|

ගෝඨාට සහාය දෙන්න බැසිල්ගෙන් කොන්දේසි

මේ රටේ කලාකරුවන් මුහුණ දී සිටින ගැටලු ගැන සාකච්ඡා කිරීම සඳහා ඔවුන්ගේ නියෝජිත පිරිසක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණා. විජයදාස රාජපක්ෂ, ෆයිසර් මුස්තාපා ඇමැතිවරුන්ද රජයේ නිලධාරින් පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වුණා.

කලාකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහි දී කලාකරුවන් ජනාධිපතිතුමාව දැනුවත් කළා. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සිදුවී ඇති පිරිහීම ගැන කලාකරුවන් කරුණු දැක්වූවා. එම ක්ෂේත්‍රය නියාමනය සඳහා නීති රීති හා ක්‍රමවේද අවශ්‍ය බවත්, නියාමන ආයතනයක් අවශ්‍ය බවත් කලාකරුවන්ගේ අදහස වුණා. ජනාධිපතිතුමාත් ඊට සමාන අදහස් දැරූ අතර නියාමනයේ ප්‍රායෝගික ගැටලු පිළිබඳවද සාකච්ඡා කළා.

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය නියාමනය සඳහා කලාකරුවන් විසින් සකස්කොට ඇති ටෙලිනාට්‍ය ප්‍රමිතිකරණය, නියාමනය හා සංවර්ධන ආයතන පනතට අදාළ යෝජිත කෙටුම්පත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම මෙහි දී සිදුවුණා. රංගන ශිල්පිනී දීපානී සිල්වා මහත්මිය විසින් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදුවුණා.

දිවයිනේ දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට අදාළ සාකච්ඡාවක් පසුගිය අඟහරුවාදා ජනාධිපති මන්දිරයේ පැවැත්වුණා. මහා සංඝරත්නයේ නියෝජිතයන් සහ අන්‍යාගමික පූජකවරුන් සමඟ පැවැති මෙම සාකච්ඡාවට විජයදාස රාජපක්ෂ, අකිල විරාජ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, ඩී. එම්. ස්වාමිනාදන්, එම්. එච්. ඒ. හලීම් අමාත්‍යවරුන්ද නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද ඇතුළු මැති ඇමැතිවරුන්ද පළාත් ආණ්ඩුකාරවරු හා මහ ඇමැතිවරුන්ද අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරිහුද විශාල පිරිසක් එක්ව සිටියා.

පසළොස්වක පොහොය දිනයේ හා ඉරිදා දිනවල උපකාරක පංති පැවැත්වීම පාලනය කිරීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා. එහි මුල් පියවර ලෙස මෙම දිනවල පංති නොපවත්වන ලෙස උපකාරක පංති ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කිරීමටද ජනාධිපතිවරයා යෝජනා කළා. දහම් අධ්‍යාපනය දියුණු කිරීමට ගත යුතු පියවර ගැනද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නා.

දැනුමෙන් හැදියාවෙන් පිරිපුන් මිනිසුන් බිහිකරන්නේ දහම් අධ්‍යාපනය තුළින් බව ද ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නා.

ඇමැති වජිර අබේවර්ධන දිස්ත්‍රික් පුරා පවත්වන “නිල මෙහෙවර” සඳහා පසුගියදා යාපනයට ගියේ විදේශ ඇමැති තිලක් මාරපනද සමගින්. එහි දී රාජ්‍ය ඇමතිනි විජයකලා “එල්.ටී.ටී.ඊ ය යළි ඕනෑ” යයි කළ ප්‍රකාශය දේශපාලන ලෝකය කැලඹුවා. මේ බව කන වැටුණු අගමැතිවරයා වහාම විජයකලාට ඇමතුමක් දී කීවේ ඉක්මනින් පැමිණ තමා හමුවන ලෙසයි.

“සර් මට උණ හෙම්බිරිස්සාව. සනීප වු ගමන් කොළඹ එන්නම්” විජයකලා කීවා.

පසුදා කොළඹ පැමිණි ඇය අරලියගහ මැදුරට ගොස් අගමැතිවරයා හමුවුණා.

“මම කිව්වෙ උතුරේ අද තියෙන ඇත්ත තත්ත්වයයි. දෙමළ අයගේ ඉඩම් තාම පවරලා නෑ.සංවර්ධනය මදි. අපරාධ වැඩිවෙලා” ඇය කීවා .

“ඒත් ඒකට රජයෙන් විසදුම් ගන්නවා විනා එල්.ටී.ටී.ඊ ය යළි ඕනෑ කියන්න ඔබට අයිතියක් නෑ. ඒක තහනම් සංවිධානයක්. එය පරාජය කරන්න දහස් ගණන් රණවිරුවෝ ජීවිත පූජා කළා. ඔබ විශාල වැරැද්දක් කළේ. වහාම ඉල්ලා අස්වෙන්න” අගමැතිවරයා කීවා.

“මම ඒ ප්‍රකාශය ඉල්ලා අස්කරලා සමාව ගත්තොත් මදිද” විජයකලා කීවද අගමැතිවරයා ඊට එකඟ වුණේ නැහැ.

“එජාපය මට විරුද්ධව පවත්වන විනය පරීක්ෂණය නවත්වනවද” ඇය ඇසුවා.

“එහෙම බැහැ. විනය පරීක්ෂණය තියන්න වෙනවා. ඒකෙ තීන්දුව අනුව අනිත් දේවල් ගැන බලමු.” අගමැතිවරයා දැඩිව කී විට විජයකලා පිටව ගියේ නෙතට කඳුළක්ද නංවාගෙනයි.

බ්‍රහස්පතින්දා අගමැතිවරයා පාර්ලිමේන්තු යනවිට වෙනදා ඔහුව පිළිගන්නට එන සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල නොසිටියේ විදේශගතවීම හේතුවෙන්. ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකට එදින වැඩ අධික දිනයක් වූයේ ඒනිසයි.

“හම්බන්තොට වරාය හා චීනය ගැන අද ඔබතුමා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළාම හෙට මහින්ද රාජපක්ෂ ඊට පිළිතුරු දිය යුතු වෙනවා” ගයන්ත කීවා.

“කෝටි 112ක් චීනයෙන් පගාව ගත්තාය කියන එක චීනය ප්‍රතිකේෂ්ප කරල නැහැ. චීන රජය එවැනි පගාවක් නොදුන් බව විතරයි ඔවුන් කියන්නෙ. නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේ කියල තියෙන්නේ චීන රජය නොව චයිනා හාබර් සමාගම ඒ පගාව දුන් බවයි. මහින්ද ඒවාට පිළිතුරු දීම විනා පුවත පළ කළ නිව්යෝර්ක් පත්තරේට නඩු නොදමා ලංකාවේ ජනමාධ්‍යවලට තර්ජන දාල හරියන්නේ නෑ. හිරු හා දෙරණ මේ චෝදනාවෙන් මහින්ද ගලවා ගන්න රෙදි නැතුව දඟලනවා” රන්ජන් රාමනායක කීවේ සිනාමැදයි.

“හම්බන්තොට වරායේ අනාගතය ගැන ලංකාවට හා චීනයට දෙකටම බලපෑමක් නොවන ලෙසට අපි විසඳාගත්තා. තවත් විකල්ප තිබුණත් අපි හොඳම දේ කළේ. අපි පගා අරන් චීනය එක්ක වැඩ කළේ නෑ” අගමැතිවරයා කීවා.

“නිව්යෝර්ක් ටයිම්ස් එකට කතාකරන්න කියල ඒ අය මහින්දට ආරාධනා කළා. ඒ අභියෝගය පිළිගැනීම හෝ පාර්ලිමේන්තුවේ පිළිගත හැකි ප්‍රකාශයක් සිදු කිරීම දැන් මහින්ද මහතාගේ වගකීමයි. වටේ ගිහින් බෑ” නවීන් දිසානායක කීවා.

“පසුපෙළ එජාප අය නිව්යෝර්ක් පත්තරේට ලිපියක් ලියලා ලංකාව ගැන මෙවැනි තවත් තොරතුරු තිබේ නම් “යහ පාලනය” ශක්තිමත් කරන්න ලංකාවට ඒ තොරතුරු ලබාදෙන්න කියලා අපි ඉල්ලනවා. ඇමෙරිකාවට ගිහින් හරි තොරතුරු ලබාගන්න අපි සූදානම් කියලත් ඒකේ ලියනවා” චමින්ද විජේසිරි කී විට සියලු දෙනාම ඊට සහය පළ කළා.

“ ඒකාබද්දේ අය 2015 ලංකාවේ “ ඩේලි නිව්ස්” පත්තරේ තිබුණු ප්‍රවෘත්තියයි “නිව්යෝර්ක් ටයිම්ස් ” පුවතයි දෙකම එකයි මේක මඩක් කියලා රටට කියන්න හදනවා. මම පත්තර දෙකම බැලුවා. ඩේලි නිව්ස් එකේ තියෙන්නේ මෙවැනි පගාවක් අරන් තියෙනවා කියලා හා ඒ ගැන පරීක්ෂණ කළ යුතු බව විතරයි. ඒත් නිව්යෝර්ක් පත්තරේ මේ පගාවට අදාළ සියලු විස්තර බැංකු හා අනිත් තොරතුරු තිබෙනවා. එහෙම පගාවක් එදා ලැබුණු බව මමත් දන්නවා. ඒක කාගෙ සාක්කුවටද ගියේ කියල මේ ආණ්ඩුව පරීක්ෂණ කළ යුතුයි” නවීන් දිසානායක කීවා.

“උදයංග වීරතුංග අබුඩාබි හිරේ අපා දුක් විඳිනවලු. ඒ උසාවිය එයා නිදහස් කරන පසුබිමක් තිබෙනවා නම් එයා ලංකාවට එන්නෙ නෑ. එහේ උසාවියෙදි දැඩි දඬුවම් විදීමට සිදුවන බව දැනගෙනලු “බොරු වීරකමක්” පෙන්නලා ලංකාවට එන්න හදන්නේ. මමයි උදයංග ලංකාවට ගෙන්නන්නේ කියලා මහින්දත් ඒකෙන් ලකුණු දාගන්න හදනවා” රන්ජන් රාමනායක විස්තර කළා.

“නඩු කඩිනම් කිරීමේ මහාධිකරණ 03 තාම පරක්කු ඇයි” ගයන්ත කරුණාතිලක විමසුවේ අගමැතිගෙන්.

“ඉක්මනින් පළවෙනි එක පිහිටවනවා. ඒ අත්දැකීම් මත අනිත් ඒවා පිහිටවන්න පුළුවන්” අගමැති කීවා.

“විගණන පණත පාර්ලිමේන්තුවට ගෙන ඒම මේ රජය හා රට ලබන විශාල ජයක්. සමහර දූෂිත නිලධාරීන් 98 වතාවක් මේක කල් දාන්න ක්‍රියා කළා. ඒත් යහපාලන රජයේ දේශපාලකයන්ගේ උනන්දුව නිසා මේක අද ගේන්න ලැබුණා. ජනතාව මේවා තේරුම් ගන්න ඕනෑ” විජයදාස රාජපක්ෂ කළ විග්‍රහය අගමැති ඇතුළු සියලුදෙනා අනුමත කළා.

“ගෝඨා මුල්වරට පොහොට්ටු කාර්යාලයට ගිහින් සියලුදෙනා එක්ක හිනාවෙලා රඟපෑමක් කරල ඇතුලෙ ගින්දර වහගන්න හැදුවත් ජනාධිපති අපේක්ෂකය තෝරන දවසට පොහොට්ටු පුපුරනවා” චමින්ද විජේසිරි කීවේ කාගේත් සිනාමැදයි.

මඩකළපුව දිස්ත්‍රික්කයේ මීරාකර්නි හි ‘සම් සම් ග්‍රාමම්” සහ “සකාත් ග්‍රාමම්”86 වැනි සහ 87 වැනි උදාගම්මාන ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ ඇරයුමින් අමීර් අලි, අලි සහීර් මව්ලානා, ශ්‍රීනේෂන් යන පාර්ලිමේන්තු මැති ඇමැතිවරු ද සහභාගි වී සිටියා. ගම්මානවල සමරු ඵලක විවෘත කිරීමෙන් පසුව සජිත් සිරිත් පරිදි ගම්මානයේ නිවෙසින් නිවසට යාම සිරිතක්. නිවාස 43 කටම ඇවිද යාමට ඇති නිසා සජිත් ඉතා වේගයෙන් ඇවිදින්නට පටන් ගත්තා. මෙයින් ආරාධිත මැති ඇමැතිවරුන් තිදෙනා වැටුණේ අලි අමාරුවකටයි.

ඔවුන්ට සජිත් මඟහැර නවතින්නට ද බැරිය. හති දමමින් දහඩිය පෙරාගෙන සජිත් පසුපස එමින් එක් මන්ත්‍රීවරයකු කීවේ “ලේසි නෑ නේද ඇමැතිතුමා” කියායි. සජිත් කීවේ “ඔයගොල්ලො ඉගෙන ගන්න මගේ වේගයට වැඩ කරන්න” යනුවෙන්. “මඩකළපුව දිස්ත්‍රික්කයට උදා ගම්මාන 100 ක් දෙන්න මම පොරොන්දු වුණානේ. 100 ක් 200 ක් නොවෙයි. ගම්මාන 300 ක්ම මම හදලා දෙන්නම්” සජිත් කීවා. මන්ත්‍රීවරුන් කීවේ “නියමයි!” කියායි. “නියමයි කියලා විතරක් හරියන්නේ නෑ. ගිහින් දිසාපති හමුවෙන්න. ඉඩම් වෙන්කර ගන්න. ඉඩම් කට්ටි කඩවා ගන්න.

ඉඩම් නැති උදවිය දැනුවත් කරලා, ප්‍රාදේශීය ලේකම්වරු ලවා ඉඩම් කච්චේරි පවත්වලා සුදුස්සන් තෝරාගන්න. ඊට පස්සේ ගම් හදන්න පටන් ගන්න පුළුවන්’ සජිත් වැඩේ භාරදූරකම ගැන ඔවුන්ට කියා දුන්නා. අනතුරුව සජිත් කීවේ “ඔබතුමාලා වැඩේ අතට ‍අරන් ඊතලේ වේගයෙන් කරගෙන යන්න. ගම්මාන 300 ඒ වෙනුවෙන් මගෙන් පිරිනැමෙන තෑග්ග කියලත් මතක තියාගන්න”.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙකේ දිසාපති සමුළුව පැවැත්වුණේ ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහතා ද සහභාගී වුණා. දිසාපතිවරු තම දිස්ත්‍රික්කයේ ඇති පරිපාලන ගැටලු රැසක් මෙහි දී සාකච්ඡා කළා.

එහි දී විශේෂ අවධානයක් යොමු කළේ ඉදිරියේ දී සමෘද්ධි ප්‍රතිලාභ ලබාදිය යුතු පිරිස තෝරාගැනීම සම්බන්ධයෙන්.

”දිසාපතිවරුන්ගේ වාර්තා අනුව දැනට සමෘද්ධි හිමිකම ලැබිය යුතු ලක්ෂ අටක් පමණ පිරිසක් මේ ලංකාව පුරාම ඉන්නවා. මේ පිරිසට කඩිනමින් සමෘද්ධි දීමනාව ලබාදිය යුතුයි. සමෘද්ධි නිලධාරීන් වගේම සමෘද්ධි ලාභී පවුල් මෙරට දේශපාලනයට විශාල බලපෑමක් කළ හැකි පිරිසක්” යැයි ඇමැති වජිර කීවා.

සෙනසුරාදා උදෑසනම බලපිටියට ගිය වජිර අබේවර්ධන ඇමතිවරයා ඒකාබද්ධ මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකරන ලද මාර්ග දෙකක් හා නිල සෙවණ කාර්යාල තුනක් විවෘත කිරීමට සහභාගී වුණා.

ඉරිදා උදෑසනම යළි නියාගම ශ්‍රී පුණ්‍යාරාම විහාරස්ථානයට ඇමැති වජිර අබේවර්ධන ගියේ එහි නායක මාපලගම නන්ද හිමියන්ගේ ජන්ම උත්සව මාලාවේ අවසන් දින උත්සවයට සහභාගී වීමට. නායක හිමියන් රෝගාතුරව සිටිය දී සියලු උවමනා එපාකම් නොපිරිහෙලා ඉටුකළ වජිර ඇමතිවරයාටත් ඇමතිවරයාගේ පවුලේ සියලු සාමාජිකයන්ටත් ස්තූති කරමින් නන්ද හිමියන් දීර්ඝ කතාවක් කළා.

එතැනින් නික්මුණු ඇමැති වජිර කෙලින්ම යාපනය බලා පිටත් වුණේ පසුදා යාපනය දිස්ත්‍රික්කයේ සංවිධානය කර තිබූ ”නිල මෙහෙවර” නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනට සහභාගී වීමේ අපේක්ෂාවෙන්.

යාපනයට යන ස්වදේශ කටයුතු ඇමතිවරයා සමඟ විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා ද එක්ව සිටියා. තිලක් මාරපන ඇමතිවරයාගේ අමාත්‍යාංශයත් වජිර අබේවර්ධන ඇමතිවරයාගේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවත් එක්ව උතුරේ ඉඩම් ගැටලු නිරාකරණය සඳහා ජංගම සේවයක් ද ඉරිදා සහ සඳුදා දිනවල පැවැත්වෙමින් තිබූ අතර ඇමතිවරු දෙපළ සඳුදා ඊට එක්වීමට ද නියමිතව තිබුණා.

ඇමතිවරු දෙදෙනාට ම ඉරිදා රාත්‍රියේ බන්ධනාගාරයක අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව උදාවුණේ යාපනයේ මහ සයුර මැද පිහිටි ”හැමන් හිල්” බන්ධනාගාරයේ ඔවුන් දෙදෙනා නවාතැන් ගැනීම හේතුවෙන්. 1971 කැරැල්ලේ දී අත්අඩංගුවට ගත් රෝහණ විජේවීර ද රඳවා තැබූ මේ බන්ධනාගාරය දැන් හෝටලයක් බවට පත්කර තිබෙනවා.

පසුදා උදෑසන යාපනය නගරයේ වීරසිංහම් ශාලාවේ දී ”නිල මෙහෙවර” වැඩසටහන පැවැත්වෙන ආකාරය පිළිබඳ යාපනයේ ක්ෂේත්‍ර නිලධාරීන් දැනුමවත් කිරීම සංවිධානය කර තිබුණා. ඇමතිවරු දෙදෙනා එම උත්සවයට පැමිණි අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.පී.විග්නේශ්වරන් මහතා, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවනභවන් මහතා, පළාත් සභා මන්ත්‍රී අනනදි ශසිධරන් මහත්මිය, පළාත් සභා මන්ත්‍රී සී.වී.කේ.ශිව ඥානම් මහතා ඇතුළු මහජන නියෝජිතයන් විශාල පිරිසක් ද පැමිණ සිටියා.

එහි දී ඉතා ආවේගශීලීව කතා කළ විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳ කළ ප්‍රකාශය ලැව් ගින්නක් සේ පැතිර ගියේ රටේම පමණක් නොව සමස්ත ලෝකයේ ම අවධානය ඒ කෙරෙහි යොමු කරවමින්. විජයකලාගේ කතාව වේදිකාව ඉදිරිපිට පුටුවක වාඩි වී අසා සිටි ඇමැති වජිර ඒ මොහොතේම එම වේදිකාවේ දී ම තම කතාව පවත්වන අතරතුර ඉතා වගකීම් සහගතව ත්‍රස්තවාදය හා ජනතා ගැටුම් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද තම අදහස් ප්‍රකාශ කළේ විජයකලා අවේගාත්මකව කළ ප්‍රකාශයට ඉතා පැහැදිලි හා නිරවුල් ලෙස පිළිතුරු දෙමින්. ඇමතිවරයා එහි දී තරයේ ම කියා සිටියේ මේ රටේ අවුරුදු 30ක යුද්ධය අවසන්ව දැන් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ඇතැත් ප්‍රශ්න තිබෙන බවයි. මේ ප්‍රශ්න විසඳීම අමාරු කාර්යයක් බවත් සියලු දෙනා දේශපාලන පක්ෂ බේදයකින් තොරව එකට එකතු වී මහන්සියෙන් ගැටලු විසඳාගත යුතු බවත් එකම ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලෙස ජීවත් විය යුතු බවත් ඇමතිවරයා එහි දී කියා සිටියේ කලින් කතා කළ විජයකලාගේ ප්‍රකාශයට පිළිතුරු දෙන ආකාරයෙන්. ඇමැති වජිර එහි දී මෙසේ ද කීවා.

”උතුරේ අවුරුදු තිහක යුද්ධයත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදය නැතිව තිබුණා. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ලැබිලා තිබුණත් තවමත් ප්‍රශ්න තිබෙනවා. දැන් තිබෙන ප්‍රශ්න විසඳන්න අමාරුයි. ඒ ප්‍රශ්න විසඳීමට අපි හැමෝම සියලුම දේශපාලන පක්ෂ එකතුවෙලා කටයුතු කරන්න අවශ්‍යයි. එකම ශ්‍රී ලාංකිකයන් විදියට ජීවත්විය යුතුයි. එයට විරුද්ධව කිසිම කෙනෙක් කිසි දෙයක් නොකළ යුතුයි.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පසුගිය තුන්වෙනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා. ජවිපෙ නායක අනුර දිසානායක විදෙස් ගතවී සිටි බැවින් කණ්ඩායම් රැස්වීම පවත්වනු ලැබුවේ විජිත හේරත් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙහි දී විශේෂයෙන් අවධානයට ගැනුණේ විජයකලා ඇමතිවරියගේ ප්‍රකාශයත් එම සතියේ පාර්ලිමේන්තුවට ගෙනඒමට නියමිත විගණන පනත පිළිබඳවත්ය.

”විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ඒක කරන්නේ ජනාධිපතිවරයාගේ ජංගම සේවාවක උත්සවයකදී. ඒ විතරක් නෙවෙයි ඒ උත්සවයේ ස්වදේශ කටයුතු ඇමතියි, විදේශ කටයුතු ඇමතියි දෙන්නම ඉන්නවා. ආණ්ඩුවේ ඇමතිවරු ළඟ තියාගෙන මේ වගේ ප්‍රකාශයක් කරලත් පහුවදා දවල් වෙනකල් ආණ්ඩුව විදියට කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ” බිමල් රත්නායක කියා සිටියා. ”ඔව්, ඒ උත්සවය ආණ්ඩුවේ වැඩක්. ආණ්ඩුවේ ඇමතිවරු මේ වගේ ප්‍රකාශ කරන එක බරපතළයි. ඒ නිසා මේ ගැන අපි විරෝධය පළකරන්න ඕනෑ. ඒ විතරක් නෙවෙයි එම සිදුවීමට අදාළව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනෑ” විජිත හේරත් කීවා. ”අද මංකොල්ලකෑම්, මිනීමැරුම් ස්ත්‍රී දූෂණ මේ හැම එකක්ම වැඩිවෙලා. ඒ නිසා සමහරු මේ ප්‍රශ්නය වෙන වෙන විදියට දකිනවා. කොටසක් හිට්ලර් ඕනැ කියනවා. තව කොටසක් ප්‍රභාකරන් ඕනැ කියනවා. මේ වගේ ප්‍රකාශවලට ඉඩ හැදෙන විදියට රට අරාජික කරලා තියෙන්නේ මේ ආණ්ඩුව” වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියා.

”ආණ්ඩුව මේ සතියේ විගණන පනත පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවා. මේ විගණන පනත දින 100 වැඩපිළිවෙළ යටතේ එන්න තිබුණ එකක්. නමුත් දැන් කල් මරලා වෙනත් පාර්ශ්වවල බලපෑම නිසා තමයි ආණ්ඩුවට ගේන්න වෙලා තියෙන්නේ.

මේ ගැන උනන්දුව දක්වන බොහෝ පිරිසක් මාත් සමඟ සාකච්ඡාකළා. ඒ අයට උවමනාව තියෙනවා කොහොම හරි විගණන පනත සම්මත කරගන්න. නමුත් බලයක් නැති පනතක් සම්මත කරලා වැඩක් නැහැ.” විගණන පනත පිළිබඳව සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළා.

“අපි පනතට සංශෝධන යෝජනා කරමු” නිහාල් ගලප්පත්ති යෝජනා කළා.

“ඔව්, අපි මේ විගණන පනත බලාත්මක කරන ආකාරයේ සංශෝධන දාන්න ඕනෑ. ආණ්ඩුව ඒවා භාරගනීද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් මේ පනත රටට වැඩක් ඇති පනතක් වෙන්න නම් සංශෝධන ඉදිරිපත් කරන්නම වෙනවා.” බිමල් රත්නායක කියා සිටියා.

ඒ අනුව සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විසින් පස්වෙනිදා පෙරවරුවේ දී විගණන පනතට සංශෝධන 16ක් සහිත ලියවිල්ලක් පාර්ලිමේන්තුවට බාරදුන්නා.

ප්‍රවීණ කලාකාරිනියක් මෙන්ම සමාජවාදී කලා සංගමයේ කටයුතුවල නිරත දිපානී සිල්වාගේ මෑණියන් පසුගියදා අභාවප්‍රාප්ත වුණා. දීපානි සිල්වාගේ මවගේ මෙම අභාවය පිළිබඳව ජවිපෙ නායකයින්ට දැන ගැනීමට ලැබුණේ දෙවැනිදා පස්වරුවේදීය. ඒ වන විට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, විජිත හේරත්, ලාල්කාන්ත ඇතුළු පිරිස 20වැනි සංශෝධනය පිළිබඳව ජනතාව දැනුවත් කරන පත්‍රිකාවක් බෙදමින් සිටියා. මේ පිළිබඳව දැනගැනීමෙන් පසුව සමාජවාදී කලා සංගමය මැදිහත් කර අවමංගල්‍ය වැඩකටයුතු සංවිධානය කිරීමට දීපානි සිල්වාගේ පවුලේ ඥාතීන්ට සහයෝගය ලබා දී තිබුණා. බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන් වරින් වර මළ ගෙදර වැඩකටයුතු පිළිබඳව සොයා බැලූවා. අවසන් කටයුතු සිදුකරන දිනයේ දී එම අවස්ථාවට ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ද සහභාගි වුණා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පසුගිය සඳුදා පැවැත්වුණා. එහි විශේෂත්වය වූයේ ශ්‍රීලනිපයේ16 කණ්ඩායමේ මන්ත්‍රීවරුන් 14ක් එයට සහභාගී වී සිටීමයි. ඔවුන්ට එලෙස සම්බන්ධ වීමට හැකිවුයේ බැසිල් රාජපක්ෂ මහතා පැනවූ කොන්දේසියක් පිළිගෙන 16 කණ්ඩායම විසුරුවා හැරීමෙන් පසුවයි. කෙසේ වෙතත් දයාසිරි ජයසේකර හා එස්. බී. දිසානායක මන්ත්‍රීවරුන් මෙම රැස්වීමට සහභාගීවූයේ නැහැ. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එදා ජනාධිපති සමඟ ශ්‍රී. ල. නි. ප. සාකච්ඡාවට එක්ව සිටියා. එස්. බී. දිසානායක මහතා විදේශගතව සිටිනවා.

සඳුදා පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේ දී මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කළා. එනම් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ප්‍රශ්නය පක්ෂය ඇතුළේම විසඳාගත් බවයි. එම තීරණය කුමක්දැයි නිසි අවස්ථාවේ දී කියන බව ද රාජපක්ෂ මහතා කීවා.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග කියන්නේ ජනාධිපති අපේක්ෂකත්වය ගැන බැසිල් රාපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට කොන්දේසි ගණනාවක් ඉදිරිපත්කොට ඇති බවයි. එනම් ගෝඨාභයගේ ‘වියත්මග’ හා ‘එළිය’ වැඩ සටහන් නවතාදමා පොහොට්ටුවේ දේශපාලනයට එක්විය යුතු බවයි. ඉන්පසුව පොහොට්ටු පක්ෂයෙන් සකස් කරන දේශපාලන වැඩ පිළිවෙළකට සහයදෙමින් කටයුතු කළ යුතු බව ද කොන්දේසියක් වී තිබෙනවා. එම සමස්ත වැඩපිළිවෙළ මෙහෙයැවීම සිදුකරන්නේ බැසිල් රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සිටින හමුදා නිලධාරීන් හා වෙනත් අයට කැමැතිනම් එම වැඩපිළිවෙළට එක්විය හැකියි.

බැසිල්ගේ මෙම කොන්දේසි ඉටුකිරීමේ පළමු පියවර ලෙස බත්තරමුල්ල නෙළුම් මාවතේ පොදු ජන පක්ෂ කාර්යාලයේ දේශපාලන කටයුත්තකට එකතුවීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා ලැබුණා. එම ආරාධනාව කළේ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින්. ඒ අනුව බදාදා ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පක්ෂ කාර්යාලයට ගියේ පළාත් නියෝජිතයන්ගේ රැස්වීමකට සහභාගී වීමටයි. එම අවස්ථාවට බැසිල් රාජපක්ෂ මහතා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියා. මෙය මේ වනවිට තදින් භේද වී සිටින මහින්ද පිලේ කණ්ඩායම් අතර යම් සම්මුතියක් ඇතිකර ගැනීමට දරන උත්සාහයක් ලෙස පෙනෙන්නට තිබුණා. කෙසේ වෙතත් ගෝඨාගේ කණ්ඩායමට බැසිල් කණ්ඩායමේ පහළ මට්ටමින් තිබෙන විරෝධය පහසුවෙන් සමනය වන බවක් පෙනෙන්නට නැහැ.

ගොසිප්ලන්තය

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *