|

බදු බර ගැන බොරු බණ – සී.ජේ. අමරතුංග

බලය තියෙනකොට මොළය නෑ. මොළය තියෙනකොට බලය නෑ” යන්න පසුගිය කාලයේ දේශපාලන ක්ෂේත්‍රයේ ජනප්‍රිය වූ කතාවකි. මතක හැටියට ඒ කතාව කීවේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු ඇමැතිවරයාය. ඒ මහතා විපක්ෂයේ සිටි අවස්ථාවක කී මේ කතාව නැගලා ගියේ අපේ රටේ දේශපාලනඥයන් බොහෝ දෙනෙකුගේ කැරැට්ටුවට එය ගැළපෙන නිසාය. විපක්ෂයට ගිය විට තමන් ආණ්ඩු කළ හැටි, බදු ගහපු හැටි බඩු මිල වැඩි කළ හැටි මතක නැත. කතා කරන්නේ බුදුවරු වගේය. එසේ කරන්නේ ජනතාවට සියලු දේ අමතකව ඇතැයි සිතාය.

බලයේ ඉන්නකොට සමහරු කියන්නේ රුපියල් දෙදහස් පන්සීයෙන් පවුලකට ජීවත්විය හැකි බවයි. විපක්ෂයට ගිය විට පෙනෙන්නේ විසිපන්දහසකින්වත් ජීවත්වෙන්න බැරි බවකි. එවිට ජනතාව ගැන ඇතිවන්නේ මහා අනුකම්පාවකි. ජනතාව නම් මේකට කියන්නේ කිඹුල් කඳුළු කියාය.

පසුගිය ආණ්ඩුව බලයේ සිටියදී උද්ධමනය සියයට නවය දහය මට්ටමේ තිබුණි. බඩු මිල වැඩිවන බවක් එකල ඔවුන්ට දැනුණේ නැත. දැන් උද්ධමනය සියයට තුනක හතරක මට්ටමේය. උද්ධමනය පාලනය ආණ්ඩුවේ ප්‍රමුඛ හා සාර්ථක කාර්යයකි. විපක්ෂයටත් ඇතැම් මාධ්‍යවලටත් පේන්නේ බඩු මිල අහස උසට නැඟ ඇති බවකි.

ආරංචියේ හැටියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද දැන් මොළය පෑදී ඇති සැටියකි. එතුමා දැන් බදු අඩුකරන හැටි දන්නවාය. බලයේ ඉන්නකොට මේවා දැනගෙන හිටියේ නැත. දැනගෙන හිටියත් ක්‍රියාත්මක කළේ නැත. ණය මඟින් හා බදු මඟින් ධනය රැස්කර තම ඥාතීන්ට හා හෙන්චයියන්ට පුළුවන් තරම් යටිමඩි ගහගන්න දී තිබීම එකල ක්‍රියාත්මක වූ ප්‍රතිපත්තියයි.

භූමිතෙල් රුපියල් එකසිය එකට දෙන විට මිල වැඩි යැයි ධීවරයෝ උද්ඝෝෂණය කළහ. ආණ්ඩුව එය හැත්තෑවට අඩු කළේය. විපක්ෂයට ඒකත් මදිය. විපක්ෂය දැන් කියන්නේ අනේ මෙහෙම සූරාකෑමක් කියාය. මහින්ද භූමිතෙල් දුන්නේ එකසිය තුනටය. ඊට විරෝධය පෑ ධීවරයන්ට ලැබුණේ වෙඩි උණ්ඩය. ඒ එම ආණ්ඩුවේ පිළිවෙතයි. මේ ආණ්ඩුවේ පිළිවෙත ඊට වෙනස්ය.

මහින්ද කකුල කටේ දා ගත් හැටි

එදා තෙල් මිල හා අද තෙල් මිල ගැන ආණ්ඩුව පුවත්පත් දැන්වීම් පළකළ විට රෙද්ද ගැළවුණු විපක්ෂය කීවේ එය මහා බොරුවක් බවයි. එය හරිගස්සන්නට මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කළේය. එයින් ද ඔහුම කකුල කටේ දමාගෙන තිබිණි. තමන්ගේ කාලයේ ඉහළ ගොස් තිබූ තෙල් මිල මේ ආණ්ඩුව එන විට අඩු වී තිබූ බව එයින් කියා තිබිණි. වත්මන් ආණ්ඩුව එන විට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඩොලර් පනස්පහට බැස තිබූ බව එහි සඳහන්ය. මේ ආණ්ඩුව එන්න කලින් දිනය දක්වාම බලයේ සිටියේ තමන් බව මහින්ද රාජපක්ෂ මහතාට අමතක වෙලාය. මේ ආණ්ඩුව එනකොට තෙල් මිල කියන්නේ මහින්දගේ අවසන් කාලයේ මිලය. ඔහුම කියන පරිදි එලෙස ලෝක වෙළෙඳපොළේ තෙල් මිල බැස තිබුණද එහි වාසිය ඔහු ජනතාවට දුන්නේ නැත. තෙල් වික්කේ ගිනි ගණනටය. මිල අඩුකරන චණ්ඩියා වී සිටින්නේ දැන්ය.

අලුත්ම කතාව බදු ගැනය. මහින්දට අනුව දැන් බදු ඉතාම වැඩිය. එය අඩුකළ යුතුය. ඔහු කියා ඇත්තේ සියයට විස්සකින් අඩුකරන බවකි. යුද්ධය ඉවර කළ තමන්ට ඕක කජ්ජක් නොවන බව මහින්ද කියයි. මහින්දගේ කාලේ මෙහෙම බදු නොතිබූ බව ඇත්තකි. ඒ කියන්නේ ඉහළ ආදායම් ලබන උදවියගෙන් කෙළින්ම බදු ගැනීමයි. විශේෂඥ වෛද්‍යවරු කියන්නේ තමන්ට පනවා ඇති සියයට විසි හතරක බද්ද අසාධාරණ බවයි. බදු සියයට විසිහතරක් ගෙවන්න වන්නේ අවුරුද්දකට ලක්ෂ හතළිස් දෙකකට වැඩි එනම් මාසයකට ලක්ෂ තුනහමාරකට වැඩි ආදායම් ලබන විට එම වැඩි ආදායමට බව ඔවුහු නොකියති.

මාසයකට ලක්ෂයකට අඩු ආදායම්ලාභීන් මෙම බද්දෙන් නිදහස්ය. එක්ලක්ෂ පනස්දහසක ආදායමක් ලබන්නේ නම් බදු ගෙවන්න වන්නේ රුපියල් දෙදහසකි. ලක්ෂ දෙකක් ලබන අයට රුපියල් හයදහසක් ගෙවන්න සිදුවනු ඇත. එවිට සියයට අටක අනුපාතයකට යටත්ය. දෙලක්ෂයේ සිට දෙලක්ෂ පනස්දහස දක්වා සියයට 12 කි. තුන්ලක්ෂය දක්වා සියයට 16 කි. තුන්ලක්ෂ පනස්දහස දක්වා සියයට 20 කි. තුන්ලක්ෂ පනස්දහසකට වඩා ආදායම් ලබන විට එම වැඩිවන ආදායමට සියයට 24 කි.

මේ අනුව ගණන් බලන විට පෙනෙන්නේ මසකට ලක්ෂ තුනහමාරක ආදායමක් ලබන විට ආදායම් බදු ලෙස රුපියල් තිස්දහසක් ගෙවිය යුතු බවයි. මසකට ලක්ෂ පහක් උපයන විට බදු මුදල පනස්හතරදහසකි. ඉන්පසු වැඩියෙන් උපයන සෑම ලක්ෂයකටම විසිහතරදහසක් ගෙවීමට සිදුවෙයි. වෛද්‍යවරුන් කියන්නේ එය වැඩි බවයි. විපක්ෂය ද කියන්නේ එහෙම බදු ගහන එක වැරදි බවයි. ඒ කියන්නේ වැඩියෙන් ආදායම් ලබන අයගෙන් වැඩි බදු ගැනීම වැරදි බවයි. ප්‍රශ්නය ති‍ෙයන්නේ මෙහෙම කියන්නේ එජාපය ධනපතියන්ගේ පක්ෂයක් බවත් තමන් ජනතාවගේ පැත්තේ බවත් කියන උදවිය වීමයි.

අපේ රටේ සාමාන්‍ය ජනයා මේ බද්දට හසුවන්නේ නැත. මාසයකට ලක්ෂයක ආදායමක් ලබන්නේ මැද පාන්තිකයන් හා ඉහළ පාන්තිකයන්ය. සාමාන්‍ය ජනයාගෙන් බදු අයකිරීම අඩුකොට ඉහළ පාන්තිකයන්ට බදු පැටවීම ජනතාවට සහනදායී ප්‍රතිපත්තියකි. ඉහළ ආදායමක් ලබන අයට මේ බර දැරිය හැකිය. ආණ්ඩුව කල්පනා කරන්නේ එහෙමය.

මහින්ද මෙහෙම බදු ගැහුවේ නැතැයි කීම ඇත්තකි. මහින්ද රාජපක්ෂ පාලනය බදු ගැහුවේ ජනතාවගේ බඩට වදින්නටය. ඔවුන් බදු ගත්තේ මහජනයාගේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට වක්‍ර බදු පැනවීමෙනි. එවිට මහජනයා බදු ගෙවන්නේ ඇඟට දැනෙන්නේ නැතුවය. තමන් කන බොන හාල්, සීනි, ‍පරිප්පු, උම්බලකඩ, කරවල හාල්මැස්සන් ආදී සියල්ලට පනවා ඇති බදු ගෙවන්න වෙන්නේ සාමාන්‍ය ජනතාවටය. එම බදු ගෙවනකොට වැඩි ආදායම් ලබන හා අඩු ආදායම් ලබන කියා බෙදීමක් නැත. දුප්පතාටත් පොහොසතාටත් ගෙවන්න වෙන්නේ එකම බද්දකි.

අලවලට, ලූනුවලට බදු ගහන විට කියන්නේ දේශීය ගොවියා බේරාගන්න එය කරන බවය. වත්මන් ආණ්ඩුව ද ඊයේ පෙරේදා එම බද්ද රුපියල් හතළිහ දක්වා වැඩි කළේය. නමුත් මහින්දගේ ආණ්ඩුව විදේශයෙන් ගෙන්වන භාණ්ඩ රාශියකට බදු පනවා තිබිණි. එම බදු බොහොමයක් මේ ආණ්ඩුව පැමිණි වහාම අඩු කළේය. ඒ සඳහා විශේෂ අයවැයක් ද ඉදිරිපත් කළේය. එසේ අඩුකළ බදු කිසිවක් යළි වැඩිකළේ නැත. වැඩි කළේ අල, ලූනු ආදී කිහිපයකටය. ඒ මෙරට අස්වැන්න වෙළෙඳපොළට එන අවස්ථාවේදීය.

මයිසූර් පරිප්පු මෙරට නිෂ්පාදනය කෙරෙන්නේ නැත. එසේම එය මෙරට සාමාන්‍ය ජනයා බහුලවම ආහාරයට ගන්නා ද්‍රව්‍යයකි. එහි අලෙවිය ද වැඩිය. එවිට බදු ආදායම ද වැඩිය. එම මයිසූර් පරිප්පු සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පනවා තිබූ බද්ද කිලෝවකට රුපියල් විසි දෙකකි. දැන් එය කිලෝවකට රුපියල් හතකි. එනම් තුනෙන් එකකි. උම්බලකඩ සඳහා එදා අයකළ බද්ද රුපියල් තුන්සිය හයකි. දැන් එය එකසිය දෙකකි. මේ උදාහරණ දෙකක් පමණකි. කරවල, හාල්මැස්සන්, බටර්, මාගරින්, මුං ඇට, කව්පි ආදී තවත් භාණ්ඩ බොහොමයක් සම්බන්ධයෙන් තත්ත්වය ඒකය. ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජනතාවගේ බොක්කටම ගසා බදු එකතු කළ ආකාරයයි. දැන් බදු අඩුකරන බුදුවරු ලෙස පෙනී සිටින්නේ මේ උදවියයි.

රාජපක්ෂ පාලනයේ බදු පැනවීම අනුව මෙරට බදු ව්‍යුහය සැකසී තිබු‍ණේ සියයට 80 ක් වක්‍ර බදු හා සියයට 20 ක් සෘජු ‍බදු වශයෙනි. වක්‍ර බදු වන සියයට 80 මේ රටේ දුප්පත් පොහොසත් සෑම දෙනා විසින්ම එක ලෙස ගෙවිය යුතුය. ධනපතියන්ට ගෙවන්න වන සෘජු බදු වශයෙන් තිබුණේ සියයට 20 කි.

සාධාරණ ක්‍රමය

වත්මන් රජය ප්‍රකාශකොට ඇත්තේ වක්‍ර බදු සියයට අසූවක් හා සෘජු බදු සියයට විස්සක් වන වත්මන් ප්‍රතිපත්තිය අසාධාරණ බවයි. එමඟින් සාමාන්‍ය ජනයාට බදු බර පැටවීම වැඩි බවයි. ආණ්ඩු‍ෙව් ඉලක්කය වී ඇත්තේ මෙය සියයට හැටට හතළිහ ප්‍රමාණයකට වෙනස් කිරීමයි. එමඟින් බදු ගෙවිය හැකි වැඩි ආදායම් ලබන්නන් මත වැඩි බර පටවා ජනතාවට සහනයක් දීම ආණ්ඩුවේ අරමුණයි. විපක්ෂය අවි අමෝරාගෙන සිටින්නේ වැඩි ආදායම් ලබන්නන් මත බදු පැනවීම සම්බන්ධයෙනි. ඔවුන් ජනතාව යැයි කියන්නේ ඉහළ ආදායම් ලබන උදවියටයි.

බදු අයකිරීම අඩු කළ යුතු බව කියන ආර්ථික දැක්මක් ද ඇත. ඒ නව ලිබරල්වාදය යි. එහි ප්‍රධාන ප්‍රකාශකයකුව සිටි මහාචාර්ය මිල්ටන් ප්‍රීඩ්මන්ට අනුව එම ප්‍රතිපත්තියේ ප්‍රධාන කරුණු හතරකි. එනම් රජය කුඩා කිරීම, රජයේ වියදම් අඩු කිරීම, බදු අඩු කිරීම හා රාජ්‍ය පාලනය අඩුකිරීම හෙවත් වෙළෙඳපොළ යාන්ත්‍රණයට නිදහස දීමයි. එම දර්ශනයට අනුව ආර්ථිකයට මෙන්ම සමාජ සුබසාධනයට රජයේ මැදිහත්වීම අඩු කරමින් රජයේ ප්‍රමාණය කුඩා කරමින් රාජ්‍ය වියදම් අඩුකළ යුතුය. එවිට බදු අඩු කිරීමට හැකියාව ඇත. වෙළෙඳපොළට නිදහසේ ක්‍රියාත්මක වන්නට ඉඩදීම මඟින් ආර්ථිකයේ ගතිකත්වය ඇතිකරගත හැකිය. ආණ්ඩුව කළ යුතු වන්නේ නිදහස් වෙළෙඳපොළක් ක්‍රියාත්මක වීමට අවශ්‍ය නීතිරීති සකසා ක්‍රියාවට නැඟීමටය. මෙය අසාර්ථක ප්‍රතිපත්තියක් බව සමහරු කීවද ඒකාධිපති පිනෝචේගේ පාලනය යටතේ චිලී රාජ්‍යය විශාල දියුණුවක් අත්කර ගත්තේ මෙම ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙනි. දකුණු අමෙරිකාවේ අනෙකුත් රාජ්‍යයන්ට චිලි ලබාගත් වර්ධනය ලබාගත හැකි වූයේ නැත.

සමාජ වෙළෙ‍ඳපොළ ක්‍රමය

අපේ විපක්ෂයට මෙබඳු දර්ශනයක් ද නැත. ඔවුන්ට හැම දෙයක්ම රජයෙන් කළ යුතුය. රජයේ වියදම් වැඩිකළ යුතුය. ඒ ගමන් බදු අඩු කළ යුතුය. ඒකට ඇති එකම ක්‍රමය වැඩියෙන් ණය ගැනීමය. ණය කන්දක් ගොඩනැඟුණේ එහෙමය. ඒ ජනතාවට දරුණු ලෙස බදු ගහන අතරවාරයේදීය. ජනතාව ගැන හා රටේ අනාගතය ගැන සිතන රජයකට එහෙම කරන්න බැරිය.

ආණ්ඩුව කියා ඇත්තේ තමන් සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් ක්‍රියාවට නඟන බවයි. මෙහිදී සමාජ කියා කියන්නේ සමාජවාදී හෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී යන අර්ථයෙන් නොවේ. මෙය වෙනස් දර්ශනයකි. එමඟින් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයට නිදහසේ ක්‍රියාත්මක වන්නට සලසන්නේ ඒ තුළ ක්‍රියාත්මක වෙමින් ප්‍රතිලාභ ලැබීමට මහජනයා ශක්තිමත් කරන අතරවාරයේය. වෙළෙඳපොළ තරගයට ඉඩ දෙන ගමන් එයට මුහුණදීමේ ශක්තිය මහජනයාට ලබාදිය යුතුය. අධ්‍යාපනයට, වෘත්තීය පුහුණුවට, ඩිජිටල් තාක්ෂණයට ආණ්ඩුව වැඩි අවධානයක් යොමු කරන්නේ ඒකය. නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකරන්නට ඔවුන්ට මුදල් ආධාර, පුහුණුව හා දැනුම ලබාදෙන්න හදන්නේ එම දර්ශනය යටතේය.

සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයකදී සමාජ යන්නෙන් අදහස් කරන්නේ වෙළෙඳ පොළට සීමා දැමීම නොවේ. එහි තරග කරන්නට අවශ්‍ය බලය හා ශක්තිය ජනතාවට ලබාදීමටය. මෙහි අනෙක් වැදගත් ප්‍රතිපත්තිය මහජනයාගේ අමාරු අවස්ථාවල රජයේ මැදිහත්වීමයි. සහන සැලසීමයි. ආහාර භෝග පහකට රජයේ වියදමින් කෘෂි රක්ෂණයක් ක්‍රියාත්මක කොට ඇතතේ එහි එක් පියවරක් ලෙසයි. හතළිස් පන්ලක්ෂයක් සිසුන් සඳහා වෛද්‍ය රක්ෂණය ද තවත් පියවරකි. මේ රටේ සියලුම නිවාස රජය විසින් රක්ෂණයකොට ඇත්තේ ස්වභාවික විපතකදී වන්දි ලබාදීම සඳහාය. ගංවතුරකදී, නියඟයකදී, නායයාමකදී, සුනාමියකදී මහජනයාට වන්දි ගෙවන්න දැන් පරිපූරක ඇස්තමේන්තු ගෙනෙන්න වුවමනා නැත. මහජනයා තම තමන්ට වූ හානිය ග්‍රාම නිලධාරීන්ට දැනුම් දුන් විට තක්සේරු කිරීමේ ක්‍රියාවලිය ඇරඹෙයි. වන්දිය තක්සේරුකොට ගෙවන්නේ රක්ෂණය මඟිනි.

ආණ්ඩුව දැන් අක්ෂි කාච නොමිලයේ දෙයි. ලක්ෂ ගණන් වියදම් වන ස්ටෙන්ත් හෘද රෝගීන්ට නොමිලේ ලබා දෙයි. මේ ලැයිස්තුවට තවත් බොහෝ දේ එකතු කළ හැකිය. තේරුම් ගත යුතු වන්නේ එබඳු දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පමණකි. මෙබඳු ජනතා හිතවාදී වැඩසටහන් සඳහා මුදල් ලබාගන්නේ ජනතාවගේ ඇති හැකි පන්තියට සෘජු බදු පැනවීමෙනි. ඉහළ සමාජ සුබසාධනයක් ක්‍රියාත්මක රටවල සෘජු බදු අනුපාත ඉහළ අගයක් ගන්නේ ඒ නිසාය. අන්තර්ජාලයේ ට්‍රේඩින් ඉකොනොමිස් වෙබ් අඩවියට අනුව ස්විඩනයේ සෘජු බදු අනුපාතය සියයට 61.85 කි. ඩෙන්මාර්කයේ 55.8 කි. බෙල්ජියමේ 53.7 කි. නෙදර්ලන්තයේ 52 කි. පින්ලන්තයේ 51.6 කි. එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සියයට 16 ක් බවයි.

මෙයින් පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා හා විපක්ෂය ගෙන යන බදු විරෝධය පුස්සක් හා පචයක් බවයි. මහජනයාගේ බඩට ගසන විනාශකාරී බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ මොවුහු දැන් බුදුවරුන් සේ පෙනී සිටින්නට හදති. එසේ කරන්නේ නැති බැරි පන්තිය බදු බරෙන් නිදහස්කොට ඇති හැකි පන්තියට බර පටවන්නට හදන එකට එරෙහිවය.

මොවුන්ගේ ජනතාවාදයේ සෙළුව පෙනෙන්නේ මෙබඳු යහපත් ප්‍රතිපත්තියකට විරුද්ධ වන විටදීය.

සී.ජේ. අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *