ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බරපතල වැඩ ඇතිව හය මසක සිරදඬුවමක්

ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට විරුද්ධව හෝමාගම දිසා අධිකරණයේ දී අද දින තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිතව තිබූ නඩුව පෙරවරු 9.00 ට පමණ විභාගය ගැනීම ආරම්භ වූ අතර එම නඩු තීන්දුව දැක බලා ගැනීමට උසාවිය සංකීර්ණය තුළත් උසාවි සංකීර්ණයෙන් පිට මහපාරේත් භික්ෂූන් වහන්සේ 50 නමක් පමණ ද ගිහියන් පන්සීයක පමණ පිරිසක් රැඳී සිටිනු දක්නට ලැබිණි. ඔවුන් වැඩිහරියක් ගලබොඩඅත්තේ ඥණසාර හිමියන් නායකත්වය දරන බොදුබල සේනා සංවිධානයේ සාමාජිකයන් බව ඔවුන්ගේ කතාබහට කන්දීමේ දී පෙනී ගියේය.

විත්තිය වෙනුවෙන් නීතිඥ කෝසලී හේවාවසම් මහත්මිය සමඟ මංජුල මාකුඹුර මහතා පෙනී සිටියහ. මංජුල මාකුඹුර මහතා විත්තිය වෙනුවෙන් දීර්ඝ දේශනයක් කළ අතර ඥණසාර හිමියන් ජාතිය සහ ආගම වෙනුවෙන් කරන ලද කැපවීම පෙන්වීමට පුවත්පත් වාර්ථා රාශියක ශිර්ෂපාඨ උසාවිය හමුවේ ඉදිරිපත් කළහ. ඒ අවස්ථාවේ විත්තිකාර හිමියන් විත්තිකූඩුවේ සිට සාවධානය එය අසාසිටින බවක් දක්නට ලැබිණි.

ඉන් අනතුරුව පැමිණිල්ලේ දේශනය කළ නීතිපති දෙපාර්ථමේන්තුවේ නීතිඥ ජනක බණ්ඩාර මහතා විත්තියේ නීතිඥතුමා සිය දේශනය කෙටියෙන් කරුණු සහිතව පැහැදිලි කරනු දක්නට ලැබිණි. උසාවියේ දුරකථනයක් හැඬ වූ පමණින් සාමාන්‍ය පුද්ගලයකු දඬුවම් විඳින බවත් උසාවිය තුළ දී නඩුවක පැමිණිල්ලක් වෙනුවෙන් පෙනී සිටි කාන්තාවකට ඇඟිල්ල දිගුකර තර්ජනය කිරීම වරදක් නොවන්නේද කියා විනිසුරුවරයා ඉදිරියේ තර්ක කරන ලදී. උසාවියේ ගෞරව රැක නොගතහොත් එය නරක පූර්වාදර්ශයක් වනු ඇති බවට ද නීතිඥ ජනක බණ්ඩාර මහතා තවත් කරුණු රැසක් ගෙනහැර දක්වා සිය පැමිණිල්ලේ දේශනය අවසන් කළේය. විත්තිකූඩුවේ පුටුවක් මත වාඩි වී සිටි විත්තිකාර ගලබොඩඅත්තේ හිමියන් පැමිණිල්ලේ දේශනය කරන විට එක් අවස්ථාවකදී පුටුවෙන් පැගීසිටිනු දක්නට ලැබිණි.

ඉන් සුවල්ප මොහොතකට පසු එනම් දහවල් 11.45 ට පමණ හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේඛ දිසාවිනිසුරු උදේෂ් රණතුංග මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකාර හිමියන් චෝදනා දෙකටම වරදකරු කරමින් මාස 6ක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් නියම කරන ලදී. ඊට අමතරව 1500/-බැගින් චෝදනා දෙකට රුපියල් 3000/- ක දඩ මුදලක් ගෙවීමටත්, දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 3 ක සිරදඬුවමකට යටත් වීමට සිදුවන බවත්, පැමිණිකාර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් 50.000/- ක වන්දියක් ගෙවන ලෙසටත් නියම කළේය.

තීන්දු ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව විත්තිකාර හිමියන් විත්තිකූඩුවේ සිට වේගයෙන් කෑගසනු දක්නට ලැබුණි. එවිට නඩුකාරතුමා උන්වහන්සේට අවවාද කරනු දක්නට ලැබිණි. උසාවිය ඉදිරියට පැමිණි ස්වාමින් වහන්සේලා කීපනමක් මාධ්‍ය හමුවේ ප්‍රකාශ ඉදිරිපත් කළ අතර සාමනේර ස්වාමින්වහන්සේලා යයි අනුමාන කළ හැකි ස්වාමින් වහන්සේලා දෙනමක් පමණ නඩු තීන්දුවට විරුද්ධව විවිධ සටන් පාඨ කියනු දක්නට ලැබිණි. උසාවි‍ සංකීර්ණයෙන් පිටත පොලිස් ජල බවුසර්, ආරක්ෂක වැටවල් තිබූ අතර අතිරේඛ පොලිස් බලඇනි ද රැඳී සිටියහ.

මනෝජ් රූපසිංහ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *