වගකිවයුතු පුවත්පතක් එහෙම ආවාට ගියාට පුවත් පළකරන්නෙ නැහැ. – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

ගෝඨාභයගේ ආගමනයක් එක්ක ඒකාබද්ධ විපක්ෂයේ දෙ‍‍දරීමක් ඇති වෙලා තියනව නේද? ඒකාබද්ධයේ ප්‍රබල චරිතයක් වන වාසුදේව නානායක්කාර පවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වෙනවාට ප්‍රසිද්ධියේම අකමැත්ත ප්‍රකාශ කරනව.

පොදු විපක්ෂය තුළ දෙදරීමක් ඇති වෙලා තියනව වගේම ඇතිවෙලා තිබුණ දෙ‍දරීම පුපුරායන තත්ත්වයක් නිර්මාණය වෙලා තියනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක දුරයට එනවාට වාසු ඇතුළු කන්ඩායමක් එළිපිටම විරුද්ධත්වය ප්‍රකාශ කරන තත්ත්වයකට පත්වෙලා තියෙනව.

තවමත් ජාතිවාදය ඇවිස්සීමෙන් රටේ බලය ලබාගන්න පුළුවන් කියල හිතන පිරිසක් ඉන්න බව පේනව.

ඔව්, මහින්ද රාජපක්ෂලා එක අතකින් අපි ජාතිවාදි නෑ කියල පෙන්නන්න  අතරම, අනිත් අතින් ජාතිවාදි බව ප්‍රකට කරනව. මේ දෙකම කරන්නේ දියවෙමින් යන ඡන්ද පදනම ආරක්ෂා කරගන්නයි. දෙපිරිසකට දෙවිදියකට ආමන්ත්‍රණය කරන්න හැදු‍වත් මේ ස්ථවාර දෙකේකම එකවර කටයුතු කරන්න බැරිබව දැන් ඔප්පු වෙමින් තියෙනව.

අද වෙනකොට පන්සල් පුදබිම් නොවන දේශපාලන කඳවුරු බවට පත්වෙමින් තියෙන බව පෙනවා. වෙනදා ඇසුන සාදුකාරය වෙනුවට අද ඇසෙන්නේ ජයවේවා! කියන හඬ. ඒ කියන්නේ මහින්ද පන්සල් වලට වරදාන වරප්‍රසාද දීමෙන් බලාපොරොත්තු වූ දෙය ඉටු මේවන විට ඉෂ්ඨ වෙලා තියෙන බවද?

පන්සල් සම්බන්ධයෙන් නම් මහින්ද රාජපක්ෂ කළ දෙයමයි වත්මන් ජනාධිපතිවරයාත් කරන්නෙ. භික්ෂුන් වහන්සේලා වරදාන වරප්‍රසාද මගින් සතුටු කර ඔවුන් බල සේනාවන් බවට පත්කර ගැනීමයි සිදුවෙන්නෙ. අද නීතියේ ආධිපත්‍ය යට කරගෙන යන තරමට භික්ෂු කණ්ඩායම් බලගැන්විලා තියෙනව. ඒ තත්ත්වය ඇතිකරන්න ඔවුන් බෞද්ධ සාහිත්‍ය මෙන්ම බෞද්ධ සංස්කෘතියේ වචන ඉදිරියට දමාගෙන වෙනම උප සංස්කෘතියක් ගොඩ නඟාගනිමින් සිටිනව. උපාසක අම්මලාටත් අද ඕනැකර තියෙන්නේ සසර දුකින් එතෙරව නිවන් දකින්න නෙමේ. රාජපක්ෂ කෙනෙක් ජනාධිපති පොරයෙන් එතෙර කරල නිවන් දකින්නයි. සැබෑ බෞද්ධය උපාසකයන් පන්සල් වලින් ඈත්වෙලා අවස්ථාවාදි දේශපාලන හෙන්චයියන් පන්සල් ආක්‍රමණය කරලා තියෙනව.

1956 බණ්ඩාරනායක ඝාතනය සිදු වූ වෙලාවේ මිනිස්සු හාමුදුරුවරු බස්වලින් එළියට ඇදල අරන් පහර දුන්නා. එදා එම ඝාතනයේ විත්තිකරුවන් වූ ස්වාමින්වහන්සේලා හිරගෙදරට නියම වෙලා හිරබත් කෑවා. ජම්පරේ ඇන්දා. උගත් විනයධර භික්ෂූන් ඒවට අත දාන්න ගියේ නැහැ. මිනිස්සු මේවා හැමදාම ඉවසගෙන ඉඳීවි කයලා හිතන්න ආමාරුයි.

එන්න එන්නම බෞද්ධ භික්ෂුව තම ගරුත්වය හීන කරගන්නා බව රහසක් නෙමෙයි. තම සැමියා‍ගේ අතුරුදන් කරවීමේ සිද්ධියක් පිළිබඳ නඩුවකට සාධාරණය ඉල්ලා උසාවියට ගිය කාන්තාවකට උසාවිය තුළ දී ම බැනවැදීමට තරම් අද බෞද්ධ භික්ෂුව පිරිහිලා තියෙනව. ඒවා ජනතාව විසින් අනුමත කරන තත්ත්වයට ජනතාව ඇදදාලා තියෙන බවත් පේනවා. වැරැද්දට දුන් දඬුවම පිළිගන්නෙ නැතුව එයට අභියෝග කරන්නත්, එයට විරුද්ධ උසාවිය ඉදිරිපිට පෙළපාලි යන්න තරම් භික්ෂුන්ට හැකියාව ලැබිල තියෙනව. මේවා ඔසවා තබන්නත් ඇතැම් මාධ්‍ය සැදීපැහැදී ඉන්නවා නේද?

ජනතාව මේවා අනුමත කරනව කියන එකට මම විරුද්ධයි. මේ ව්‍යාපාරයේ යෙදී ඉන්න කොටසක් ඉන්වා. ජාතිවාදයට බර මාධ්‍ය සහ ඒවා‍යේ සේවය කරන පිරිස්. පන්සල්වලට ගොස් මොවුන් උසි ගන්නවන දේශපාලන හෙන්චයියන්, ඉතාම සැලසුම් සහගතව මේ කටයුතු මෙහෙයවන බව පැහැදිලියි.

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ, මහින්ද රාජපක්ෂට ජනාධිපති වරණය සඳහා වියදම් කිරීමට ඩොලර් මිලියන 7.6ක් චීනයෙන් මුදල් දීම’ මේ වන විට කිසිවෙක් බලාපොරොත්තු නොවූ පරිදි ගිනි කන්දක් හිටිඅඩියේම සක්‍රීය වීමක් වගේ වෙලා තියෙනව. එහෙත් මහින්ද රාජපක්ෂ එය සැහැල්ලුවෙන් ප්‍රති‍ක්ෂේප කරන බව පෙන්වීමට උත්සාහ ගන්නවා. එම පුවත එසේ ගණන්නොගත යුතු පුවතක් ද?

මේක පළවුනේ හරියටම කියනව නම්, ජුනී මාසේ 25 වෙනිදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ. වගකිවයුතු පුවත්පතක් එහෙම ආවාට ගියාට පුවත් පළකරන්නෙ නැහැ. පුවත් පළ කරන්නේ පරීක්ෂණ කරල, ගවේශනය කරල, හොයල බලල, නිවරද්‍යතාවය තහවුරු වුණාට පසුවයි.

2015 ජනාධිපතිවරණයට වියදම් කිරීමට මහින්ද රාජපක්ෂට චීනෙන් ඇමරි‍කන් ඩොලර් මිලියන 7.6ක් සඳහා චෙක්පත් ස්ටෑන්ඩට් චාටඩ් බැංකුවෙ තැන්පත් කෙරුව කියල තමයි පළවෙලා තිබුණෙ.

ඒක එහෙම වුණේ නෑ කියල කියන්න පුළුවන් කමක් නෑ. මහින්ද රාජපක්ෂයට මේකට පැහැදිලි පිළිතුරක් දෙන්න පුළුවන් කමක් තියෙන්න ඕනෑ. ‘මට ඔවුන් සල්ලි දුන්නෙත් නෑ. මම ඔවුන්ගෙන් සල්ලි ගත්තෙත් නෑ’ කියල. නමුත් ඔහු එහෙම කියන්නෙ නෑ. ඒ වෙනුවට ඔහු ඇතුළු පිරිස කරන්නෙ එම පුවත්පතට පහර ගැසීමයි. එම පුවත්පත වැදගැම්මකට නැති පුවත්පතක් බව ප්‍රකාශ කිරීමයි.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වගකීමකින් කටයුතු කරන පුවත්පතක් බවත් එහෙම අවාට ගියාට කරුණු ඉදිරිපත් කරන්නෙ නැති බවත් මාධ්‍යවේදීන් අතරත් පාඨකයන් අතරත් ප්‍රසිද්ධ කරුණක්.

රාජපක්ෂ කණ්ඩායම විසින් නිව්යෝර්ක් පුවත්පත හඳුන්වන්නේ, නොවැදගත් පුවත්පතක් හැටියට. ඉස්සර තිබුණ සවස, ජනතා වගේ හවසට පළවෙන, එතරම් වැදගත් පුවත් පළනොවන නොවන, ඕපාදූප පුවත්පතක් ලෙසයි. සැබෑ තත්ත්වය ඒකද?

ලංකාවේ පිළිගයුතු මාධ්‍යවේදින් සියළුදෙනාම පාහේ කියන්නේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඔප්පු කරන්න බැරි පුවත් ආවට ගියාට පළ කරන්නේ නැති බවයි. සමහර විට මෙහෙම වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාව චීනයට වඩාත් අනුගත වීමකින් කටයුතු කරන නිසා බටහිර ජනමාධ්‍ය එයට පහර දීමක් වශයෙන් මෙම තොරතුරු හෙළිකරනවා වෙන්නත් පුළුවන්. නමුත් එහෙම කියල නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත බොරු පුවත් මවන්නේ නැහැ. එම පුවත්පතට මෙතෙක් කිසිම හානියක් වෙලා නෑ. ඔවුන් ඔප්පු කරන්න බැරි පුවතක් පළ නොකරන බව ඔවුන් ගොඩනගාගෙන ඇති කීර්තියෙන් කියන්න පුළුවන්.

රාජපක්ෂ කණ්ඩායම නිව්යෝර්ක් පුවත්පත බොරු කියන්නෙ  කියල කොතෙක් කීවත් ඔවුන්ගේ කීර්තිනාමයට මෙතෙක් කිසිම හානියක් වෙලා නැහැ.

එක්සත් ජාතික පක්ෂය කියනව, තමන්ගේ දේශපාලන ගමන තනියම යනවා කියල. තම පක්ෂයෙන් ජනාධිපති අ‍‍පේක්ෂකයෙක් ඉදිරිපත් කරනව කියලත් කියනව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එම අදහසම ප්‍රකාශයම කරනව. මේ අනුව බලනකොට,  සාධනීය අරමුණකින් එකතු වූ ප්‍රධාන පක්ෂ දෙක ඇතුළු යහපාලන සන්ධානය මේ වන විට බිඳ වැටිල තියෙනව නේද?

මේ දෙපිරිස දෙකට කැඩීමෙන් යහපාලන පැවැත්මට අවාසියක් වෙනව. දැනටම මේ දෙපිරිස අතර විරසකයක් තියෙන බව පේනවා. ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහගෙ ක්‍රියාකලාපය අනුමත නොකරන බවත්, ඒ වගේම ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් අනුමත නොකරන බවත්, දෙපිරිස අතර මතභේදයක් තිබෙන බව පැහැදිලියි. මේ දෙන්නගෙම ප්‍රකාශකයින් කියනන්නේ ඔවුන් දෙන්නා පක්ෂ දෙකෙන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බවයි.

මගෙ අදහස් නම් ඔවුන් දෙන්නටම තනි තනිව තරඟ කර කාටවත් ජයග්‍රාහි අපේක්ෂකයා වෙන්න බැරි බවයි. යහපාලන කණ්ඩායමෙන් ජනාධිපතිවරයකු බිහිකෙරුවෙ (පොදු අපේක්ෂකයා) ප්‍රධාන පක්ෂ දෙක හා සිවිල් සංවිධාන රැසක් එකතු වෙලයි. එයට රටේ මධ්‍යස්ථ ඡන්ද දායකයගෙ අනුමැතිය ලැබුණ.

කොහොම නමුත් තව වසර එකහමාරකින් ජනාධිපතිවරණයක් එනවා. ඒ වෙනකොට රටේ මොනවගේ දේශපාලන තත්ත්වයක් නිර්මාණ‍ය වෙයි ද?

ඒ වෙනකොට රටේ ඇතිවන තත්ත්වය මොකක්ද කියල මේ වෙලාවෙ අනාවැකි කියන්න අමාරුයි. නමුත් අපි විසින් කළයුතු කාර්යයන් වගයක් තියනවා. එකක් තමයි 2015 ජනවාරි 8 වෙනිදා හා අගෝස්තු මාසේ මේ රටේ ජනාධිපතිවරයා හා ආණ්ඩුව බලයට පත්කරනකොට ජනතාව බලාපොරොත්තු වුණ අපේක්ෂා ඉටු කරගැනීමට, තවමත් අපේක්ෂා කරන සියලු පිරිස් එකතු කළ යුතුයි. මෙතනදි කළකිරි ඉවත් වී ගිය පිරිසත්, මේ ගැන උපේක්ෂාවෙන් සිටින පිරිසත් මේකට එකතුකර ගතයුතුව තියෙනවා.

කවුරුත් උත්සාහගන්නේ තමන්ගේ අපේක්ෂකයා බලයට ගෙනඒමටයි. පොහොට්ටුව කණ්ඩායම හදන්නේ රාජපක්ෂවරුන්ගෙන් කෙනෙක් බලයට ගේන්න. එජාපයට අවශ්‍ය එජාප නායකයා හෝ එජාපයේ කෙනෙක් බලයට ගෙන්න. ඒකද සිදුවෙන්න ඕනැ. නැත්නම් රට මේතත්ත්වයෙන් ගලව ගෙන රට ඉදිරියට ගෙන යන කෙනෙක්ද ජනාධිපතිවරණයට එන්න ඕනැ.

ඇත්ත වශයෙන්ම හොඳ නායකත්වයක් තමයි මේ වෙලාවේ රටට අවශ්‍ය වෙලා තියෙන්නෙ. තවම පැහැදිලිව පෙනෙන නායකයෙක් අපට දකින්නට නෑ. එහෙම නායකයෙක් ඇති නොවෙයි කියලත් සැකයක් ඇති කරගන්න උවමනාවකුත් නෑ. කවුරුත් හිතුවෙ නෑ සිරිසේන වගේ කෙනෙක් ජනාධිපතිවෙයි කියල. එහෙම තවත් අප්‍රකට කෙනෙක් රටේ ජනාධිපති අපේක්ෂයා වෙලා මේ රටේ සියලු ප්‍රගතිශීලි බලවේග ඒ නායකයා වටේ එකතු වෙන්න තවමත් ඉඩකඩ තියෙනව. ඒ සඳහා ප්‍රයත්නයක් දැරිය යුතුව තිබෙනවා.

ඔබ කියන අපේක්ෂකයා නීතිඥ නාගහනන්ද වගේ කෙනෙක් ද? ඔහුට ඒ පුරප්පාඩුවට සපුරන්න පුළුවන්ද?

නීතිඥ නාගහනන්ද හුදකලා පුද්ගලයෙක්. අනෙක ඔහුගේ අවධානය විශේ‍ෂයෙන්ම යොමු වෙලා තියෙන්නේ නීති‍යේ ආධිපත්‍ය යළි පිහිටුවීමට සහ අධිකරණ ක්ෂේත්‍රයේ තිබෙන ප්‍රශ්න පිළිබඳව. මට හිතෙන්නේ එයට වඩා පුළුල් වූ දූෂණයට එරෙහි වගේම ඇතිවෙලා තිබෙන ව්‍යාකූල තත්ත්වය නැති කළ හැකියයි සිතෙන පිළිගතයුතු පුද්ගලයකුට තමයි ඉදිරියේ දී ජනාධිපතිවරණයක දී නායකත්වයක් දෙන්න සුදුසු කම් සපුරන්නේ.

අති විශාල ජනතාවක් සාධනීය බලාපොරොත්තු ඇතිව පත්කරගත් ජනාධිපති සිරිසේන මහතා අසාර්ථක වූ නිසා මින්පසු පොදු අපේක්ෂකයෙක් දිහා ජනතාව බලන්නේ උපේක්ෂාවෙන් නේද? මෛත්‍රිපාල සිරිසේන මහතාට ජාති, ආගම්, වර්ග, කුල භේදයකින් තොරව අති විශාල ජනතාවක් යහපත් රටක් බලාපොරොත්තුවෙන් බලයට පත්කෙරුවා. ඒ බලාපොරොත්තු ඉටුවූයේ නෑ. ඒ නිසා අපේක්ෂා භංගත්වයකට පත්වෙලා නේද ජනතාව මේ අවස්ථාවේ පසු වෙන්නෙ.

ජනතාව තුළ ඒ බලාපොරොත්තු තවමත් තියෙනව. මේ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සෙ ප්‍රජාතන්ත්‍රවාදි අවකාශයක් ඇති වුණා තමයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය ජනතාව ගණන් අරන් තියෙන්නෙ දුර්වලකමක් විදිහට. මොකවත් කරගන්න බැරි මොනවාවත්ම සිද්ධ වෙන්නෙ නැති තත්ත්වයක් හැටියට තමයි සමහර කොටස් ජනාධිපති හා ආණ්ඩුව ගණන්අරගෙන තියෙන්නෙ. නමුත් ජනතාවගෙ යහපත් අපේක්ෂාවන් තවම තියෙනව.

ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් අති කරගැනීම සඳහා ජනතාව ගොනු කර ගැනීමේ හැකියාව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වන සංසෝධණය තුළ හුඟක් දුරට තියෙනව.

මම ළඟදි අහගෙන හිටියා 20 වන සංසෝධනය ගැන අනුර කුමාර දිසානායක කරපු විස්තරයක්. පක්ෂ විපක්ෂ සියලු දෙනාම සහභාගි කර ගන්න පුළුවන්, සියළු දෙනාම සතුටු වෙන ආකා‍රයේ අරමුණු, රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන, රටේ එකීයභාවය රැකෙන මේ හැම එකක් ගැනම අවධානය යොමු කරල තමයි, 20 වෙනි සංසෝධනය සූදානම් කරල තියෙන්නෙ. යම්කිසි සැකයක් තියෙනව නම් එක නිරවුල් කරන්නත් ඔවුන් සූදානම්, යම්කිසි නොගැලපීමක් තියෙනව නම් ඒකටත් අවධානය යොමු කරන්න සූදානම් කියල යෝජනාව ගෙනා ජවිපෙ කියනව.

විසිවන සංසෝධන මෙම පාලන කාලය තුළ සම්මත කරගන්න හැකිවෙයි කියල හිතනවද? පාරිලිමේන්තුව තුළ 2/3 තවදුරටත් ආණ්ඩුවට තියෙනවද? ඉතිරිව ඇති වසර දෙකකටත් අඩු කාලය එයට ප්‍රමාණවත් ද කියන ප්‍රශ්න මතුවෙනව නේද?

මගෙ විශ්වාසය නම් තවමත් පුළුවන් කම තියෙනව කියන එකයි. තව අවුරුදු එකහමාරක් තියෙනව ඒ අවුරුදු එකහමාර හොඳටම ඇති කියලයි මම හිතන්නේ. මිනිසුන්ගේ තියෙන වුවමනාවේ බලවත්කම නිසාම, හරියට සංවිධානය වෙලා දේශපාලන පක්ෂ, ඒ පක්ෂවල නායකත්වය, ඒ වගේම රටේ මහජනතාව, රටේ උගත් බුද්ධිමත් කොටස් ඒ වගේම සිවිල් සංවිධාන මේ හැමකොටසක් ම සහභාගි වුණොත්, සහයෝගය ලැබුණොත් 2015 ජනවාරි 8 සිදුවුනා වගේ‍ වෙනසක් මේ රටේ නැවත ඇති  කරගැනීමට හැකියාවක් තියෙනව කියන එකයි මගේ විශ්වාසය.

රටේ ‍පොදු අරමුණු වලට වඩා තියෙන්නේ බලඅරගලය. ජනතාව කියන්නෙ, කවුරු අ‍පේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වුණත් ජනතා විමුක්ති පෙරමුණේත්, උතුරු නැගෙනහිර ජන කොටස්වලත් සහයෝගය නොමැතිව ජනාධිපතිවරණයක් ජය ගන්න කිසිවෙකුට බැහැ කියලයි. ඔවුන් දෙපිරිසම දිනාගැනීමට හැකි වන්නේ කාටද?

මේ වෙලාවේ අවශ්‍ය වෙලා තියෙන්නෙ රටේ යහපත් වෙනසක් කරන්න උවමනාවක් තියෙන, බුද්ධිමත් කොටස්, සුළු ජාතික කොටස් සහ බහුජනතාව ගේ සහයෝගය ලබාගන්න පුළුවන් වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන පුලුවන් කෙනෙක්. එහෙම කෙනෙක් ඉස්සරහට එනව නම් තමයි මේ හැමකොටසකගේම සහයෝගය ලබාගැනීම හැකියාව තියෙන්නෙ. ඒ ගැන එදාට වැඩිය අවධානයක් ලබාගැනීමට හැකියාවක් තිබෙන බව මගේ විශ්වාසයයි.

කවුරු අපේක්ෂකයා වුණත් එකාබද්ධ විපක්ෂයට නැත්නම් පොහොට්ටුවට ජනාධිපතිවරණයක් දිනන්න බෑ කියල කියන පිරිසකුත් ඉන්නවා. ඒ ඉහත කොටස් වල ඡන්ද පදනම නිසා, එහි සත්‍යතාවක් තියෙනවද?

ඔව්, ඒක ඇත්ත. මම නම් කිසිම විදිහකින් හිතන්නෙ නෑ උතුරු නැගෙනහිර ඡන්ද පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන කිසිම අපේක්ෂයකුට ලැබෙයි කියල. ඒ වගේම මේ රටේ දූෂණ විරෝධි ජනතාව විශේෂයෙන් ම ඒ අයට කැමති නෑ. ඒ වගේම විපක්ෂයේ බල කඳවුරත් රාජපක්ෂවරුන්ගෙන් කෙනෙකුට බලය ලැබෙනවටත් කැමති නෑ.

අනිත් එක 1977 සිට ලබපු අත්දැකීම් එක්ක බලනකොට විධායක ජනාධිපතිවරයෙක් යටතේ මේ රටට කිසිම යහපත් වෙන්න නැති බව පැහැදිලියි. විධායක ජනාධිපති ක්‍රමය ගෙනා ජේ.ආර්. ජයවර්ධනට බැරි වුණා. චන්ද්‍රිකා කුමාරතුංග විධායක ජනාධිපති ක්‍රමයට මානුෂික මුහුණුවරක් දෙන්න හැදුවා, ඒත් රටට යහපතක් කරන්න බැරිවුණා. ඊළඟට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ආව මහින්ද රාජපක්ෂ ජීවිත කාලයටම බලයේ ඉන්න කෙටුම්පත් සකස් කෙරුවා. ඊළඟට අපි පත්කරගත්ත විධායක ජනාධිපතිවරයා 19 වන සංසෝධනයෙන් බලතල අඩුකෙරුවා වූණත්, දැන් අකර්මන්‍ය වී තිබෙනවා. අසාර්ථක වෙලා තියෙනව. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම විශ්වාසය නැතිවෙලයි තියෙන්නෙ. දැන් මිනිසුන්ට ඕනැ කරල තියෙන්නෙ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක්. පාර්ලිමේන්තුවට යටත් වෙන නායකත්වයක් යටතේ එය ඇතිවිය යුතුයි කියන ස්ථාවරයේ ජනතාව ඉන්නව කියන එකයි ම‍ගේ අදහස.

පොදු අපේක්ෂකයා බලයට ගේන්න ‍කැප වූ බුද්ධිමත් ස්ථරය පුරවැසි බලය ‍වේවා, විද්වත් සභාව හෝ වේවා මේ පිරිස දැන් නිද්‍රාශිලියි නේද? රට යහපත් තැනට තල්ලුවීමට ඔවුන්ගෙන් තෙරපුමක් නැත්තෙ ඇයි? බුද්ධිමතුන්ගේ හඬක් නැත්තෙ ඇයි?

එහෙම වෙන්න හේතු කීපයක් තියෙනව. සමහර අය මේ රජයෙන් තනතුරු ලබාගෙන පොදු අරමුණෙන් ක්‍රමයෙන් ඈත්වේගෙන යනව. ඉදිරි මාස දෙක තුන ඇතුළත නැවත මේ සියලු සිවිල් සංවිධාන නැගීහිටියි කියන එක ගැන මට නම් ලොකු විශ්වාසයක් තියෙනව. මොකද ඒක රටේ අවශ්‍යතාවයක්.

මේ තත්ත්වය යහපත් කිරීම සඳහා මේ සියලු දෙනාම එකතුවෙලා 20 වන සංසෝධනය බලාත්මක කිරීමට කැපවිය යුතුයි කියල මම හිතනව. ඒක ගැන හැදෑරිමක් කරල, සංසෝධන තියනව නම් සංසෝධන ඉදිරිපත් කරල, සාකච්ඡාවට භාජනය කරල එය කාටත් පිලිගත හැකි තැනකට ගෙනායුතුයි කියලයි මම හිතන්නෙ.

සාකච්ඡා කළේ

                                                                                                                               මනෝජ් රූපසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *