මාතර පත්තු වුණු තුවක්කුව – නිශාන්ත කමලදාස

දකුණේ දෙවැනි කැරැල්ල පැවති 88-89 කාලයේ මිනිසුන් කැරලිකරුවන් හැඳින් වූයේ පුංචි ආණ්ඩුව ලෙස ය. එයට හේතුවක් තිබුණේ ය. ආණ්ඩුව සතු ව තිබුණු දඬුවම් දීමේ ඒකාධිකාරය එයින් ගිලිහී තරගකරුවකු අතට පත්ව තිබීම නිසා ය. සංවිධිත ආයතන ගත තරගකරුවකු අතට පත් ව තිබීම නිසා ය. සමහර පළාත්වල ආණ්ඩුවේ අධිකාරී බලය ඉක්මවා කැරලිකරුවන්නේ බලය පැතුරුණේ ය. පුංචි ආණ්ඩුව යැයි කැරලිකරුවන්ව හැඳින්වීම ඒ නිසා ද යුක්ති යුක්ත විය. ඒ කාලයේ මිනිසුන් කීවේ පුංචි ආණ්ඩුවේ බලය පැවති එවැනි පැතිවල හොරකම් හා අපරාධවල පැහැදිලි අඩුවීමක් තිබුණු බව ය. ඒ සම්බන්ධයෙන් මිනිසුන් තුළ යම් ප්‍රසාදයක් ද පැවති බව කිව යුතු ය. ඒ පුංචි ආණ්ඩුවේ වැඩ කටයුතු නිසා ජිවිත අහිමි නොවූ සහ වෙනත් හානි සිදු නොවූ අය තුළ ය. හානි විමට ලක්වුණු පිරිස සුළුතරය වූ නිසා එය ප්‍රධාන ධාරාවේ මතය බවට පත් වී තිබුණේ ය.

මේ තත්වය තිස් වසරක යුද්ධය පැවති සමයේ උතුරු නැගෙනහිර පළාත්වල ද දක්නට ලැබුණි. දකුණේ මිනිසුන්, කැරලිකරුවන් පුංචි ආණ්ඩුව ලෙස හඳුන්වන අතරේ උතුරේ කැරලිකරුවන්, ඒ දෙපළාතේ මිනිසුන් විසින්, හැඳින්වූයේ “කොල්ලන්“ (boys) යන ආදරණීය ආමන්ත්‍රණයෙනි. ඒ එක්තරා දුරකට හමුදාවේ හා විශේෂයෙන් පොලීසියේ අත්තනෝමතික පාලනයට මේ “කොල්ලන්“ විසින් වැටක් බැඳ තිබුණු නිසා ය. ඒ පළාත්වල ද මේ “කොල්ලන්“ නිසා අපරාධ අඩුව ඇති බව එහි වැසියන් ද, විශේෂෙයෙන් “කොල්ලන්ගේ“ අඩම්තේට්ටම්වලට ඒ වන විට අසු නොවී සිටි මිනිසුන් ද, ප්‍රසාදයෙන් සඳහන් කරනු මට මතක ය.

මේ “සම්ප්‍රදායික“ අපරාධ අඩු වීමට ප්‍රධාන හේතුව වූයේ “යුක්තිය“ ඉක්මණින් පසිඳලීම ය. ඒ ඉක්මන්කම තුළ අහිංසකයන් ගණනාවකට ද නිරපරාදේ දඩුවම් විඳීමට සිදු වන්නට ඇත. එයට තමන් ගොදුරු නොවන තාක් සියල්ල හොඳ ය. ප්‍රසාදයට පත් මිනිසුන් සිතුවේ එහෙම ය.

හරියට ජර්මනියේ නිලමෝර් දෙව්ගැතිතුමා හිතුවා වගේ ය. එහෙත් දිගටම එසේ වන්නේ නැත. නිලමොර් දෙව්ගැති තුමා උගත් දෙය අපේ රටේ ඇතැම් මිනිස්සු ද එකල උගත් හ. ඒ ජීවිත අහිමි වන විට ය. නිලමොර් දෙව්ගැති තැනගේ වචනවලින් ම අපි ඒ ලබා ගත් අවබෝධය කුමක් දැයි අසමු.

නට්සිවාදීහු කොමියුනිස්ට්වාදීන් අත් අඩංගුවට ගත්හ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා කොමියුනිස්ට්වාදියකු නො වන බැවිනි
ඔවුහූ ප්‍රජාතන්ත්‍රවාදීන් සිරගත කළෝ ය
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා ප්‍රජාතන්ත්‍රවාදීයකු නො වන බැවිනි
ඔවුහූ කම්කරු නායකයන් අත් අඩංගුවට ගත්හ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා කම්කරු නායකයකු නො වන බැවිනි
ඔවුහූ යුදෙව්වන් සිරගත කළහ
මම කිසිවක් නො කීවෙමි
මන්ද, මා යුදෙව්වකු නො වන බැවිනි
අවසානයේ ඒ මෘගයෝ මා සොයා පැමිණියහ
එයට එරෙහි වන්නට කිසිවකුත් නො සිටියේ ය
මන්ද ඒ වන විටත් එසේ ඉදිරිපත් වූ බොහෝ දෙනා ම සිරගතවත්
තවත් පිරිස් මරා දමාත් තිබූ බැවිනි

– දේවගැති මාර්ටින් නිලමොර්

අපේ නිලමොර්

ලංකාවේ එවකට සිටි මිනිසෙකු මේ පාඨය වෙනස් කර මෙසේ කියන්නට පුළුවන.

ඔවුහු කුඩු කාරයින් යැයි සැක කළ මිනිසුන් මරා දැමූහ
මම කිසිවක් නොකිවෙමි.
මන්ද මා එවැන්නකට සැක කරනු ඇතැයි නොසිතූ බැවිනි
ඔවුහු කසිප්පු පෙරන්නේ යැයි සැක කළ අය මරා දැමූහ
මම කිසිවක් නොකීවෙමි
මන්ද එවැන්නකට මා සැක කරනු ඇතැයි නොසිතූ බැවිනි
ඔවුහු අන්‍ය වාමාංශික අදහස් අත්හැරීම ප්‍රතික්ෂේප කළ මිනිසුන් මරා දැමූහ
මම කිසිවක් නොකීවෙමි.
මා වාමාංශිකයකු නොවන බැවිනි
ඔවුහු එක්සත් ජාතික පක්ෂයට අයත් සංවිධායකයන් මරා දැමූහ
මම කිසිවක් නොකීවෙමි
මන්ද මා එවැන්නෙකු නොවූ බැවිනි
ඔවුහු හමුදාවෙන් පොලීසියෙන් අස් නොවන සෙබළුන්ගේ නිලධාරීන්ගේ පවුල් ඝාතනය කරන බව කීහ
මම සසල නොවීමි
මගේ පවුලක කිසිවෙකු හමුදාවේ හෝ පොලීසියේ සේවය කළේ නැති බැවිනි
අවසානයේ ඔවුන් මා කරා පැමිණියේ ය
ඒ පොලීසියට ඔත්තුවක් දුන්නේ යැයි කියා ය
ඒ වන විට විය යුතු සියල්ල අවසන් වෙලා ය
නිදහසට කරුණු කීමටවත් මට නොහැකි විය

88-89 සමයේ දේශද්‍රෝහී ලේබලය වැදී ඒ අනුහසින් මිය ගිය අහිංසක ශ්‍රී ලාංකික පුරවැසියෙක්

මේ ලෙස දිගේලී කරන ලද “හරකුන්“ අපට අනින්නේ නැතැයි අපි සිතා සිටින්නෙමු. එහෙත් කුලප්පු වූ කල අපේ බේරිල්ලට කවුරුවත් එන්නේ නැත.

පුංචි ආණ්ඩුව විසින් ද “කොල්ලන්“ විසින් ද ඇතැම් විට දඬුවම් දෙන ලද්දේ ඒ සංවිධානවල තීරණාත්මක පුද්ගලයන්ගේ පුද්ගලික හතුරන්ට බවත්, ඇතැම් දඩුවම් ඉතාම නොවැදගත් සරල කෝන්තරයන් මත දෙන ලද ඒවා බවත්, එකල දිවි ගෙවූවෝ දනිති. ඒ අවබෝධය ලබන විට පුංචි ආණ්ඩුව ද “කොල්ලෝ“ ද බොහෝ දුර ගමනක් ගොස් තිබුනේ ය.

මේ තත්වය ටික කලකින් ම නිල හමුදාවලට ද බෝවී ගියේ “තකට තක“ යන අප බොහෝ දෙනෙකු අනුයන සරල තර්කය අනුගමනය කරමිනි. නඩු විභාග නැතුවම තරුණ කොල්ලන් කෙල්ලන් මරා දමනු ලැබුයේ ඇතැම් විට පෙම් පළහිලව්වල වාඩු ගන්නට බව අපට මතක ය.

කැරැල්ල අවසන් වන විට සමූහ මිනිවලවල් හමුවන්නේ ඒ අනුව ය. සූරිය කන්දෙන් හමුවන සමූහ මිනීවල එවැනි පෙම් හබයක අවසාන විනිශ්චය ය.

උතුරේ තත්වය ද ඊට නොවෙනස් විය. ප්‍රභාකරන්ගේ දෙවැනියා වූ “මහත්තයා“ නඩු නැතිව ම මරා දැමෙන්නේ ද්‍රෝහී වීම නිසා ය. එල්ටීටීයට අමතරව හමුදාව ද දකුණේ මෙන්ම උතුරේ ද මේ නඩු නැති මැරිල්ල නොකරා යැයි සහසුද්දෙන් කිව හැකි කෙනෙක් නැත. නීතිය පසු බසින තැන තුවක්කුව ඉදිරියට එන්නේ ය. තුවක්කුව ඉදිරියට එන තැන නීතිය පසු බහින්නේ ය.

යුද්ධය තුළ යුද අපරාධ චෝදනා එන්නේ ද යුද්ධයෙන් පරිබාහිරව නඩු නොඅසා මරණයට පත් කරන ලද මිනිසුන් සම්බන්ධයෙන් මිසක යුද්ධය තුළ මරණයට පත් කරන ලද මිනිසුන් සම්බන්ධයෙන් නොවේ. ඒවා අපරාධ ලෙස සලකන්නටවත් අප නොකැමැත්තේ ඒ අපරාධ ඇතැම් විට කරන්නට ඇත්තේ එල්ටීටී සැකකරුවන්ට එරෙහිව යැයි අප විශ්වාස කිරීමට කැමති නිසා ය. එහෙත් එලි වෙමින් තිබෙන පරිදි යථාව ඊට වෙනස් ය.

මාතර තුවක්කු හරඹය

මේ ඉතිහාසය මතක් කරන්නට සිදු වූයේ ඊයේ පෙරේදා මාතර නගරයේ රඟ දැක්වුණු ආයුධ පෙන්නන්නට ගොස් එලොව ගිය ආරක්ෂක අංශ බාරයේ හිටි සැකකරු සම්බන්ධයෙන් මතුව ඇති කතිකාව නිසා ය. ඒ සිද්ධියේ මියගොස් සිටියේ පොලිසියේ නිලධාරියෙකු මරා දැම්මේ යැයි චෝදනාව මත පොලිස් භාරයට ගෙන සිටි සැකකරුවෙකි.

ආයුධ පෙන්නන්නට ගොස් පොලීසියට වැලි ගසා පැන යෑමට තැත් කිරීම යටතේ පොලීසිය විසින් අවසන් ගමන් යැවූ මුල් පුද්ගලයා මොහු නොවේ. බොහෝ විට අවසන් පුද්ගලයා ද ඔහු නොවිය හැකි ය. පොලීසිය විසින් හිතාමතා මේ පුද්ගලයා නිවනට යැවූ බව කියන්නට අප එතැන සිටියේ නැත. එතැන සිදු වූ දෙය දන්නේ ද නැත. එය යුක්තිය පසිඳලන ආයතන මගින් විමසා බැලිය යුතු කර්තව්‍යයකි. එහෙත් මේ ලෙස අත්අඩංගුවේ සිටින කෙනෙකු, විශේෂයෙන් නම ගිය අපරාධ කාරයෙකු යැයි පොලීසිය ම හඳුන්වන කෙනෙකු, මෙසේ පොලීසියට විරුද්ධව කැරලි ගහන්නට පොලීසිය විසින් ඉඩ දී තිබීම සාධාරණ නැත. එවැනි කැරැල්ලක් මරණයෙන් මෙහා බේරා ගැනීමට අවශ්‍ය විධිවිධාන කල් තියා ගන්නට පොලීසිය අසමත් වූයේ ය යන්නට දිය හැකි සාධාරණ පිළිතුරුක් ද නැත.

ඒ සියල්ලටත් වඩා අපට ප්‍රශ්නය මේ සම්බන්ධයෙන් ජනතාව දක්වන ප්‍රතිචාරය ය. බොහෝ දෙනෙකු කියන්නේ එය හිතාමතා කළේ වුව ද හොඳ බව ය. කළ යුත්තේ එය බව ය. ඉතිරි අයවළුන් ද ආයුධ පෙන්නීමට කැටුව යා යුතු බව ය. වහෙන් ඔරෝ කියන්නේ නැතිව කෙළින්ම කියන්නේ නඩු අහන්නට කාලය ගත නොකොට මේ හැම දෙනාම ඉවරයක් කර දැමිය යුතු බව ය. පුංචි ආණ්ඩුව හා “කොල්ලන්“ ඉටු කළ කාර්යය මහ ආණ්ඩුව විසින් ද කැරලි සමයේ කළාක් මෙන් ම යුද සමයේ කළාක් මෙන් ම අනුගමනය කළ යුතු බව ය.

නීතියෙන් පරිබාහිරව සිදු වුණු මිනිමැරුම් පමණක් නොව අඩම්තේට්ටම් කිරීම් ද ඊට අමතරව අතුරුදහන් කිරීම් ද අප පසුගිය පාලන සමයේ දුටුවෙමු.

ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු කීවේ එසේ මරණ ලද්දේ අඩම්තේට්ටම් කරන ලද්දේ අතුරුදහන් කරන ලද්දේ කොටි හිතවාදීන් නම් අපරාධකරුවන් නම් එසේ කිරීම ප්‍රශ්නයක් නොවන බව ය. මේ සම්බන්ධයෙන් මෑතක ම මතුව ඇති අත්දැකීම ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම ය. ගලගොඩ අත්තේ ඥානසාර උසාවියට ගොස් ගොරනාඩු කර සිර ගෙට යන්නේ ඔහුට අනුව කොටියෙකු වූ එක්නැලිගොඩ අතුරුදහන් කිරීම යුක්ති යුක්ති යැයි හගින නිසා ය. ඒ වෙනුවෙන් පෙනී සිටින නිසා ය (ඒ සියලුම ආරක්ෂක අංශ විසින් ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් එවැනි සාක්කි නැතැයි උසාවියට දන්වා ඇති පසුබිමක වීම නිසා පෙනෙන්නේ මේ දඩුවම් සම්බන්ධයෙන් නිගමනයන්ට එළැඹීමට එහෙමකට සාක්කි ද අවශ්‍ය නැති බව ය. සාක්කි නැතිවුව ද සියල්ල කෙළවර කිරීමේ වුවමනාවක් පවතින බව ය).

දැන් අනාවරණය වෙමින් තිබෙන සාක්කි දෙස විපරමෙන් බලන්නට කැමති ඕනෑ කෙනෙකුට (ඇතැම් අය ඒවා වුවමනාවෙන් ම මග හරින නිසා එසේ කීමට සිදු විය) පෙනෙන්නේ මරා දැමිම, අඩම්තේට්ටම් කිරිම හා අතුරුදහන් කිරීම මෙසේ නිල නොලත් ක්‍රියාවලියක් ලෙස ආරම්භ වූ විට එය ඔය කියන කණ්ඩායම පමණක් ගොදුරු කරගෙන, ඊට පමණක් සිමා වී, අවසන් නොවන බව ය. එය විහිදී විසිරී යන බව ය. පාලනයෙන් තොරව පැතිරිය හැකි බව ය. එය කප්පම් අය කිරීම දක්වා යන ව්‍යාපාරයක් දක්වා පසු කලෙක වර්ධනය වන බව ය. එසේ වර්ධනය වූ පසු නිල අංශ ද එහි ඉහළ නිලධාරීන් ද ඇතැම් විට අසරණ වන බව ය. කුඩු කෑ මිනිසාගේ තත්වයට වැටෙන බව ය.

ඒ බව කියන්නට සිතුනේ කප්පම් ලබා ගැනීම සඳහා තරුණයන් ගණනාවක් අතුරුදහන් කළ බවට චෝදනා ලැබ පොලීසිය විසින් සොයන නේවි සම්පත් නැමැති නාවික සෙබලාට රැකවරණය සැලසුවේ යැයි චෝදනා ලැබ සිටින්නේ ත්‍රිවිධ හමුදාවේම ප්‍රධාන මාණ්ඩලික නිලධාරී තනතුර හොබවන, හිටපු නාවික හමුදාපති, රවි විජේගුණවර්ධන නිසා ය.

මාතර සිදු වූ මරණය දෙස බැලිය යුත්තේ ඒ පසු බිමේ සිට ය. ඒ සිද්ධිය මා දන්නා තරමින් යහපාලනය යටතේ සිදු වූ ඒ ආකාරයේ පළමු සිද්ධිය ය.

පසු ගිය පාලන සමය පුරාම සාමාන්‍ය ජීවිතයේ කොටසක් බවට පත් ව තිබූ මේ නිල පාතාල කටයුතු යහපාලන ආණ්ඩුව පැමිණීමත් සමග ම තුනී ව ගියේ ය. ඒ සමගම රටේ යම් නිදහස් වාතාවරණයක් උදා විය. මිනිසුන් විවේචනයට උද්ඝෝෂණයට නොබිය ව ඉදිරිපත් විය.

යුක්තිය පසිඳලීම කල් යෑම

එහෙත් ඒ සමගම යහපාලන ආණ්ඩුවට චෝදනාවක් ඉදිරිපත් විය. ඒ සියල්ල හෙමින් සිදු වන බවට ය. විශේෂයෙන් අපරාධ සිදු කළ අයට දඬුවම් දිමේ ක්‍රියාවලිය දිගින් දිගට කල් යන බව ය. තවත් දැඩි ව විවේචනය කරන අය කීවේ අපරාධ වංචා සම්බන්ධයෙන් ආණ්ඩුව මුකුත් නොකරන බව ය. ඇතැම් අය, සමහරු ඩිල් ගසා තිබේ යැයි ද චෝදනා කරන්නට තරම් ඈතට ගියෝ ය.

අස්ගිරියේ අනුනායක හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිට්ලර් කෙනෙකු වී හෝ රට හදන්නට යැයි කියන විට උන්වහන්සේ ප්‍රයෝජනයට ගන්නේ මේ ආණ්ඩුව අනුගමනය කරන නීතියට අනුව සියල්ල කරන ප්‍රතිපත්තිය පිළිබඳව ජනතාවගේ නොසතුට විය හැකි ය.

නීතිය සෙමින් ක්‍රියාත්මක වන බවට ඇති චෝදනාව ඇත්ත ය. යුක්තිය පසිඳලීම පමා කිරීම යුක්තිය ලබා නොදීමකැයි (justice delayed is justice denied) කියමනක් තිබේ. ඒ නිසා ම ඒ ගැන යමක් ඉක්මණින් කළ යුතු ය. නව අණ පනත් ගෙනා යුතු ය. නීතිය ක්‍රියාත්මක කරන ආයතන බලාත්මක කළ යුතු ය. අවශ්‍ය සම්පත් හා පුහුණුව ලබා දිය යුුතු ය. අධිකරණ කටයුතු දිවා රෑ මුර ක්‍රමයකට හෝ ක්‍රියාත්මක කර කඩිනම් කළ හැකි දැයි සොයා බැලිය යුතු ය.

නොකළ යුතු එක ම දෙය නම්, නීතිය රකින ආයතන ගණනාවක්, මහජන මුදලින් විශාල මිනිසුන් සංඛ්‍යාවක් යොදා, නඩත්තු කරන අතරතුර නීතියට පිටින් දඬුවම් දෙන වටපිටාවකට උල්පන්දම් දීම ය.

පසු ගිය රජය සමයේ නීතියට බාහිර ක්‍රියාකාරිත්වයන් හරහා “අපරාධයන්“ට දඬුවම් ලැබුවෝ බොහෝ ය. එහෙත් එසේ දඬුවම් ලැබුවා යැයි කියන හැම කෙනෙකුම අපරාධකාරයෙකු නොවූවා පමණක් නොව හැම අපරාධකරුවෙකුට ම දඩුවම් ලැබුණේ ද නැත. ඇතැම් අපරාධෙකරුවෙකුට සුවිශේෂ ආරක්ෂාවක් ද ලැබුණු බව අපට මතක ය. ඒ අතර ස්ත්‍රී දුෂකයන් ද මිනිමරුවන් ද කුඩු කාරයන් ද සිටි බව නොරහසකි. ඇතැම් මරණ අතුරුදහන් කිරීම්වලට හේතුව සාක්කිකරුවන් අතුරුදහන් කිරීම බවට ද චෝදනා එල්ල වුණු බව අපට මතක ය.

ඒ කියන්නේ මරන්නේ අපරාධ කාරයන් ම නොවන බව ය. “අප මරන්නේ අපේ නොවන අපරාධකරුවන් ය. අපේ අපරාධකරුවන්ට අපට හොඳ ය“. එහෙමත් නැතිනම් මරන්නේ එලිපිට විරුද්ධ වෙන අය ය. උන් අපරාධකරුවෝ ය. අපරාධකරුවන්ගේ ආරක්ෂකයෝ ය. අපි මුර දේවාතාවෝ ය. උන් මුර දේවතාවන්ට විරුද්ධව කැරලි ගසන උන් ය. එක්කෝ කොටි ය. නැතිනම් එන්ජීඕකාරයෝ ය. අධිරාජ්‍යවාදී ඒජන්තයෝ ය. උන්ට කඩේ යන උන් ය. ඔබ උන්ගෙන් එකෙකු නොවන තාක් ඔබට ප්‍රශ්නයක් නැත.

මෙසේ කියමින් අපට බල කරන්නේ නිලමෝර් කෙනෙකු ලෙස මිය යන්නට ය. එහෙත් අවාසනාවකට කප්පම් කල්ලිවලට අසුව මිය ගියේ එවැනි අය නොවේ. මේ කිසිවකට සම්බන්ධ නැති පට්ට අහිංසක මිනිසුන් ය.

ඒ නිසා සිහිය එලවා ගෙන මේ දිග හැරෙන ක්‍රියාවලිය දෙස බැලිය යුතු ය. ඒ තුළ අපේ අස්ථානය පැහැදිලි කර ගත යුතු ය.

අපරාධකරුවන්ට නීතියේ රැකවරණය අහිමි කළ යුතු ද?

අපරාධකරුවන්ට හොරුන්ට දූෂකයන්ට දඩුවම් දිය යුතු ය. එහෙත් ඒ නිසි නීති ප්‍රකාරව ය. ඒ සඳහා තිබෙන ආයතනික ව්‍යුහය ප්‍රමාණවත් නොවන බව පෙනෙන නිසා ම එය ඉක්මණින් පිළිසකර කරන ලෙස අප උද්ඝෝෂණය කළ යුතු ය. එහෙත් නීතියෙන් පිට දඩුවම් පමුණුවන ලෙස අප ඉල්ලා නොසිටිය යුතු ය. අපේ මතයට විරුද්ධ අයට පවා නීතියෙන් පිටින් ගොස් දඬුවම් නොපමුණුවන ලෙස අප විසින් ඉල්ලා සිටිය යුතු ය. මක් නිසා ද යත් අප ශිෂ්ට මිනිසුන් වන බැවිනි. අහිංසක මිනිසෙකුට දඬුවම් පැමිණවීම අපරාධකරුවකු නිදහස් වෙනවාට වඩා නරක යැයි විශ්වාස කරන තරමට අප ශිෂ්ට මිනිසුන් වන බැවිනි.

මංගල සමරවීර ඇමැතිතුමා මේ සම්බන්ධයෙන් අභිත ප්‍රකාශයක් කර තිබේ.

“අපරාධකරුවන් සමග ගනුදෙනු කිරීමේ දී ද නීතියේ ආධිපත්‍ය තිබිය යුතු ය. මාතර පොලිස් නිලධාරියෙකු ඝාතනයට හිලව්වක් ලෙස එකී චුදිතයා පොලීසිය බාරයේ සිටිය දී ඝාතනය කිරීම යුක්ති යුක්ත නොවන්නේ ය. මෙය යහපාලනය මිස යමපාලනය නොවන්නේ ය.“

එතුමා අපේ ගෞරවයට ලක්වන්නේ බොහෝ දෙනෙකුට නොතේරෙන මේ අස්ථානය වෙනුවෙන් එතුමා ඒ මගින් නොබියව පෙනී සිටින නිසා ය. එතුමා මේ ලේඛකයාගේ අගැයීමට මීට පෙර ද ලක් වූයේ අභීතව හිතන සහ ඒ හිතන දේ එලිපිට කියන කෙනෙක් නිසා ය. දේශපාලන වාසි වෙනුවෙන් තමන්ගේ හෘද සාක්ෂිය විකුණා නැති බව එවැනි බොහෝ තැනක එතුමා විසින් පල කර ඇති නිසා ය.

එතුමා පෙනී සිටින්නේ අපරාධකරුවාටත් උරුම නීතියේ රැකවරණය වෙනුවෙන් ය. එයින් අදහස් කරන්නේ අපරාධයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවිය යුතු බව නොව නීතිය නීති ප්‍රකාරව, අකුරට, ක්‍රියාත්මක විය යුතු බව ය.

ඊට අකමැති අය පතන්නේ පුංචි ආණ්ඩුවේ යුක්තිය ය. උතුරේ “කොල්ලන්“ ගේ යුක්තිය ය. හිට්ලර්ගේ යුක්තිය ය. පසුගිය පාලන සමයේ පැවති භීෂණයේ යුක්තිය ය. ඒ ඔවුන්ට එරෙහිව එය ක්‍රියාත්මක වන තෙක් ය. ඇතැම් විට නීතියට පිටින් ක්‍රියාත්මක වීමට අනුබල ලැබ, ඒ හේතුවෙන් පසු කලෙක කප්පම් කාරයෙකු බවට පත් වූ එකෙකුගේ, කප්පමක් වෙනුවෙන් තම දරුවා බිලි දෙන්නට සිදු වන තෙක් ය. එදාට ඔවුන්ට සිදු වන්නේ නිලමොර් මතක් කරගන්නට ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *