|

ඒකාබද්ධ නායකයෝ ප්‍රසිද්ධියේ හැප්පෙති

දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ආරම්භකොට පවත්වාගෙන යන්නේ ජනාධිපති කාර්යාලය විසිනුයි. රටේ සියලු දරුවන්ට ආරක්ෂාව සපයා ඔවුන්ට අතහිත දීම මෙම වැඩසටහනේ අරමුණයි. එහි කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව පසුගියදා පවත්වනු ලැබුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ළමා හා කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර, උතුරු පළාත් ප්‍රධාන ඇමැති ඩී. වී. විග්නේශ්වරන්, ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, නියෝජ්‍ය ඇමැතිවරුන් වන කාදර් මස්තාන්, අංගජන් රාමනාදන් මහත්ම මහත්මීන් ඇතුළු විශාල සම්භාවනීය පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

වෙනදා මෙබඳු උත්සවවල දී ජනාධිපතිතුමා කතා කරන්නේ අනෙකුත් කථිකයන්ට පසුව වුණත් මේ අවස්ථාවේ දී එම සම්ප්‍රදාය කඩා ජනාධිපතිතුමා පළමුව කතා කළා. තමන්ගේ අදහසක් අනුව ආරම්භකොට ක්‍රියාවට නඟන මෙම වැඩපිළිවෙළේ අරමුණ පැහැදිලි කිරීම තමා විසින්ම කළ යුතු නිසා පළමුව කතා කිරීමට තීරණය කළ බව ජනාධිපතිතුමා කීවා.

ළමයින් වෙනුවෙන් බොහෝ ආයතන නොයෙකුත් වැඩසටහන් කරන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කීවේ කුමන වැඩසටහන් ක්‍රියාත්මක වුවත් ලෝකයේ සෑම රටකදීම ළමයින්ට හිරිහැර වීම දිගටම සිදුවන බවයි. එක්සත් ජාතීන්ගේ ලෝක ළමා දිනය ප්‍රකාශයට පත්කොට ළමයින් වෙනුවෙන් එදිනට නොයෙකුත් වැඩසටහන් කරන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ළමයින්ගේ ප්‍රශ්න එයින් අවසන්ව නැති බව ද පෙන්වා දුන්නා.

ළමයින් වෙනුවෙන් ක්‍රියාත්මක වන ආයතනවල දී ළමයින්ට සිදුවන කරදර පිළිබඳව මාධ්‍ය මඟින් දැනගන්නට ලැබෙන බවත්, ගුරුවරුන්ගෙන් ළමයින්ට කරදර වනවා නම්, ළමා පරිවාසවල දී කරදර එනවා නම්, අනෙකුත් ආයතනවලින් කරදර එනවා නම්, පොලිසියට ගිය විට කරදර වෙනවා නම් අපට සිදුවන්නේ ළමයින්ගේ ආරක්ෂාව ගැන දෙවියන්ට කියන්නට බව ජනාධිපතිතුමා කීවා. අප කළ යුතුව තිබෙන්නේ දෙවියන් මෙන් ළමයින් බලාගැනීම බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

පංතියේ දක්ෂ ළමයාට මෙන්ම ඉගෙනීමට අදක්ෂ දරුවන්ට ද එකසේ සැලකීමට ගුරුවරුන් ඉගෙනගත යුතු බවත්, ළමයින්ගේ විනය පවත්වා ගැනීමට සුළු දඬුවම් කළත් ළමයින්ට බරපතළ හිංසා කිරීම ගුරුවරුන් විසින් නොකළ යුතු බවත් ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නා.

‍මන්ත්‍රීවරුන් නොවන ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා. ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පැවැති මෙම රැස්වීමේ දී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග, සංවිධායකයන්ගේ ගැටලු මෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රීලනිප අපේක්ෂකත්වය ගැන ද කතාබහට ලක්වුණා. එහි දී ජනාධිපතිතුමා කීවේ ජනාධිපතිවරණයට තව වසර එකහමාරක් ඇති බැවින් ජනාධිපති අපේක්ෂකයා කව්දැයි සෙවීමට කිසිවකු කලබල නොවිය යුතු බවයි.

පසුගිය සතියේ කටාර් හරහා පෞද්ගලික චාරිකාවක් සඳහා යුරෝපයට ගිය අගමැතිවරයා මුලින්ම ගියේ නෙදර්ලන්තයටයි. එහි දී එරට බලවතුන් කිහිප දෙනකු හමු වූ ඔහු අනතුරුව පැමිණියේ එංගලන්තයටයි. පෞද්ගලික චාරිකාවක් මැද වුවද බිතාන්‍ය වෙළෙද ප්‍රතිපත්ති පිළිබද රාජ්‍ය ඇමතිවරයා සමඟ ශ්‍රී ලංකාවට අදාළව සාකච්ඡා පැවැත් වූ අතර අනතුරුව අගමැතිවරයා හිටපු අගමැති ඩේවිඩ් කැමරන් ද මුණ ගැසුණා.

ජනපති හා ඇතිකරගත් එකගතාව මත අලුතින් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිදූර කිහිපයක් ඇති කළේ අගමැතිවරයා සියරට පැමිණීමෙන් පසුවයි.

“ඇමතිවරු පැටව් ගහනවා කියලා විපක්ෂය බොරු කියනවා. ඇමතිකම් අත හැරපු 16 දෙනෙක් විපක්ෂයට ගිය බව චෝදනා කරන අයට අමතකයි. රාජපක්ෂ යුහයේ ඇමතිවරු 110 කට වඩා හිටියා. සීනි හා පොල් ඇමතිලත් හිටියා. මේ රජය ප්‍රධාන පක්ෂ 02 හා තවත් පක්ෂවලින් යුක්තයි. ඒත් එදාට වඩා ඇමැති සංඛ්‍යාව තවම 20කින් අඩුයි” අගමැතිවරයා නව ඇමතිවරුන්ට සුබ පතන ගමන් කීවේ සිනා හඬ මධ්‍යයේ.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා අරලිය ගහ මැදුරට පැමිණියේ රටේ වත්මන් තත්ත්වය ගැන පැහැදිලි කරන රූපවාහිනී වැඩසටහනකට එක්වීමටයි. අනතුරුව පැමිණ සිටි මැති ඇමතිවරු සමඟ අගමැතිවරයා කතා බහ කළේ තේ පානය අතරතුර.

“උතුරේ මියගිය හා අතුරුදන් වූවන්ට වන්දි ගෙවන්න ඇමැති ස්වාමිනාදන් ගෙනා කැබිනට් යෝජනාව විපක්ෂය පටු දේශපාලනයට යොදාගෙන. 88-89 දකුණේ භීෂණ කාලෙ ගැටලු ඇතිවූ තරුණයන්ටත් ඒ කාලෙ රු:50, 000ක් වන්දි ගෙවා තිබෙනවා. මේ යෝජනාව අගමැතිතුමාගෙ යෝජනාවක් විදියට රටට කියල මඩ ගහන්නයි විපක්ෂය හදන්නෙ” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“බදු ගෙවන්න එපා කියල වීරවංශ කියලලු නේද? බදුවලින් තමයි නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් ලබාදෙන්නේ. ඒවා නවත්තන්න කියලද එයා කියන්නේ” අගමැතිවරයා කීවේ සිනාසෙමින්.

“කේ.පී. ගෙන් කොටි සල්ලි ගරපු කොටින්ගෙ ෂෙඩ් අයිතිකරගත්ත, ඒ බැංකු ගිණුම් සුද්ද කරපු කොටින්ගෙ නැව් මුහුදෙදිම විකුණල සල්ලි ගරපු කට්ටියයි අද මේ බදු ගෙවන්න එපා කියල ගොං කතා කියන්නේ” රන්ජන් රාමනායක කීවා.

“අභ්‍යන්තර ගැටලුවක දී ඇතිවන පීඩාවලට ගොදුරු වූ අයට සහන සැලසීම ලෝකයේ කොහෙත් සිදු වෙනවා. අන්තිමට එක එක විදියට සාධාරණය කරන්න වෙනවා. නොමඟ ගිහින් අනුන්ගෙ කීමට යුද්ධයට බිලිවූ අය ගැන මිසක් ඒවා මෙහෙයවපු අයට කිසිම වන්දියක් දිය යුතු නෑ” චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා අනුමත කළා.

“වන්දි ලබනවා නම් ලබන බහුතර පිරිස කොටි නොවන ඒත් යුද්ධය නිසා නිරපරාදේ ගැටලුවලට මුහුණ දුන් අය බව කවුරුත් තේරුම් ගන්න ඕන. ඒක උතුරේ මිනිස්සුන්ගේ ඉල්ලීමට ඇමැති සුවාමිනාදන් ගෙනා යෝජනාවක්. වජිර අබේවර්ධන කීවා.

“ඊයේ ගෝඨාභයගේ උපන්දිනේ දානය වෙලාවේ හාමුදුරු කෙනෙක් භයානක කථාවක් කිවුවා. දැහැමි පාලකයෙක් රටට ඕන කියලා අන්තිමට කිවුවේ ගොඨාභයත් හිට්ලර් වගේ මිල්ටරි පාලනයක් ගෙනියන්න කියලයි“ පී හැරිසන් කීවිට අගමැතිවරයාද නළල රැළි ගන්වා පුදුමය පළ කළා.

“උන්වහන්සේගේ ඒ කතාවට මහා සංඝරත්නයත් සාමාන්‍ය ජනතාවත් ඉතා විරුද්ධ බව පේනවා. හාමුදුරුවරු 99% ක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් රකින්න ක්‍රියා කරන අයයි. ඒ වගේම බුදු දහම, රටේ ඒකීය බවත් රකින්න අපේ ව්‍යවස්ථාවේ සඳහන් දේට පිට පනින්න රටේ නායකයාටත් ඉඩ නොතැබීම ස්වාමීන්වහන්සේලාගෙ වගකීම වෙද් දී මේ හාමුදුරුවෝ මොනවද මේ කියන්නේ. ජනතා පරමාධිපත්‍යය එපා කියලද කියන්නේ” නවීන් දිසානායක කී දේ අගමැතිවරයා ඇතුළු සියලු දෙනාම අනුමත කළා.

“හිට්ලර් කියන්නේ ගෑස් කාමරවලට පණ පිටින් මිනිස්සු දාල ලක්ෂ 120 ක් මරපු කෙනෙක්. ලක්ෂ 250 කට වඩා එයාගෙ මිලිටරි ක්‍රමය නිසා ඝාතනය වුණා. හිට්ලර් ලෝකෙම ලොක්කා වීමේ දවල් සිහිනයක ඉදන් රටවල් රැසක් හා ලෝක ආර්ථිකයත් විනාශ කළා. එහෙම කෙනෙක් ලංකාවෙ බිහිවුණොත් රටට බුදුසරණයි” සජිත් ප්‍රේමදාස කළ විග්‍රහයට කාගේත් අවධානය මෙන්ම ප්‍රශංසාවද හිමිවුණා.

“ගලබොඩඅත්තේ හිමිගේ හැසිරීමට උසාවිය තීන්දුවක් දුන්නම මාධ්‍ය සංදර්ශන, උපවාස විරෝධතා කිරීම පුදුම දෙයක්. උසාවි තීන්දුවකට විරුද්ධව එහෙම හැසිරෙන්න බෑ. ලොකු හාමුදුරුවෝ ඒ පටු තැනේ නැහැ. උන්නාන්සෙට ඉක්මනින් ඇප ලැබුණොත් හොඳයි. ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“කතරගම කිරිවෙහෙරේ හිමිට වෙඩි තැබු අයට දැඩි දඬුවම් දෙන්න ඕනේ. කතරගම දෙවියන්ට වඩා අද සමහරු සල්ලිවලටයි වඳින්නේ. මේවා සිදු වෙන්නේ ඒකයි“ දයා ගමගේ කීවේ එහෙමයි.

“ ඒකාබද්දේ ඇතුලෙ කචල්. එක ගිණි ගොඩක් වෙලා. එතන කල්ලි කීපයක් මරා ගන්නවා. ජනාධිපති අපේක්ෂකයා තෝරන්න ගියාම හොඳ හොඳ සෙල්ලම් බලාගන්න ලැබේවි. මහින්දටත් එතන දැන් තැනක් නැහැ කියලා පේන්නේ සුදර්ශනීට නියෝජ්‍ය කථානායක ඡන්දයේ දී සහාය දෙන්න කියලා ඔහු කළ ඉල්ලීම හුග දෙනෙක් මග හැරීම තුළයි “ නවීන් දිසානායක කීවා.

පසුගිය දිනක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඩබ්ලිව්. ඩී. අයිලප්පෙරුම – ඔහුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයාගෙන් සිය පියාගේ කාලයේ තොරතුරු හා රසවත් සිද්ධීන් විමසමින් සිටියා. අයිලප්පෙරුම මහතා යනු ප්‍රේමදාස අගමැතිවරයා සහ ජනාධිපතිවරයා යටතේ ඉහළම තනතුරු දැරූ දක්ෂ, පක්ෂ හපන්කම් පෙන්වූ නිලධාරියෙක්.”ප්‍රේමදාස ජනාධිපතිතුමා උදා ගම්මාන හදන ගමන් මිනිස්සුත් හැදුවා. නරකද අපිත් ඒ වගේ වැඩක් කළොත්?” අයිලප්පෙරුම අසද් දී සජිත් කීවේ “නියමයි! ඉතිං අපි ඒකට හදමුකෝ හොඳ කැබිනට් පේපර් එකක්” කියායි. ඒ අනුව අයිලප්පෙරුම මහතා ඒ වැඩේ බාර ගත්තා. මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඒ කැබිනට් පත්‍රිකාවට ඒකමතික අනුමැතිය ලැබුණා.

ඒ අනුව වසර 2020 දී ඉදිකර අවසන් වීමට නියමිත උදා ගම්මාන 2, 500 ම “ග්‍රාම ශක්ති” ගම්මාන ලෙස වැඩිදියුණු කෙරෙන අතර ඒවායේ ජීවත් වන පුද්ගලයන්ගේ ජීවනෝපාය සංවර්ධනයට හා එම ගම්මානවල යටිතල පහසුකම් වර්ධනයට පියවර ගැනෙනවා. සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අවසානයේ දී සජිත් 2018 ජාතික නිවාස දින‍ කොඩිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැළඳුවේ ඔවුන් දෙදෙනාගේ සුබ පැතුම් සහ ආශීර්වාද මැදයි.”සර්, ලබන අවුරුද්දේ දෙසැම්බර් අවසන් වෙන්න කලින් ගම්මාන 2, 500 නම් හදනවා” යි සජිත් කියද් දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කීවේ “බොහොම හොඳයි… බොහොම හොඳයි…” කියායි.

ඉතා දුරබැහැර ප්‍රදේශවලට ගොස් ඉඩම් ඔප්පු බෙදා දීමට සිදු වූ බැවින් ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පසුගිය සතිය පුරා ඉතා කාර්යබහුල වුණා. රාජාංගනය, කැබිතිගොල්ලෑව, බද්දේගම, අක්මීමන, දිවුලපිටිය, ඇල්පිටිය ආදී ප්‍රදේශවල සංචාරය කරමින් එම ප්‍රදේශවල ජනතාව අමතමින් ඉඩම් ඔප්පු බෙදා දීම සිදු කෙරුණා. මෙම අවස්ථාවන්ට ඒ ඒ ප්‍රදේශවල දේශපාලන නායකයන්ද සහභාගී වි සිටියා.

පාර්ලි‌‌මේන්තු පරිශ්‍රය සඳහා නිවැරදිව මැනුම් කරන ලද සිතියමයක් සහිත පැවරුම් සහතිකයක් නැතිනම් ඔප්පුවක් ලබා දීමට සූදානම් කර තිබුණේ පසුගිය 5 වැනිදායි. එදින ඊට සියලු කටයුතු සුදානම් කර තිබුණද, නියෝජ්‍ය කථානායක තෝරා ගැනීමේ ඡන්දය එදින පැවතී බැවින් එම කටයුත්ත පසුවට කල් තැබීමට සිදු වුණා.

ඒ අනුව ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අතින් කතානායක කරු ජයසූරිය මහතා වෙත පාර්ලි‌‌මේන්තු පරිශ්‍රය සඳහා වූ ඔප්පුව ප්‍රදානය කරන ලද්දේ පසුගිය බදාදාය. මීට ප්‍රථම පාර්ලි‌‌මේන්තු පරිශ්‍රය සඳහා ලබා දී තිබුණේ නාම මාත්‍ර සන්නසක් පමණයි. මෙම අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද මැති, ඇමතිවරු විශාල පිරිසක් හා මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් රැසක් සහභාගී වී සිටියා.

පසුගිය බ්‍රහස්පතින්දා ඇමැති වජිර අබේවර්ධන ජපානයේ හිටපු අගමැති යුකියෝ හතොයාමා සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ගියා. ජපානයේ හිටපු අගමැතිවරයා එහි දී ජනාධිපතිවරයාට කියා සිටියේ වජිර අබේවර්ධන හා තිලක් මාරපන ඇමතිවරු තමන්ගේ සංචාරය ඉතා හොඳින් සංවිධානය කර ආගන්තුක සත්කාරය ද මහ ඉහළින් සිදුකළ බවයි.

එහි දී රටේ ඇති ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් කෙරෙහි ජපන් හිටපු අගමැතිවරයාගේ අවධානය යොමුව තිබුණා. විශේෂයෙන් ම වියළි කලාපයේ පැතිර පවතින වකුගඩු රෝගයත් පානීය ජල ගැටලුවත් කෙරෙහි ඔහු වඩාත් සංවේ දී වුණා.

”මම රාජ්‍ය බලයේ නැතිවුණත් මට පුළුවන් ජපානයේ රජයේ සහ ජපන් ජනතාවගේ අවධානය මේ ගැන යොමු කර වකුගඩු රෝගයෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් ජපානයෙන් උදව් කරන්න. ඒ වගේ ම පානීය ජල ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන්නත් අපිට හැකිවේවි.” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ජපන් අගමැතිවරයා කීවා.

”වජිර මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන්න පුළුවන්නේ” යැයි ජනාධිපතිවරයා පැවසුවේ වජිර ඇමතිවරයා මෙරට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පාලනය මෙහෙයවන්නා බව ද සිහිපත් කරමින්.

සෙනසුරාදා නෙළුව, තවලම හා නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පදිංචි ගංවතුරින් පීඩාවට පත්වූ පිරිසට සුවිශේෂී දිනයක් වුණා. 2017 වර්ෂයේ ගංවතුර පැමිණි අවස්ථාවේ රජය කියා සිටියේ සියලු දෙනාගේ හානි තක්සේරුකර රජයෙන් වන්දි මුදල් ලබාදෙන බවයි. කඩිනම් දීමනාවක් ලෙස රුපියල් 10, 000ක මුදලක් ද ගංවතුර පැවැති දිනවල දී ම ලබා දුන්නා.

”අපි හානි තක්සේරු කරලා වන්දි දෙනවා කිව්වත් ඒක ප්‍රමාද වීම පහුගිය ඡන්දයේ දී අපිට හානිකර විදියට බලපෑවා. නමුත් අපි තමුන්නාන්සේලා සියලු දෙනා බලාගත්තා. වෙනදා කිසිම ආණ්ඩුවකින් නොකරපු තරම් හොඳින් අපි ඔබ බලාගන්නවා. ” යැයි වජිර ඇමතිවරයා කීවේ තවලම දී ප්‍රතිලාභීන් 1, 798 දෙනකුට රුපියල් කෝටි 15ට ආසන් මුදලකුත්, නාගොඩ දී ප්‍රතිලාභීන් 901ක් සඳහා රුපියල් කෝටි 11ක මුදලකුත් ප්‍රදානය කරමින්. මේ චෙක්පත් ප්‍රදානය කිරීමේ රැස්වීමට චීන ජාතිකයන් කිහිප දෙනකු ද එක්ව සිටියා.

ගංවතුර පැමිණි දිනවල දී ම රජයේ එක් ප්‍රධාන පොරොන්දුවක් වූයේ ගිං ගඟ ව්‍යාපෘතියේ මෙතෙක් ඉටුකර නොමැති යෝජනා ක්‍රමයක් වූ වාරුකන්දෙණියේ ජලාශය හැකි ඉක්මණින් ඉදිකර අවසන් කරන බවයි. මේ සැලසුම පිළිබඳ යළිත් වතාවක් රජයේ අවධානය යොමු කළ වජිර අබේවර්ධන අමාත්‍යවරයාටම ගිං ගඟේ ජලාශය ඉදිකිරීමේ කාර්යේය දැවැන්ත වැඩ කොටසක් බාර වී තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනා 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විවිධ පාර්ශ්ව විසින් විරෝධය එල්ල කිරීමට පටන් ගත්තේ එය කෙටුම්පතක් ලෙස එළිදැකීමටත් පෙර සිටයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල කළ අතර භික්‍ෂූන් වහන්සේ පිරිසක් එක්ව පැවැත්වූ සංඝ සමුළුවක දී චෝදනාව එල්ල වූයේ එම යෝජනාවෙන් රට බෙදීමේ වුවමනාව ඉටුවන බවටයි. කෙසේ වෙතත් ජවිපෙ කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජවිපෙ නායකයන්ගේ මැදිහත් වීමෙන් භික්‍ෂූන් වහන්සේලා ඇතුළු පූජකතුමන්ලා හමු වී මේ පිළිබඳව විවිධ අවස්ථාවන්හි දී පැහැදිලි කිරීම් කළා. ඉන් අනතුරුව ඇතැම් නායක ස්වාමින්වහන්සේ සැබෑ තත්ත්වය පිළිඳව අවධානය යොමු කළා.

කෙසේ වෙතත් තවත් භික්‍ෂූන් වහන්සේලා කොටසක් තවමත් 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව මත දක්වමින් සිනවා. මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය නිමිත්තෙන් පැවැති ආගම්ක උත්සවයක දී නායක ස්වාමින් වහන්සේ නමක් කරන ලද ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදියෙක් ප්‍රචාරක ලේකම් විජිත හේරත්ගෙන් මතය විමසුවා. ”මන්ත්‍රීතුමා නායක ස්වාමින්වහන්සේ නමක් අද කිවුවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට හිට්ලර් කෙනෙක් වෙලා හරි, මිලිටරි පාලනයක් ගෙනත් හරි කමක් නෑ රට හදනවනම් කියලා.” මාධ්‍යවේදියා සඳහන් කළා. ”සමහරු අපේ යෝජනාවට විරුද්ධ වුණේ හරිහැටි තොරතුරු නොදැනයි.

නමුත් තවත් සමහර භික්‍ෂූන්වහන්සේලා කවුරු වෙනුවෙන්ද පෙනී ඉන්නේ කියලා ඒ කතාවෙන් පැහැදිලියි. බළලා මල්ලෙන් එළියට පනිනවා කියන්නේ ඒකට තමයි. උන්වහන්සේලා තමයි 20 එන්නත් කලින් විස්ස විවේචනය කළේ. දැන් හොඳටම පැහැදිලියි රට බෙදන බිල්ලො මවලා මොන වුවමනාවටද විස්ස විවේචනය කළේ කියලා. ” විජිත හේරත් කියා සිටියා.

සුනිල් ශාන්ත පරපුරේ අවසන් පුරුකක් වූ අයිවෝ ඩෙනිස් ගායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයාද සීදුවේ මළගෙදරට ගියා. අවසන් ගමන් යන ගායකයාට ගෞරව දැක්වූ විජිත හේරත් පැමිණ සිටි කලාකරුවන් සමඟ සුහද සංවාදයකටද එක්වුණා. මේ අතර අයිවෝ ඩෙනිස් ගායකයාගේ නිහතමානී ගුණය ගැන එතැනට පැමිණි සිටි පියතුමෙක් විජිත හේරත් මන්ත්‍රීවරයා සමඟ පැරණි සිදුවීමක් මතක් කළා. ”අපි සංවිධානය කරපු උත්සවයට මෙතුමා ගීතිකා කිහිපයක් ගායනය කරන්න ආවා. අපි ඉතිං සාමාන්‍ය විදියට ගමන් ගාස්තුවක් හැමෝටම දුන්නා. මෙතුමටත් කවරයක දාලා රුපියල් 5000ක් මම දුන්නා. මෙතුමා අපූරු වැඩක් කළේ. එතුමට වියදම් වුණේ රුපියල් 2500යි කියලා ඉතිරි 2500 ආපහු මට දුන්නා. ඒ තරම් නිහතමානී චරිතයක්” පියතුමා අතීතය ආවර්ජනය කරමින් කියා සිටියා.

ඒකාබද්ධ විපක්ෂයේ මතගැටුම් උග්‍රවීම දැන් එළිපිටම පෙනෙන්නට තිබෙනවා. එහි පක්ෂ හා නායක කාරකාදීන් දැන් ප්‍රසිද්ධියේ එකිනෙකාට චෝදනා, ඇනුම්පද කියන්නේ ගෙදර කුණු රෙදි ප්‍රසිද්ධියේ සෝදන ආකාරයෙන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ තර්ජනය කළේ ශ්‍රීලනිපයේ 16 දෙනාගේ කණ්ඩායමටයි. ඔහු කීවේ දෙපැත්තේ කකුල් තියාගෙන ඉන්න ඉඩ නැති බවත්, පළමුවෙන් පහර දෙන්නේ එබඳු උදවියට බවත්ය. බැසිල් රාජපක්ෂ මහතා කියන්නේ කණ්ඩායම් පිළිගන්න තමන් සූදානම් නැති බවයි. එන කෙනෙක් පැමිණ තම පක්ෂයට බැඳිය යුතු බව ද ඔහු කීවා.

බැසිල් රාජපක්ෂ මහතා තවත් ප්‍රකාශයක් කරමින් කීවේ තම පාලන කාලයේ වැරදි සිදුවූ බවයි. රතුපස්වල දී හලාවත දී හා නිදහස් වෙළෙඳ කලාපයේ දී උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම වැනි දෑ තමන්ගේ ඉදිරි පාලනයක දී සිදු නොවන බවට සහතිකයක් ජනතාවට ලබාදිය යුතු බව බැසිල් කීවා. සමාජ මාධ්‍ය මෙය හැඳින්වූයේ එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට අනියමින් කළ පහරදීමක් වශයෙනුයි.

උදය ගම්මන්පිල මහතා සඳුදා පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් කීවේ ශ්‍රීලනිපයෙන් එන දහසය දෙනාට දොස් පවරා ඒකාබද්ධ විපක්ෂයේ උදවිය දේශපාලනය හරියට තෝරාගෙන නැති බවයි. වෙන රටක දී නම් එලෙස එන අය මල්මාලා දමා පිළිගන්නා බව ද ගම්මන්පිල මහතා කීවා. මෙය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට එල්ල කර කරන ලද ප්‍රහාරයක් ලෙස සමාජ මාධ්‍යවල අවධානයට ලක් වුණා.

එක්සත් වාමාංශික පෙරමුණේ පුවත්පත් සාකච්ඡාවකට එක්වූ වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රහාරය එල්ල වූයේ ‘වියත්මඟ’ වැඩපිළිවෙළටයි. ‘වියත්මඟ’ ලෙස ඉදිරිපත් කරන ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙළ ලෙස ඉදිරිපත් කිරීම ගැන වාසුදේව මහතා විරුද්ධත්වය පළ කළා. මෙබඳු තත්ත්වයක් ඇතිව තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂය තම දේශපාලන වැඩපිළිවෙළක් සකසා ඉදිරිපත් නොකිරීම නිසා බව කී වාසුදේව නානායක්කාර මහතා එවැන්නක් ඉක්මනින් ඉදිරිපත් කළ යුතු බව කීවා. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වියත්මඟ’ ඉදිරිපත් කරන වැඩපිළිවෙළ නොපිළිගන්නා බව ද නානායක්කාර මහතා වැඩිදුරටත් කීවා.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන හිමියකුට බැසිල් රාජපක්ෂ මහතා දැඩිලෙස බැණ වැදී ඇති බව වාර්තා වුණා. තමන්ට එරෙහිව ප්‍රවෘත්ති පළ කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පිම්බීමට මෙම මාධ්‍ය ආයතනය කටයුතු කිරීම නිසා බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස එම ආයතන ප්‍රධානියාට බැණ වැදී තිබෙනවා.

 

ගොසිප්ලන්තය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *