අස්ගිරි පාර්ශ්වයේ හිට්ලර්වාදය – එම් ඕ ඒ ද සොයිසා

අස්ගිරි පාර්ශ්වයේ අනූනායක වෙඬරුවේ උපාලි හාමුදුරුවන් විසින් මේ රට පාලනය කිරීම සඳහා හිට්ලර් පන්නයේ පාලනයක් අවශ්‍ය බවටත් ඒ සඳහා ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට නායකත්වය ගන්නා ලෙසටත් පසුගිය දිනෙක කරන ලද ප්‍රකාශය මෙරට දේශපාලන ක්ෂේත්‍රය ඉමහත් කැළඹීමකට ලක්කළ සිද්ධියක් බවට පත්ව තිබේ. මේ දිනවල රට තුළ සංසරණය වන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය පුවත් දෙස බැලීමේ දී එය පැහැදිලිව පෙනී යයි. එක් අතකින් බලනවිට උපාලි හාමුදුරුවන්ගේ එම ප්‍රකාශය ගැන පුදුම වියයුතු නැත. හේතුව පන්සල් ජීවිතය ගොඩනැ‍ඟී තිබෙන ආකාරය අනුව සංඝ සමාජයේ සාමාජිකයින් ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවකට වඩා අධිකාරිවාදී ජීවිතයකට හුරුපුරුදු වීමත් ඒ මට්ටමින් ඔබ්බට ගොස් අලුත් විදියකට සිතීමට හා කල්පනා කර බැලීමට ඔවුන්ට නොහැකි වීමත්ය.

නමුත් මෙහි දී මතුවන ප්‍රශ්නය වන්නේ මේ රටේ ජීවත් වන දෙකෝටි විසි ලක්‍ෂයකට ආසන්න ජීවිත ආඥාදායක මිනීමරු පාලනයකට යටත්ව පවත්වා ගෙන යාමට පසුබිම සපයන හිට්ලර් පාලන ක්‍රමයක අවශ්‍යතාවය ගැන දේශනා කිරීමට උපාලි ස්වාමීන් වහන්සේට අවසර දුන්නේ කවුරුද යන්නය. පෞද්ගලික මට්ටමෙන් තමන් ආඥාදායක පාලන ක්‍රමයක් යටතේ ජීවත් වීමට කැමති බව ප්‍රකාශ කිරීමට උපාලි හාමුදුරුවන්ට ඇති අයිතිය ගැන කිසිවකුට ප්‍රශ්න කළ නොහැක. හේතුව එය උන්වහන්සේගේ පෞද්ගලික අයිතියක් වන බැවිනි. නමුත් තමන් භුක්ති විඳින පෞද්ගලික නිදහස හා අයිතිවාසිකම් අවභාවිත කරමින් මුළුමහත් රටක් සහ ජාතියක් ආඥාදායක පාලනයකට යටත් කිරීමට දේශනා කිරීම සමාව දිය නොහැකි බරපතළ ජාතික අපරාධයක් වේ.

උපාලි හාමුදුරුවන්ගේ හිට්ලර්වාදී ප්‍රකාශනයෙන් පෙන්නුම් කරන කරුණු කාරණා කිහිපයක්ම තිබේ. මෙයින් එකක් වන්නේ යහපාලන ආණ්ඩුව විසින් අතිශය අමාරුවකින් මේ රට තුළ ස්ථාපිත කර තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පිළිබඳව උන් වහන්සේ කැමැත්තක් නොදක්වන බවය. නමුත් මෙහි දී එක් කරුණක් උන්වහන්සේ විසින් අමතක කර ඇත. එනම් හිට්ලර් පන්නයේ පාලනයක් මේ රටේ ඇති කිරීමට අවශ්‍යයැයි දේශනා කිරීමට තරම් නිදහසක් උන්වහන්සේට හිමි වූයේ යහපාලන ආණ්ඩුව බලයට පැමිණිමෙන් පසු පුද්ගලයින්ගේ කටවල් ඇරීමටත් ඕනෑම දෙයක් කථාකිරීමටත් ලබාදුන් නිදහස හේතුකොට ගෙන බවය.

උපාලි හාමුදුරුවන්ගේ හිට්ලර්වාදී ප්‍රකාශනයෙන් පෙන්නුම් කරන දෙවන කරුණ වන්නේ 2015 ජනවාරි මාසයේ පැවැති ජනාධිපතිවරණයේ දී සහ එම අවුරුද්දේ පැවැත්වු මහා මැතිවරණයේ දී මේ රටේ හැට දෙලක්‍ෂයක් ජනතාව විසින් යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීම කෙරෙහි බලපෑ හේතු සාධක පිළිබඳව කිසිදු අවබෝධයක් උන්වහන්සේට නොමැති බවය. එම මැතිවරණ දෙකේදීම ඡන්දදායකයින්ගේ ඉල්ලීම් අතරින් ප්‍රධාන එකක් වූයේ ඒ වනවිට පැවැති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පවත්වා ගෙනගිය ආඥාදායක පාලනයෙන් රට සහ ජනතාවය මුදවා ගෙන රටේ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන ක්‍රමය ස්ථාපිත කරන ලෙසය.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පාලන ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම කෙරෙහි බලපෑ එක් හේතුවක් වූයේ, එම පාලන ක්‍රමය යටතේ පවත්වා ගෙනගිය මිනීමරු සුදු වෑන් සංස්කෘතියයි. සුදු වෑන් සංස්කෘතියේ නිර්මාපකයා ලෙස බොහෝදෙනා ඇඟිල්ල දිගු කළේ එම පාලන ක්‍රමය යටතේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්‍ෂ වෙතය. අද මේ රටට යහපත් පාලනයක් ඇති කිරීම සඳහා උපාලි හාමුදුරුවන් ඉමහත් බැති සිතින් ආරාධනා කරන්නේ එවැනි චෝදනා එල්ල වී ඇති පුද්ගලයකුටය. මෙයින් පෙනී යන්නේ 2015 ට පෙර පැවැති ආඥාදායක පාලන ක්‍රමය හා අද පවතින ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය අතර පවතින වෙනස ගැන උපාලි හාමුදුරුවන්ට අබමල් රේණුවක තරම්වත් දැනුමක් නොමැති බවය.

උන්වහන්සේගේ හිට්ලර්වාදී දේශනාවෙන් පෙන්නුම් කරන තුන්වන කරුණ වන්නේ සම්ප්‍රදාය වශයෙන් අස්ගිරි පාර්ශ්වය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පිළිබඳ පොදුවේ දක්වන අකැමැත්තය. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට පවතින යහපාලන රජය ගත් උත්සාහයට මුල සිටම දැඩි ලෙස විරුද්ධ වුයේ අස්ගිරි පාර්ශ්වයේ හාමුදුරුවරුන්ය. යහපාලනය වෙනුවට මහින්ද රාජපක්‍ෂ ගේ ආඥාදායක පාලනය ආපසු ගෙන ඒමට ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ අස්ගිරි පාර්ශ්වයේ හාමදුරුවරුන්ය. අස්ගිරි පාර්ශ්වයේ දේශපාලන හැසිරීම සම්බන්ධයෙන් කිවයුතු කරුණු කාරණා බෙහෝ තිබේ. ඒ සියල්ල මෙහි සඳහන් කළ නොහැක.

නමුත් මල්වතු පාර්ශ්වයේ දේශපාලන හැසීරීම තේරුම් ගැනීමට ඉහත දැක්වු කරුණු දෙක වුවද හොඳටම ප්‍රමාණවත් ය. උපාලි හාමුදුරුවන්ගේ හිට්ලර්වාදී දේශනාවෙන් පෙන්නුම් කරන අවසාන වැදගත් කරුණ වන්නේ හිට්ලර් නමැති පුද්ගලයා පිළිබඳව හෝ ඔහු ජර්මනියේ පවත්වා ගෙන ගිය කුරිරු මෙලේච්ඡ ආඥාදායක පාලන ක්‍රමය පිළිබඳ උන්වහන්සේට පැහැදිලි අවබෝධයක් නොමැති බවය. එවැනි දැනුමක් හෝ අවබෝධයක් තිබුණා නම් උන්වහන්සේ ඉහත දැක්වූ ආකාරයේ හිට්ලර්වාදී පාලන ක්‍රමයක් ගැන කතා නොකරනු ඇත. නොදන්නා දේවල් ගැන කථා නොකළ යුතුය යන පැරැණි කියමන මතක් වන්නේ මෙවැනි අවස්ථාවලදීය. හිට්ලර් සලකනු ලබන්නේ මිනිස් වර්ගයාගේ ඉතිහාසය තුළ බිහිවූ කෲරතම ආඥාදායකයා මෙන්ම මිනිස් ඝාතකයා ලෙසය.

ඔහු ජර්මනියේ පාලකයා ලෙස බලයට පත්වන්නේ 1934 වර්ෂයේදීය. 1945 දී සියදිවි හානිකර ගන්නා තෙක් වසර 11 ක් ජර්මනිය පැවතියේ හිට්ලර්ගේ ආඥාදායක පාලනය යටතේය.

හිට්ලර් ජර්මනිය පාලනය කළේ ඔහු විසින්ම නිර්මාණය කරගත් ජාතික සමාජවාදය යන දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තිය පදනම් කරගෙනය.එම ප්‍රතිපත්තියේ මූලික ලක්‍ෂණ වූයේ 1. තනි පක්‍ෂ ක්‍රමය පදනම් කරගත් ඒක පුද්ගල ආඥාදායකත්වය, 2. අන්ත වර්ගවාදය ( තමන් අයත් වර්ගය හැරුණ විට අනෙක් සියලූම ජනකොටස් අශුද්ධයැයි සලකා එවුන් මිහි තලයෙන් අතු ගා දැමීම), 3. රාජ්‍ය මගින් ආර්ථිකය හැසිරවීම මුල්කර ගත් සමාජවාදය, 4 . අන්තවාදී මිලිටරිවාදය ( ජාතික ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව තිබෙන්නේ යුද්ධය මගින් පමණක් යන විශ්වාසය) යනාදියයි.

මෙම අන්තවාදී අරමුණු ඉටුකර ගැනීම උදෙසා හිට්ලර් අනුගමණය කළ කෲර සහ මෟග ප්‍රතිපත්තිය යටතේ ඝාතනය කළ යුදෙව්වන්ගේ ප්‍රමාණය මිලියන 5.5 ක් විය. ඝාතනය කළ යුද සිරකරුවන්ගේ සහ වෙනත් සිවිල් පුද්ගලයින්ගේ ප්‍රමාණය මිලියන 19.3 ක් පමණ විය. හිට්ලර් යුරෝපය සමඟ කළ යුද ගැටුම් හේතුවෙන් මියගිය යුද භටයින්ගේ සහ සිවිල් පුද්ගලයින්ගේ ප්‍රමාණය මිලියන 29 ක් විය. ඔහුගේ අත්තනෝමතික නායකත්වය යටතේ 1934 දී මුලපිරූ දෙවන ලෝක යුද්දය 1945 වර්ෂයේ දී අවසාන වනවිට මියගොස් තිබූ සොල්දාදුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ ප්‍රමාණය බිලියන දෙකක් පමණ විය. යුද්ධයෙන් වූ දේපල හානිය කොතරම්ද යන්න මේ දක්වා ගණන් බැලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොහැකි වී ඇත.

ඉහතින් දැක්වූයේ උපාලි නායක හාමුදුරුවන්වහන්සේ ඉමහත් උද්වේගයෙන් ඉල්ලා සිටින පාලක ආදර්ශය වූ හිට්ලර්ගේ කෙරුවාවල්වලින් බිඳක්ය. උන්වහන්සේ ගෝඨාභය රාජපක්‍ෂගෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ පාලකයා වී හිට්ලර් අනුගමනය කළ ආකාරයේ දෘඩ ආඥාදායක පාලනයක් ක්‍රියාවට නංවන ලෙසය. එක් අතකින් බලන විට හිට්ලර් පාලන ආකෘතිය ගැන රාජපක්‍ෂවරුන්ට අමුතුවෙන් කියා දිය යුතුද යන ප්‍රශ්නය මෙහි දී මතු වේ. හේතුව 2015 ට පෙර පැවැති රාජපක්‍ෂ පාලන රෙජිමය බොහෝදුරට හිට්ලර් පාලන ක්‍රමයට සමාන වීමය. රාජපක්‍ෂ රෙජිමය යටතේ පවත්වා ගෙනගිය පොලිස් රාජ්‍ය ක්‍රමය, රාජ්‍ය සමාජවාදය, අන්තවාදී සිංහල-බෞද්ධ වර්ගවාදය යනාදිය දෙස බලන විට පෙනී යන්නේ එම ප්‍රතිපත්ති බොහෝ දුරට සමාන වන්නේ හිට්ලර්ගේ ප්‍රතිපත්තිවලට මිස ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට නොවන බවය.

මේ අතින් බලන විට උපාලි හාමුදුරුවන් හිට්ලර්වාදී පාලන ක්‍රමය ගැන අලුතින් කියා ඇති දෙයක් නැත. කර ඇත්තේ යළි සිහිපත් කිරීමක් පමණි. හිට්ලර් පාලන ක්‍රමය මේ රටේ යළි ක්‍රියාවට නැංවීමට රාජපක්‍ෂ කණ්ඩායමේ නායකයා වන මහින්ද රාජපක්‍ෂට යළි අවස්ථාවක් නොලැබෙන බව උපාලි හාමුදුරුවන් නිවැරදිව අවබෝධ කරගෙන ඇත. එම කල්ලියේ සිටින දෙවන හිට්ලර් වන ගෝඨාභය රාජපක්‍ෂට රට භාර ගන්නා මෙන් උන්වහන්සේ ඉල්ලා සිටින්නේ ඒ නිසාය. මේ අතින් බලන විට උපාලි හාමුදුරුවන් වැරැදි යැයි කිව නොහැක. නමුත් උපාලි හාමුදුරුවන් මෙසේ කියන විට දේශපාලන විද්‍යාවේ පිළිගත් එක් මූලික සිද්ධාන්තයක් අමු අමුවේ උල්ලංඝනය කර ඇත.

ඒ වූ කලි හොඳම ආඥාදායක පාලනයකට වඩා කොපමණ අඩුපාඩුකම් සහ දුර්වලතා තිබුණත් මිනිසුන් පාලනය කිරීම සඳහා අවම පාලන ක්‍රමයක් ක්‍රියාවට නංවන ආණ්ඩු වඩාත් හොඳ වනවාය යන සිද්ධාන්තයයි. මේ අනුව බලන විට කොපමණ අඩුපාඩුකම් තිබුණත් මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ විසින් මේ ගෙනයන යහපාලන ආණ්ඩුව උපාලි හාමුදුරුවන් වර්ණනා කරන රාජපක්‍ෂවරුන්ගේ හිට්ලර්වාදී පාලන ක්‍රමයට වඩා සිය දහස් ගුණයකින් හොඳ බව අවසාන වශයෙන් කිව යුතුය.

එම් ඕ ඒ ද සොයිසා

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *