ගලගොඩඅත්තේ ගෝනවල සුනිල්

‘පෙරංගියා කෝට්ටේ ගියා වගේ’ කියන උපහැරනයට සමාන උපහැරනයක් තවත් තියනවා ද කියා කඩේ ළමයා ඉස්කෝලෙ මහත්තයාගෙන් ඇසූවිට ඉස්කෝලෙ මහත්තයා කීවේ, ‘සංඝ සභාවෙන් කරන්නට තිබුණු දෙයක් ජේලර් කළා වගේ’ කියාය.

ඒ අමුතු කතාව ඇසූ කඩේ මුදලාලි, ඉස්කෝලෙ මහත්තයාට කීවේ, ඒක නම් කලියුගකාලේ මොඩ් උපමාවක් කියාය.

අමුතු උපමාවක් වෙන්න පුළුවනි මුදලාලි, හැබැයි ඒක මම කියන උපාමාවක් නෙමෙයි. අපේ ‍අති ගෞරවණීය කෝට්ටේ පාර්ශ්වයෙන් කියපු උපමාවක් කියා ඉස්කෝලෙ මහත්තයා කීවේය.

හෑබෑටම ඉස්කෝලෙ මහත්තයෝ දැන් කෝට්ටේ පාර්ශ්වය බණ දහම් කීම නවත්තලා උපමාකතා කියන්න පටන් අරන් තියෙන්නේ, උන්නාන්සේලා බුදුන් වෙනුවට ඊසොප් සරණ ගිහිං වත්දැයි? මුදලාලි ඇසුවේය.

එකඅතකට මුදලාලි අපේ සමහර භික්ෂූන්වහන්සේලා කියන කතා ඇහුවම ඒ අය ඊසොප් නෙමෙයි නස්රුදීන් පාර්ශවයේද කියලත් හිතෙනවා, කියා ඉස්කෝලෙ මහත්තයා කීවේ, “ඥනසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීමේ අවසරය ඇත්තේ, සංඝ සභාවට පමණයි” යනුවෙන් පුවත්පතක පළකර තිබූ කෝට්ටේ සංඝ සභාවේ හාමුදුරුනමක් පවසා තිබූ ප්‍රවෘත්තිය පෙන්වමිනි.

‘අප්පද බොල මෙහෙමත් බුද්ධාගමක්’ කියමින් කඩේ මුදලාලි කම්මුලේ අත ගසාගත්තේ මුලින් කියපු ප්‍රකාශයට යටින් “ගොනවල සුනිල්ටත් ජනාධිපති සමාව දුන්නා නම් ඥණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න බැරිකමක් නැහැ” කියා තවත් හාමුදුරුනමක් කියා තිබෙනු දුටු බැවිනි.

කවුද අපේ මහත්තයා ගෝනවල සුනිල් කියන්නේ හාමුදුරුනමක් ද? කියා කඩේ ළමයා ඇසුවේ, ගෝනවල සුනිල් ගැන හාංකවිසියක්වත් ඔහු නොදැන සිටි බැවින් සහ හාමුදුරුවරුන්ගේ නමට මෙන් සුනිල් ගේ නමට ද ගමක නමක් එනම් ගෝනවල යන්න එකතු වී තිබුණු බැවිනි.

කඩේ ළමයාගේ දැනුම ගැන නම් සතුටු වෙන්න අමාරුයි. සුනිල් කියල නමක් බුද්ධ පුත්‍රයන්ට තියනව කියල දැකල තියෙනවද? ගෝනවල සුනිල් කියන්නේ හාමුදුරුනමක් නෙමෙයි. හැත්තෑවෙ ගණන්වල හිටිය නොම්මර එකේ පතාලයෙක් චණ්ඩියෙක් කියා ඉස්කෝල මහත්තයා කඩේ ළමයාට පැහැදිලිකර දුන්නේය.

එතකොට ගෝනවල සුනිලුත් අමාත්‍යාංශවලට කඩා පැනල වැඩ කඩාකප්පල්කරල, පොලිස් නිලධාරින්ට බැණල, අරක්කු බීල ලයිසන් නැතුව වාහන එලවල පොලීසියට මාට්ටුවෙලා උසාවිවලට පැනල උසාවියට අපහාසකරල තියෙනවාද කියා කඩේ ළමයා ඇසුවේය.

ගෝනවල සුනිලුත් වැරදි වැඩ කළා. ඒත් නීතියට ගරු කරල උසාවියට හිස නමල වරද පිළිඅරන් දඬුවම බාර ගත්ත. උසාවියට අපහාස කරන්න තරම් පහත් තත්ත්වයකට වැටුණේ නැහැ. වැදගත්ම කාරණේ ගෝනවල සුනිල් නීතියට අවනත වුණේ” සරමක් කමිසයක් ඇඳල, කියා ඉස්කෝලෙ මහත්තයා කීවේය.

ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව දුන්න‍ට ඒ කාලේ මමත් විරුද්ධ වුණා. ඒත් දැන් හිතෙන්නේ ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව දීම සාධාරණයි. එයාට දඬවම් කිරීම අසාධාරණයි කියලයි; කියා කඩේ මුදලාලි කීවේය.

මුදලාලි කියන්නේ මහා අප්‍රභංස කතාවක්. ගෝනවල සුනිල් වගේ අපරාධකාරයකුට දඬවම් කිරීම වැරදියි සමාව දීම හරි කියන්නේ අවසිහියෙන් ද? කියා එවිට ඉස්කෝල මහත්තයා ඇසුවේය.

ඇයි ඉස්කෝලෙ මහත්යෝ ගෝනවල සුනිල් මොන අපරාදෙ කළත් කළේ සරමක් කමිසයක් ඇඳල. ඒත් ගලගොඩඅත්තේ ඥණසාර හැම වැරැද්දක්ම කරන්නේ අරහත්ධජය කියන සිවුරකුත් ඇඳගෙන නේද? කියා කඩේ මුදලාලි ඇසුවේය.

මුදලාලි මහත්තයා කියන කතාවෙත් යම් ඇත්තක් තියෙනවා. ඔය කියන විදිහට ගෝනවල සුනිල් මොන වැරැද්ද කළත් බුද්ධ චීවරේට අගෞරවයක් කරල නැහැ. ගලගොඩඅත්තේ වැරදි කරනවා විතරක් නෙමයි බුද්ධ චීවරේටත් බරපතළ අගෞරවයක් කරනවා. ඒ අතින් ගත්තහම ගෝනවල සුනිල් වැදගත් මහත්තයෙක් කීවත් පවු සිද්ධවෙන්නේ නැහැ කියා කඩේ ළමයා ද කීවේය.

එතකොට ඉස්කෝලෙ මහත්තයා එක්නැලිගොඩ උපසිකාව කියන්නෙ උසාවියට තවත් නමක් ද කියා නැවතත් කඩේ ළමයා ඇසුවේය.

කඩේ ළමයා මොකද ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ? කියා ඉස්කෝල මහත්තයා විමසුවේය.

නෑ මේ තවත් හුමුදුරුනමක් කියල තියෙනවා, ඥණසාර හාමුදුරුවෝ හිරේ දැම්මේ එක්නැලිගොඩ උපාසිකාවට අපහාස කළ නිසා කියල යැයි කඩේ ළමයා කීවේය.

එකත්එකටම උන්නාසෙත් ඥණසාර ට වැඩියෙන් ගෝනවල සුනිල් හොඳයි කියල ඔප්පු කරන්න හදනවා. කියා කියූ ඉස්කෝලෙ මහත්තයා කීවේ,  ගිහි ජනතාවට පන්සිල් ගන්න කීවට අපේ සමහර භික්ෂුන් හරෙන හැරෙන පැත්තට බොරු කියන හැටි දැක්කාම බුද්ධශාසනේට දෙවියන්ගේම පිහිටයි කියල හිතෙනවා කියාය.

අඩ්ඩඩ්ඩා! ජම්බෝ ධම්මාලෝකත් මෙන්න සටනට ඇවිත්. අපරාදේ ගලගොඩඅත්තට එයාගෙන් උපදෙස් ගත්ත නම් චීවරෙයි පාත්තරෙයි දෙකම බේරගන්න තිබ්බා කියා කඩේ ළමයා කෑගැසුවේය.

ඒ කවුද ළමයා ජම්බෝ ධම්මාලෝක කියන්නේ! යැයි මුදලාලි ඇසුවේය.

මුදලාලි, ඉංග්‍රීසියෙන් අලි පැටියාට ජම්බෝ කියනවා. ධම්මාලෝක කරයා ගේ වාසනාවට නොදන්නා කෙනෙක් අලි පැටියෙක් ගෙනත් පන්සල් වත්තේ බැඳලා ගිහං තිබ්බා මතක නැද්ද? මම එයාට ජම්බෝ ධම්මාලෝක කීවේ ඒ නිසයි. කියා කඩේ ළමයා කී විට මුදලාලි හිනාවෙන්න පටන් ගත්තේය.

ගහට ගහක් මොරටුවේ මුණගැහෙනවා; දී කිරට බළල්ලුත් සාක්ෂියට එනවා, කියා ඉස්කෝල මහත්තයා කීවේ, අරුත්තෙට්ටුවේ මූනන්ද, කාමරේ කස්සප ආදි සමජාතියේ චීවරධාරින් පිරිසක් අදාළ සභා‍වේ කතාකර ඇති බව පුවත්පතේ සඳහන්ව තිබූ බැවිනි.

ඔය හැමදේම ඉවසන්න පුළුවනි. ඒත් මට දුක, ඔය හාද‍යගේ කෙරුවාව නිසා බුද්ධ ශාසනේ නැත්තටම නැති වෙනවා කියා මුදලාලි කීවේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *