|

ගෝඨාභයට එරෙහිව පොහොට්ටුවෙන් නම් ‍තුනක්

ආචාර්ය ඩබ්ලිව්.ඒ.අබේසිංහ මහතාගේ ලේඛන දිවියට පනස් වසරක් පිරීම නිමිත්තෙන් පැවැති උපහාර උලෙළ පසුගියදා කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වුණා. එයට සහභාගී වූ ජනාධිපතිතුමා කීවේ ඩබ්ලිව්.ඒ.අබේසිංහ මහතා මේ යුගයේ දී ආඩම්බරයෙන් කතා කළ හැකි මහා ගත් කතුවරයෙක් බවයි. ඒ සමගම එතුමා ජනාධිපතිවරණය දා රෑ තමන් ගතකළ හැටි ගැනත් තොරතුරු හෙළිදරව් කළා.

තමන් හත් වතාවක් මැතිවරණවලට තරග කළත් එක වතාවක්වත් ඡන්දය ගණන් කරන තැනට නොගිය බවත් රෑ දහය දහයාමාර වනවිට නිදාගත් බවත් ජනාධිපතිතුමා කීවා. හත්වැනි වතාවට තරග කළේ ජනාධිපතිවරණයට බව කී ජනාධිපතිතුමා එදින රෑ කුරුණෑගල ප්‍රදේශයේ ගත කළ බවත් දහය දහයාමාර වනවිට නිදාගත් බවත් කීවා. එදින මහ රෑ තම බිරිය කතාකොට රනිල් වික්‍රමසිංහ මහතා කතා කරන බව කී බවත් තමා ඇ‍ඳේ සිටම එයට පිළිතුරු දුන් බවත් කී ජනාධිපතිතුමා ‘දිනුම් නේද’ යි වික්‍රමසිංහ මහතා ඇසූ බවත් දිනුම්දැයි තමා විමසූ බවත් පැවසුවා. ඔව් දිනුම් කොහෙද ඉන්නේ යැයි වික්‍රමසිංහ මහතා විමසූ විට තමා ඉන්නේ කුරුණෑගල බවත් උදේ පැ‍මිණෙන බවත් කියා නැවතත් නිදාගත් බව කීවේ බොහෝ දෙනා මවිතයට පත් කරමින්.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උලෙළටද ජනාධිපතිතුමා පසුගියදා සහභාගි වුණා. හරින් ප්‍රනාන්දු, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් එයට සහභාගී වී සිටියා.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට තමන් මෙවර පැමිණියේ දෙවන වතාවට බව කී ජනාධිපතිතුමා මීට පෙර අවස්ථාවේ පැමිණියේ 1976 දී බවත් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු ලෙස එම අවස්ථාවේ පැමිණියේ තම වෘත්තිය සමිතියේ වාර්ෂික මහා සභාවට බවත් ප්‍රකාශ කළා. තම දිවියේ දී විවිධ රැකියා කිහිපයක් කළ බවත් පසුව දේශපාලන ක්‍රියාකාරිකයකු වූ බවත් ජනාධිපතිතුමා කීවා.

ජනාධිපතිතුමාගේ කතාවේ දී එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ විභාග මෙන්ම ජීවිතය සමත් වූ මතු පරපුරක් රටට දායාද කිරීමට සියලු දෙනා වගකීම් ඉටු කළ යුතු බවයි.

උසස්පෙළ සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ලබාදීම ගැන හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා නැවත මතුකළ යෝජනාව ගැන සඳහන් කරමින් ජනාධිපතිතුමා කීවේ එම යෝජනාවට විරුද්ධ වුණේ තමන් බවයි. ලැප්ටොප් පරිගණකයට අධ්‍යාපනයට අවශ්‍ය දේ ඇතුළත්කොට අනවශ්‍ය දේ ලොක් කරදෙන බව නිලධාරින් තමන්ට කීවත් එම ලොක් ඇර ගැනීමට දැන් ඉන්න ළමයින්ට හැකියාව තිබෙන බව ජනාධිපතිතුමා කීවා. ජනාධිපතිතුමා කීවේ එලෙස වැරදි ලෙස භාවිත කිරීමට ඉඩ ඇති නිසා තමන් එම යෝජනාවට විරුද්ධ වූ බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයටද ජනාධිපතිතුමා පසුගියදා එක් වුණා. හරින් ප්‍රනාන්දු ඇමැතිවරයාත් මනුෂ නානායක්කාර නියෝජ්‍ය ඇමැතිවරයාත් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. එහි දී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ විදේශගත ශ්‍රමිකයන් යන්ත්‍ර සූත්‍ර, ගල් නොව මිනිසුන් බව සිතා කටයුතු කළ යුතු බවයි.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සහභාගී වුණා. එහි දී කතා කරමින් අගමැතිතුමා රටේ බදු බර හා ණය බර ගැන පැහැදිලි කළා.

රටේ ණය බර තුන් ගුණයකින් වැඩිකර රට විපතට ඇද දැමූ අයම දැන් ආණ්ඩු ගෙන යන්නේ කොහොමදැයි ඇසීම දෛවයේ සරදමක් බව අගමැතිතුමා එහි දී කීවා. කෙසේ හෝ ලෙඩා මැරෙන්න නො දී රැක ගත්තේ දැන් ලෙඩා භාරව සිටින වෛද්‍යවරුන්ගේ හා හෙදියන්ගේ දක්ෂතාවය නිසා බව අගමැතිතුමා පෙන්වා දුන්නා. බරපතළ අර්බුදයකට මුහුණ දී තිබූ රටේ ආර්ථිකය මේවනවිට ගොඩගෙන ස්ථාවර තත්ත්වයට පත්කොට ඇති බව අගමැතිතුමා පැවසුවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝගයක් කරමින් අගමැතිතුමා කීවේ බදු අඩු කරන හැටි ඔප්පු කර පෙන්වන්න යැයි තමා අභියෝග කරන බවයි.

රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඉඩකඩ ඇති නව ගොඩනැගිලි ඉදිකිරීමට වජිර අබේවර්ධන ඇමැතිතුමා ක්‍රියාකිරීම අගය කළ අගමැතිතුමා ගලේවෙලට එයින් කාර්යාලයක් ලබාගැනීමට ක්‍රියාකිරීම ගැන ජේ.සී.අලවතුවල නියෝජ්‍ය ඇමැතිතුමා පැසසුමට ලක් කළා. එමෙන්ම මාතලේ ප්‍රදේශයේ සංවර්ධනය සඳහා වසන්ත අළුවිහාරේ ඇමැතිතුමා දක්වන උනන්දුව ගැනද සඳහන් කිරීමට අගමැතිතුමා අමතක කළේ නැහැ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා පසුගියදා පිටත්ව ගියා. කුවේටය, බ්‍රිතාන්‍යය සහ තවත් රටවල් කිහිපයක එම යුවල සංචාරයේ නිරත වනු ඇති.

මේ අතර අගමැතිතුමා ගලේවෙල දී කළ අභියෝගයට පිළිතුරක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත්කොට තිබුණා. ඒ මහතා කියා තිබුණේ යුද්ධය අවසන් කළ තමන්ට බදු අඩුකිරීම එතරම් බරපතළ කාර්යයක් නොවන බවයි. බදු අඩුකරන ආකාරයක් එහි සඳහන් වූයේ නැහැ. හැකියාවක් තිබුණා නම් තම පාලන කාලයේ බදු අඩු නොකර ඉතා ඉහළ බදු මට්ටමක් පවත්වාගෙන ගියේ ඇයිදැයි විචාරකයෝ විමසනවා.

සජිත් ‍ප්‍රේමදාස ඇමතිවරයා ඉකුත් සතියක කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව, මාකඩුවාවෙ “සුබසෙන්පුර” උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වීමට නියමිතව තිබිය දී පිළිගැනීමේ ගීතය ගැයීම පවරා තිබුණේ කරඹේ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකටයි. විදුහලේ එකම සංගීත භාණ්ඩයක්වත් නොතිබුණත් චිත්‍රාංගනී සෝමරත්න සංගීත ගුරුතුමිය නොපැකිළව අභියෝගය භාර ගත්තා. ඒ වනවිටත් පාසලට සර්පිනාවක් මිල දී ගැනීමට සංගීත ගුරුතුමිය සහ ළමයි වෙනම වැඩපිළි‍ෙවළක් යොදා තිබුණා. අලුත් සර්පිනාවක් රුපියල් 50, 000/= පමණ වන නිසා වැඩේ පහසු වී තිබුණේ නෑ. විවෘත කිරීමේ උත්සවයේ පිළිගැනීමේ ගීතයට සජිත් බොහෝ කැමති වුණා. උත්සව සභාව පැවැත්වෙන අතර ගායන කණ්ඩායමේ ළමයින් සජිත් ළඟට ආවේ ඉල්ලීමක් ද ඇතිවයි. “සර් අපේ ඉස්කෝලෙ සංගීතය ඉගෙන ගන්න ළමයින්ට සර්පිනාවක් නෑ. අපි සර්පිනාවක් ගන්න ආධාර එකතු කරනවා. පොළක් දාලත් සල්ලි ටිකක් හොයා ගත්තා. ගෙවල් ගාණෙත් යනවා. අපේ මේ වැඩේට පුළුවන් නං උදව්වක් කරන්න” ළමයින්ගේ අසරණකම ගැන සජිත්ට ඇතිවූයේ මහත් කනගාටුවක්. “හරි… මම තව සති දෙකකින් අඹන්පොල “සිහනදගම” විවෘත කරන්න එනදාට ඔයගොල්ලන්ට අලුත්ම සර්පිනාවක් අරන් එන්නම්” සජිත් කියද් දී ළමෝ පුදුමයෙන් බලා සිටියා. පොරොන්දු වූ පරිදි ජූනි 10 වැනිදා “සිහනදගම” විවෘත කිරීමේ උත්සවයට සජිත් පැමිණියේ සිය ව්‍යාපාරික හිතවතකු ලබාදුන් අලුත්ම සර්පිනාවද සමඟයි. ඒ වනවිට රුපියල් දහස ගානේ එකතු කරමින් පිහිටුවූ සර්පිනා අරමුදල රුපියල් 30, 000/=ද ඉක්මවා තිබුණා. “දැන් ඒ සල්ලි යොදවලා ඔයගොල්ලන්ගේ කලා කටයුතු වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්න” සජිත් කීවා. මේ කතාබහ අතර රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ලියූ “දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ…” ගීතය කරඹේ මහා විද්‍යාලයේ ආර්. තිනේෂා කාවින්දි සිසුවිය ගායනා කරද් දී සියල්ලෝම හැඟුම්බර වුණා.

සෙනසුරාදා අගමැති රනිල් වික්‍රමසිංහ ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන සමඟ ගලේවෙල ගියේ රුපියල් ලක්ෂ 940ක වියදමින් ඉදිකරන ලද තෙමහල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්විමටයි.

ගලේවෙල ප්‍රා‌දේශීය ලේකම් කාර්යාලය විවෘත කළ අගමැතිවරයා කොළඹ බලා පිටත්වුව ද අනෙක් මැති ඇමැතිවරුන්ට කොළඹ ඒමට හැකිවූයේ නැහැ.ඇමැති වජිර එතැනින් පිටත්ව කෙලින්ම ගියේ ඉබ්බාගමුව ප්‍රාදේශීය ලෙක්ම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට.ඒ ගොඩනැගිල්ල රුපියල් ලක්ෂ 465ක වියදමින් ඉදිකරණ ලද්දක්. ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතවුල මහතාත් වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතාත් මේ අවස්ථාවට ඒක්ව සිටියා. ඉබ්බාගමුව කාර්යාලය විවෘත කිරීමෙන් පසු ඇමැති වජිර කීවේ ඉතා වැදගත් රාජකාරියක් සඳහා තමන්ට කොළඹ යා යුතු බවයි.

”නෑ. ඔබතුමාට එහෙම බේරිලා යන්න දෙන්න බැහැ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉදිකරපු නිල සෙවණ කාර්යාල විවෘත කරන්නත් තියෙනවා. අපිත් එක්ක ඒවාටත් යන්න ඕනෑ.” එස්.බී. නාවින්න ඒසේ කියද්දී අලවතුවල නියෝජ්‍ය අමාත්‍යවරයා ද වජිර ඇමතිවරයාට තම ගමට ආ පසු ඒසේ යාමට ඉඩ දිය නොහැකි බව කීවා. අවසානයේ තම දේශපාලන සඟයන්ගේ පෙරැත්තය නිසා රෑ බෝවන තුරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල සෙවණ කාර්යාල විවෘත කිරීම් සඳහා සහභාගීවීමට අබේවර්ධන ඇමතිවරයාට සිදුවුණා.

සඳුදා ඇමැති වජිර ගත කළේ ගාල්ලේ. හික්කඩුව හා ගෝනාපීනුවල ගංවතුරින් අවතැන්වූවන් සඳහා වන්දි මුදල් වශයෙන් ලක්ෂ 41ක චෙක්පත් ප්‍රදානය කළ ඇමතිවරයා සවස යක්කලමුල්ලේ දී ගංවතුරින් අවතැන් වූ 525 දෙනකු සඳහා රුපියල් ලක්ෂ 120ට වැඩි මුදලක චෙක්පත් ප්‍රදානය කිරීමට ඒක්ව සිටියා.

මේ අතර ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන යුකියෝ හතොයාමා මැතිතුමා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ සවස 5.00ට ඇමැති වජිර ඔහු පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපොළට යා යුතුව තිබුණ ද චෙක්පත් බෙදීමේ කටයුත්ත සඳහා පැමිණීමට නියමිතව සිටි බන්දුලලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රමාදවීම ගැටලුවක් වුණා. අවසානයේ බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා යක්කලමුල්ල ආසන්නයට පැමිණෙද් දී චෙක්පත් බෙදීම අතරමග නවතා ඇමැති වජිර ජපානයේ හිටපු අගමැතිවරයා පිළිගැනීම සඳහා කටුනායකට ගියේ ඔහුට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ලබාදීමේ අරමුණින්.

ජපානයේ හිටපු අගමැතිවරයා වෙනුවෙන් ඇමැති වජිරගේ නිවසේ බදාදා රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබූ අතර ඒ සඳහා මැති ඇමැතිවරු විශාල පිරිසක් ද ඒක්ව සිටියා. හතොයාමා මහතා ආහාර ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔහුගේ වැඩිම අවධානයක් යොමුවූයේ එතැන පිළියෙළ කරමින් තිබූ ආප්ප ගැන. ඔහු එතැනට ගොස් ආප්ප සාදමින් සිටි තැනැත්තාගෙන් ආප්ප සාදන ආකාරය පවා අසා දැනගත්තේ ආප්පවල රස බලමින්.

ඉතා සුහදශීලී රාත්‍රී භෝජන සංග්‍රහයේ දී හිටපු අගමැතිවරයාත්, වජිර අබේවර්ධන, තිලක් මාරපන, විජේදාස රාජපක්ෂ, රංජිත් මද්දුමබණ්ඩාර රාජිත සේනාරත්න ඇතුළු මැති ඇමැතිවරුත් අනෙකුත් අමුත්තන් සියලු දෙනාත් ඇති තරම් විනෝද වූයේ ගීත රැසක රසාස්වාදයත් ලබමින්

ජනතා විමුක්ති පෙරමුණ විජිත හේරත් මන්ත්‍රීවරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙනා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සංශෝධනය පිළිබඳ විවිධ මත පළවෙමින් තිබෙනවා.මේ හේතුව නිසා ජවිපෙ නායකයින් මේ දිනවල විද්වත් පිරිස් සමඟ සංශෝධනය පිළිබඳව කරුණු සාකච්ඡා කරමින් සිටිනවා. පසුගියදා 20 පිළිබඳ තිබූ එවැනි සාකච්ඡාවකදි නීතිඥවරයෙක් විජිත හේරත්ගෙන් මෙවැනි කරුනක් ගැන විමසා සිටියා”මන්ත්‍රීතුමා මොකක්ද මේ රනිල්ගේ වුවමනාවට මේ සංශේධනය ගෙනාවා කියන්නේ. මාසයක් රනිල්ට බලය ලැබෙනවා කියලත් කතාවක් යනවා.” නීතිඥයා විමසුවා.

”අපි යෝජනාව දැම්මට පස්සේ ඊට කලින් මවපු බිල්ලෝ මවන්න සමහර ඔඩොක්කු කුක්කන්ට බැහැ. ඒ නිසා දැන් පරණ පුරුද්දට රනිල් පටලවා ගන්නවා. විස්ස ක්‍රියාත්මක වෙන්නේ 2020 ජනවාරි 08න් පස්සේ. විස්ස ක්‍රියාත්මක වීමත් සමඟ 2020 පෙබරවාරි මාසේ 08 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා අපි යෝජනා කරනවා. නමුත් දැන් තියෙන ආණ්ඩුව 2020 සැප්තැම්බර් වෙනකල් තියෙනවා. විස්ස නිසා 2020 පෙබරවාරි පාර්ලිමේන්තුව විසුරුවනවා. ඇත්තටම වෙන්නේ මාස 7ක් කලින් රනිල්ගේ ආණ්ඩුව අවසන් වෙන එකයි. ඒක රනිල්ට පාඩුයි. එතකොට කියනවා රනිල්ට ජනවාරි සිට පෙබරවාරි දක්වා මාසයක බලයක් යනවලූ. මාසයකින් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්න යෝජනා කරන්නේ රටේ අස්ථාවරත්වයක් ඇතිවෙයි කියලා. නමුත් කවුරු හරි යෝජනා කරනවානම් 2020 ජනවාරි 09වෙනිදම විසුරුවා හරින්න කියලා අපි ඒකටත් කැමතියි.” විජිත හේරත් කීවා.

”එතකොට මන්ත්‍රීතුමා මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයට සහ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට මොකද වෙන්නේ.” විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විමසුවා. ”මූලික වශයෙන් අපි පුද්ගල සාධක ගැන හිතලා සංශෝධනය හැදුවේ නැහැ. නමුත් මේකෙන් මෛත්‍රී ජනාධිපතිතුමාට වාසියක් තියෙනවා කියලා තර්කයක් හදන්න පුළුවන්. විස්ස ක්‍රියාත්මක වෙලා ඊළඟ පාර්ලිමේන්තුව මගින් ජනාධිපති පත්වෙනකල් මෛත්‍රීට විස්සේ ප්‍රතිපාදන අනුව ජනාධිපති පුටුවේ ඉන්න පුළුවන්. නැත්නම් මෛත්‍රී 2020 ජනවාරි 09වෙනිදා ගෙදර යන්න ඕනෑ. ඒ නිසා කවුරු හරි කියනවානම් මේක මෛත්‍රීගේ වුවමනාවට කරනවා කියලා ඒකට තර්කයක් තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ පැත්තෙන් බැලූවොත් දැන් තියෙන ව්‍යවස්ථාව අනුව මහින්දට රටේ නායකයා වෙන්නත් බැහැ ආණ්ඩුවේ නායකයා වෙන්නත් බැහැ. මොකද රටේ නායකයාත් ආණ්ඩුවේ නායකයාත් ජනාධිපති නිසා. නමුත් විස්සට අනුව මහින්දට ආණ්ඩුවේ නායකයා වෙන්න පුළුවන්. මොකද 20වැනි සංශෝධනය අනුව ආණ්ඩුවේ නායකයා වෙන්නේ අගමැතිවරයායි. ඒ නිසා කාට හරි කියන්න පුළුවන් මේක මහින්දගේ වුවමනාවක් කියලත්’.

”එතකොට මන්ත්‍රීතුමා මේක සම්මත කර ගන්නේ කොහොමද? පළමු වටයේ මේ සංශෝධනයට 2/3ක් ඕනෑ. ඒ කියන්නේ මන්ත්‍රීවරු 150ක්” සාකච්ඡාවට සම්බන්ධ වූ ස්වාමින්වහන්සේ නමක් විමසා සිටියා. ඊට පිළිතුරු දුන්නේ අනුර දිසානායක මන්ත්‍රීවරයාය. ”අපිට ඉන්නේ මන්ත්‍රීවරු 06යි. අපිට අභියෝගයක් තියෙනවා. අපිට 2001 මන්ත්‍රීවරු හිටියේ 10යි. ඒ වෙලාවේ 17වැනි සංශෝධනය සම්මත කරගත්තා. එදා මන්ත්‍රීවරු 223ක් 17ට එකඟ වුණා. මොකද? එදා පාර්ලිමේන්තුවේ වෙනත් අරාජික තත්ත්වයක් තිබුණා. ඒක අපි ප්‍රයෝජනයට ගත්තා. අද පාර්ලිමේන්තුවේ සංයුතිය කොහොමද? එජාපයේ 106යි. මහින්දගෙ 54යි. ටීඑන්ඒ 16යි. මෛත්‍රීගේ 23යි. දොරකඩ 16යි. දේවානන්ද ළඟ 01යි. මේ තත්ත්වය අපිට පාවිච්චි කරගන්න පුළුවන්. මොකද ආණ්ඩුවට 2/3ක් තිබුණ වෙලාවේ සම්මත කරගත්ත සංශෝධන ප්‍රජාතන්ත්‍රවිරෝධී ඒවා. නමුත් 17 සහ 19 පමණයි ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර වුණේ. ඒවා සම්මත කරගත්තේ පාර්ලිමේන්තුවේ පොදු සම්මුතියෙන්. අදත් පාර්ලිමේන්තුවේ තිබෙන සංයුතිය හොඳයි. මහින්ද විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න එකඟයි. මෛත්‍රීපාල සිරිසේන අවස්ථා ගණනාවක දී ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිව්වා. රනිල් වික්‍රමසිංහ අවස්ථා ගණනාවක දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟවෙලා තිබෙනවා. මේ තිදෙනාම අහෝසි කරන්න එකඟතාවයක් තිබෙනවා. ඒ නිසා අපිට යම් විභවයක් තිබෙනවා විස්ස සම්මත කර ගැනීමට. ඒ වගේම වෙල්ගම, බන්දුල, ප්‍රසන්න රණතුංග, වාසුදේව වගේ ඒකාබද්ධයේ පිරිස් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ මූලික එකඟතාවයේ ඉන්නවා.” අනුර දිසානායක පැහැදිලි කළා.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්ද විමසීමේ දී ඒකාබද්ධ විපක්ෂයේ හා ශ්‍රීලනිප 16 කණ්ඩාය‍ම් අතර ඇති වූ බෙදීම් පසුගිය දිනවල වැඩි වැඩියෙන් ප්‍රකාශ වන්නට වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් කීවේ නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කිරීමේ හැකියාවක් නැති බව හා ආණ්ඩුවෙන් එන අය තම පක්ෂයට එකතු විය යුතු බවයි. එමෙන්ම ශ්‍රීලනිපයේ පිරිස සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කෝපයද සාධාරණ බව ජී. එල්. පීරිස් මහතා කියා තිබුණා.

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍යයට කීවේ ඒකාබද්ධ විපක්ෂයේ භේද කිරීමට ආණ්ඩුව විවිධ පිල්ලි එවනබවයි. ඒවායින් පරිස්සම් විය යුතු බව ඒ මහතා කියා තිබුණා.

එක්සත් සමාජවාදී පෙරමුණේ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් වාසුදේව නානායක්කාර මහතා කීවේ තම පක්ෂය ඇතුළු කුඩා පක්ෂ ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පා පුවරුවේ බවයි. ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩු විරෝධී වැඩපිළිවෙළක් නැති බවත් එවැන්නක් ඉක්මනින් ගොඩනැගිය යුතු බවත් නානායක්කාර මහතා කීවා. වාසුදේව, දිනේෂ්, ගම්මන්පිල, විමල් ආදීන් සිටින්නේ ශ්‍රීලනිපයෙන් එන පිරිසක් හවුල් කරගෙන ආණ්ඩු විරෝධී පෙරමුණක් ගොඩනැගිය යුතුය යන මතයෙහි. කෙසේ වෙතත් පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ බහුතරය ශ්‍රීලනිප කණ්ඩායම භාරගැනීමට සූදානමක් නැහැ.

මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කෙෂාප් මහතා පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. ලංකාවේ තම සේවා කාලය අවසන් කොට ආපසු යාමට පෙර සුහද හමුවීමක් ලෙස කෙෂාප් මහතා මේ අවස්ථාව යොදාගෙන තිබෙනවා. එහි දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ අදහස ගැනද තානාපතිතුමා කරුණු දක්වා තිබෙනවා. අතුල් කෙෂාප් මහතා මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේ තම තානාපති කාර්යාලය මගින් කළ සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ සාමාන්‍ය ජනයා අතර ගෝඨාභය බරපතළ ලෙස අප්‍රසාදයට පත්ව සිටින බවයි. රාජ්‍ය තාන්ත්‍රිකයන් හා ගනුදෙනුවල දී ගෝඨාභයගේ හැසිරීමද තානාපතිවරයාගේ විවේචනයට ලක්වුණා. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැති බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් අඟහරුවාදා පැවත්වුණා. ඉන්පසුව මාධ්‍යයට ප්‍රකාශයක් කළ උදය ගම්මන්පිල මහතා කීවේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස නම් හතරක් යෝජනා වූ බවයි. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ හා දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ නම් ඒ සඳහා යෝජනා වී ඇති බව ඒ මහතා කීවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ මහින්ද පිලේ අපේක්ෂකයා ලෙස කරළියට ගෙන එන්නට විශාල මෙහෙයක් කරමින් සිටි ආචාර්ය දයාන් ජයතිලක මහතා වෙනත් අතක් බලාගැනීමට තීරණය කර ඇති බව පසුගිය දිනවල දැනගන්න ලැබුණා. සති අන්ත පුවත්පතකට ඒ මහතා ප්‍රකාශකොට තිබු‍ෙණ් ගෝඨා යන්නේ වැරදි මගක බවත් ඔහු සමඟ එක්වී සිටින්නේ යුදවාදී හා ජාතිවාදී පිරිසක් බවයි. ඒ සමගම වාර්තා වුණේ දයාන් ජයතිලක මහතා රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කොට ඇති බවයි. දයාන් ජයතිලක මහතා ගෝඨා අතහැර වෙනත් මගක් තෝරාගෙන ඇති බව මෙම වාර්තාවලින් පැහැදිලි වුණා.

Email Facebook0 Twitter Google+ Pinterest0 WhatsApp Facebook Messenger

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *