නැවත නැවතත් තැලෙන සන්ධ්‍යා – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණවැදීමේ චෝදනාව මත සිර දඬුවම් ලබා යළි ඇප ලබා නිදහස් වූ ‍ගලගොඩඅත්තේ ඥනසාර හාමුදුරුවන් 2018 ජුනි 26 දා මාධ්‍ය සාකච්ඡාවක දී කියා තිබුණේ තමා හිරේ දැමීම නීතියේ දෙවඟන මහ දවාලේ දූෂණය කිරීමක් වශයෙනි. ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට දඬුවම් නියම වූයේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණවැදීම සම්බන්ධයෙනුයි.

ගලගොඩඅත්තේ හාමුදුරුවන්‍ගේ මාධ්‍ය සාකච්ඡාවට සෑම සිංහල පුවත්පතක්ම පාහේ ඉහළ වැදගත්කමකින් යුක්තව වාර්තාකර තිබුණි.

ඒ අතර එදිනම එනම් 2018 ජුනි 26 දිනම සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ද මාධ්‍ය හමුවේ දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කර තිබුණි. ගඩගොඩඅත්තේ හාමුදුරුවන්ගේ ප්‍රකාශයට පිටු භාගයක් පමණ ඉඩ දී  තිබුණු පවත්පත් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ලබා දී තිබුණේ කොලම් සෙන්ටිමීටර් ගණනින් මිණිය හැකි ඉඩක් වීම කැපී පෙනුණි. ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට ලොකු පිටු පදාස වෙන් කළ පත්තර සන්ධ්‍යා එක්නැලිගොඩට ලාබා දී තිබුණු උපරිමය පිටු කාලකි.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මාධ්‍ය හමුවේ කියා තිබුණේ කුමක්ද? ඇය සඳහන් කර තිබුණේ, ගලගොඩඅත්තේ ඥනසාර හාමුදුරුවන්ට ජුනි 14 දින හෝමාගම මහේස්ත්‍රාත් අදිකරණයෙන් දුන් තීන්දුවෙන් පසුව තමාට මහත් නින්දා අපහාසවලට ලක්වීමට සිදු වූ බවය. ඇය තවදුරටත් කියා තිබුණේ මත්මන් ජනාධිපතිතුමාගේ උපදේශක තනතුරක් දරන උලපනේ සුමංගල හාමුදුරුවන් ද තමන්ට විශාල මඩ ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.

‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව’ යන කියමන සිහිවන්නේ මෙවැනි කතා ඇසෙන විටය. සන්ධ්‍යා එක්නැලිගොඩගේ කතාව නොදන්නා කෙනෙක් මෙරට සිටී යැයි සිතන්නට පුළුවන්කමක් නැත. පසුගිය ආණ්ඩුව සමයේ ආණ්ඩුව මෙන්ම ආණ්ඩුහිතවාදී මාධ්‍ය බොහොමයක් උත්සාහ කළේ ඇයගේ සැමියා ප්‍රගීත් එක්නැලිගොඩ කොටියෙක් ලෙස හංවඩු ගසා ඔහුගේ අතුරුදන් වීම සාධාරණීකරණය කරන්නටය. කවර අපරාධකරුවකුවුව යුක්තිසහගත ඔප්පු කිරීමකින් තොරව දඬුවම් ලැබිය යුතු නැත. ප්‍රගීන් එක්නැලිගොඩ කොටි සංවිධානයේ සාමාජිකයකු, හිතවතකු, ආධාරකරුවකු විණි නම් කළ යුතුව තිබුණේ සාධාරණ නඩු විභාගයක දී ඒ බව ඔප්පුකොට නීත්‍යානුකූලව ඔහුට දඬුවම් කිරීමය. නමුත් ඒ වෙනුවට සිදුවූයේ නිතී විරෝධීලෙස ඔහු අතුරුදන් කිරීමය. සන්ධ්‍යා එක්නැලිගොඩ  යුක්තිය ඉල්ලා සිටින්නේ එකී නීති විරෝධී කටයුත්ත වෙනුවෙනි.

ගලගොඩඅත්තේ ඥනසාර හුමුදුරුවන් උසාවියට කඩා පැන එක්නැලිගොඩ මහත්මියට බැණ වැදුණේ එකී යුක්තිය පසිඳලීමේ කටයුත්ත උසාවිය හමුවේ සිදුවෙමින් පවතින අතරවාරයේය.

දැන් කවර ආකාරයෙන් හෝ ගලගොඩඅත්තේ ඥනසාර හාමුදුරුවෝ මෝසමකින් ඇප ලබා එළියට පැමිණ සිටී. නමුත් ගලගොඩඅත්තේට අධිකරණයෙන් නියම වූ දඬුවම වෙනුවෙන් වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියටය.

පසුගිය කාලයේ මුහුණු පොත ඔස්සේ ඇයට තර්ජන අපහාස නින්දා කිරී‍ම් එල්ල වූ බව රහසක් නොවේ. ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට ඇප ලබාදීමට පැන වූ කොන්දිසි අතර ද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හිරිහැර නොවන ආකා‍රයට හැසිරිය යුතුය වැනි කොන්දේසියක් ඇත්තේ ද නැත. මුහුණු පොත උපයෝගිකරගනිමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට එල්ල කෙරෙන චෝදනා අපහාස නින්දා වෙනුවෙන් කිසිවකු කවර හෝ ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් ද මෙ‍තෙක් පෙනෙන්නට නැත.

සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍යට පවසා තිබුණේ තමන්ට කුණුහරුපයෙන් බණින බවය. ඇගේ දරුවන් මරා ඇයටම කන්න දෙන බවට තර්ජනය කරන බවය. තමාට හෙණ ඉල්ලමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් ගෙනයන බවය. එපමණක් නොවේ ඇමරිකානු තනාපතිවරයා සහ ඇය සම්බන්ධකරමින් අවලාද පතුරුවන බව ද ඇය කියා තිබුණි.

ඉහත කරුණු එකක්වත් බොරු නොවේ. අන්තර්ජාලය මුහුණුපොත ඇසුරු කරන කවරකුට වුව ද ඇය පවසන දුක් අඳෝනාව සත්‍ය බවට සාක්ෂි ඕනෑ තරම් සොයා ගන්නට ද හැකියාව තිබේ.

ඇයට විරුද්ධව චෝදනා කරන්නන් උත්සාහකරන්නේ ඇයගේ සැමියා කොටියකු බව හුවා දක්වා තමන්ගේ සියලු වැරැදි සාධාරණීකරණය කර ගන්නට ය. නමුත් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ගේ තර්කය වන්නේ ඇය සැමියාට කොටියෙක්ය යන්න මහින්ද රාජපක්ෂ පාලන සමයේදීවත් නොකී බව ය.

කෙ‍සේ වෙතත් දැන් සිදුවෙමින් පවතින දේ අනුව පැහැදිලි වන්නේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට සිදුව ඇත්තේ වඳින්න ගිය දේවාලය හිසමත කඩාවැටීම හා සමාන තත්ත්වයකට මුහුණ දෙන්නට ය.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සිය සැමියා වෙනුවෙන් සටන පටන්ගත්තේ රාජපක්ෂ රෙජිමයේ භීෂණයට බිය වී රට ම නිහඬව සිටි වකවානුවක බව ඇයට උපහාර පිණිස සඳහන් කළ යුතුය. එකල ඇයට එල්ල වූ විවිධ බලපෑම් බාධක හමුවේ ඇය කළ සටන එක් ආකාරයකින් මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ අවධානය යොමු වීමට පවා හේතු විය. එපමණක් නොව 2015 ජනවාරි වෙනස වෙනුවෙන් ද ඇගේ සටන යම් උත්තේජනයක් වශයෙන් බල පෑ බව කිවහොත් බොරුවක් නොවේ.

ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළුව රාජපක්ෂ පාලනය යටත් අතුරුදන් වූ, ඝාතනය වූ, පැහැරගෙන ගිය, අඩන්තෙට්ටම්වලට ලක් වූ පිරිසට යහපාලන ආණ්ඩුව යටතේ යම් සාධාරණයක් වනු ඇතැයි තිබූ බලාපොරොත්තුව මේ වනවිට ඇල්මැරෙන්නට පටන් ගෙන තිබේ.

ඇඟකිලිපොලායන කරුණක් වන්නේ සන්ධ්‍යා එක්නැලිගොඩ සම්බන්ධයෙන් ඇති වී ඇති තත්ත්වයයි. ඇගේ දරුවන් මරා ඇයටම කන්නට දෙන බවට කරන තර්ජනය කොතරම් ම්ලේච්ඡද? එය සමානවන්නේ රාජසිංහ රජු  ඇහැලේපොළ බිසව ලවා සිය දරුවන් වනේ දමා කෙටවූවාය යන සිද්ධියට නොවේ ද? එසේ තර්ජන අපහාස තීන්දුකරන්නන් කවුරුද යනවග ඇය නම් වශයෙන් සඳහන් කර තිබියදී නීතිය නිහඬනම් කළ යුත්තේ කුමක් ද? සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණ වැදුණු වරදට සිර දඬුවම් නියම වී සිට නැවත ඇප ලබා පැමිණ ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් කියන චණ්ඩි කතා උඩ දමා දමා වාර්තා කරන ජනමාධ්‍යයම සන්ධ්‍යා එක්නැලිගොඩගේ ශෝකාලාපයට ඉඩක් නොදෙන්නේ නම් කළ යුත්තේ කුමක් ද? එසේම ඇය වෙනුවෙන් සාධාරණය ඉටු කරන්නට අදාළ අංශ තවත් කල් ගන්නේ නම් සිදු වන්නේ කුමක් ද? ඇමෙරිකාවේ දී කාන්තා අයිතිය වෙනුවෙන් සටන් කළ ශ්‍රී ලාංකික කාන්තාවක් ගැන මහ ඉහළින් පසුගිය දිනවල කතා කළ අපේ මාධ්‍යවලට සන්ධ්‍යා අතපල්ලෙන් වැටෙන පුවතක් බවට පත්වන්නේ රාජපක්ෂවාදී කඩකින් අපේ මාධ්‍යවල ඇස් වැසී නිසා ද? එසේ නම් සන්ධ්‍යා ගැන ආණ්ඩුවේ මුණිවත වටහා ගතයුතු වන්නේ කෙසේද?

චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *