වලිගය විසින් බල්ලා වනනු ලැබේ – සිරිසේන රාජපක්ෂ

දැන්පවතින සිදුවීම් අනුව කෙනෙකුට ආණ්ඩුව හැරෙන්නට තවත් බොහෝ අය මෙරට ආණ්ඩුකිරීමට ඉදිරිපත්ව ඇතැයි සිතෙන්නේ නම් එය පුදුමයක් නොවේ. එසේ කියන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද විදුලි ඉන්ජිනේරුවන් ද ආදි වශයෙන් බොහෝ අය ව්‍යවස්ථාදායකයේත් විධායකයේත් කාර්යභාර්යට අතගසා ඇති බැවිනි.

පසුගිය දිනක පුවත්පතක පළ වූ කාටුනයකින් ද දක්වා තිබුණේ ‘පනත පාර්ලිමේන්තුවේ සම්මතයි, දැන් එය වෛද්‍ය නිලධාරින‍ගේ සංගමයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා’ යනුවෙන් කතානායකවරයා සඳහන් කරන ආකාරයයි.

බොරුවක් නොවේ, ආණ්ඩුව අත්සන් කළ වෙළෙඳ ගිවිසුමකට එරෙහිව වැඩවර්ජනයක් කරන්නට රජයේ වෛද්‍යනිලධාරින්ගේ සංගමය සුදානමින් සිටී. ඊට අමතරව ඔවුනට ආණ්ඩුවෙන් පැන වූ බදු ප්‍රතිශතය අඩුකර ගැනීමේ සටනකට ද වෛද්‍ය සංගම් පාරම්බාමින් සිටී.

ආණ්ඩුව බදු පනවා ඇත්තේ වෛද්‍යවරුන්ට පමණක් නොවේ. රජයේ සේවකයාගේ සිට නාටැමිවරයා දක්වා සියල්ලන්ම ඍජු බදු හෝ වක්‍ර බදු ගෙවමින් සිටිති. එසේ නම් වෛද්‍යවරුන්ට පමණක් ඇති රුදාව කුමක් ද? වෛද්‍යවරුන් තරමට මුදල් උපයන පිරිසක් රටේ වෙන නැතැයි කීම අතිශයෝක්තියක් නොවේ. ඔවුන් ඒ ධනය උපයන්නේ රාජ්‍ය සේවයේ යෙදෙන අතරවාරයේ පෞද්ගලික ප්‍රතිකාර කිරීමෙනි. වෙනත් රටවල නම් රජයේ ‍ව්‍යෛද්‍යවරු පෞද්ගලික රෝහල්වල සේවය කරන සිරිතක් ඇත්තේ නැත. පෞද්ගලික රෝහල්වල ඇත්තේ ඒවාටම අයත් වෛද්‍යවරුය.

මෙරට වෛද්‍යවරු රෝහල්වල සේවය කරනවාට වඩා වැඩියෙන් කැමැත්තක් දක්වන්නේ පෞද්ගලික ප්‍රතිකාරවලටය. රජයේ රෝහලේ දී යකුන් රකුසන් මෙන් හැසිරෙන වෛද්‍යවරයා පෞද්ගලික සායනයේ දී දෙවියන් මුනිවරුන් බවට පත්වේ. ඒ මුදලේ බලය නිසා ය. පසුගිය කාලයක  වෛද්‍යවරු සහ සෞඛ්‍ය ඇමතිවරය අතර ගැටුමක් හටගත්තේ රෝහල්වල සේවය කළ යුතු කාල වේලාවේ පෞද්ගලික සේවයේ යෙදෙන වෛද්‍යවරුන් කොටුකිරීමට සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කිරීම හේතුවෙනි. ඒ කාලයේ වැටලීම්වල දී රාජකාරි වේලාවේ පෞද්ගලික සේවයේ යෙදුණු වෛද්‍යවරු හසු වී ද තිබුණි.

විශේෂඥ දොස්තරෙකු රෝහලේ දී හමුවීම රෝගියකුට කණකස්බෑවා විය සිදුරෙන් අහස දකිනවාටත් වඩා අසීරුය. ඔවුන් හමුවිය හැක්කේ චැනල් සේවය හරහා පමණි. චැනල් සේවයේ දී එක් රෝගියකුගෙන් වෛද්‍යවරයා හමුවීම සඳහා පමණක් රුපියල් දහසකට වඩා වැඩි මුදලක් රෝගියකුගෙන් අය කෙරේ. මීට දින දෙකකට පෙර රුපියල් එක්දහස් හයසීයක් ගෙවා වෛද්‍යවරයකු චැනල් කිරීමට ලේඛකයකුට සිදුවිය. ඒ මුදලෙන් එක්දහස් හාරසියයක් දොස්තරගේ සාක්කුවට ය. මට ලැබුණු අංකය 70 ය. මා ළඟට එනවිට දොස්ත‍රගේ ආදායම 98000කි. ඒ එක් දිනක එක් හවසක ආදායමය.  වෛද්‍යවරයා පැමිණෙන්නේ හවස 4.00න් පසුව බවයි චැනල් ආයතනයෙන් කීවේ. නිශ්චිත වෙලාවක් නැත. හතරෙන් පසුව කොයි වේලාවේ හෝ වෛද්‍යවරයා එනතුරු රෝගියා කාලය කා දමමින් කල්මැරිය යුතුය. දොස්තරගේ කාලය තරම් රෝගියකුගේ කාලය වටින්නේ නැතැයි දොස්තරලා සිතනවා විය යුතුය. අවසානයේ වෛද්‍යවරයා පැමිණියේ හවස 6.00ත් පසු වී ය. එක් රෝගියකු වෙනුවෙන් විනාඩි දෙක තුනක්වත් වැය කරන්නට ඔහුට හැකියාවක් වුවමනාවක් නැත. මුදල් ගෙවා වුව නියමාකාර සේවයක් රෝගියාට ලබා ගත නොහැකිය. ඉක්මනින් රෝගීන් ඉවරකර ඊළඟ චැනල් සෙන්ටරයට යාමට දොස්තරට හදිස්සි බැවිනි. එසේ උපයන මුදලින් අඩුම තර‍මින් ආණ්ඩුවට බදු ගෙවන්නටවත් ඔවුන් සූදානම් නැත. ආණ්ඩුවේ මුදලින් එනම් ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගෙන ඔවුහු යළිත් ජනතාවම සූරාකති. ඒ හැටි සේවයක් ලබා දීමත් නොවේ. ඊට අමතරව රජය වැටුප් ද බදු සහිත වාහන ද දරුවන්ට පාසල් ද ලබා දිය යුතුය.

සිංගප්පූර් ගිවිසුමට වෛද්‍යවරුන් විරුද්ධ වන්නේ මහා ජාතිවාදි බවක් මවාපාමිනි. නමුත් පෞද්ගලික රෝහල්වල දී ඔවුහු මුදලුත් ලබා ගනිමින් අඩු සුදුසුකම්වලින් යුත් නර්ස්ලා ලවා ලෙඩුන්ට බෙහෙත් දෙවති. බෙහෙත් විද්දවති. එහි දී ජනතාවාදය ඔවුන්ට මතක නැත. ඉන්දියානු ගිලන්රථ සේවයට වෛද්‍යවරු දැක් වූ විරෝධය ඔවුන්ගේ හැබෑ නිරුවත පෙන්වන කදිම අවස්ථාවකි. අද එම ගිලන්රථ සේවය බස්නාහිරත් දකුණේත් ජනතාවට වචනයෙන් කිව නොහැකි තරමේ සේවයක් කරමින් තිබේ. ගිලන් රථ සේවයට විරෝධය පෑ පොහොට්ටු පක්ෂයේ මැයි රැළියේ දී අසනීප වූ පුද්ගලයන් ගේ පවා සේවයට පැමිණියේ සුවසැරිය ගිලන් රථයකි. එහෙත් අද පවා එම ගිලන් රථයක් රජයේ රෝහලක රථ ගාලක ගාල් කරන්නට හැකියාවක් නැත. ඒ වෛද්‍යවරුන්ගේ විරෝධය නිසාය. අත් එම ගිලන්රථ ජනතාවට සේවය කරන්නේ පොලිස් ස්ථානවල රිය ගාල් කරගෙන ය.

පසුගිය දිනක විදුලි ඉංජිනේරුවන් කියා තිබුණේ ඔවුන්ගේ ජනන සැලැස්ම අනුමත නොකරන්නේ නම් නොරොච්චෝලේ විදුලි බලාගාරය වසා දමා සේවයෙන් ඉවත් වන බවය. අලුත් ගල් අගුරු බලාගාරවලට පරිසර සහතිකය නොදෙන්නේ නම් විදුලි බලාගාරය ක්‍රියාවිරහිත කරන්නට ද විදුලි ඉංජිනේරුවෝ තර්ජනය කරති.

පරිසර සහතිකය යනු යම් කර්මාන්තයකින් පරිසරයට හානියක් නොවන බවට ලබා දෙන සහතිකයකි. පරිසරයට හානිකර කම්හලකට පරිසර සහතික ලැබෙන්නේ නැත. එවැන්නක් ලබාදෙන්නේ නම් එය වරදකි. එසේ නම් පරිසර සහතිකය ලබා නොදෙන්නේ නම් වර්ජනය කරන්නේ යැයි කියා විදුලි ඉංජිනේරුවන් කරන තර්ජනය ගැන කිව යුත්තේ කුමක් ද?

නොරොච්චොලේ ගල් අගුරු බලාගාරයේ නරක ප්‍රතිඵල මේ වන විටත් ඒ ප්‍රදේශයේ ජනතාව අත්විඳිමින් සිටිති. ජනතාවගේ වගාවන් ආලාපාලු වී තිබේ. ගල් අගුරු අළු නමැති රකුසාට බිලි වී ජනතාව අන්ත අසරණ වී සිටිති. චර්ම රෝගද ස්වසන රෝගද ජනතාවට එයින් අත් වී තිබේ. අඩුම වශයෙන් නොරොච්චෝලේ අවට මුහුදේ මසෙකු පවා නැති තත්ත්වයකට මේ වනවිට එම ප්‍රදේශයේ පරිසරය අන්ත දූෂිත තත්ත්වයකට පත් වී තිබේ. ජනන සැලැස්මට ගල් අගුරු බලාගාරවලට අවසර දිය යුතු යැයි විදුලි ඉංජිනේරුවන් නර්ජනය කරන්නේ ඒ කිසිවක් සැලකිල්ලට නොගමිනි.

විදුලිබල මණ්ඩලය මේ වන විටත් ඇත්තේ පාඩු ලබන තත්ත්වයේය. නිලධාරින්ගේ මෙගා පඩි නඩි ඔවුන් අත්විඳින පහසුකම් ආයත‍නයේ දූෂණ වංචා වැනි බොහෝ දේ මණ්ඩලය පාඩු ලබන්නට බලපා තිබේ. විදුලිබල මණ්ඩලය ඉතා නාස්තිකාර ලෙස ඉදි කළ රැස්වීම් ශාලාවක් පිළිබඳ පුවතක් වාර්තා වී තිබුණත් වැඩි ඈතක දී නොවේ.  මණ්ඩල‍යේ ඉහළ ම නිලධාරින් සිදුකරන වැටුප් ගසාකෑම් ද දැන් ප්‍රසිද්ධ රහසකි. ජනතාවට ආදරයෙන් ය කියමින් ගල් අගුරු බලාගාර පතුරුවන්නට කරන ත‍රමේ උනන්දුවක් විදුලි ඉංජිනේරුවන්ට ආයතනයේ තමන්ගේම පැලැන්තියේ අයකරන අපරාධ නැවැත්වීමට නොමැති වීමට හේතුව පැහැදිලි නැත.

ආණ්ඩුවේ වරද මෙවැනි තර්ජන හමුවේ කොන්ද නමන්නට සූදානම් වීමය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවතියේ නම් සමහර විට ගල්අගුරු බලාගාරය නිසා පීඩාවට පත් ජනතාව විදී බස්සා ඉංජිනේරු හඬ බටපත් කර දමනු ඇත නැතහොත් විදුලි ඉංජිනේරුවන්නේ නිවෙස් ඉදරිපිට සුදු වෑන් නවතා තබනු ඇත.

යහපාලන ආණ්ඩුවේ නිදහස අවකල් කිරියාවේ යොදවා නිලධාරින්ට ආණ්ඩුව නටවන්නට තවත් කොතරම් කාලයක් ඉඩ දෙන්නේ ද යන පැනය ආණ්ඩුවට නැතත් ජනතාවට තිබේ. දැන් සිදු වී ඇත්තේ බල්ලා වලිගය වනනු වෙනුවට වලිගය බල්ලා වනවන්නට පටන් ගැනීමයි. ඉතිං?

සිරිසේන රාජපක්ෂ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *