ඔබ වෙත කරුණාවෙනි, – නිශාන්ත කමලදාස

ඔබ කියනා ලෙසට ඔබ පෙනී සිටින්නේ බුදු දහමේ පැවැත්ම වෙනුවෙන් ය. සිංහලයාගේ උන්නතිය වෙනුවෙන් ය.

මේ දෙක එකවිට කරන්නේ කෙසේ දැයි මට මුලින්ම එන ප්‍රශ්නය මම නොනගා නවතින්නෙමි. මට අවශ්‍ය ඔබ සමග දාර්ශනික සංවාදයකට පැටලීමට නොවේ. දාර්ශනික සංවාදයකට ඇති සංයමය ඔබ කෙරෙන් කිසිදා මම දැක නැත්තෙමි.

දහමේ වෙසෙන්නා දහමෙන්ම ආරක්ෂා කරන බව කීවේ බුදුන් වහන්සේ ය. එහෙව් දහමකට බලසේනාවක ආරක්ෂාව අවශ්‍ය දැයි යන ප්‍රශ්නය ඔබගේ සැහැසි වාග් ප්‍රහාර වලින් සහ ඔබට සහය දෙන අයගේ උත්තර වලින් බොරු කර ඇතැයි ඔබ සිතන නිසා ඒ ගැන ද කතා කිරීමට මම අදහස් නොකරමි.

සැහැසි වචන හා මැර බලය සරණ ගිය ඔබ සමග කතා කිරීමම වැඩක් ඇති දෙයක් දැයි මට විටෙක සිතේ. එහෙත් තමන්ගේම මතයක් නැති මිනිසුන් ඔබේ හඩ ඉදිරියේ ගාල් වෙනු දකින විට ඒ වැඩක් නැති කතාව කළ යුතු යැයි මට සිතිණි.

ඔබ අනුයන සමහරු ඔබගේ හැසිරීම මුළුමනින් අනුමත නොකරති. එහෙත් ඔබ පෙනී සිටින්නේ යහපත් අරමුණක් වෙනුවෙන් නිසා ඔබෙන් නිතර ගි‍ලිහෙන පරුෂ වචන සහ ඔබගේ මැර හැසිරීමට සමාවක් දීමට ඔවුන් සූදානම් ය. ඔවුන් නොදන්නා සහ අමතක කරන කාරණය නම් බුදුන් අරමුණ පමණක් නොව එය කරා යන මාවත ද යහපත් විය යුතු යැයි විශ්වාස කළ කෙනෙකු බව ය. ඒ බව ඔවුන්ට අමතක කරවන්නට හැකිවීමම එක් අතකට ඔබගේ ජයග්‍රහණයක් බව අපට පිළිගන්නට සිදු වේ.

තමන් ආගම රකින්නට යන්නේ ආගමට විරුද්ධ වීමෙන් බව නොදන්නා තරමට ඔබ අනුයන මිනිසුන්ගේ බුද්ධිය මොට කිරීමට ඔබට හැකිවීම ද ජයග්‍රහණයක් බව ඇත්ත ය.

ශබ්දයම ශක්තිය වීම

ඔබ ඒ සදහා භාවිතා කරන්නේ බොරුව හා අර්ධ සත්‍යයන් ය. බොරුවටත් වඩා අර්ධ සත්‍යයන් ය. ඒවා මහා හඩින් කී විට ඒවාට බලයක් ලැබෙතැයි යන ඔබේ උපකල්පනය නිවැරදි ය. මිනිස්සු සද්දයට බය ය. සද්දයට ආසා ය. සද්දයම ශක්තිය වෙන, බලය වෙන, වටපිටාවක බුද්ධියට ඉඩක් නැත. සිතන්නට ඉඩක් නැත. ඒ සද්දයම, බලයම, ඔවුන්ට පිහිට වෙතැයි ඔවුන්ට හැගී යාම ඔබගේ තව ජයග්‍රහණයකි.

ඒ සද්දයම, බලයම, ඔබගේ වැඩ පිළිවෙළට විරුද්ධ මිනිසුන් පවා නිහඩ කරවන්නට ද හේතුවක් වී ඇත.

එකම දේ නැවත නැවතත් කීමෙන් බොරුව පවා ඇත්ත වෙන බව ද ඔබ දනී. මනෝ විද්‍යාවේ මිනිසුන් මුලා කිරීම සම්බන්ධයෙන් ඇති සියළු උපා ඔබගේ වැඩ පිළිවෙළ ඇතුළේ දැකිය හැකි ය.

මිනිස්සු තමන්ව අනෙකා විසින් යටපත් කරනු ලැබේ යැයි නිරන්නතර බියකින් පෙ‍ළෙති. පරිණාමයේ ශේෂයක් හැටියට පවතින ඒ බිය ඔබ විසින් තුච්ඡ ලෙස ප්‍රයෝජනයට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කිව යුත්තේ මෙසේ කරන ලද එකම බලවේගය ඔබ නොවන බව ය. ඉතිහාසය පුරා මතුවුණු එවැනි බලවේග අපි රට ඇතුළත ද වෙනත් රටවල ද දැක ඇත්තෙමු.

ඔබ විරුද්ධවන වත්මන් මුස්ලිම් අන්තවාදී සංවිධාන විසින් ද ප්‍රයෝජන ගනු ලබන්නේ ඒ බිය යි. ඒ කාරණය ගෙන බැලූ කල පැහැදිලිව හෙලිවන කරුණ නම් ඔබ විරුද්ධ වන එම මුස්ලිම් අන්තවාදී සංවිධාන ද ඔබේම නිවුන් සොහොයුරන් බව ය. ඔවුන් ඔබගෙන් බොහෝ වෙනස් නොවේ. වෙනස් වනවා නම් ඒ ඔවුන් පක්ෂපාතිත්වය දරණ ආගමික ලේබලයෙන් හා ඒ වෙනුවෙන් ඔවුන් පෙන්වන මෘග භාවයෙන් පමණ ය.

ඔවුන්ගේ වැඩ පිළිවෙළ ඔබව ශක්තිමත් කරන අතර ඔබේ වැඩපිළිවෙළ පෙරලා ඔවුන්ව ශක්තිමත් කෙරෙන අයුරු අපි සංවේගයෙන් යුතුව බලා සිටියෙමු.

ඔබ සියල්ලන් අපව ගෙන යන්නේ යුද්ධයට ය. හිංසනයට ය. එකිනෙකාට එරෙහි ගහ මරා ගන්නා අනාගතයකට ය.

අපි ඔබට විරුද්ධ වන තරමටම අනෙත් අන්තවාදී සංවිධානවලට ද විරුද්ධ වන්නෙමු. ඒවාට ඔබ විසින් අනියමින් ලබා දෙනු ලබන ශක්තිය අඩ ණ කිරීමට නම් ඔබව ද හෙලිදරව් කර දුර්වල කළ යුතු ව තිබේ.

වෛරයට පිළිතුරු වෛරය නොවන්නා සේම අන්තවාදයට පිළිතුර තවත් අන්තවාදයක් නොවේ.

සෑම ආගමකම සැබෑ පණිවුඩය සාමය හා සහජීවනයයි. එසේ වුව ද ආගමික අන්තවාදීන් විසින් එය විකෘති කොට එහි ප්‍රතිපක්ෂය ඉදිරියට ගෙන වුත් තිබේ. ඔබ ඊට තවත් එක් උදාහරණයක් පමණ ය.

නාසිවාදය ජර්මනිය සිය අණසකට ගත්තේ ය. මුළු ලෝකයම යුද පිටියක් කළේ ය. එ‍් තරමට එහි ශක්තිය වැඩි ගොස් තිබුණේ ය. එහෙත් අවසා‍නයේ එය පරාජය විය. වෛරය හා මැරබලය මත පදනම් වන සියලු අන්තවාදී සංවිධාන ද හිටි හැටියේ වර්ධනය වීමට සමත් විය හැකි නමුදු වැඩි දිනක් නොයාම අභාවයට පත්වන්නේ ය. ප්‍රශ්නය ඇත්තේ ඒ පවතින කෙටි කල තුළ මහා විනාශයක් කිරීමට ඊට හැකියාව ලැබීම ය. ඒ නිසා හැම ආගමකම සිටින බැතිමතුන්ගේ යුතුකම වන්නේ තමන්ගේ ආගමේ මුවාවෙන් වෛරය බිය හා සැකය පැතිරවීමට අන්තවාදීන්ට අවස්ථාවක් නොදීමට ඉටා ගැනීම ය.

සත්‍යය මිනිසුන් විසින් සොයා ගත යුතු අවබෝධ කරගත යුතු එකක් මිස ඔවුන් මත බලහාත්කාරය ‍යොදා පැටවිය යුතු දෙයක් නොවන බව තේරුම් ගැනීමට තරම් මිනිසා දියුණු වී ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු. තවදුරටත් නොදියුණු ළිංමැඩියන්ට මේ දියුණු ලෝකයේ පිනුම් ගැසීමට ඉඩ දීම අපට තරම් නොවේ. ඔවුන් ලෝකයට සිය පණිවුඩ ගෙන එන්නේ මොන ළි‍ඳෙන් ද යන්න නොසළකා ඔවුන්ගේ පටු පණිවුඩ හෙළිදරව් කිරීම අපේ යුතුකම ය.

ඒ නිසා ඔබ අසන්නට සූදානම් වුවත් නැතත් ඔබේ වෛරී වැඩ පිළිවෙළ අපට හැකි අයුරින් අපි හෙලිදරව් කරන්නෙමු. අප ආදර්ශයට ගෙන මුස්ලිම් භක්තිකයන් ද වෙනත් ආගමිකයන් ද ඔවුන්ගේ ආගමික අන්තවාදීන් හෙලිදරව් කරනු ඇතැයි අපි උදක්ම අපේක්ෂා කරමු.

ඔබේ ඔය පාපකාරී වැඩ පිළිවෙළ අතැර බුදුදහමේ චිරස්ථිතිය පිළිබඳ සැබෑ වැඩපීළිවෙළකට පැමිණෙන්නේ නම් අපේ සහයෝගය ඔබට ලබා දීමට ද කැමැත්තෙමු.

අප කුඩා කල අපේ මාපියන් පාරේ වඩින සංඝයා වහන්සේ නමක් පෙන්වා අපට කියා සිටියේ ඒ නිවුණු චරිතය අනුගමනය කරන ලෙස ය. දැන් මාපියන්ට සිදු වී ඇත්තේ රූපවාහිනියේ දිගහැරෙන චීවරධාරීන්ගේ අසැබි ආවේගාත්මක මැර හැසිරීම බලා සුසුම් හෙලන්නට ය. ළමයින් ඒ විසූක දස්සණ නොබලන බවට වග බලා ගැනීමට ය. කොටු දැමිය යුත්තේ මත්පැන් හා දුම් වැටිවලට නොව මේ අසභ්‍ය රංගනයන්ට යයි කියන මාපියන් අපට කොතෙකුත් මුණ ගැසී ඇත. ඒ ඔබ විසින් සංඝයා වහන්සේලා සම්බන්ධයෙන් ගොඩ නගා ඇති ප්‍රතිරූපයයි. ඔබගේ හැසිරීමෙන් ආදර්ශ ගන්නා ළමයි පමණක් නොව වැඩිහිටියන් ද කල්පනා කරනු ඇත්තේ ප්‍රශ්න විසඳන බෞද්ධ මාර්ගය වැටී ඇත්තේ කුණුහරුප, පරුෂ වචන හා මැරබලය හරහා බව ය. අද දවසේ සමාජය පුරා පැතිරී යන හිංසනය හා මැර ක්‍රියාවලට ඔබගේ නොමද දායකත්වය ද හේතු සාධක වී තිබේ. එසේ කල්පනා කරන කල අප ඉහත කරන ලද ඉල්ලීම විහිළුවක් වන්නට හොඳටම ඉඩ තිබේ. කෙරෙන නොකෙරෙන බව නොසළකා එ‍වන් ඉල්ලීමක් කළේ පුංචි හෝ ඉඩක් ඉතිරිව තිබේ නම් එය පිරික්සන්නට ය. අඩුවශයෙන් ඔබ සමග එක්වී සිටින වඩා මධ්‍යස්ථ හා කල්පනා කළ හැකි පිරිස් අමතන්නට ය.

කෝපය පිටකරන හැටි

ඔබේ හැසිරීමෙන් ඇති වූ සාධාරණ කෝපය බොහෝ අය විසින් පිට කර හරිනු ලබන්නේ ඔබේ හැසිරීමේම ප්‍රතිබිම්භය බවට පත්වීම හරහා ය. ඔවුහු එක්කෝ ඔබේ සංවිධානය තහනම් කරන ලෙස යෝජනා කිරීමට නැත්නම් ඔබේ සංවිධානයේ ඉන්නා දුර්වල වැරදි සහගත පුද්ගලයන් කීප දෙනෙකුගේ වංචා දූෂණ අක්‍රමිකතා හෙලිදරව් කිරීම හරහා ඔබට පහර ගැසීමට සූදානමින් සිටින්නෝ ය.

පණිවුඩයට මිස පණිවුඩකාරයාට පහර දීම අපගේ ප්‍රතිපත්තිය නොවන්නේ ය. ඔබට විරුද්ධවීම සදහා ඔබේ මට්ටමට වැටීම ද අපට අපුල ගෙන දෙන කාරණයකි. කෝපය මත පදනම්ව ක්‍රියාකාරිත්වයක් ගොඩ නැගීම ද අපි ප්‍රතික්ෂේප කරමු. ඒ නිසාම ඔබට විරුද්ධ වීමේ අපේ ක්‍රියාමාර්ගය තුළ මේ කිසිවක් නැත.

මෙය වඩාත් පැහැදිලි කළ යුතු කාරණයකි. පණිවුඩයට පහර නොදී පණිවුඩකාරයාට පහර දෙන බොහෝ දෙනෙක් එසේ කරන්නේ පණිවුඩයට පහර දීමට ඔවුන්ට නොහැකි නිසා වෙනි. අපට එවැනි බැරිකමක් නැත.

පණිවුඩයට පහර නොදී පණිවුඩය ගෙනෙන්නාට පහර දීමෙන් වන්නේ ඔහුගෙන් ගිලිහෙන පණිවුඩය තව කෙනෙකු විසින් අහුලා ගැනීම ය. ඒ නිසා එහි ඇත්තේ කෙටි කාලීන අගයක් පමණකි. අපට අවශ්‍ය ඔබේ සංවිධානය පරාජය කිරීමට නොව එය ගෙනෙන නිහීන මතවාදය පරාජය කිරීමට ය. අපට අවශ්‍ය තාවකාලික ජයග්‍රහණයන් නොව කල්පවතින ජයග්‍රහණයන් ය.

ඒ නිසා කිසිවෙකු ඔබේ සංවිධානය තහනම් කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නම් අපි ඊට එරෙහි වෙමු.

අවසාන වශයෙන් ඔබේ මෑතක ක්‍රියාපටිපාටිය ගැන සදහනක් කිරීමට කැමැත්තෙමු. ඒ රටේ නම වෙනස් කිරීමට ඔබ විසින් යෝජනා කරනු ලැබ තිබීම ය. ජාතික කොඩිය වෙනස් කිරීමට යෝජනා කරනු ලැබ තිබීම ය.

වුවමනාව පැහැදිලිය

ඒ දෙකින්ම ඔබට වුවමනා කර තිබෙන්නේ වෙනත් ජාතීන් බැහැර කර තැබීමට ය. ඔවුන් සිංහලයින්ට යටත් දෙවැනි පුරවැසියන් කොටසක් බවට පත් කිරීමට ය. ඔවුන් කෙරෙහි ආධිපත්‍ය පතුරන්නට ය. රටම සිංහලයන් වෙනුවෙන් අල්ලා ගැනීමට ය.

අපට නම් රට අල්ලා ගත යුතු භූමියක් නොවේ. ආධිපත්‍ය පැතිරිය යුතු භූමි භාගයක් ද නොවේ.

අපට නම් එය කුවේණිගේ පරපුරෙන් එන අයටත් විජයගේ පරපුරෙන් එන අයටත් වැද්දන්ගේ පරපුරෙන් එන අයටත් මෙහි දැන් පදිංචිකරුවන්ව සිටින වෙන රටක උරුමයක් නැති සියලු දෙනාටමත් සමාන අයිතිවාසිකම් ඇතිව ජීවත්වන්නට හැකි පොළොවේ තිබෙන තවත් එක් භූමියකි.

සැම එක්ව ගොඩනගන අනාගතය

ඒ හැම එක්වී ගොඩ නගන අනාගතයක් වෙනුවෙන් රටක් වෙනුවෙන් අපි පෙනී සිටිමු.

එසේ කියන අපට දමා ගසන එක් සුවිසල් ආයුධයක් තිබේ. ඒ අප නිවට බව ය. බිය බව ය. ඔබ භාවිතා කරන පිළිකුල් භාෂාවෙන් කියන්නේ නම් අප පොන්නයන් බව ය.

ශක්තිමත් මිනිසුන් නිබය මිනිසුන් පාරම්බාන්නේ නැත. පුප්පන්නේ නැත. ඔවුන්ට තමන්ගේ ශක්තිය ගැන විශ්වාසයක් තිබේ. බල්ලන් උදාහරණයකට ගන්නේ නම් වැඩියෙන් බුරන්නේ උන් අතරින් හොඳටෝම බය උන් ය. බුරන බල්ලෝ හපා කන්නේ නැත. ඒ නිසා ඒ ආයුධය භාවිතා කිරීමෙන් වැඩක් නැත.

අපට වැදගත් වන්නේ රටේ නම නොවේ. රටේ නමට ලැබෙන ප්‍රතිරූපයයි. විරූපි කතකට සුරූපි යයි නමක් දැම්මාට වැඩක් නැත. ඒ අර්ථයෙන්ම වැඩවලින් ද වචනයෙන් ද හැසිරීමෙන් ද රට බුදුන්ගේ දේශයක් ලෙස නොපෙනේ නම් මේ බුදුන්ගේ දේශය යයි එය නම් ක‍ළාට වැඩක් නැත. එසේ කළ විට අවමානය බුදුන්ට ය.

ආඩම්බරයෙන් මේ අපේ රට යැයි කිව හැක්කේ එහි විසූක දස්සන නැත්නම් පමණකි.

රටක ප්‍රතිරූපය තිරණය වන්නේ රට සහ එහි වැසියන් පෙනී සිටින ආචාර ධර්ම වලිනි. එහි මිනිසුන්ගේ ආචාරශීලිත්වයෙනි. ඒ මිනිසුන්ගේ වචනයෙන් ද ක්‍රියාවෙන් ද ලොවට පෙන්වන ඔවුන්ගේ චරිතයෙනි. ඒවා විපරීත වී නමින් රටේ නම සුපිරි වීමෙන් පළක් නැත.

රටේ නම නොව ඔබ සංවිධානයේ නම වෙනස් කිරීම ගැන ඔබේ අවධානය යොමුවනු ඇතැයි අපි සිතමු. මක්නිසා ද යත් රටේ වත්මන් නම වූ ශ්‍රී ලංකාව නිසා සිදුවන විනාශයක් නැතත් අති විශාල විනාශයක් රටටත් ආගමටත් ඔබේ සංවිධානයේ නම – බොදු බල සේනා – නිසා සිදුවන නිසා ය.

බටහිර ලෝකයේ වඩාත් වැඩියෙන් පැතිරෙන ආගමක් වෙයි නම් ඒ බුද්ධාගම ය. ඔබේ ක්‍රියාකාරිත්වයෙන් විය හැකි එකම දෙය එය අඩාල වීම ය. ඔබේ නම ඒ සඳහා අතිරේක තිරිංගයක් වී ඇති බව ඔබ සංවිධානය සම්බන්ධයෙන් වෙනත් රටවල පළවන මාධ්‍ය වාර්ථාවලින් මොනවට පෙනේ. ඔබ ඉටුකරන්නේ කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් දැයි යන සැකය ඒ නිසාම බොහෝ දෙනා තුළ පහළ වී තිබේ.

ඔබ සම්බන්ධයෙන් ලියන්නට ඇති දේ ලිපියකින් ගොනු කිරීම අමාරු ය. ඒ සඳහා පොතක් ලිවිය යුතු ය. තේරුම් ගන්නා කෙනෙකුට පොත් ලියන්නට වුවමනා නැත. තේරුම් ගැනීම ප්‍රතික්ෂේප කර ඇති කෙනෙකුට පුස්තකාලයක් පිරෙන්නට ලිව්වත් වැඩක් වන්නේත් නැත. ඒ නිසා ලිපිය මෙතැනින් සමාප්ත කරමි.

අද ඔබගේ විය හැකි ය. එහෙත් හෙට දවස සැබැවින්ම අපේ ය. රැවටීමට හා මුළාවට සීමාවක් ඇති බැවිනි. ඔබට ඔබ අනුයන අබ සරණත් රටට හා ජනතාවට තෙරුවන් සරණත් අපි අවසාන වශයෙන් පතමු.

ඔබ දැන් කියවූයේ ඔබ වෙත මීට වසරකට හෝ දෙකකට උඩ දී මා විසින් ලියන ලද එහෙත් තැපැල් නොකරන ලද ලිපියකි.

ඔබට ලැබුණු අනගි අවස්ථාවක්

මෙය ලියා සෑහෙන කාලයක් ගත වුව ද එය ඔබ වෙත එවන්නට හිත දුන්නේ නැත. දැන් එළැඹ තිබෙන තත්වය යටතේ මෙය ඔබට ලබා දීම යෙහෙකැයි සිතමි. දැන් ඔබට නිදහසේ තමන්ගේ අතීත කල් ක්‍රියාව ගැන කල්පනා කිරීමට මෙනෙහි කිරීමට ඉඩ පාඩුවක් ඇති නිසා ය. කෙනෙකුට ඉගෙන ගැනීමට නම් ඔහු යා යුතු එක තැනක් විශ්ව විද්‍යාලය ය. අනික සිපිරි ගෙය ය. ඔබ මුල් ආයතනයේ ඉගෙනුම ලැබුවේ දැයි මම නොදනිමි. ඒ ආයතනවල ඉගෙනුම ලැබූවන්ගේ හැසිරීම දෙස බලන විට සිපිරි ගෙයකින් ඉගෙනීම වඩා හොඳ යැයි සිතෙන වාර ද තිබේ. ඒ කොහොම වෙතත් දැන් ඔබට දෙවැනි ආයතනයෙන් ඉගෙනීමේ අවස්ථාව ලැබී තිබේ. ඊට අමතරව නැවත හැරී බැලීමකට වේලාව ද ඉස්පාසුව ද තිබේ. ඒ නිසා මේ ලිපිය මේ මොහොතේ විශේෂයෙන් වැදගත් වෙතැයි සිතමි.

නෙල්සන් මැන්ඩෙලා සිපිරි ගෙයින් එන විට කීවේ තමන් හිර ගෙදර දොරින් නික්මෙන පටු මාවත ඔස්සේ ගමන් කරන විට තීරණයකට පැමිණියේ තමන් තුළ තිබූ වෛරය සිර ගෙදර තාප්පය තුළ රඳවා තබා යා යුතු බව ය. එසේ නොකරන්නේ නම් එලියට ගිය විට ද තමන්ට නිදහසක් නැති වන බව ය. මට ඔබට කීමට ඇත්තේ ද එය ම නොවෙතත් ඊට සමාන අදහසක් ය.

ඒ මෙතෙක් ඔබ ගත කළ පවිටු වෛරක්කාරී ජීවිතය ඔය තාප්පය ඇතුළේ රඳවා නිදහස් මිනිසෙකු හැටියට එලියට එන ලෙස ය. එසේ කිරීමට අපොහොසත් වේ නම් ගලවපු සිවුර ගලවාම තියෙන්නට හරින ලෙස ය.

නිශාන්ත කමලදාස

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *