මහින්ද සාධ්කය

ජනාධිපතිතුමා අන්තිමේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. අන්තිමේදී කියා කීවේ එය කළේ නොකර බැරි තැනට පත්වූ පසුව නිසාය. ජනාධිපතිතුමාත් ඔහු සමග සිටින කණ්ඩායමත් අවසන් මොහොත දක්වා උත්සාහ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධනය මෙම පාර්ලිමේන්තුවෙන්ම සම්මත කර ගැනීමටය. එසේ නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවන්නට දින නියම කරගෙන තිබුණේ අප්‍රේල් මස විසිතුන් වැනිදාටය. දින සියයේ වැඩපිළිවෙළ අවසන් වීමට තිබුණේ එදිනටය. එසේ වුවද එය කල් දමන්නට ජනාධිපතිතුමා තීරණය කළේ දින සියයේ වැඩපිළිවෙළෙහිම එක් කාරණයක් වූ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නටය. විසි වැනි සංශෝධනය කියා ඉදිරිපත් වූයේ එයයි. එසේ වුවද එජාපය වෙනත් ස්ථාවරයක් ඉදිරිපත් කිිරීමත් කුඩා පක්‍ෂ විරුද්ධ වීමත් නිසා එය එසේ කළ හැකි නොවීය.
ජනාධිපතිතුමා බලයට ගෙන එන්නට දායක වූ එක්සත් ජාතික පක්‍ෂයට නම් මැතිවරණ ක්‍රමය සංශෝධනය මෙම පාර්ලිමේන්තුවෙන් කිරීමට එතරම්ම වුවමනාවක් වූ බවක් පෙනෙන්නට නොතිබිණි. එක්කෝ මේ පාර්ලිමේන්තුවෙන් එය කළ නොහැකි බව එජාපය දැන සිටියා විය හැකිය. නැතහොත් පවතින මැතිවරණ ක්‍රමයට එජාපයේ එතරම් විරෝධයක් නැති නිසා විය හැකිය. එසේත් නැත්නම් මෙම සංකීර්ණ ක්‍රියාවට කල් මරමින් මහ මැතිවරණය කල් යනවාට එජාපයේ තිබූ දැඩි අකැමැත්ත නිසාම එම ස්ථාවරයට තල්ලූවූවා විය හැකිය. එම පක්‍ෂය දිගටම කීවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යා යුතු බවයි.
විසි වැනි සංශෝධනය සම්මත කරගෙන ජයග්‍රාහී ලෙස මහ මැතිවරණයට මුහුණදීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වුවමනාව වූ බව පෙනෙන්නට තිබිණි. එමෙන්ම ඒ අතර වාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ හා සන්ධානය තුළ තම නායකත්වය ස්ථාවර කර ගැනීමට ද අරමුණු වූවා විය හැකිය. එසේ වුවද නියමිත දිනය පසුකර දින හැත්තෑවක තරම් කාලයක් පාර්ලිමේන්තුව පවත්වාගෙන ගිය ද ජනාධිපතිවරයාගේ එම අරමුණු දෙකෙන් එකක්වත් ඉටුවූ බවක් පෙනෙන්නට නැත. සිදු වී ඇති එකම දෙය ජනාධිපතිවරයාට විරුද්ධ පිල පක්‍ෂය තුළ වඩා බලවත්ව නැඟී සිටීමයි. ඒ අතින් ගත්විට පාර්ලිමේන්තු කාලය දිග් ගැසීමෙන් ජනාධිපතිතුමා සිදුකරගෙන තිබෙන්නේ ඉල්ලන් කෑමකි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කල් දැමීමෙන් එක්සත් ජාතික පක්‍ෂය ද තරමක් අපහසුතාවට පත්ව සිටින බව පෙනෙන්නට ඇත. ජනවාරි අටවැනිදා ජනාධිපතිවරණය අවසන් වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නම් එජාප ආණ්ඩුවක් බලයට පත්වීම ස්ථීර බව බොහෝ දේශපාලන නිරීක්‍ෂකයන් කියන කතාවකි. දින සීයේ වැඩපිළිවෙළ ගැන පොරොන්දුව නිසා එසේ කළ නොහැකි වුවද එම කාලය අවසන් වූ පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව තිබිණ. එයට ද හරස් වූයේ විසි වැනි සංශෝධනයයි.
දැන් එජාපයට මැතිවරණයට මුහුණ දෙන්නට සිදුව තිබෙන්නේ ටික දිනක් බලයේ සිටි පක්‍ෂයක් වශයෙනි. රජයේ සේවක හා විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩිකිරීම, මහපොළ වැඩි කිරීම, ඉන්ධන මිල අඩුකිරීම, බස් ගාස්තු අඩුකිරීම ආදී බොහෝ දේ ගැන ආණ්ඩුවට කීමට දේ ඇති නමුත් විවේචනද නැතිවා නොවේ. සංවර්ධන වැඩ ඇනහිටීම. රැකියා අහිමිවීම, බඩු මිල යළි ඉහළ යාම ආදී ප්‍රශ්නය ගැන විපක්‍ෂය කතා කරයි. එමගින් විපක්‍ෂය කියන්නේ එජාපය අසාර්ථක ආණ්ඩුවක් බවයි. ඇත්ත ආණ්ඩු බලයක් නැතිව ආණ්ඩු කිරීමට එජාපයට සිදුවී තිබීම ද එයට එක් හේතුවකි. වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කළ නව අයවැයේ ආදායම් යෝජනා වූ සුපිරි ආදායම් බද්ද, මන්දිර බද්ද ඇතුළු බොහෝ දේ ක්‍රියාවට නැඟිය නොහැකි වී ඇත්තේ පාර්ලිමේන්තුවේ බලය නොතිබූ නිසා බව බොහෝ දෙනා දන්නා කාරණයකි. එසේ වුවද මැතිවරණයේ දී චෝදනා එල්ලවන්නේ ඒ සියල්ල ගැන සලකා බලා නොවේ.
මහ මැතිවරණයේ දී එජාපයට බරපතළම ප්‍රහාරය එල්ලවන්නට ඉඩ තිබෙන්නේ මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේ සිදුවූවා යැයි කියන අක්‍රමිකතාව පදනම් කරගෙන බව පෙනෙන්නට තිබේ. එහිදී වරද නිවරද කුමක් වුවත් චෝදනාව එල්ලවන්නේ ආණ්ඩුවටය. පාර්ලිමේන්තුවේ ඒ ගැන පරීක්‍ෂා කළ තේරීම් කාරක සභාවට සති දෙකකින් වාර්තාවක් දෙන්නට නියමකර තිබුණ ද මසකිනුත් එය ඉදිරිපත් වූයේ නැත. පසුව විපක්‍ෂය කීවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මෙම කෝප් වාර්තාව යට ගසන්නට බවයි. එම විවේචනවලට එතරම් ශක්තිමත් පදනමක් නොතිබුණ ද දැන් එජාපයට ඒ සියල්ලට මුහුණදීමට සිදුවනු ඇත. එය සිදුවූයේ පාර්ලිමේන්තුව විසුරුවීම ඇදි ඇදී ගිය නිසා බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණයකි.
ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත්විට මේ මොහොතේ තීරණාත්මක සාධකයක් ලෙස පෙනීයන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ඔහුට සහාය දෙන කණ්ඩායම් ක්‍රියාකරන ආකාරයයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කිරීමේ යෝජනාවට ජනාධිපතිවරයා මේ දක්වා එකඟ වී නැත. කෙසේ වුවද සන්ධානයේ යම් ආකාරයක බෙදීමක් අනිවාර්ය බව පෙනෙන්න තිබේ.
කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ හා සන්ධානයේ බහුතර මතය වී තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂ හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් එක්සත්ව තරගයට එළඹිය යුතු බවය. සමහරුන් කියන්නේ එවිට ජය අනිවාර්ය බවයි. එම නිසාම ඒ සඳහා විශාල පීඩනයක් එල්ල කරන බව ද පෙනෙන්නට තිබේ.
මෙහිදී අපගේ මතකයට නැගෙන්නේ කලෙකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා කළ ප්‍රකාශයකි. එකල ලංකා සමසමාජ පක්‍ෂය හා කොමියුනිස්ට් පක්‍ෂය ප්‍රබල පක්‍ෂ ලෙස පැවතිණි. ජනතා විමුක්ති පෙරමුණ ද නව පක්‍ෂයක් ලෙස ඉදිරියට ආවේ විශාල පිරිස් බලයක් ද සහිතවය. එකල ඇතැම් වාමාංශිකයන් කීවේ ජවිපෙ හා වමේ පක්‍ෂ එකතු කළ විට විශාල බලය ලබාගත හැකි බවයි. එයට රෝහණ විජේවීරයන්ගේ පිළිතුර වූයේ එකයි එකයි එකතු කළාම දෙකයි . ඒත් ධන එකයි සෘණ එකයි එකතු කළාම උත්තරේ බිංදුවයි” යනුවෙනි. ඒ කියන්නේ එකිනෙකට පරස්පර බලවේග දෙකක් එකතු කළ විට ශක්තිය වර්ධනය වනවා වෙනුවට තවත් දුර්වල විය හැකි බවයි.
මේ කියන කාලයේ වමේ පක්‍ෂ බලවත් වුවත් ඔවුන් සිටියේ බහින කලාවේ බව දැන් සක් සුදක් සේ පැහැදිලි කාරණයකි. එදා ජවිපෙ සිටියේ නගින කලාවේය. එය ගොඩනැඟුණේම පැරණි වමට එරෙහිවය. රෝහණ විජේවීරගෙන් වම හා සමගියට එරෙහි වූයේ එයින් තමාගේ ශක්තිය ද පිරිහෙන බව දන්නා නිසාය.
දේශපාලන බලවේග එක්සත් කරන විට ද වැදගත් වන්නේ අංක ගණිතය නොව දේශපාලනයයි. ඇතැම් විට දේශපාලන බලවේග දෙකක් හෝ කිහිපයක් එකතු කිරීමේ ඒවායේ වෙන වෙනම බලයේ එකතුවට වඩා වැඩි බලයක් ගොඩ නැඟිය හැකිය. පසුගිය ජනාධිපතිවරණයේ දී මෙරට දේශපාලන පක්‍ෂ ගණනාවක් එකතු වූ විට සිදුවූයේ එවැන්නකි. උත්තරය වූයේ එකී එක් බලවේගයේ බලයේ එකතුවට වඩා වැඩි බලයක් ගොඩනඟා ගත හැකිවීමයි.
එසේ වුවද හැම විටම එය සිදුවන්නේ නැත. දේශපාලන බලවේගවල බලය සමගිය මගින් වර්ධනය වන්නේ ඔවුන් යම් කිසි අරමුණක් සඳහා එක්සත් වන විටය. දේශපාලන අරමුණ වෙනස් වූ විට බොහෝවිට සිදුවන්නේ එකතුවෙන් ඇතිවන බලය එක් එක් බලවේගයේ වෙන් වෙන් බලයේ එකතුවට වඩා අඩුවීමයි.
මහින්ද-මෛත්‍රී එකතුව සම්බන්ධයෙන් ද ප්‍රශ්නය එබඳුය. මෙහිදී හිටපු ජනාධිපතිවරයා සමග සිටින පිරිසට එතරම් අවුලක් නැත. ඔවුනට අවශ්‍ය වන්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් සන්ධාන ආණ්ඩුවක් ගොඩනැඟීමටය. ඔවුන් දිගටම මහින්ද රාජපක්‍ෂ මහතා සමග සිටියේ ඒ සඳහාය.
අවුලට ගන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග සිටින පිරිසයි. ඔවුන් එදා එළියට බැස්සේ දූෂිත ඒකාධිපති මහින්ද රාජපක්‍ෂ පාලනය අවසන් කරන්නටය. එදා තිබූ තත්ත්වය යටතේ එය ජීවිත පරිත්‍යාගයෙන් කළ කැපවීමකි. ජනාධිපතිවරයා කීවේ මැතිවරණය පැරදුණේ නම් යන්නට වන්නේ අඩි හයක් පස් යටට බවයි. කවුරුවත් එය නැතෙයි කීවේ නැත. එදා සටන කළේ එබඳු මිනීමරු පාලනයකට එරෙහිවය. එසේ කළ උදවියට දැන් නැවතත් හිටපු ජනාධිපතිවරයා බලයට ගේන්නට හේතුවක් නැත. රෙද්දක් ඇඳගෙන මහින්ද අගමැති අපේක්‍ෂකයා කරන්නට බැරි බව ජනාධිපතිතුමා කියා තිබෙන්නේ ඒ නිසාය.
මේ තත්ත්වය යටතේ මහින්ද රාජපක්‍ෂ මහතා නැවත බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියකට සහායදීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග සිටින පිරිසට සදාචාරාත්මක හැකියාවක් නැත. කුමන හෝ බලපෑම් නිසා ඔවුන්ට එසේ කිරීමට සිදු වුවහොත් ඔවුනට ඡන්දය දුන් ජනයාගේ බහුතරය වෙනත් විකල්ප සොයාගන්නවා නිසැකය. එජාපය, විපක්‍ෂය හෝ වෙනත් පක්‍ෂයකට සහාය දීමට නැතහොත් නිහඬවීමට ඔවුන් බොහෝ දෙනාට සිදුවනු ඇත. එයින් වැඩිම වාසිය හිමිවන්නේ එජාපයට බව පැහැදිලිය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා පසුගිය කාලයේ දී ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයාට දේශපාලනයට එන්න ඉඩ හැර ශ්‍රීලනිපය භේද කිරීමට එජාපය යටින් ක්‍රියාකරමින් සිටින බවයි. හිටපු පාලකයන්ගේ දූෂණ පරීක්‍ෂණ ප්‍රමාද කිරීම වැනි දෑ සිදුවන්නේත් මුල්‍ය අපරාධ විමර්ශන අංශයට නොගොස් කතානායක නිල නිවසේදී කටඋත්තර දෙන්නට ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට අවස්ථාව ලැබෙන්නේත් ඒ අනුව බවට ජවිපෙ කියයි. එම චෝදනාවල ඇත්ත නැත්ත කුමක් වුවද එයින් කියැවෙන දේශපාලන කතන්දරය සත්‍යයකි. එනම් මේ මොහොතේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය එජාපයට වඩා වාසිදායක විය හැකි බවයි.
එජාපයට මැතිවරණයේ සටන් වදින්නට සිදුවන්නේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු සන්ධානයකට එරෙහිව නම් එයට එරෙහිව ඉදිරිපත් කිරීමට දේශපාලන සටන් පාඨ සොයා ගැනීම එජාපයට විශාල ප්‍රශ්නයක් වන්නට ඉඩ තිබිණි. ඒ වෙනුවට දැන් එජාපය “රාජපක්‍ෂ රෙජිමය වළලා දැමීමේ” සටන් පාඨය යටතේ තමන්ගේ මැතිවරණ සටන දියත් කරන බව පෙනෙන්නට තිබේ. මෙම වාසිය එජාපයට ලැබෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන පුනරාගමනයෙනි. පැරදී ගෙදර ගිය රාජපක්‍ෂ මහතා විශ්‍රාම දිවියක් ගෙවන්නට තීරණය කළේ නම් එජාපයට මෙබඳු චාන්ස් එකක් ලැබෙන්නේ නැත.
හිටපු ජනාධිපතිවරයාට සහාය දෙන කණ්ඩායම සටනට එන්නේ දේශපාලනයට වඩා අංක ගණිතය අනුව තම ජයග්‍රහණය ගැන විශ්වාස තබා බව පෙනෙන්නට තිබේ. ඔවුන්ට අනුව පසුගිය ජනාධිපතිවරණයේ රාජපක්‍ෂ මහතා ලබාගත් ලක්‍ෂ පනස් අට සෙලවිලාවත් නැත. සිදුවන්නේ ජනාධිපතිවරයාට ලැබුණු ලක්‍ෂ හැට තුන බෙදී යෑමයි. එසේ සිදුවන්නේ නම් හිටපු ජනාධිපතිවරයාට හිතවත් කණ්ඩායම් ජයගන්නා බවට තර්ක කළ හැකිය.
එසේ වුවද මෙය ද අංක ගණිතය මිස දේශපාලනය නොවේ. එදා රාජ්‍ය බලය, සම්පත්, මුදල් බලය ආදී සියල්ල සමඟ භීෂණය ද පතුරුවමින් ලබාගත් ලක්‍ෂ පනස් අට තවමත් ඇතැයි හිටපු ජනාධිපතිවරයා හෝ ඔහුගේ කණ්ඩායම සිතා සිටිනවා නම් එය මුළාවක් පමණකි. එමෙන්ම සැලකිය යුතු ප්‍රමාණයක් වාෂ්ප වී ඇති ආකාරය දැන් තේරුම්ගත නොහැකි නම් මහ මැතිවරණයේ දී තේරුම් ගැනීමට සිදුවනු ඇත.
මෛත්‍රිපාල සිරිසේන මහතා ලබාගත් ලක්‍ෂ හැට තුන බෙදී යන බව නම් ඇත්තකි. එසේ වුවද දැන් බෙදෙන්නේ ලක්‍ෂ හැට තුනක් නොවේ. මේ වන විට එය තවත් වැඩිවී තිබීම සිදුවිය හැකිය. වත්මන් රජයට මේ වන විට එල්ල වී ඇති ඇතැම් චෝදනා මෙම තත්ත්වය ආපසු හරවන්නට හේතුවේ යැයි සිතිය නොහැකිය. එයට ප්‍රධානම හේතුව නම් පැවැති ආණ්ඩුවේ කැරැට්ටුව මීට වඩා සිය දහස් ගුණයකින් නරක බව මහජනයාට තවමත් අමතක වී නොතිබීමයි.
මෙහි තවත් පැත්තක් ද අමතක කළ යුතු නැත. එය නම් දැන් තමන් අත ඇති ආණ්ඩු බලය මහ මැතිවරණයේ දී යම් තරමකට යොදා ගැනීමට වත්මන් ආණ්ඩුව ද ක්‍රියා කිරීමේ අනතුරයි. මෙරට ප්‍රධාන පක්‍ෂවල දේශපාලන සදාචාරය පසුගිය කාලයේ පිරිහී ඇති ප්‍රමාණය අනුව එය ද සිදුවිය නොහැක්කක් නොවේ. එසේ වුවද දහ නව වන සංශෝධනයෙන් ක්‍රියාත්මක නව නීතිමය තත්ත්වයෙන් ශක්තිමත්ව සිටින මැතිවරණ කොමසාරිස්වරයාගේ ක්‍රියාකාරීත්වය මගින් එය යම්තාක් දුරකට පාලනය වේ යැයි සිතිය හැකිය.
කෙසේ වෙතත් අද දේශපාලන බලවේග පෙළගැසීම හා ඒවාට තිබෙන මහජන සහයෝගය ආදී සියල්ල මහ මැතිවරණය දක්වා නොවෙනස්ව නොපවතින බව ද අප තේරුම් ගත යුතු කාරණයකි. වෙනස් වන සුළු බව දේශපාලනයේ පවතින යථාර්ථයයි. එබැවින් ඒ සියල්ල අවසන් වශයෙන් තීරණය වන්නේ මෙතැන් සිට මහ මැතිවරණය දක්වා කාලයේ දී දේශපාලන බලවේග හැසිරෙන ආකාරයෙන් හා මහජන රැල්ල නගින ආකාරය අනුවය. දේශපාලනය තීරණය වන්නේ එහෙමය.
දුෂ්ට පාලනයක් පෙරළා දැමූ පමණින් එයට එතෙක් තිබූ මහජන පදනම ක්‍ෂණිකව දියැවී යන්නේ නැත.
ජර්මනියේ හිට්ලර්ගේ හා ඉතාලියේ මුසෝලිනිගේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායම එම රටවල දිගු කලක් තිස්සේ පැවති බව අපි මතක තබාගත යුත්තෙමු. එසේ වුවද එම අතීතය යළි වැළඳ ගන්නට බහුතර ජනයා සූදානම් වූයේ නැත. මහජනයාට හැම විටම අවශ්‍ය වන්නේ වඩා යහපත් වෙනසකි. ඉදිරි ගමනකි. ප්‍රශ්නය වන්නේ එම ඉදිරි ගමනට මෙරට දේශපාලන පක්‍ෂ කෙතරම්දුරට සූදානම් ද යන්න පිළිබඳවය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *