත . අනෙක් අතට මේ කියන දේ ඇත්ත නම් රටේ ඇතැම් ත්‍රස්ත ක්‍රියා සිදුකොට ඇත්තේ යුද හමුදා කල්ලියකි .එම අපරාධවලට වග කියන්නේ කවුද යන්න දැන් මතුවන ප්‍රශ්නයයි .

අනෙක් ප්‍රශ්නය නම් හමුදාවේ උපදෙස් මත ක්‍රියාකළ කෝටි සාමාජිකයා ප්‍රගීත්ගෙන් ලබාගත් සහාය කුමක්ද යන්නයි . ඔහු සහ ඔහුගේ සහෝදරයකු ලෙස පෙනීසිටි හමුදා නිලධාරියකු ප්‍රගීත් ගෙන් ඉල්ලා ඇත්තේ පිටරටකට යාමට ආධාර කරන ලෙසයි . පැහැරගෙන යාමට ප්‍රගීත් ගෙන්වාගෙන ඇත්තේ එසේ කියා බව පරීක්ෂණ වලදී හෙළිවී ඇත . ප්‍රගීත් කොටියකු කිරීමේ උත්සාහය එයින්ද ව්‍යර්ථ වෙයි .

ප්‍රගීත් පැහැරගෙන ගියදා  සිට ඔහු සැගවී සිටින බවට ,පිටරට ගොස් ජීවත්වන බවට ආදී වශයෙන් කළ ප්‍රචාර ආකාරයේම බොරු ප්‍රචාරයක් දැනටත් ක්‍රියාත්මක බව නිරීක්ෂකයෝ කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *