කිරිවෙහර, හෝමාගම උසාවිය සහ මල්වත්ත, අස්ගිරිය – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට මාස හයකසිර දඬුවම් නියම වූ පුවත මැකී යන්නටත් කලින් අසන්නට ලැබුණේ කිරිවෙහෙර රජමහා විහාරයේ අධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද හාමුදුරුවන්ටත් ඒ හාමුදුරුවන් සමඟ සිටි වීදාපොළ සෝභිත හිමියන්ටත් වෙඩිතබා ඇති බවට පුවතයි.

ගලගොඩඅත්තේ හාමුදුරුවන්ගේ සිද්ධියත් කිරිවෙහෙරේ හාමුදුරුවරු දෙනමට වෙඩිතැබීමේ සිද්ධියත් හරහා නිහඬව ප්‍රකාශවන්නේ මෙරට බුදු සසුනේ පිරිහීමේ එක් පාර්ශ්වයක් බවයි හිතෙන්නේ.

ගලගොඩඅත්තේ හාමුදුරුවන් උසාවිය ඉදිරියේ අශෝභන ලෙස හැසිරී සිර දඬුවමකට යටත් වෙනවා. ඒ හාමුදුරුවන්ගේ හැසිරීම මේ වනවිටත් කිසිවකුට රහසක් නෙමෙයි. ඒ නිසා අපි කතරගම කිරිවෙහෙරේ සිදුවීම විමසා බලමු.

කතරගම වෙඩිතැබීමට බල පෑ හේතුව කිරිවෙහෙර විහාර භූමියේ ඉදිකර ඇති දේවාලයක ප්‍රශ්නයක් බවයි පොලීසිය කියන්නේ. ඒ ප්‍රශ්නයත් දෙවියන්ට පුද සත්කාර කිරීම ගැන ගැටලුවක් නෙමෙයි. දේවාලයට එකතුවන පඬුරු බෙදාගැනීම සම්බන්ධව කපුවා සමඟ ඇතිකරගත් ප්‍රශ්නයක්.

දේවාලයත් කතරගම දේවාලය නෙමෙයි. එය හඳුන්වන්නේ මහසෙන් දේවාලය නමින්ලු. මහසෙන් ‍යනු කතරගම දෙවියන්ගේ ඉහත ආත්මයක නමක් බවයි කියන්නේ. කතරගම දෙවියන්ට පමණක් නොව දෙවියන්ගේ ඉහත ආත්මවල නමින් පවා දේවාල ඉදිකිරීමෙන් බලාපොරොත්තු වන්නේ හුදී ජනයාට දේව බැල්ම දේව ආශිර්වාදය ලබා දීමය කියා කෙසේවත් විශ්වාස කරන්නට බැහැ. කතරගම කිරිවෙහෙර භූමියේ තවත් දේවාලයක් අලුත් දෙවියකුගේ නමින් ඉදිකර උත්සාහ කරන්නේ, මෙලොව ජීවිතයේ දහසකුත් එකක් ප්‍රශ්නවලට විසඳුමක් නැති තැන කතරගම දෙවියන්ගේවත් පිහිට පතා එන අසරණ ජනතාවගේ අන්ධ භක්තිය සූරාකෑම සඳහා නැති දෙවියකුගේ නමකුත් උපයෝගී කර ගැනීමයි. එය කපටි ජවාරමක්.

ධම්මින්ද හාමුදුරුවෝ සැබෑ බෞද්ධ භික්ෂුවක් නම් කළ යුතුව තිබුණේ නැති දෙවියකුගේ නමින් ඇති දේවාලයකට එකතුවෙන පඬුරු සඳහා රන්ඩුවීම නඩුකිරීම නොව දේව ඇදහිල්ල පිටුපස ඇති මුසාව මුළාව ජනතාවට පැහැදිලි කරදීමයි.

කතරගමට වෙඩි තැබීම යනු බුද්ධිමත් ආකාරයෙන් සිතන අයකුට නම් ඛේදවාචකයක් මිනිස් ඝාතනයකට කළ උත්සාහයකටත් වඩා ඛේදවාචකයක, මිනී මැරීමට තැත් කිරීමක ස්වරූපයෙන් පැමිණි ආශීර්වාදයක් වශයෙන් වැදගත් සිදුවීමක්. අඩුම තරමේ කතරගම කිරිවෙහෙරේ ප්‍රධාන භික්ෂුව රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක තැන බේරාගන්නවත් කතරගම දෙවියන්ටත් අලු‍තින් සොයාගත් මහසෙන් දෙවියන්ටත් බැරි නම් දහස් ගණනින් පොළිමේ යන අනෙක් බැතිමතුන්ටත් පිහිට වන්නට ඒ දෙවි බානට පුළුවන්කමක් තියෙනවායැයි පිළිගැනීමේ හැකියාවක් තියෙනවාද?

මෙයට පෙර වතාවක් කතරගම කපුවන් දෙපිරිසක් අතර සිදු වූ ගැටුමක් විසඳුණේ පොලිසියේ මැදිහත් වීමෙන් මිස දේව බලයෙන් නෙමෙයි.

ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට සිර දඬුවම් නියම වූ පසුව මල්වත්තට සහ අස්ගිරියට යාමට උත්සාහ කළ ‍බොදු බල සේනා පිරිසකට ඒ විහාර දෙකේම දොර වැසුණු බවට පුවතක් අසන්නට ලැබුණා. බැලූ බැල්මට එය හොඳක් යැයි කියන්න පුළුවන්. නමුත් ඇත්තවශයෙන් බොදුබල සේනාවට මල්වතු අස්ගිරි විහාර දොර වැසුණේ නම් එය සැලකිය හැක්කේ, එකී පාර්ශව වල ලොකු හාමුදුරුවරු සැබෑ යතාර්ථයට මුහුණ නොදී පැස්බරුන් මෙන් හිස වැලියට හංගාගෙන ප්‍රශ්නයෙන් මගහැර ඇති බවයි. මල්වත්තටත් අස්ගිරියටත් සැබෑ ආත්මශක්තියක් ‍බොදු විනයක් තිබුණේ නම් බොදුබල සේනාව ඇතුළට කැඳවා ගලගොඩඅත්තේ කළ වරද පෙන්වා දී තමන්ට එවැනි වැරදිවළට මැදිහත් විය නොහැකි බව රටටම ඇසෙන්නට කියන්නට තිබුණා. ගලගො‍ඩඅත්තේ ප්‍රශ්නය මේ වන විට අභියායචනා අධිකරණයට යොමු කර ඇති බවයි කියන්නේ. එහි දී ලැබෙන තීන්දුව කුමක් වුණත්, ගලගොඩඅත්තේ මෙතෙක් හැසිරී ඇත්තේ බෞද්ධ භික්ෂුවක් වශයෙන් නොවෙයි. ඔහු පෙර වාතාවත්වල දැක් වූ භික්ෂු විනය විරෝධි හැසිරීම් ඉහළ බෞද්ධ භික්ෂු නායකත්වය විසින් ප්‍රශ්ණ කලා නම් ඒවාට විරුද්ධව නිසි විනය ක්‍රියාමාර්ග ගත්තා නම් උසාවියට අපහාසකර භික්ෂුවක් සිරගත වූවාය යන අපවාදය මෙරට භික්ෂු සාසනයට එල්ලවන්නේ නැහැ. දැන් අධිකරණයකට අපහාස කර සිරදඬුවමකට ලක් වූ චීවරධාරියා වෙනුවෙන් මල්වතු අස්ගිරි උභය ගන්නා ක්‍රියාමාර්ගය බලා ඉමු.

බොදුබල සේනා හරවා යවන්නට පෙර මල්වතු අස්ගිරි විහාරවලට ගිය අලුතින් පත් වූ නියෝජ්‍ය ඇමති පිරිසකට මල්වත්තේවත් අස්ගිරියේවත් දොර වැසුණේ නැහැ. ඊට පෙර වතාවක ගෝඨාභය රාජපක්ෂත් මල්වතු අස්ගිරි විහාරවලට ගොස් තිබුණ.

මල්වත්තට අස්ගිරියට ගිය නියෝජ්‍ය ඇමති පිරිසට විහාරවලින් ආශීර්වාදය ලැබෙන්න ඇති. ඒ අය මෑත දී නි‍යොජ්‍ය ඇමතිවරු ලෙස පත්කෙරුණේ රටේ සංවර්ධනයට නොව ජනතා සේවයට නොව ආණ්ඩුවේ අවුල බේරුම්කර ගැනීම සඳහා ‍බවයි පෙනෙන්නේ. දැනටත් මෙගා කැබිනට් එකක් මෙගා රාජ්‍ය ඇමති නියෝජ්‍ය ඇමති පිරිසක් නඩත්තු කරන ආණ්ඩුවකින් නියෝජ්‍ය ඇමතිකම් උදුරාගෙන ආ පිරිසට මල්වතු අස්ගිරි පාර්ශවවලින් කෙ‍රුණේ තැනට ගැලපෙන දෙයක් කියා හරවා යැවීම බව සිතන්නට පුළුවනි. ඒ මෙතෙක් ඒ පන්සල්වලට ගිය කාවෙනුවෙනුත් උන්වහන්සේලා කළේ එයම නිසයි.

පට්ටම් තානාන්තර ලැබුණු විගසින් තමන්වහන්සේ බැහැදිකීමට එන පිරිසට අර්ථයෙන් ධර්මයෙන් අනුසාසනා කළේ නම් මේ රටේ නායක කාරකාදීන්ගෙන් රටට මේ තරම් අවුලක් සිදුවන්නේ කොහොම ද?සෝපාකටත් සුනීතටත් අංඟුලිමාලටත් ආලවකටත් පන්සල විවෘතව තිබුණු බව අතිධාවනකාරි බෞද්ධයන් මෙහි දී කියන්නට පුළුවනි. නමුත් සෝපාකටත් සුනීතටත් අංඟුලිමාලටත් ආලවකටත් එදා පන්සලෙන් කෙරුණේ කුමක් හෝ කියා ආපසු යැවීම නොවෙයි. ඔවුනට නිසි මඟ පෙන්වා ඔවුන් යහ මඟට ගැනීමයි. දැන් සිදුවන්නේ භීක්ෂුන් ද දේශපාලකයන් ද රාජ්‍ය නිලධාරන් ද තමන්ගේ වැරදි වසාගැනීමට, ලෝකමානයට, ජනතාව රැවටීම සඳහා සංඝරත්නයේ ආශිර්වාද අනුශාසනා ලබාගන්නා බව පෙන්වීමට මල්වත්තට අස්ගිරියට යාම පමණයි. සංඝ නායකත්වයෙන් කෙරෙන්නේ ද එසේ යන අයට වැරදි අඩුපාඩු පෙන්වාදීම වෙනුවට තැනට ගැලපෙන යමක් කියා හරවා එවීමයි. කිරිවෙහෙරේ වෙඩි තැමීම්, උසාවියේ යකා නටන භික්ෂූන්, කඩ ගිනි තියන ගිහියන්, මිනීමරා ජනතා දේපළ කොල්ලකා පන්සල් යන දේශපාලකයන් අපට නැවත නැවතත් අසන්නට දකින්නට ලැබෙන හේතුව එයයි.

අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *