|

දූෂණයේ දිග පළල – සී.ජේ. අමරතුංග

පසුගිය වසරේ මෙරට රාජ්‍ය ව්‍යාපාරික ආයතන ලබා ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන පනහක් බව මහා භාණ්ඩාගාරය වාර්තාකොට ඇත. එය සුළු පටු මුදලක් නොවේ. කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව මාධ්‍යවේදීන් සඳහා පැවැත්වූ වැඩ මුළුවකදී මෙම කරුණ හෙළිදරව් කරමින් සඳහන් කළේ මෙම මුදල කජු ඇට කොස් ඇට නොවන බවයි.

කෝපා ලෙස හඳුන්වන රාජ්‍ය ගිණුම්කාරක සභාවේ කාර්යභාරය වන්නේ රාජ්‍ය ආයතනවල ගිනුම් ගැන පරීක්ෂාකොට නාස්තිය දූෂණය අවම කිරීමයි. කරූ ජයසූරිය මහතා සඳහන් කළේ මෙම අටවැනි පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාව මගින් රාජ්‍ය ආයතන 837ක් පරීක්ෂාවට ලක්කළ නමුත් මීට පෙර පැවැති ඇතැම් කෝපා කමිටු එක ආයතනයක් වත් පරීක්ෂාවට ලක් නොකළ අවස්ථා තිබූ බවයි.

කතානායක කරූ ජයසූරිය මහතා පෙන්වා දී ඇත්තේ ගිණුම් කාරක සභාවේ ක්‍රියාකාරීත්වය මගින් රාජ්‍ය ආයතනවල දූෂණය හා නාස්තිය අඩුකර ගැනීමට හැකිවී ඇති බවයි. 2016 වසරේදී දුර්වල මුදල් පාලනයක් පැවැති ආයතන 50ක් හඳුනාගෙන තිබූ බවත් මේ වනවිට එම සංඛ්‍යාව 20ක් දක්වා අඩුවී ඇති බවත් කතානායකතුමා පෙන්වාදී තිබිනි. කෙසේ වෙතත් වසරකට බිලියන 50ක් පාඩු ලැබීම සුළුවෙන් සැලකිය හැකි කරුණක් නොවේ. පසුගිය කාලයේ කවුරුත් කතාකළේ බැඳුම්කර ගනුදෙනු ගැනයි. එයින් රජයට සිදුවූ පාඩුව ජනාධිපති කොමිසම ගණන් බලා ඇති ආකාරයට බිලියන දහයක තරම් ප්‍රමාණයකි. රාජ්‍ය ආයතන පසුගිය වසරේ ලබා ඇති පාඩුව එමෙන් පස් ගුණයකි.

විනාශවන මුදලේ තරම

වෙනත් ආකාරයකට සසඳන්නේ නම් රටපුරා වැව් 20,000ක් ප්‍රතිසංස්කරණය කෙරෙන ‘ගම්පෙරළිය’ වැඩසටහනට වියදම්වන මුදල රුපියල් බිලියන 80කි. රජයේ ආයතනවල පාඩුව වළකා ගතහොත් මෙම වැඩපිළිවෙළින් අඩකට වැඩි ප්‍රමාණයක් සඳහා එම මුදල ප්‍රමාණයත්ය. මෙම පාඩුවන මුදල කජුඇට කොස් ඇට නොවේ කියා කරු ජයසූරිය මහතා කියන්නේ එම කතාවයි.

විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාද ඒ සමගම තවත් හෙළිදරව්වක් සිදුකොට තිබිණි. එයින්ද ප්‍රකාශ කොට තිබුණේ රාජ්‍ය ආයතනවල නාස්තිය, හා දූෂණය පිළිබඳවය. ඒ මහතා කියා තිබුණේ විගණකාධිපතිවරයා විසින් පෙන්වාදෙන මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් බොහෝවිට වැඩිදුර පරික්ෂණ සිදු නොවන බවයි. පසුගිය කාලයේ ගල්අඟුරු ආනයනයෙන් පමණක් සිදුවී ඇති පාඩුව බිලියන 15ක් බවත්, කිරි හරක් ආනයනයෙන් බිලියන 8ක් පාඩුවී ඇති බවත්, සහල් ආනයනයේදී හා වෙනත් නොයෙක් ගනුදෙනුවලදී මෙලෙස පාඩු සිදුවී ඇති බවත් විගණකාධිපතිවරයා කියයි. කෙසේ වෙතත් ප්‍රශ්නය වී තිබෙන්නේ විගණකාධිපතිවරයා පෙන්වාදෙන මෙම පාඩු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කොට වගකිවයුත්තන්ට දඬුවම් නොකිරීමයි.

විගණකාධිපතිවරයා තවත් හෙළිදරව්වක් කර ඇත. ඇතැම් ආයතන සූක්ෂම ලෙස ඇතැම් අංශ විගණනයෙන් ඉවත් කරගෙන ඇති බවයි. ඔහු කියා ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයෙන් සියයට 50ක් විගණනය නොකරන බවයි. ටෙලිකොම් ආයතනයෙන් සියයට 20ක් ද විගණනයෙන්ඉවත් කරගෙන ඇත. එසේ සිදුවී තිබෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් මේ සියල්ල මහජන මුදල් වංචාවලට හේතුවන බව සැක නැත. මෙය කාලයක් තිස්සේ මෙරටෙහි ගොඩනැගුණු තත්ත්වයකි. කවුරුත් දන්නා පරිදි පසුගිය කාලයේ රාජ්‍ය ආයතන පවත්වාගෙන ගියේම මහජන මුදල් සොරකම් කරන්නටය. මැති ඇමැතිවරුන්, ගනුදෙනු, ව්‍යාපෘති සකස්කර ගත්තේම සොරකම සඳහා ය. ව්‍යාපෘති අනුමත කෙරෙන්නේ හා ක්‍රියාවට නැගෙන්නේ ඇමැතිවරයාගේ නැතහොත් සුපිරි බලවතාගේ ගතමනාව ලැබුණහොත්ය. එකල සිටි සුපිරි ඇමැතිවරුන් හඳුන්වන ලද්දේ මිස්ටර් ටෙන් පසන්ට් යනුවෙනි. පසුව ඔහු මිස්ටර් ෆීප්ටීන් පසන්ට් ලෙස විරුදාවලි ලද බවද වාර්තා විය.

එකල සිටි නිලධාරීහුද තම තමන්ට සොරකම් කරන්නට අවස්ථා සොයාගත්හ. ඇතැම්විට එම කටයුතු සිදුවූයේ ඇමැතිවරුන් සමග හවුලේය. ඇතැම් රාජ්‍ය ආයතනවල ඉහළ සිට පහළට විවිධ මට්ටමින් සොරකම් කොමිස් නැතහොත් වෙනයම් ආකාරයක ගැහිලි සංවිධානය කරගෙන තිබුණි.

පසුගිය පාලන සමයේ ඉහළම දේශපාලනඥයාගේ සිට ගම් මට්ටම දක්වාම දූෂණය පැතිරී තිබිණි. ගමේ ප්‍රාදේශීය සභාවේ සභාපති හා මන්ත්‍රීවරයා දක්වා කළේ රජයේ විවිධ කොන්ත්‍රාත් ලබාගෙන ඒවා මගින් මුදල් හම්බකිරීමයි. එම කොන්ත්‍රාත්වලදී මිල ගණන් සකසා තිබුණේ මෙම දේශපාලන හෙංචයියන්ගේ මඩිය තරකර ගැනීමට හැකිවන ආකාරයෙනි. ඒවා සිදුවුණේ ඉහළම තැන්වල අනුග්‍රහයෙනි. ‘කරන දෙයක් අහුවෙන්නේ නැතිව කරගනිල්ලා’ යන්න ඔවුනට ලැබුණු උපදේශය බව පසුගිය දිනක කීවේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

එකල සිටි බලවතුන්ට තම අනුගාමිකයන් ලෙස අවශ්‍ය වූයේ පිරිසිදු දේශපාලනයක් කරන පිරිසක් නොවේ. පිරිසිදු දේශපාලනයක් කරන පිරිසක් පාලනය කිරීම අපහසුය. එය කළ හැකි වන්නේ පැහැදිලි දේශපාලන ප්‍රතිපත්ති ඇති පිරිසිදු නායකයන්ටය. එවැන්නක් නැති කල කරන්නේ තම අනුගාමිකයන්ට ජරාව දීමයි. හැකිතාක් හම්බ කරගන්නට ඉඩ දී තිබීමයි. එය තමන්ගේ අතින් පයින් නොයන විට වැඩේ පහසුය. අවසානයේ සියලු පව්වලට ගෙවන්නේ රටේ සාමාන්‍ය ජනතාවයි.

දූෂිත පාලකයන් තම දූෂිත අනුගාමිකයන්ගෙන් බලාපොරොත්තු වූයේ තමන්ගේ දේශපාලනය ශක්තිමත් කිරීමයි. එය තකට තක පෑහෙන්නේ නායකයාට ගෝලයන් නැතිව බැරුවා මෙන්ම දූෂණයට ජරාවට ඇබ්බැහිවූ ගෝලයන්ටද තම නායකයා නැතිව පැවැත්මක් නැතිවන නිසාය. ගෝලයන්ට තම මඩි තරකරගත හැකිවන්නේ නායකයා බලයේ සිටින විටදී පමණකි. ඒ නිසා රැස්වීම්වලට සෙනග ගෙනයාම මැතිවරණ කටයුතු ආදී සියල්ල කරන්නට ඔවුනට සිදුවෙයි. එසේ වන්නේ ලොක්ක නැතිවිට තමන්ටද පැවැත්මක් නැති වන නිසාය.

කතානායක තුමා මතක් කළ ආකාරයට එකල පාර්ලිමේන්තුවේ ගිනුම් කාරක සභා ක්‍රියාත්මක නොවුණේ එම දූෂණ නවත්වන්නට ආණ්ඩුවට වුවමනාවක් නැතිවූ නිසාය. එම ආණ්ඩුවේ පැවැත්ම තිබුණේම දූෂණ කරන තරමටය. දූෂණයෙන් හම්බකළ මුදල් යොදාගෙන දූෂිත දේශපාලනය දිගටම පවත්වාගෙන යාම ඔවුන්ගේ අරමුණ වී තිබිණි.

පාලකයන්ගේ ඉල්ලීම්

රාජ්‍ය ආයතන විකුණන්නේ නැතැයි එකල පාලකයන් කීවේ ඒවා හොඳින් කළමනාකරණය කොට ජනතාවට සෙත සලසන්නට නොවේ. ඒවා කාබාසිනියා කරමින් මහජන මුදලින් බඩ වඩා ගන්නටය. රාජ්‍ය ආයතන යනු ඔවුන්ට තිබෙන ඉල්ලම්ය. ඒවායින් හැකිතරම් ජාවාරම් කළේ බියක් සැකක් නැතිවය. පාඩු ගැන සිතන්න අවශ්‍ය නැත. ඒවා මහා භාණ්ඩාගාරයෙන් පියවනු ලැබීය. එසේ කළේ පොදු ජනතාවට පනවා තිබූ බදුවලිනි. ගිනි ගානට ඛනිජතෙල් විකුණනු ලැබූ ලාභයෙනි.

පාඩු ලබන රාජ්‍ය ආයතන තිබියදී පසුගිය කාලයේ සිටි පාලකයෝ තව තවත් ආයතන හඳුනා පවරාගත්තේය. ලාභ ලබමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන ගිය එමිරේට්ස් සමාගම එළවා එය පවරාගත්තේ තම ඥාතීන්ට භාර දෙන්නටය. ඒ එයින් ජරාව කා බඩ කට පුරවාගැනීමටය. ලාභ ලබමින් තිබූ ශ්‍රී ලන්කන් පවරාගත් දා පටන් පාඩුව පොඩි ගණන් නොවේ. බිලියන දහය පහළොව විස්ස වශයෙනි.

පාඩු ලබන ගුවන් සමාගමක් තිබියදී තවත් එකක් පටන්ගත්තේය. එයද පාඩු ලබන්නටය. එම සමාගම්වල තිබෙන්නේ මහ විශාල ගනුදෙනුය. එකවර ලැබෙන අතයට ගනුදෙනුව දැවැන්තය. ගුවන් සමාගම් පවරාගැනීමේ හා පටන් ගැනීමේ රහස ඒකය. ගුවන් යානා මිලදී ගත්තේ වෙළෙඳපොළ මිලට වඩා සියයට හතළිහක්. වැඩියෙන් බව දැන් හෙළිදරව් වී ඇත. මේවා ගියේ රජ පවුලේ උදවියගේ ගිනුම්වලට බවට සැකයක් නැත. අමාරු කාර්යය එය ඔප්පු කිරීම පමණකි. මෙම දූෂිත ක්‍රමය රාජ්‍ය යන්ත්‍රයේ සියලුම අංශවලට පැතිරී තිබිණි. එම සියලු ආයතන හා අංශ දූෂිත බවට පත්කොට තිබිණි.

දූෂණ සංස්කෘතියේ පැවැත්ම

එම දූෂිත පාලනය මහජනයා විසින් පෙරළා දමා දැන් වසර තුනක් ගතව ඇතත්, තවමත් හෙළිදරව්වන කරුණු වලින් පෙනී යන්නේ දූෂණ සංස්කෘතිය අවසන් කිරීම එතරම් පහසු කාරණයක් නොවන බවයි. නව පාලනයක් පත්ව සිටියද පැරණි පාලනයට එරෙහිව සටන් කළ ඇතැමුන්ගේ සැබූ අරමුණ වී තිබුණේ පැරණි හොරුන් පන්නා සොරකම් කිරීමේ අවස්ථාව තමන් අතට ගැනීමටද යන්න ප්‍රශ්නයක් වී තිබේ. දැනට පෙනෙන්නේ එබඳු සුළු පිරිසක් හෝ මෙම පාලනය තුළද සිටින බවයි. එමෙන්ම පැරණි පාලනය සමඟ සිටි පිරිසක්ද නව පාලනයට එක්ව සිටින්නේ ඔවුන්ගේ අරමුණු වෙනස්කර නොගෙන බවද පැහැදිලි වෙමින් පවතියි. අනෙක් අතට ආණ්ඩුවේ පුද්ගල වෙනස්කම් සිදුවුවද රාජ්‍ය යන්ත්‍රයේ සිටින්නේ පැරණි නිලධාරීන් හා සේවකයන් බවද අමතක කළ නොහැකිය.

රට හමුවේ දැන් තිබෙන අභියෝගය නම් රාජ්‍ය අංශයේ ඉතිරි වී තිබෙන නාස්තිය හා දූෂණය සම්පූර්ණයෙන් පිටු දැකීමයි. පාර්ලිමේන්තුවේ ගිණුම් කාරක සභාවෙන් එහි යම් කාර්යභාරයක් ඉටුකළ හැකි බව මෙන්ම ඉටුවන බවද පෙනෙන්නට තිබේ. දුර්වල මුදල් පාලනයක් ඇති ආයතන සංඛ්‍යාව 50ක් දක්වා සහ මේ වනවිට 20 දක්වා අඩුකරගන තිබීම එහි ජයග්‍රහණයකි. එමෙන්ම විගණන පනත සම්මත කොට ක්‍රියාවට නැගීමද අවශ්‍යය. එමගින් නාස්තිය දූෂණය තවදුරටත් පාලනය කළ හැකිවන බව සිතිය හැකිය.

රාජ්‍ය අංශයේ දූෂණ වංචා පිටු දැකීමේ ප්‍රබලම අවියක් වත්මන් රජය මේ වනවට ජනතාව අතට පත්කොට ඇත. එය නම් තොරතුරු දැනගැනීමේ පනතයි. රාජ්‍ය ආයතනවල ගනුදෙනු ගැන, වියදම් ගැන, ඉහළ නිලධාරීන්ගේ වැටුප් සහ වරප්‍රසාද ගැන බො‍හෝ තොරතුරු මේ යටතේ ජනතාවට දැනගැනීමට හැකිවනු ඇත. ජනතාව ඉල්ලුවත් නැතත් ප්‍රධාන කාරණා ගණනාවක් ගැන තොරතුරු ප්‍රසිද්ධියට පත්කළ යුතු බවට පනත මගින් නියම කොට ඇත. ඒ සඳහා නිශ්චිත කාල වකවානුද දක්වා ඇත. මෙම විධිවිධාන ක්‍රමාණුකූලව ක්‍රියාවට නැගීම තුළින් මෙරට රාජ්‍ය අංශයේ දූෂණ හා නාස්තිය පිටු දැකීම සිදුකළ හැකිය.

මෙතෙක් හෙළිදරව් වූ දූෂණ සම්බන්ධයෙන් මෙන්ම හෙළිදරව් වෙමින් පවතින දූෂණ සම්න්ධයෙන්ද නීතිය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව ඇත. මෙරට දැනට පවතින අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයද මෙහිදී ප්‍රශ්නයක් ව තිබේ. මෙරට දැනට පවතින්නේ නඩු කල්දමන අධිකරණ ක්‍රියාදාමයකි. එයටද විසඳුම් අවශ්‍යය. විශේෂ අධිකරණ පිහිටුවා නඩු විභාග කඩිනම් කිරීමට නීති රීති රජය විසින් දැන් හඳුන්වා දී තිබේ. එයද දූෂණ පිටුදැකීමට පිටිවහලක් වනු ඇත.

අවසානයෙන් කිව යුතු වන්නේ කලක් තිස්සේ මෙරට දේශපාලන බලය පැහැරගෙන දූෂිත පාලනයක් මගින් මහජන මුදල් ගසාකමින් වැජඹුණු පාලන කල්ලිය තම දූෂිත අනුගාමික කණ්ඩායම් සංවිධානයකර ගනිමින් නැවත බලයට එන්නට දරන උත්සාහයද පරාජය කළයුතු බවයි. මොවුන් කවුද? මේ එන්නේ මොකටද? කියා හඳුනාගෙන සිටින මෙරට ජනතාව මෙම දූෂිත මිනීමරු හැතිකරයට යළි හිස ඔසවන්නට ඉඩ නොදෙන බව විශ්වාසය.

සී.ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *