මරඋගුල් දේශපාලනය – එම් ඕ ඒ ද සොයිසා

මේ දවස්වල දේශපාලන ක්ෂේත‍්‍රය තුළ කථාබහට ලක්වන පළාත් සභා ඡන්දය යහපාලන ආණ්ඩුව පැටලී සිටින තවත් මර උගුලක් ලෙස හැඳින්වීම වරදක් නොවේ. හේතුව නියමිත නිල කාලය ඉක්මවා විසිරී ගිය පළාත් සභා සඳහා අලුතින් නියෝජිතයින් තෝරාපත් කර ගැනීමට මැතිවරණ පැවැත්වීම ආණ්ඩුව විසින් හිතාමතාම මගහැරීම තූළින් ආණ්ඩුවට එරෙහිව පැන නැඟී ඇති ජනතා විරෝධය සහ අප‍්‍රසාදය දිනෙන් දිනම වර්ධනය වන තත්ත්වයක් පෙන්නුම් කිරීමය. මැතිවරණ මර උගුල ආණ්ඩු විරෝධී බාහිර පාර්ශ්වයක් විසින් අටවන ලද දෙයක් නොවේ. එය අටවාගෙන තිබෙන්නේ ආණ්ඩුව විසින්මය.

එය තුළට රිංගා ගෙල සිරකර ගෙන සිටින්නේද ආණ්ඩුව විසින්මය. දින ඉකුත් වී ඇති පළාත් සභා සඳහා මැතිවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව තමන්ගේ නිදහසට කොපමණ කරුණු කීවද මහජනතාව ඒ කිසිවක් විශ්වාස කරන බවක් පෙනෙන්නට නැත. ජනතාව හිතන්නේ ආණ්ඩුව තමන්ගේ ගැලවීම සඳහා හිතාමතාම බොරු කියන බවය. ජනතාව කියන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව හිමිකර ගත් අවමන්සහගත පරාජය පළාත් සභා මැතිවරණයේදීද අයත් වීමට ඉඩ තිබෙන බැවින් එය වළක්වා ගැනීම සඳහා පදනම් විරහිත තර්ක ඉදිරිපත් කරමින් ආණ්ඩුව කල්මරමින් සිටින බවය.

ජනතාව කුමන චෝදනා එල්ල කළද ආණ්ඩුව ඒවාට ඇහුම්කන් දෙන බවක්ද දක්නට නැත. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුව පියවර නොගැනීමෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන දඩබ්බර සහ හිතුවක්කාරී පිළිවෙතය.

මේ වනවිට පළාත් සභා තුනක නිල කාලය අවසාන වී මාස හයක කාලයක් ගත වී ඇත. ඒ සබරගමුව, නැගෙනහිර සහ උතුරුමැද යන පළාත් සභා තුනය. සබරගමුව පළාත් සභාවේ නිල කාලය අවසන් වූයේ 2017 සැප්තැම්බර් 26 දිනය. නැගෙනහිර පළාත් සභාව් නිල කාලය අවසන් වූයේ 2017 වසරේ සැප්තැම්බර 30 වැනිදාය. උතුරු මැද පළාත් සභාවේ නිල කාලය අවසන් වූයේ 2017 වර්ෂයේ ඔක්තෝම්බර 01 දිනය. මේ පළාත් සභා තුනේම නිල කාලය අවසන් වී මේ වනවිට මාස හයකට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇත. එසේ වුවද මෙම පළාත් සභා තුන සඳහා මැතිවරණ පවත්වනවාද සහ පවත්වන්නේ නම් ඒ කවර දිනකද යන්න ආණ්ඩුව නිල වශයෙන් මේ දක්වාම කිසිදු සඳහනක් කර නැත. මීට අමතරව මේ වසර තුළ නිල කාලය අවසන් වන තවත් පළාත් සභා තුනක් තිබේ. ඒ මධ්‍යම, වයඹ සහ උතුරු යන පළාත් සභා තුනය.

මධ්‍යම පළාත් සභාවේ නිල කාලය අවසාන වීමට නියමිතව ඇත්තේ මෙම වසරේ එනම් 2018 ඔක්තෝම්බර් 08 දිනය. වයඹ පළාත් සභාවේ නිල කාලය අවසාන වීමට නියමිතව ඇත්තේ 2018 ඔක්තෝම්බර් 10 දිනය. උතුරු පළාත් සභාවේ නිල කාලය 2018 ඔක්තෝම්බර් 24 දින අවසාන වේ. මෙයින් පෙනී යන්නේ 2018 ඔක්තෝම්බර් මාසයට ප‍්‍රථමයෙන් ඉහතින් දැක්වූ සබරගමුව, නැගෙනහිර සහ උතුරුමැද යන පළාත් සභා තුන සඳහා ආණ්ඩුව මැතිවරණ නොපැවැත්වුව හොත් ඔක්තෝම්බර් මාසයට පසුව පැවැත්වීමට සිදුවන පළාත් සභා මැතිවරණ සංඛ්‍යාව හයක් වන බවය.

දැනට පවතින පළාත් සභා නවයෙන් මේ වසර තුළ නිල කාලය අවසන් නොවන පළාත් සභා තුනක් තිබේ. ඒ දකුණ, බස්නාහිර සහ ඌව යන පළාත් සභා තුනය. මෙම පළාත් සභා තුනේ නිල කාලය අවසන් වන්නේ පිළිවෙළින් 2019 අප‍්‍රියෙල් 10, 2019 අප‍්‍රියෙල් 21 සහ 2019 ඔක්තෝම්බර් 08 යන දිනයන්හිදීය. එබැවින් මෙම පළාත් සභා තුනේ මැතිවරණ සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී නිශ්චිත අදහසක් දැක්විය නොහැක.

හේතුව ඒ සඳහා තව ටික කාලයක් ගතවීමට තිබෙන බැවිනි. කෙසේවුවද, 01. 07. 2018 දින පුවත්පතක් වාර්තා කර තිබුණු ආකාරයට පළාත් සභා මැතිවරණ 2020 වර්ෂය දක්වා නොපැවැත්වෙන බවක් දක්නට තිබේ. එසේනම් දැනට මැතිවරණ නොපවත්වා පෝළිමේ සිටින පළාත් සභා හයට ඉතිරි තුනද එක් වී මැතිවරණ පැවැත්වීමට නියමිත පළාත් සභා සංඛ්‍යාව නවයක් වනු ඇත. 1987 වර්ෂයේදී පළාත් සභා පිහිටුවීමෙන් පසුව ගත වූ අවුරුදු විසි එක තුළ මෙවැනි සංකීර්ණ තත්ත්වයක් ඇති වූ ප‍්‍රථම අවස්ථාව වන්නේ මෙයයි. මෙම ගැටලුව නියත ලෙසම යහපාලන ආණ්ඩුවේ ඉදිරි අවුරුදු දෙකේ පැවැත්මට පමණක් නොව යහපාලන ආණ්ඩුවේ නායකකාරකාදීන්ගේ අනාගත දේශපාලන පැවැත්මටද ඉතාම දැඩි බලපෑමක් කරනු ඇත.

නියමිත කාල වකවානුවලට අනුව මැතිවරණ නොපැවැත්වීම කුමන තර්ක විතර්ක පදනම් කරගෙන සලකා බැලූවද ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකර දෙයක් ලෙස හැඳින්විය නොහැක. හේතුව ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මැතිවරණ අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙක සමඟ කිට්ටුවෙන් බැඳී තිබීමත් එකකට සිදුවන හානිය නියත ලෙසම අනෙකේ යහපත් පැවැත්මට අහිතකර ලෙස බලපෑමත්ය. නූතන නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රම ක‍්‍රියාත්මක වන එක් පදනම් මූලධර්මයක් මැතිවරණ වේ. නූතන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම ක‍්‍රියාත්මක වන්නේ ජනතාව විසින් තෝරා පත්කරගත් නියෝජිතයින් විසින් රාජ්‍ය බලය මෙහෙයවීම යන මූලධර්මය පදනම් කර ගෙනය. ජනතාවට තම නියෝජිතයින් තෝරාපත් කර ගැනීමට ඉඩප‍්‍රස්ථාව හිමි වන්නේ කාලීනව පවත්වන නිදහස්, අපක්‍ෂපාතී සහ සාධාරණ මැතිවරණ මගින්ය.

මේ අනුව මැතිවරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක ඉතාම වැදගත් අත්‍යාවශ්‍යම කොන්දේසියක් වේ. දේශපාලන ක‍්‍රමයක් තුළ තමන් පාලනය කළ යුත්තේ කවුරුන් විසින්ද යන්න තීරණය කිරීමට ජනතාවට හිමිකම ලැබෙන්නේ එමගිනි. තමන් පාලනය කළ යුත්තේ කවුරුන් විසින් කුමන කාලයකටද යන්න තීරණය කිරීමේ බලය ජනතාවට හිමිවන්නේ එමගිනි. ජනතා මතය රාජ්‍ය පාලනය කරා ගෙන යා හැකි මාර්ගය ජනතාවට හිමිකර දෙන්නේ එමගිනි. එමෙන්ම තමන් අකමැති පාලකයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස බලයෙන් ඉවත් කිරීමට ජනතාවට මාර්ගය පාදා දෙන්නේ එමගිනි. ඉතාම කෙටියෙන් කියනවා නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ පිළිගැනෙන ජනතා පරමාධිපතිත්වය හෙවත් දේශපාලන බලයේ අවසාන හිමිකරුවා මහජනතාව වනවාය යන සිද්ධාන්තය ක‍්‍රියාවට නැංවීමට ඇති එකම මාර්ගය මැතිවරණ වේ.

මේ අනුව බලන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමයක් තුළ මැතිවරණවල ඇති වැදගත්කම මෙපමණයැයි කිව නොහැක. යම් දේශපාලන ක‍්‍රමයක් තුළ මැතිවරණ සිතාමතාම කල් දමන්නේ නම් හෝ ව්‍යාජ හේතු සාධක ඉදිරිපත් කරමින් මැතිවරණ පැවැත්වීම කල් දැමීමට බලයේ සිටින පාලකයින් කටයුතු කරන්නේ නම් එවැනි පාලන ක‍්‍රමයක් කිසිසේතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවනවාක් මෙන්ම එවැනි පාලන ක‍්‍රමයක බලය ක‍්‍රියාවට නංවන පාලකයින්ද ප‍්‍රජාතන්තවාදීයැයි සැලකිය හැකි නොවේ. මෙම හේතුව නිසයි යහපාලන ආණ්ඩුව තමන්ට විනාශය ළඟා කරදෙන මරු වැලක තමන් විසින්ම පැටලී සිටින බවට මේ ලිපිය ආරම්භයේදීම සඳහන් කරනු ලැබූයේ.

පළාත් සභා මැතිවරණ නොපැවැත්වීමේ මීළඟ අයහපත් ලක්‍ෂණය වන්නේ එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවීමට තරම් දිග්ගැස්සී යාමය. මෙම අර්බුදයේ පැතිකඩ දෙකක් දැකිය හැක. මෙයින් එකක් වන්නේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4.ඉ වගන්ති දෙකේ දැක්වෙන ජනතා පරමාධිපත්‍ය හා සම්බන්ධ විධිවිධාන මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන් උල්ලංඝනය වීමය. 3 වන වගන්තියේ දැක්වෙන ආකාරයට, ‘‘ ශී‍්‍ර ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය.

පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේය’’. 4.ඉ වගන්තියේ දැක්වෙන ආකාරයට අටළොස් විය සම්පූර්ණ කර ඇත්තා වූ ද, මෙහි මින්මතු විධිවිධාන සලස්වා ඇති පරිදි ඡන්ද හිමියකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්දහිමි නාමලේඛනයේ ඇතුළත් කරනු ලැබ සිටින්නාවූද , සෑම පුරවැසියකු විසින්ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේදී ද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේදී ද, සෑම ජනමත විචාරණයකදී ද ඡන්ද බලය ක‍්‍රියාත්මක කළ හැකි විය යුතු වන්නේය’’. 3 වන වගන්තියෙන් අවධාරණය කරන්නේ ඡන්ද බලය ජනතාව සතු පරමාධිපතිත්වයේ කොටසක් වන අතර එය අත්හැරිය නොහැකි බවය.

4.ඉ වගන්තියේ ඒ ඒ මැතිවරණවලදී පුරවැසියන්ට ඡන්දය භාවිතා කිරීමට ඇති හිමිකමය. එම වගන්තියට පළාත් සභා මැතිවරණ අන්තර්ගත කර නොමැති වූවද එම වගන්තියෙන් අන්‍යාකාරයකින් හැඟී යන්නේ පළාත් සභා මැතිවරණවලදී වුවද ඡන්දය පාවිච්චි කිරීම ජනතා පරමාධිපතිත්වයේ කොටසක් වන බවය. මෙම තර්කය පිළිගන්නවා නම් ආණ්ඩුව විසින් මැතිවරණ පැවැත්වීම කල්තැබීම මගින් ජනතා පරමාධිපතීත්වය උල්ලංඝනය කර ඇති බවට දෙවන තර්කයක් ගොඩ නැඟිය හැකි වේ. එසේ නම් එය ආණ්ඩුව විසින් කර ඇති බරපතළ ව්‍යවස්ථා කඩකිරීමක් ලෙස හැඳින්වීම අසාධාරණ නොවේ.

පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම මගින් ඉස්මතු වී තිබෙන ව්‍යවස්ථා අර්බුදයේ අනෙක් පැතිකඩ වන්නේ මැතිවරණ කොමිසම සහ එහි සභාපතිවරයා ආණ්ඩුවේ ක‍්‍රියාකලාපයට එරෙහිව අභියෝග කිරීමට පටන් ගැනීමය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගිය දිනක ප‍්‍රකාශ කර තිබුණේ ආණ්ඩුව මැතිවරණ පැවැත්වීමට කටයුතු නොකරන්නේ නම් මැතිවරණ කොමිසමට ව්‍යවස්ථානුකූලව පැවරී තිබෙන බලතල භාවිතයට ගනිමින් මැතිවරණ පැවැත්වීමට කොමිසම පියවර ගන්නා බවය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ මෙම ප‍්‍රකාශයට ආණ්ඩුවේ ප‍්‍රතිචාරය දක්වා නොමැත. එසේවුවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තමන්ගේ බලතල යොදවමින් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කටයුතු කළහොත් එමගින් ඇතිවිය හැකි ව්‍යවස්ථා අර්බුදය හේතුවෙන් සමස්ත ආණ්ඩුක‍්‍රමයම කිව නොහැකි ආකාරයේ ව්‍යසනයක් කරා ගමන් කිරීමට ඉඩ තිබෙන බව සක්සුදක් සේ පැහැදිලි කරුණක් බව අවසාන වශයෙන් කිව යුතුය. මේ අනුව බලන විට යහපාලන ආණ්ඩුව පැටලී තිබෙන්නේ එක් මරු වැලක පමණක් නොවේ. මරුවැල් රාශියක පැටලී ඇති ආකාරයකුයි දැකිය හැකි වන්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *