මහින්දගෙන් පසු පැරදවිය යුතු අපේ චින්තනය – නිශාන්ත කමලදාස

l5_400_266_95මහින්ද පැරදුවාට පමණක් වැඩක් නැත. ඔහු නියෝජනය කරන්නාවූ පසුගාමී චින්තනය ද ඒ සමගම පැරදවිය යුතු ය. නැතිනම් සිදුවන්නේ එජාපයෙන් හෝ ජවිපෙන් එසේත් නැතිනම් සන්ධානයෙන්ම මේ පිළිල වෙනත් නම් වලින් නැවත මතුවීම ය. පැරදවිය යුතු පසුගාමී චින්තනයේ ප්‍රධාන අංග කීපයක් පහත දක්වන්නට කැමැත්තෙමි. අපේ සහෘදයන් මේ ලයිස්තුවට තවත් එකතු කරනු ඇතැයි ද මේ ලයිස්තුවේ අංගයන් අපේ විරුද්ධවාදීන් මෙන්ම සහෘදයන් විසින්ම ද විචාරයට ලක් කරනු ඇතැයි ද අපි අපේක්ෂා කරමු. ඒ අප සියල්ල දන්නේ යැයි මිත්‍යාවක නැති නිසා ය. මුලින්ම පරාජය කළ යුත්තේ තමන් සියල්ල දන්නේය යනුවෙන් බොහෝ දෙනා තුළ පවතින ඒ සිතුවිල්ල ය. ඉතිරිය පහත දක්වා තිබේ.

  1. ඉර හඳ තරු අපේ අනාගතය තීරණය කරන බව හා ඒ නිසාම ඒවාට යටත්ව අප ජීවත් විය යුතු බව
  2. ලංකාවට සෙසු ලෝකයෙන් වෙන්ව ජිවත් විය හැකි බව හා එය අපේ ස්වාධීනත්වය රැක ගැනීමේ මග බව
  3. ජාත්‍යන්තර නීති රීති සම්මුතීන් පිළිගැනීම තුළින් රට ජාත්‍යන්තරයට යටත් වන බව
  4. බටහිර ඇති සියල්ල කුණු බව
  5. ලංකාව ලෝකයේ උතුම්ම රට බව
  6. වත්මන් ලෝකයේ රටක් ආහාර ඇතුළු බොහෝ දෙයින් ස්වයං පෝෂිත විය යුතු බව (අල්පෙනෙති වගේ දේවල් පවා රට තුළ නිපදවිය යුතු බව)
  7. ආගම්වල තිබෙන සියළු කරුණු ඒවායේ ශාස්තෘන්වහන්සේලා විසින් දේශනා කර ඇති දේ බව හා ඒ නිසා විමසීමෙන් තොරව සියල්ල පිළිගත යුතු බව
  8. වැඩිහිටියන් හා පූජකයන් කොතරම් නොපනත් කම් කළ ද උනට ගරු කළ යුතු බව
  9. තමන්ගේ එකෙක් වැරැද්දක් කළ ද දඩුවම් නොකළ යුතු බව හා උන් ආරක්ෂා කළ යුතු බව
  10. වැරදිකරුවන්ට නීතියෙන් වැරදිකරුවන් කරන තෙක් නොසිට වෙනත් යාන්ත්‍රණයන් මාර්ගයෙන් හෝ දඩුවම් කළ යුතු බව හා ඔවුන් වෙනුවෙන් නීතිඥයෙකුවත් පෙනී නොසිටිය යුතු බව
  11. හොරකම වැළැක්වුවහොත් සංවර්ධනය ඇණ හිටින බව
  12. ආණ්ඩුව අපට යම් යම් දේ දෙන්නේ ආණ්ඩුව කරන අයගේ බූදලයෙන් ගෙනා මුදලින් බව
  13. ආණ්ඩුවක් තියෙන්නේ රටක ප්‍රතිපත්ති හැදීමට නොව පුතාට රස්සාවක් දීම බිරිඳට මාරුවක් හදා දීම වැනි අපේ සිල්ලර වැඩ ටික කර දීමට බව
  14. අපට ලැබෙනවා නම් රට උගස් කර ණය ගත්තත් අවුලක් නැති බව
  15. රාජ්‍ය සේවය යනු රැකියා සපයන කප් රුකක් බව
  16. පුද්ගලික අංශයෙන් ගලවා රජය බාර ගත් විට සියල්ල හරි යන බව
  17. දේශප්‍රේමය යනු සිංහ කොඩියක් වැනීම, ජාතික ගීය ගැයීම, අතීතය කබල් ගාමින් පාරම් බෑම හා පපුවට තදින් ගසා ගැනීම බව
  18. යුද්ධය අවසන් කළ විට ජාතික ප්‍රශ්නය අවසන් වෙන බව
  19. කොටින් පැරදවිය හැක්කේ එක අලුක්කාලක හෝ බලයක් දෙමළ ජාතියට නොදී සිටීමෙන් බව
  20. සෙසු ජාතීන් තුළ ඇති ජාතිවාදය ජය ගත හැක්කේ තම ජාතිය තුළ ඊටත් වඩා උග්‍ර ලෙස ජාතිවාදය පැතිරවීමෙන් බව හා වෛරය ජයගත හැක්කේ වෛරයෙන් පමණක් බව
  21. දුප්පත් කම ජය ගත හැක්කේ දුප්පතුන්ට කෑමවේලක් ඇඳුමක් පැළඳුමක් හා සිල්ලර කාසි ටිකක් දීමෙන් බව

ලයිස්තුව තව දිග ය. එහෙත් ඒ අමතර කාරණා ඔබ විසින් ඉදිරිපත් කරනු ඇතැයි උපකල්පනය කර මේ සටහන මෙසේ අවසන් කරමි.

මේ සියල්ල ද සංවාදයට විවෘත ය.

මේවා නිසා ලංකාවට සිදු විය හැකි හානි අපමණ ය. කිසිවෙකුට ඒ එකදු කරුණක් හෝ එසේ නොවන්නේය යන සැකයක් ඇත්නම් ඒ ගැන පිළිවිසීමට ද අප කැමති ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *