නීතිය සහ භික්‍ෂුව – එම් ඕ ඒ ද සොයිසා
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් මාස හයක කාලයකට සිර ගෙදරට යැවීම මෙරට සමාජය තුළ බෙහෙවින්ම කථාබහට ලක් වී ඇති මාතෘකාවක් බවට මේ වනවිට පත්ව ඇත. කථිකාවතට සම්බන්ධ වී සිටින එක් පාර්ශ්වයක් ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන්ට දඬුවම් පැමිණවීම දකින්නේ වරදක් ලෙසටය. හේතුව ලෙස මේ අය දක්වන්නේ ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් පෙනී සිටයේ සහ හඬනැගුවේ රණවිරුවන් වෙනුවෙන් බවත් එබැවින් එම ක්‍රියාව අසාධාරණ සහ වැරදි සහගත එකක් නොවන බවත්ය.
ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් වෙනුවෙන් පෙනී සිටින තවත් කොටසක් කියා සිටින්නේ එසේ දඬුවම් කිරීම බුද්ධ පුත්‍රයෙකුට කරන ලද බරපතළ නිග්‍රහ කිරීමක් හා අපහාස කිරීමක් වන බවය. වෙනත් ආකාරයකට කියනවා නම් චීවරයට කරන ලද බරපතල අපහාසයක් වන බවය. තවත් සමහරු කියන්නේ ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් එදා නැඟී සිටයේ කොටි සංවිධානයට ඔත්තු සපයමින් රට සහ ජාතිය පාවාදුන් කොටි ඔත්තු-කරුවකුගේ බිරිඳට එරෙහිව බවත් එබැවින් එසේ හැසිරීම අපරාධයක් ලෙස සලකමින් දඬුවම් පැමිණවීම අසාධාරණ සහ අයුක්ති සහගත බවත්ය. මේ සියල්ලටම වඩා එහාට ගොස් තවත් කොටසක් දකින්නේ ඥාණසාර හාමුදුරුවන්ට දඬුවම් පැමිණවීම වර්තමාන යහපාලන ආණ්ඩුව විසින් අනුගමනය කරන සිංහල බෞද්ධයන් මර්දනය කිරීමේ ප්‍රතිපත්තියේ තවත් එක් කූඨ ප්‍රාප්තික අවස්ථාවක් ලෙසය.
ඥාණසාර හාමුදුරුවන්ට දඬුවම් පැමිණවීම ගැන විරුද්ධ නොවන කොටස් දරන මතය වන්නේ දඬුවම් පැමිණවීම කර තිබෙන්නේ නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති නිසා බවත් එබැවින් එසේ දඩුවම් කිරීම යුක්තිසහගත සහ සාධාරණ දෙයක් වනවාක් මෙන්ම නීත්‍යානුකූලද වන බවය. එමෙන්ම මෙම කොටස් කියා සිටින ආකාරයට මෙයාකාරයට දඩුවම් කිරීම මගින් පෙන්වන්නේ නීතියේ ආධිපතිත්වය සහ අධිකරණයේ රට තුළ යළි ස්ථාපිත වී තිබෙන බව සහ එය ජනතාවගේ පැත්තෙන් බලන විට අතිශයින්ම සාධනීය තත්ත්වයක් පෙන්නුම් කරන බවත්ය. මෙම කොටස් තවදුරටත් පෙන්වා දෙන ආකාරයට නඩු තීන්දුව මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව අයත් කරගෙන තිබෙන ප්‍රගතියයි. මෙය රටේ ජනතාව අයත් කරගත් ඉතාම වැදගත් ජයග්‍රහණයක් බව මෙම කොටස් තවදුරටත් කියා සිටී.
ඥාණසාර හාමුදුරුවන්ට දී තිබෙන නඩු තීන්දුව සම්බන්ධයෙන් ඉහත සඳහන් අදහස් දෙස බලනවිට පෙනී යන්නේ ඒවා මුළුමණින් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් ගන්නා බව ය. එසේනම් මෙම පාර්ශ්ව දෙකෙන් කවුද හරි යන ප්‍රශ්නය මෙහි දී මතු වේ. මේ පිළිබඳව අවසාන නිගමනයකට ඒමට නම් නීතිය සහ පුද්ගලයින්ගේ සමාජ හැසිරීම අතර තිබෙන්නාවූ සම්බන්ධතාවය කෙරෙහි අවධානය යොමුකළ යුතු ය. නීති සළකන්නේ මිනිසුන්ගේ උසස්ම තාර්කික බුද්ධියේ උත්තරීතර ප්‍රතිඵලය ලෙසය.
මිනිසාගේ තාර්කික බුද්ධිය මගින් මිනිසුන්ගේ භෞතික සමාජ හැසිරීම පාලනය කිරීම සඳහා නිර්මාණය කර තිබෙන මෙවලම් දෙකක් තිබේ. මෙයින් එකක් වන්නේ නීතියයි. අනෙක තුවක්කුවයි. නීතිය මගින් කරන්නේ මිනිසුන් භෞතික ජීවිතයක් ගත කිරීමේ දී කළ හැක්කේ කුමක්ද සහ කළ නොහැක්කේ කුමක්ද යන්න පෙන්වා දීමය. තුවක්කුවෙන් කරනුයේ නීතියට පාලනය කළ නොහැකි සහ නීතියට අවනත නොවන පුද්ගලයින් සමාජයෙන් තුරන් කර දැමීමය. මෙයින් පෙනී යන්නේ විනයගරුක සහ ශිෂ්ටාචාරවත් මානව සමාජයක තිරසාර පැවැත්ම සඳහා විධිමත් නීති පද්ධතියක පැවැත්ම සහ ක්‍රියාකාරිත්වය අත්‍යවශ්‍ය දෙයක් වන බවය. නීතිය හා සම්බන්ධව දැකිය හැකි විශේෂ ලක්‍ෂණ කිහිපයක් තිබේ.
එයින් ප්‍රථම එක වන්නේ නීතිය සියලූ දෙනාටම සර්ව සාධාරණ වීමය. එනම් සියලූ දෙනාටම එකසේ අදාළ වීමය. මෙයින් අවධාරණය කරන්නේ නීතිය ඉදිරියේ සියලූ දෙනාම එක සමාන වන බවත් නීතියේ සමාන ආරක්‍ෂාව සියලූ දෙනාටම එක හා සමානව හිමිවන බවත්ය. නීතිය පුද්ගලයින්ගේ තරාතිරම හෝ උස්පහත්කම් අනුව හෝ යම් ආගමක පූජකයෙක්ද නැද්ද යන සාධක අනුව යොදන ආකාරය වෙනස් නොවේ.
නීතිය සියලූ දෙනාටම එක හා සමාන වනවාය යන මූලධර්මය ක්‍රියාවට නංවන්නේ මෙම පදනම මතය. නීතිය හා සම්බන්ධ දෙවන ලක්‍ෂණය වන්නේ නීති අනිවාර්යයෙන්ම දඩුවම් කිරීම හා සමඟ බැඳී පැවතීමය. මෙයින් අදහස් කරන්නේ නීති කඩකිරීම අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතු වරදක් සේ සළකන බවය. මෙසේ පනවන දඩුවම් සරල අවවාද කිරීමේ සිට මරණ දඩුවම් දක්වා වෙනස් වියහැක. දඩුවම් ප්‍රමාණය කුමක් වූවද නීති කඩකරන්නා අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු දෙය වන්නේ නීති කඩකළ විට දඩුවම් කිරීමට යටත් වන බවත් එයින් පිටපැන යාමට කිසිදු හැකියාවක් නොමැති බවත්ය.
නීති හා ආශ්‍රිතව දැකිය හැකි තුන්වන ලක්‍ෂණය වන්නේ නීතිවලට අභියෝග කිරීමට නීතියට යටත් වන අයට හිමිකමක් නොමැති වීමය. මෙයින් අදහස් කරන්නේ නීති හරිද වැරදිද යනුවෙන් අගය විනිශ්චය කිරීම් කිරීමට නීතියට යටත් වන අයට හිමිකමක් නොමැති බවය. මේ අනුව නීතිවලට යටත් වන අය ප්‍රශ්න කිරීමකින් තොරව නීතියට යටත් වියයුතු බව නීති හා බැඳී පවතින අනිවාර්ය ලක්‍ෂණයක් වේ.
මෙම කරුණු සමස්ථයක් ලෙස ගෙන සළකා බලනවිට කිවහැක්කේ මිනිස් සමාජයක යහපැවැත්ම සඳහා සංවිධිත නීති ක්‍රමයක පැවැත්ම හා ක්‍රියාකාරිත්වය අත්‍යවශ්‍ය කොන්දේසියක් වන බවය. පොදුවේ පිළිගත් මතය වන්නේ විවිධාකාර ගතිගුණ, හැසිරීම් හා ක්‍රියාකාරකම්වලින් යුත් ලක්‍ෂ සංඛ්‍යාත මිනිසුන්ගෙන් සමන්විත මිනිස් සමාජයක පෞද්ගලිකව ගත්විට මිනිසාගේත් පොදුවේ ගත්විට මුළුමහත් සමාජයේත් අභිවෘද්ධිය අයත් කර ගැනීමට නම් මිනිසා විධිමත් නීති පද්ධතියකට යටත්ව පාලනය කිරීම අත්‍යවශ්‍ය දෙයක් වන බවය. නීතියේ පාලනයට යටත් නොවන මිනිස් සමාජයක් අනිවාර්යයෙන්ම අනධිකාරී සමාජයක් වන අතර එවැනි සමාජයක් ක්‍රියාත්මක වන්නේ බලය පදනම් කරගෙනය. එවැනි සමාජයක යුක්තිය හා සාධාරණත්වය හිස් වචන මාලාවක් පමණක් වේ.
ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන්ට අධිකරණය මගින් නියම කර ඇති සිර දඩුවම් දෙස බැලිය යුත්තේ ඉහත දැක්වූ නීතිය හා මිනිසුන්ගේ සමාජ හැසිරීම යන කරුණු පදනම් කරගෙන මිස ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන්ගේ භෞතික ජීවිතය හා සම්බන්ධ කරුණු කාරණා පදනම් කරගෙන නොවේ. වෙනත් ආකාරයකට කියනවා නම් මෙම කරුණ දෙස බැලිය යුත්තේ ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් රටේ පවතින අපරාධ නීතිය කඩකර තිබෙනවාද සහ එසේ කිරීම මගින් දඩුවම් ලැබිය යුතු වරදක් කර තිබෙනවාද යන කරුණු පදනම් කරගෙන මිස චූදිත තැනැත්තා හාමුදුරුනමක්ද, චීවරධාරියෙක්ද, බුද්ධ පුත්‍රයෙක්ද, රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින ජාතිමාමකයෙක්ද යන නඩුවට අදාළ නොවන කරුණු පදනම් කරගෙන නොවේ. ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන්ගේ නඩුකරයට අදාළ පසුබිම් සාධක දෙස බලනවිට පැහැදිලිවම පෙනී යන්නේ නීතිය මගින් නොකළ යුතුයැයි දක්වා තිබෙන කරුණක් ඔහු විසින් කර තිබෙන බවය.
මෙයින් පෙනී යන්නේ ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් නීතිය නොසළකා හරිමින් ක්‍රියාකර තිබෙන බවය. එමගින් නීතිය සමච්චලයට ලක්කර තිබෙන බවය. අවසාන වශයෙන් නීතියට අවමන් කර තිබෙන බවය. එසේනම් එය සමාව දියහැකි වරදක් නොවේ. එබැවින් එයට අනිවාර්යයෙන්ම දඩුවම් කළ යුතුය. මෙහි දී සළකා බැලිය යුත්තේ චූදිතයා චීවරධාරියෙක්ද නැතිනම් ගිහියෙක්ද යන්න නොවේ. සළකා බැලිය යුතු එකම කරුණ චූදිතයා නීතියට අනුව වරදක් කර තිබෙනවාද නැද්ද යන්නය.
ගලගොඩඅත්තේ ඥාණසාර හාමුදුරුවන් සහ නීති විරෝධී අයුරින් හැසිරෙන අනෙක් හාමුදුරුවරුන්ද මෙයින් ඉගෙන ගතයුතු එක් වැදගත් පාඩමක් තිබේ. එනම්, චීවරයක් දරා සිටීම නීති විරෝධී දේ කිරීමට ඉඩ දී තිබෙන බලපත්‍රයක් නොවන බවය. එමෙන්ම චීවරයක් දරා සිටීම නීතියෙන් පිටපැන යාමට හෝ නීතියේ අනුකම්පාව ලබා ගැනීම කෙරෙහි බලපාන අතිවිශේෂ හේතුවක් නොවන බවය.