රජ පුටුවට කුලල් කා ගැනීම – භාතිය බරුකන්ද

“ගෝඨාභය රාජපක්ෂ සමඟ මගේ ගැටලුවක් නොමැති නමුත් එම කඳවුරේ සිටින අන්තවාදීන් පිරිසක් මා පිළිබඳ වෛරි සහගතව කතාබහ කරනවා. එයින් පෙනෙන්නේ මේ පිරිස බලයට ආවොත් ලංකාවේ මොන වගේ සමාජයක් ඇතිවේද කියලයි” මෙහෙම කියන්නේ ලංකාවේ සිටන ප්‍රවීණම රාජ්‍ය තාන්ත්‍රිකයෙක්, බුද්ධිමතෙක් හා දේශපාලන විද්‍යාඥයෙක් වන ආචාර්ය දයාන් ජයතිලක මහතායි. ඒ පසුගිය 17 වැනි සතිඅන්ත පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදීයි.

දයාන් ජයතිලක මේ ආකාරයෙන් ගෝඨාගමනයේ අනාගතය ගැන බිය වෙද්දී රාජපක්ෂ රෙජිමය යළි ඔසවා තැබීමේ පෙර ගමන්කරුවෙකු වන වාසුදේව නානායක්කාර මහතා පසුගියදා කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී ගෝඨාගමනයේ තවත් පැතිකඩක් නිරාවරණය කළා. එහිදී වාසු අවධාරණාත්මකව ප්‍රකාශ කළේ ගෝඨාගමනය වෙනුවෙන් මඟ හෙළිපෙහෙළි කරමින් සිටින ඊනියා වියත් මඟ සංවිධානය විසින් ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළ අමෙරිකන් ගැති ප්‍රතිපත්තියක් මත පදනම් වූවක් බවයි. එය කිසිසේත් ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙළ නොවන බව පැවසීමට ද මෙහිදී වාසුදේව නානායක්කාර මහතා පසුබට වුණේ නැහැ.

ඉහත මාධ්‍ය සාකච්ඡාවේදී වාසුදේව නානායක්කාර මහතා විසින් ඉතා වැදගත් තවත් කරුණක් හෙළි කළා. ඒ අද හෝ හෙට ආණ්ඩුව පෙරළා යළි බලය අල්ලා ගැනීමට කැසකවන ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනය ගැනයි. “ඒකාබද්ධ විපක්ෂයට ස්ථිර වැඩපිළිවෙළක් නැහැ” වාසුදේව නානායක්කාර මහතා තමන් ද ඇතුළු ඊනියා ඒකාබද්ධ විපක්ෂය ඇඳගෙන සිටි අමුඩය කඩා ගෝඨාභය රාජපක්ෂ වෙත ගසා දමමින් තමන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ ද කැත සෙළුව රටට හෙළි කළා.

ඉතා කෙටි කාලයක් තුළ රාජපක්ෂ රෙජිමයේ මතවාදී තලය නියෝජනය කරන ආකර්ෂණීය චරිත ද්විත්වයක් විසින් සිදුකළ ඉහත සඳහන් හෙළි කිරීම්, විවේචන මේ වන විට රාජපක්ෂවාදී මාධ්‍ය රෙජිමය විසින් සාටෝපකාරී ආකාරයෙන් සමාජගත කරමින් සිටින රාජපක්ෂාගමනය ගැන සමාජ සංවාදය අලුත් මඟකට යොමු කිරීමට හේතුවන බව ඉතාම පැහැදිලියි. මන්ද යළි කුමනාකාරයකින් හෝ (රටේ අහේතුවට හෝ) රාජපක්ෂාගමනයක් සිදු වුවහොත් රටත්, ජනතාවත් පත්වන දැවැන්ත විනාශය මේ සමඟ සංඥා කරන නිසයි.

ගෝඨාගමනයේ භීතිය

මෙහිදී ප්‍රථමයෙන්ම මේ වන විට විවිධ කණ්ඩායම් හා පුද්ගලයන් විසින් මුට්ටිය දා බලමින් සිටින ගෝඨාගමනය ගැන දයාන් ජයතිලක කරන අනතුරු ඇඟවීම වෙත යා යුතුයි. මන්ද මහින්ද රාජපක්ෂ මහතාගේ දශක පාලනය නිමා කිරීමට තීරණාත්මක ඇණය ගැසීමට වඩාත් ප්‍රබල උත්තේජනයක් ලබා දුන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ අනුත්තර මිලිටරි පාලකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා බව බොහෝ දෙනෙක් පොදුවේ පිළිගන්නා නිසයි.

වෙනත් පුවත්පතක පළ වූ සම්මුඛ සාකච්ඡාවකින් තෝරාගත් කොටසක් උපුටා දැක්වීමේ මාධ්‍ය සදාචාරමය පසුබිම කෙසේ වුවත් මෙහිදී දයාන් ජයතිලක මහතා ගෝඨාභය සහ ගෝඨාභය රාජපක්ෂ ඔසවා තැබීමට (විධායක ජනාධිපති පුටුවට) පසුගිය කාලය පුරා කැසකවමින් සිටින වියත් මඟ හා ඒ ඇසුරින් සිදුවිය හැකි විනාශය ගැන දක්වන අදහස යළි උපුටා දැක්විය යුතුයි.

“වියත් මඟ ප්‍රාදේශීය වැඩමුළුවලට සහභාගි වන්නේ අන්ත ජාතිවාදීන්. ගෝඨාභය රාජපක්ෂ කඳවුරේ අය වැඩි කැමැත්තක් දක්වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් චරිතයට. ඒත් ඔවුන්ට ඊට වඩා වැඩි දෙයක් වැලිමිඩිර් පුටින් චරිතයෙන් ඉගෙන ගන්න පුළුවන්. මට ඇති ප්‍රශ්නය වන්නේ ඡන්දය දිනීම නොවේ. ආණ්ඩුව ඡන්දයෙන් දිනන නමුත් ඉන්පසු ජනවාර්ගික අර්බුද ඇති වෙයි. එදා ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්තියෙන් සිදුවන්නේ තවත් රතුපස්වල සිදුවීම් ඇතිවීමයි. දැන් මේ කණ්ඩායමේ සිටින්නේ මහා ධනකුවේරයන් හා අන්තවාදය මතු කරන ත්‍රිවිධ හමුදාවේ අයයි.මේ ඊනියා වියත් මඟ හා වියත් මඟ සංවිධානය විසින් සම්පාදිත වැඩපිළිවෙළ ගැනත් එයින් ඇතිවිය හැකි සමාජ, ආර්ථික හා දේශපාලන ව්‍යසනය ගැන දයාන් ජයතිලක මහතා දරණ අදහසයි.

දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් ඇති, ප්‍රායෝගිකව දේශපාලනයේ හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල යෙදුණු බුද්ධිමතෙක් වශයෙන් දයාන් ජයතිලක මහතා ඉදිරිපත් කරන අදහසම වාසුදේව නානායක්කාර මහතා විසින් ද තම වාමාංශික දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ කරමින් (අමෙරිකන් ගැති ප්‍රතිපත්තියක්) ජනතාව හමුවේ අවධාරණය කළ කරුණේ ප්‍රායෝගිකත්වය වන්නේ (වාසු හා දයාන් නොකියා කියන) අන්ත ජාතිවාදීන් හා වර්ගවාදීන් විසින් මහත් අපේක්ෂාවෙන් පෙරමග බලාසිටින ඊනියා ගෝඨාගමනය හරහා සිදුවනු ඇත්තේ රට තවත් වරක් මිලිටරි නායකයන් ධන කුවේරයන් කරන සිවිල් යුද්ධයක් වෙත රට තල්ලු කිරීම පමණක් බවයි. ඊට සමගාමීව දකුණේ සිදුවිය හැකි සිවිල් ජන සංහාර (රතුපස්වල, වැලිකඩ පන්නයේ) මගින් රට යළිත් වරක් නරාවළක් බවට පත්වනු ඇති බවයි. ඊට සමගාමීව ජාත්‍යන්තරයේ කොන් කිරීම් හා හෙළා දැකීම්වලට ලංකාව පහසු ගොදුරක් වනු ඇති බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ සුපෝෂණය වූ මිලිටරි නායකත්වය හා ඊනියා බුද්ධිමතුන් රාජපක්ෂ දශකයේ සාර්ථක කතාව වශයෙන් සැලකිය හැකි ධනකුවේරයන් හා අන්ත ආගම්වාදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ද සමඟ කල්ලි ගැසී කරමින් සිටින මේ දේශපාලන විනාශය දෙස බැසිල් රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා විසින් නායකත්වය දෙන පූර්ණ කාලීන දේශපාලනඥයන් හා දේශපාලන ක්‍රියාකාරීන් විසින් වපර ඇසින් බැලීම ගැන අප කිසිසේත් පුදුම නොවිය යුතුයි. ඒ දේශපාලන බලාධිපත්‍ය සමඟ හිමිවන බල පරාක්‍රමය දේශපාලනය අතික්‍රමණය කරමින් ආර්ථික, සමාජ හා සංස්කෘතික වශයෙන් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම සිසාරා පැතිර යන නිසයි.

පෑහීමක් නැති බලවේග

මේ තත්ත්වය අපට පහසුවෙන් වටහා ගත හැකි වන්නේ පසුගිය කාලය පුරා ගෝඨාභය – බැසිල් විසින් නායකත්වය දෙන ආගමික, දේශපාලන හා ව්‍යාපාරික බලවේග ඉතාම පැහැදිලි වෙනස්කම් (මතවාදී හා අපේක්ෂා වශයෙන්) සහිත දෙපිරිසක් වීමයි. මේ තත්ත්වය වඩාත් පහසුවෙන් විග්‍රහ කරන ආචාර්ය දයාන් ජයතිලකට අනුව ගෝඨාභය රාජපක්ෂ වටා කල්ලි ගැසී සිටින්නේ අන්ත ජාතිවාදීන් (ගිහි සහ පැවිදි), ධන කුවේරයන් සහ මිලිටරි නායකත්වයයි. මේ කල්ලිවල වර්තමාන මතවාදී නායකත්වය (ගෝලීය) වන්නේ අද මුළු ලෝකයම එකම අවුල් ජාලයක් කරන අන්ත ජාතිවාදී (අමෙරිකන්) ඩොනල්ඞ් ට්‍රම්ප් වීම හුදු අහම්බයක් නොවන බව අපට පැහැදිලියි. ජනවාර්ගික අන්තවාදීන් (ඊශ්‍රායලය වැනි) පෝෂණය කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් වැනි නූතන ගෝලීය වටිනාකම්වලට පයින් ගසමින් මුළු “අමෙරිකාව එක” යන ඊනියා මතයේ සිටිමින් (අමෙරිකාව පසුගියදා මානව හිමිකම් කොමිෂමෙන් ඉවත්වීම) අද ට්‍රම්ප් භාවිත කරන අන්ත වර්ගවාදී ප්‍රවේශය යුදමය පහසු ගොදුරු බිමක් කරගත් ලංකාවේ ඊනියා මිලිටරි නායකයන්ට සහ ඇතැම් අන්තවාදී කුවේර බෞද්ධ භික්ෂූන්ගේ තෘප්තියට හේතුවක් බව පැහැදිලියි.

ඒ ඔවුන් ද පසුගිය කාලය පුරා ගෝඨාභය රාජපක්ෂගේ නාමයෙන් ලංකාවේ බිහි කිරීමට තැත් කරමින් සිටින්නේ අන්ත වර්ගවාදී, මිලිටරි හා කුවේර භික්ෂූන් කල්ලියකගේ මතවාදය හා වුවමනා එපාකම් ඉටු කරන රටක්වීම නිසයි. පසුගිය කාලය පුරා ගෝඨාභය රාජපක්ෂ වටා කල්ලි ගැසී සිටින ඊනියා බුද්ධිමතුන් හා බෞද්ධ භික්ෂූන් දෙස පහසු අවධානයක් යොමු කිරීම මගින්ම අපට තත්ත්වය පහසුවෙන් වටහා ගත හැකියි. මේ කල්ලියේ ඇතැම් කුවේර භික්ෂූන් සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිලිටරි නායකත්වයේ අනුග්‍රහය හා ආශිර්වාදය ලැබූවන් බව අපට පහසුවෙන් හඳුනා ගත හැකියි.

අන්මත නොඉවසන, අති උද්දච්ච මානසිකත්වයෙන් යුත්, සංකීර්ණ ක්‍රියාවලියක් මගින් ලබා ගත් යුද ජයග්‍රහණය සදාකාලිකව තම ජීවිත භුක්තියට ලියා ගැනීමේ පිපාසාවෙන් පෙළෙන මේ ඊනියා මිලිටරි නායකත්වය බැසිල් හා මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය ලබාදෙන වෘත්තීය දේශපාලනඥයන් හා දේශපාලන ක්‍රියාකාරීන් (භික්ෂූන් වහන්සේලා ද ඇතුළත්ව) විසින් නොඉවසීම මේ අනුව අපට පහසුවෙන් වටහා ගත හැකියි. මන්ද බැසිල් රාජපක්ෂ විසින් නායකත්වය දෙන ගමේ සමෘද්ධි නියාමකවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා වන පිරිස බොහෝ විට නිර්මාණය වන්නේ ගමේ තෘණමූල මට්ටමින් හා ඒ ආශ්‍රිත ස්ථර තුළිනුයි.

ගමේ එදිනෙදා සරල ගැටලුවේ සිට ජනතාව සමඟ අඛණ්ඩව මිශ්‍ර වෙමින් පියවරෙන් පියවර ඉහළට ගමන් කරන දේශපාලනයක් හෝ ගමේ පාරට තාර ටිකක් දැමීමේ සිට පොදු වැඩවලට ආණ්ඩුවෙන් ලැබෙන ප්‍රතිපාදනවලින් කොටසක් ගසා කෑමට (කොළේ ගොනා කරල් ටිකක් කෑවට පවු නෑ න්‍යාය අනුව) උත්සාහ ගන්නා මේ පූර්ණ කාලීන දේශපාලනඥයන් හා පක්ෂ ක්‍රියාකාරීන් පිරිස ගෝඨාභය රාජපක්ෂගේ වඩාත් පුළුල් බලයක් (හමුදා බලය) හා පිළිගැනීමක් (රණවිරු) ඇති පිරිසක් සමඟ එකම ගමේ හවුල් දේශපාලනයක් කරමින් යළිත් ආණ්ඩු බලය ලබා ගැනීමට එක සිතින් එක්වේ යැයි සිතීම ඇත්තටම දේශපාලන ප්‍රහසනයක්. මේ ලේඛකයාගේ ද (දයාන් ජයතිලක ද කියන අයුරින්) අදහස වන්නේ අද ගෝඨාභය රාජපක්ෂ ඔසවා තැබීම වෙනුවෙන් වියත් මග ප්‍රාදේශීය වැඩමුළුවලට රොද බඳින් අන්ත වර්ගවාදී කණ්ඩායම් හා හුදකලා සිවිල් චරිත බැසිල් රාජපක්ෂගේ දේශපාලන බළකාය සමඟ කිසිසේත් නොපෑහෙන කණ්ඩායම් දෙකක් බවයි.

මේ සම්බන්ධයෙන් මේ ලේඛකයා සමඟ අදහස් දැක්වූ සමෘද්ධි සංවර්ධන නිලධාරියෙක් උපුටා දක්වමින් මේ නොගැලපීම අපට පහසුවෙන් වටහා ගත හැකියි.

“අපි බින්දුවෙන් පටන් අරං දේශපාලනය කළ අය. අපේ මුළු පරම්පරාවම ශ්‍රී ලංකාකාරයෝ. ඒ නිසයි මට සමෘද්ධි නියාමක පත්වීම ලැබුණේ. අපි ආණ්ඩුව වෙනුවෙන් ගමේ හැමදේම කරනවා. ඒත් දැන් දැන් පැන්ෂන් ගිය හමුදාකාරයෝ ගමේ දේශපාලනය බලයට අත දානවා. මැදිහත් වෙනවා. අපිට මේක ඉවසන්න බැහැ. ඒත් අපිට කරන්න දෙයක් නැහැ. හමුදාකාරයන්ට පැන්ෂන් ගියත් පිළිගැනීමක් වගේම බලයක් තියෙනවා. අපි දන්නවා මේක අපිට අනතුරක්. ගැටලුවක්. අපිත් බලාගෙන තමයි ඉන්නේ…”

මේ බැසිල්ගෙන් ගමට ලැබෙන සල්ලිවලින් යැපෙමින් දේශපාලනය කරමින් සිටින තෘණමූල මට්ටම අද පත්ව ඇති ආකාරයයි. මේ තත්ත්වය තුළ යුනිෆෝම්කාරයන් සහ කලිසම්කාරයන් අතර ගමේදී සිදුවන බල අරගලය අපට ඉදිරියේදී වඩාත් පහසුවෙන් දැක බලා ගැනීමට අවස්ථාවක් උදාවිය හැකියි.

පොහොට්ටුවේ උභතෝකෝටිකය

මේ තත්ත්වය තුළ ඊනියා පොහොට්ටුව තුළ ගොනුව සිටින ඒකාබද්ධ විපක්ෂයේ යැයි කියා ගන්නා කල්ලිය මුහුණ දෙන උභතෝකෝටිකය ද අපට පහසුවෙන් වටහා ගත හැකියි. ඒ අනුව අද ඒකාබද්ධ විපක්ෂයේ නාමයෙන් පොහොට්ටුවට නායකත්වය දෙන කල්ලිය බැසිල් රාජපක්ෂ මත වැඩෙමින් පෝෂණය වූ කල්ලියක් මිස කිසිසේත් ගෝඨාභය රාජපක්ෂගේ මිලිටරි බල පරාක්‍රමයේ අනුහසින් බැබලුණු පිරිසක් නොවෙයි. ඔවුන් සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ යුගයේ කුවේර චරිතය රඟපාමින් සමස්ත ආර්ථික ආධිපත්‍ය දැරූ බැසිල් රාජපක්ෂ විසින් අසීරුවෙන්, නිර්ලෝභීව නඩත්තු කළ පිරිසක්.

ගම නැඟුම, මග නැඟුම, දිවි නැඟුම වැනි ඊනියා ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති පමණක් නොව සමස්ත ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේම සේසත යොමු වුණේ මේ ප්‍රාදේශීය දේශපාලනඥයන් නඩත්තු කිරීම සහ ඔවුන් ස්ථාවර කිරීම වෙනුවෙනුයි. එය බැසිල් කොතරම් අපූරුවට කළාද යන්න මනාව පැහැදිලි වන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණය හරහායි. 1994 සිට 2018 දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ අනුග්‍රහය ලැබූ මේ පිරිස ඉතාම පහසුවෙන් බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පොහොට්ටුව වටා එක් වුණේ බැසිල් රාජපක්ෂ මීයක් බැන්දොත් අත ලෙවකෑමට වඩා වැඩි දෙයක් තමන්ට හිමිවන බව දන්නා නිසයි.

මේ තත්ත්වය හුදු ප්‍රාදේශීය දේශපාලනඥයන් හා තෘණමූල මට්ටමේ නිලධාරීන්ට පමණක් පොදු කරුණක් නොවෙයි. කැබිනට් ඇමැතිවරුන්ගේ සිට අමාත්‍යාංශ ලේකම්වරු දක්වාත්, ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ සිට නාහිමිවරුන් දක්වාත් පිරිසක් බැසිල් රාජපක්ෂ හරහා අපූරුවට නඩත්තු වුණා.

මේ තත්ත්වය තුළ තමන්ට වඩා වර්ණවත් චරිත වශයෙන් ඉදිරියට එන ගෝඨාගේ වියත් මඟ හෝ හිතවත් මිලිටරි නායකයන් හමුවේ අමු අමුවේ පාවාදීමට සිදුවන්නේ මීට ඉහතින් සඳහන් කළ පරිදි හුදු දේශපාලන බලාධිපත්‍යය ඉක්මවා ගිය ඊට වඩා යමක් බව බැසිල්ගේ කල්ලිය විසින් වටහා ගෙන තිබීම හුදු අහම්බයක් නොව දේශපාලන යථාර්ථයක්, එසේ නැතිනම් නියතයක් වශයෙන් ද අප වටහා ගත යුතුයි.

බැසිල්-ගෝඨා නොවන රාජපක්ෂ

මෙහිදී අප විසින් තවත් කරුණක් දෙස අවධානය යොමු කළ යුතුයි. ඒ බැසිල් – ගෝඨා ද නොවන මධ්‍යස්ථ හා පොදු පිළිගැනීමක් ඇති චමල් රාජපක්ෂ මහතා වෙත ද පොහොට්ටු කල්ලියේ යම් පිරිසක් තම අවධානය යොමු කරමින් අමුතුම ගමනක් යාමට ඇති සූදානම ගැනයි. මෙහිදී පසුගිය 20 වැනිදා “දිනමිණ” පුවත්පත ද වාර්තා කළ ආකාරයට බැසිල්ගේ මල්ලත්, ගෝඨාගේ මල්ලත් වගේම මහින්දගේ මල්ලත් ඉතාම පහසුවෙන් එකම මල්ලකට දා ගන්න පුළුවන්යැයි විශ්වාස කරන චමල් රාජපක්ෂගේ පුනරාගමනයක් ගැනත් යම් යම් තීරණාත්මක ඉඟි පළ වෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ රාජපක්ෂ සහෝදර සමාගම මෙන්ම ඒ යටතේ සුපෝෂණය වූ තවත් සමාගම් ගණනාවක්ම යම් කිසි ව්‍යාකූලත්වයකට පත්ව සිටින බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙහිදී පොහොට්ටුවේ පමණක් නොව සාමාන්‍ය පොදු ජනතාව පවා චමල් රාජපක්ෂ ගැන උනන්දු වීම පුදුමයක් නොවෙයි. ඒ ප්‍රජාපීඩක නොවන බවට පැහැදිලි පසුබිමක් ඇති රාජපක්ෂ පවුලේ එකම චරිතය චමල් රාජපක්ෂ මහතා වීමයි.

එහෙත් චමල් රාජපක්ෂ මහතාගේ ඉදිරියට පැමිණීමක් රාජපක්ෂ පවුලට වඩා ශිරන්ති වික්‍රමසිංහ මහත්මියගේ පවුල විසින් නොඉවසන බවයි ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහස වන්නේ. ඊට ප්‍රධාන හේතුව වන්නේ චමල් රාජපක්ෂ මහතා බලවත් වීම සමඟ ස්වභාවිකවම චමල් රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ වඩාත් බලවත් චරිතයක් බවට පත්වීමයි.

නාමල් රාජපක්ෂ ඇතුළු මහින්ද රාජපක්ෂ පුතුන්ට වඩා දේශපාලන පෞර්ෂයකින් ද තම පියාගේ කීර්තිමත් දේශපාලන පසුබිමට ද පහසුවෙන් අයිතිවාසිකම් පෑ හැකි ශෂීන්ද්‍ර රාජපක්ෂ බලවත් වීම නාමල් රාජපක්ෂගේ ඔටුන්නේ හිමිකම සදාකාලික සිහිනයක් කිරීමක් වනු ඇති බවයි ඔවුන් පවසන්නේ. මේ තත්ත්වය තුළ රාජපක්ෂ පවුලේ අනුත්තර නායකයා වන මහින්ද රාජපක්ෂ වඩාත් අර්බුදයට ලක්වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ බැසිල්, ගෝඨා හෝ චමල් යන ත්‍රිත්වයෙන් කවුරු දේශපාලන බලය අල්ලා ගත්තත් (ජනාධිපති වීම හෝ නොවීම ද ඇතුළත්ව) වඩාත් ළාමක හා සමාජ අපවාදයට ලක් දේශපාලන චරිතයක් වන නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය දැඩිව දුර්වල කරන නිසයි. ඒ සමඟම පසුගිය දස වසර පුරා දැවැන්ත දේශපාලන, විශේෂයෙන් ආර්ථික බලාධිපත්‍යක් දැරූ වික්‍රමසිංහ පවුල කොන් කිරීමට ලක්වීම අනිවාර්ය කරුණක් වන නිසයි.

රාජපක්ෂ පවුල් පොරය ගැන මේ ආකාරයෙන් සඳහන් කරන අතරතුර වඩාත් සංවේගාත්මක කරුණක් ගැන ද සඳහන් කළ යුතුයි. ඒ 2020 ජනාධිපතිවරණයක් හා එයින් රාජපක්ෂ පවුල යළි බලය අල්ලා ගැනීමක් ගැන සිතීමට පවා සිදුවීම කනගාටුවට කරුණක් වන බවයි. ඒ වෙන කිසිවක් නිසා නොව 2015 ජනවාරි 08 පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට මෙරට ලක්ෂ 62ක් ජනතාව කැප වූයේ ඔවුන් රාජපක්ෂ පවුල් පාලනය ප්‍රතික්ෂේප කළ නිසාම පමණක් නොව යළිත් එවැනි මජර, ප්‍රජා පීඩක පාලනයක් අපේක්ෂා නොකළ නිසයි. වැලිකඩ සිටිය යුතු පවුලක් හා කල්ලියක් යළි රජ පුටුවට ළඟාවීම ජනවාරි 08 වෙනස වෙනුවෙන් ඡන්දය භාවිත කළ ජනතාව කෙසේ විඳ ගනීද ? යන්න සැබවින්ම නීරස අදහසක්.

 

සටහන

භාතිය බරුකන්ද 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *