ලත් තැනම ලොප් වූ ගෝඨාභය රැල්ල – ආචාර්ය මයිකල් ප්‍රනාන්දු

ඒකාබද්ධ විපක්ෂයේ නිල නොවන අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා තමා විසින් ම ඉදිරිපත් වී ජන බලයක් ගොඩනගාගන්න උත්සාහයක් ගත්තා; තමා තමයි ඊළඟ ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා, තමා වටා විශාල ජනතාවක් ඉන්නවා, තමන්ට බලවේගයක් තියනවා කියලා පෙන්වන්න. ඔහු බලාපොරොත්තු වූයේ වරක් ‘සිංහ දේනුව’ වශයෙන් කරළියට ආ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට හා ගියවර ජනාධිපතිවරණයෙන් ‘පොදු අපේක්ෂක’ මෛත්‍රිපාල සිරිසේන වටා එක් වූ රැල්ලක් වැනි රැල්ලක් තමා වටාත් ගොඩනැගෙමින් පවතින බව පෙන්නන්න උත්සාහ ගත් බවයි පෙනෙන්න තිබුණේ. ඒත් ඒ උත්සාහය ලත් තැනම ලොප් වූ ස්වරූපයකුයි දැන් පනෙන්න තිබෙන්නේ. ඒ ගැන ඔබේ අදහස?

අද රටේ තියෙන තත්ත්වය අනුව, ජනතාව මේ ‍ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ කිසිදෙයක් ඉටු ‍නොවුන නිසා නව බලවේගයක අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් ඒ අඩුව පුරවන්න වියත් මග සහ නොයෙක් සංවිධාන හරහා ගනු ලැබූ ප්‍රයත්නය, ඒ උත්සාහය සාර්ථක වූණේ නැති බවක් තමයි පෙන්න තියෙන්නෙ.

ඒකෙන් එකක් පැහැදිලියි; පොදු විපක්ෂය ඇතුළේම තියෙන අර්බූදය තවත් උගවුණා. අනික ගෝඨාභයට ස්ථිර වශයෙන් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට ලැබෙනවා නම් පමණයි, ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නේ කියන එකත් පැහැදිලිව පෙනෙන්න තිබුණා. මේ කාරණා සියල්ලත් එක්කම අපේක්ෂා කළ තරම් රැල්ලක් ගොඩනැගුණේ නෑ.

ඇයි එහෙම වෙන්න හේතුව? පොදු අපේක්ෂකයගෙන් ජනතාව ඉටු කරගැනීමට බලාපොරොත්තු වූ දෙය ඉටුකර ගැනීමට වෙනත් විකල්පයක් සොයමින් නේද ජනතාව සිටින්නේ?

එහෙම නොවෙන්න එක හේතුවක් වශයෙන් මා දකින්නේ, ගෝඨාභය ඉදිරියට එන්න පාර කැපීමට කැප වූ වියත් මග හරහා යළිත් වතාවක් රටට පෙන්නුම් කළේ යළිත් මොවුන් ගමන් කරන්නේ ජාතිවාදය දෙසට බවයි. වියත් මගට සහභාගි වූ විද්වතුන්ගෙන් පවා ඔවුන් නියෝජනය කරන මතවාද පැහැදිලිව පෙනෙන්න තිබුණා.

ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජනයකුත් ගෝඨාභය ගේ ගමන්මඟ පිටුපස තිබුණා. ව්‍යාපාරික ප්‍රජාව බලයට එන ඕනෑම අපේක්ෂකයකුට සහයෝගය දෙන්න සූදානම්. තවත් කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් ඔහුටත් ව්‍යාපාරික ප්‍රජාව සහයෝගය දෙන්න ඉදිරිපත් වෙනවා. ඔවුන්ට තම ව්‍යාපාර රැකගැනීමේ අරමුණ මිසක් රට ගැනවත් දේශපාලනය ගැනවත් උවමනාවක් න්‍යායපත්‍රයක් නෑ.

රටේ ජනතාව ඉතාම සාධනීය ආකාරයෙන්, රට ගැන හිතලා තමයි පොදු අපේක්ෂකයා බලයට ගෙනා‍වේ. හැමටම උවමනා කරලා තිබුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමත් අල්ලස දූෂණය මැර බලයෙන් තොරව රට ඉදිරියට ගෙනයාමත්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කෙරුණත් සංවර්ධනය අතින් රට ඉදිරියට යාමක්වත්, දූෂණය පිටුදැකීමක්වත් සිදු වූයේ නැහැ. ජනතාව මේවන විට ඉන්නේ විශාල අපේක්ෂා භංගත්වයකින්. යළිත් ජනතාවට නිවැරදි නායකත්වයක් අවශ්‍යයි නේද?

මේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන කලකිරීමට පත් වූ කණ්ඩායම කොටස් තුනකට අරන් කතා කරන්න පුළුවන්. එක කොටසක් තමයි මේ රජය බලයට ගෙන ඒමට කැප වූ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ යුතුයි, නීතියේ පාලනය ඇති කළ යුතුයි සිතා පසුගිය ආණ්ඩුව පෙරළා දැමීමට මූලිකත්වය ගෙන කටයුතු කළ ජනතාව.

දෙවන කණ්ඩායම තමයි, රටේ සමාන්‍ය ජනතාව. ඔවුන්ට පෙනෙන්න කිසි සංවර්ධනයක් රටේ සිද්ධවෙන්නෙ නැහැ. දිනෙන් දින ජීවන වියදම වැඩි වෙනවා. බදු බර වැඩිවෙනවා. ඔවුන් එයින් පීඩාවට පත් වී තියෙනවා.

තුන්වෙනුව මේ රජය බලයට පත්කරපු  උතුරේ සහ නැගෙනහිර ජනතාවත් කලකිරීමට පත් වී ඉන්නවා ඔවුන් බලාපොරොත්තු වූ කිසිවක් සිද්ධ වුණේ නැති නිසා.

ඔය කණ්ඩායම් තුළට රටේ බහුතර ජනතාව ඇතුළත් වෙනවා. ඔවුන් මේ වන විට වටපිට බලමින් තමයි ඉන්නේ රට ඉදිරියට ගෙනයාමට නායකත්වයක් දෙන්න සුදුසු කියල.

ඒ සුදුස්සා වෙන්නෙ කවුද? ගිය වර විශාල බලාපොරොත්තු ඇතිව විශාල ජනබලයකින් ජයග්‍රහණය කළ පොදු අපේක්ෂකයාට හෝ පොදු ජන බලවේගයේ කාට හෝ බිඳී ගිය විශ්වාසය යළිත් ඇතිකරගෙන පොදු බලවේගය ගොඩනගා ගැනීමට හැකියාවක් නැද්ද?

මගේ විශ්වාසයක් තියනවා එහෙම පුළුවන් කියල. එහෙම පුළුවන් වෙන්න සාධක කීපයක් තියෙනව.

විශේෂයෙන්ම බඩු මිල ඉහළ යාම, අල්ලසට දූෂණයට තවමත් වලංගුභාවයක් ලැබීම ගැන කලකිරීමක් පවතින වෙලාවේ, තරුණ පරපුර තම අනාගතය ගැන වික්ෂිප්තව බලන වෙලාවෙ, ඒ කලකිරීම දුරුකිරීමට හැකි එකතුවක් ඇති කරගන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම එකතුවක් ඇතිකර ගැනීමට හැකි ප්‍රගතිශීලි පක්ෂ එකතු වෙන්න ඕනැ. බුද්දිමතුන් එකතුවෙන්න ඕනෑ. ඒවා ඉටුකරවා ගැනීමට තෙරපුම් කණ්ඩායමක් ලෙස සිවිල් සංවිධාන එකතු වෙන්න ඕනැ. එහෙම එකතු වුණොත්, නව ව්‍යාපාරයකට ඉඩ තියෙනවා කියන එක තමයි මගේ කල්පනාව.

මල්වතු පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි නායක හිමියන්ගේ ‘මම කියන්නේ ගෝඨාභයටත් හිට්ලර් වගේ‍ වෙන්න’ යන අභද්‍ර වචනය ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨාභය කණ්ඩායමේ ඉදිරි ගමන, ගෝඨාභය ජනාධිපති කරවීමේ ගමන්මග අඩාල කිරීමට සමත් වුණා නේද?

මේක සැලසුම් කර කරපු දෙයක් ද කියන්න දන්නෙ නෑ. ගෝඨාභයට ඉදිරියට නොඑන්න සැලසුමක් කර කරපු එකක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් හාමුදුරුවන් හරියට කරුණු නොදැන, හිට්ලර් ප්‍රතිරූපය ගෝඨාභයට ආරෝපණය කරන්න ගිහින් එතන හිරවීමක් ඇති වෙලා තියනවා. මෙකෙන් ලොකු අර්භූදයක් නිර්මාණය වෙලා තියෙනවා. මේකෙන් ගැලවීම එතරම් ලේසි නෑ. මේකෙන් ගෝඨාභය බලාපොරොත්තු වූ දෙය ඉටු වුණෙත් නෑ. පොදු විපක්ෂය බලාපොරොත්තු වූ දෙය ඉටු වුණෙත් නෑ. ඒ ප්‍රකාශයෙන් සිද්ධ වෙලා තියෙන්නෙ අවුල තවත් අවුලෙන් අවුලට පත්වීමක්.

කොහොම වුණත් අවසානයේ යළිත් ‍රටේ බුද්ධිමත්, ප්‍රගතිශීලි පිරිස එක්කාසු විය යුතුය යන්න තමයි ඔවුන්ගේ ප්‍රකාශවලින්, ලියන කියන දේ වලින් පෙන්නුම් කරන්නේ. දැන් රටට අවශ්‍ය නව ප්‍රගතිශීලි බලවේගයක් සහ එයට නායකත්වයක් දියහැකි පුද්ගලයෙක්.

ඒකාබද්ධ විපක්ෂයේ එහෙමත් නැත්නම් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට රාජපක්ෂ පවුලෙම බල අරගලයක් තියෙනව කියල පෙන්නුම් කරනව නේද?

පැහැදිලිවම පේනවා. පෙනෙන දේ තමයි මේක ගෝඨාභය අතට යනවට මහින්ද ඇතුළු පිරිසගේ කිසිම කැමැත්තක් නෑ ‍වගේ. ඒ කණ්ඩායමට උවමනාව තියෙන්නෙ කවදහරි නාමල් රාජපක්ෂ ජනාධිපති කරවන්න. ‍ගෝඨාභය අතට ජනාධිපතිකමක් ගියොත් ඒක ඉෂ්ඨ වෙන්නෙ නෑ කියල, මහින්ද ඇතුළු කණ්ඩායමේ බයක් තියෙනව. එක අතකින් බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම මේක බලාන ඉන්නව. අනිත් අතින් චමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමත් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා රාජපක්ෂ පවුල ඇතුළේ ම මේ පිළිබඳව අවුලක් තියෙනවා. ඒක විසඳගන්න නොහැකි අවුලක් බවට මහජනතාව අතරත් මතයක් ඇති වෙලා තියනවා.

සාකච්චා කළේ

මනෝජ් රූපසිංහ

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *