‘මාධ්‍යවේදීන්ට තර්ජන එපා’ – නිව්යෝක් ටයිම්ස්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිව්යෝක් ටයිම්ස් වාර්තා කරණය පිලිබඳ ගැටළුවක් ඇත්නම්, නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ජේෂ්ඨ කතෘවරුන්ගෙන් විමසන ලෙස නිව්යෝක් ටයිම්ස් පුවත්පත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

එමගින් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට බලපෑම් නොකර ලෙසයි.

අදාළ නිවේදනය පහත දැක්වේ….


ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන්ට කතා කරන්න

* ශ්‍රී ලංකා බලධාරීන් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න
* ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ ජාත්‍යන්තර සංස්කාරක මයිකල් ස්ලැක්මන්  පුවත්පත් නිවේදනයකින් කියයි

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ලිපිය පිළිබඳ ගැටලුවක් තිබේ නම් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය නොකර, ඒ සම්බන්ධයෙන් ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරුන් අමතන ලෙස එම පුවත්පත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

‘ද නිව්යෝර්ක් ටයිම්ස් ‘ හි ජාත්‍යන්තර සංස්කාරක මයිකල් ස්ලැක්මන් ඊයේ (03) නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින්, හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ජූනි 26 වැනිදා ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ නිරවද්‍ය ගවේෂණාත්මක ලිපියට දායකත්වය දැක්වූ ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් දෙදෙනකු ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කර ඇති බව යි.

මේ ආකාරයෙන් ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් මෙවැනි ක්‍රියා විවේචනය සහ මාධ්‍ය නිදහස සීමා කිරීමටත් අවසාන වශයෙන් මහජනතාවගේ තොරතුරු දැන ගැනීමට ඇති අවස්ථාව අහිමි කිරීමටත් හේතු වනු ඇති බවත් එහි සඳහන් වේ.

ශ්‍රී ලංකා බලධාරීන් තම පුවත්පතට මෙන්ම වෙනත් ඕනෑම පුවත්පතකට සේවය කරන මාධ්‍යවේදීන් ගේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව මයිකල් ස්ලැක්මන් සිය නිවේදනයේ සඳහන් කැර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා ඇමැති හරීන් ප‍්‍රනාන්දු මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (3) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ‍නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත නිකුත් කර ඇති මෙම මාධ්‍ය නිවේදනය ඉදිරිපත් කරමින් මේ බව පැවැසීය.

සිතාරා සේනානි, ක්‍රිසන්ති විතාරණ,

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *