යේසුස් වහන්සේට ඇණගැසුවේත් අධිකරණකි – සම්පත් අමරසිංහ

එක්තරා මිතු‍රකු මගෙන් විමසුවේ සුගන්ධිකා ප්‍රනාන්දු වන නීතිඥවරියකගේ දුරකථන අංකයක් හෝ ලිපිනයක් හෝ සොයාගත හැක්කේ කෙසේ ද කියා ය. ඇයගේ ලිපිනය හෝ දුරකථන අංකය අවශ්‍ය කුමකට දැයි මා පෙරලා ප්‍රශ්න කළ කල්හි මිතුරා කීවේ තමා සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් ඇයගෙන් උපදෙසක් ලබා ගන්න අවශ්‍ය බවයි. මිතුරා කියූ කරුණු අනුව ඔහු ඉඩම් නඩුවක පැටලී සිටියි. නඩුවේ පැමිණිලි පාර්ශවය ඔහු ය. වසර ගණනාවක් තිස්සේ නඩුව තීන්දුවකින් තොරව ඇදෙමින් පවතින බව කියන ඔහු එසේ නඩුව ඇදෙමින් යාමට හේතුව වශයෙන් සැක කරන්නේ පැමිණිල්ලේ හෙවත් ඔහුගේ පාර්ශව‍යේ නීතිඥයන් විත්ති පාර්ශවයෙන් මුදල් ලබා ගැනීමයි.

මිතුරාගේ නඩුව තීන්දුවකින් තොරව කල්යාමට හේතු‍ව පැමිණිල්ලේ නීතිඥයන් විත්ති පාර්ශවයෙන් මුදල් ලබාගැනීම ද? (එසේ මුදල් ලබා ගන්නේ නම් එය අල්ලසක් වශයෙන් ද සැලකිය හැකිය) වෙනත් කරුණක්ද යන්න පැහැදිලි නැත. නමුත් ඔහුගේ සැකය විසින් පැහැදිලි වන එක් බරපතළ කරුණක් තිබේ. එනම්, අධිකරණ පද්ධතිය එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මෙරට ජනතාව තුළ යම් සැකයක් පවතින බවයි.

ඉහත කරුණ උපුටා දක්වන්නට හේතුව මේ දිනවල කතාබහට ලක්ව පවතින, රන්ජන් රාමනායක මහතා උසාවියට අපහාස කළේය යන කාරණාව ය. රන්ජන් රාජමනායක මහතා විසින් පවසන්නට යෙදුණේ මෙරට නීතිය සහ විනිසුරන් බහුතරය දූෂිත බවය. නීතිඥයක් සහ විනිසුරන් බහුතරය කෙසේ වෙතත් දූෂිත නීතිඥයන් සහ විනිසුරන් මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ සිටින බව ප්‍රසිද්ධියේ නොකීවා වුවද උසාවි සමඟ කටයුතු කරන ඕනෑම අයකු දන්නා කරුණකි. ඒ සඳහා හොඳම උදාහරණයක් වන්නේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ය. ඒ මහතා අගවිනිසුරු ධුරයට පත් වූ පුවත රාවය පුවත්පත එකල වාර්තා කළේ කළු පැහැති පිටුවකින් යුතුව ‘අධිකරණයේ මළගම’ යනුවෙනි. එසේ කියන්නට රාවයට හේතු තිබුණි. රාවය එම පුවත වාර්තා කළේ සරත් නන්ද සිල්වා මහතාගේ නොමනා ක්‍රියාකාරකම් පිළිබඳව බොහෝ කලක් තිස්සේ වාර්තා කරමින් සහ ඊට එරෙහිව දීර්ඝ කාලීන අරගලයකින් පසුවය. මහව අධිකරණයේ විනිසුරකු සම්බන්ධව කතක දූෂණය කිරීමට තැත්කිරීමේ සිද්ධිය එක් නිදසුනකි. නිතර බණ කියන නමුත් සරත් නන්ද සිල්වා මහතා පෞද්ගලිකව අන්ත දූෂිත තැනැත්තෙකි. ගෙදර යන ගමන් රථයක් තුළ දියවන්නාව ප්‍රදේශයේ ඔහු කතක සමඟ කළ බව කියැවෙන නොමනා හැසිරීම එකකි. තවත් කරුණු ද තිබේ. හෙල්පින් හම්බන්තොට නඩුව සම්බන්ධයෙන් තමා දුන් තීන්දුව වැරදිදි නොවන බව ඔහුම ප්‍රසිද්ධියේ කීවේය.

සරත් නන්ද සිල්වා අග විනිසුරු වශයෙන් පත්කරන විට රාවය  පුවත්පත කළ තරමේ අරගලයක් හෝ විවේචනයක් හෝ විරෝධයක් අද රන්ජන් රාමනායක මහතා ට විවේචන එල්ල කරන නීතිඥ සංගම් හෝ අන් කිසිවකුගෙන් එල්ල නොවීම අදහාගත නොහැකි පුදුමයකි. හෙල්පින් හම්බන්තොට සම්බන්ධව තමා දුන් විනිශ්චය තමාම විවේචනය කරද්දීත් අධිකරණය නිහඬ විය.

ඇතැම් අධිකරණයක දුන් ඇතැම් තීන්දු ශ්‍රී ලංකාව ඉතාම ඛේදජනක තැනකට ඇද දැමීමට සමත් වූ ‍බව නොකියා නොහැකිය. එවැනි එක් තීරණයක් වන්නේ පක්ෂ මාරු කරන්නට මන්ත්‍රිවරුනට අයිතියක් ඇති බවට අධිකරණය දුන් තීන්දුවයි. එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණ පොදුජන එක්සත් පෙරමුණට සහය දීමට මන්ත්‍රිවරයකුට සදාචාරාත්මක අයිතියක් නොමැති බව නීතිය කෙසේ වෙතත් සාධාරණ වශයෙන් අයිතියක් නොමැති බව බැලූ බැල්මට වුවද පැහැදිලි ය. නමුත් එවැන්නක් නීතියට අනුකූල බව අධිකරණය එදා ප්‍රකාශ කළේය. පසු කලෙක නොයෙක් තනතුරු වරදාන ලබා ගනිමින් රටේ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ පිල් මාරුකරන තත්ත්වයක් උදාවූයේ එකී අධිකරණ තීරණය නිසාය. මහින්ද රාජපක්ෂ මහතා තමාට ඡන්දයෙන් හිමි නොවූ බලයක් ගොඩනගා ගැනීම සඳහා විවිධ පක්ෂවල මන්ත්‍රිවරු බිලි බා ගත්තේ එකී නඩු තීන්දුවේ ප්‍රතිපාදන වලට මුවා වෙමිනි. ජනතා පීඩක මර්දනකාරි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ උප්පති කතාව ලියැවෙන්නේ අධිකරණ තීරණයක් ඔස්සේ බව පිළිගතයුත්තේ ඒ අනුවය. අවසානයේ එම වටපිටාව 18 වන සංසෝධනය හරහා ජීවිතාන්තය දක්වා වන විධායක ජනාධිපති ධුරයක් බිහිව තෙක්ම මුහුකුරා වැඩුණි.  2015 ජනවාරි වෙනස ‍සිදු නොවන්නට රට අද පවතින තත්ත්වය හිතා ගන්නට පවා අසීරුය. එකී ඒකාධිපතිත්වයට අධිකරණය ආකාර දෙකකින් වගකිවයුතුය. එකක් පක්ෂ මාරුව නීතිගත කරීමෙනි අනෙක හෙල්පින් හම්බන්තොටට වැරදි තීන්දුවක් දී මහින්ද ජනාධිපති ධුරයට පත් කිරීමෙනි.

ඕනෑම ආයතනයකින් හෝ සංවිධානයක පිවිතුරු බව හෝ දුෂිත බව තීරණය වන්නේ එම ආයතනය හෝ සංවිධානය තුළ ක්‍රියාවේ යෙදෙන කටයුතු කරන වගකීම් දරන පුද්ගලයන්ගේ තරාතිරම අනුවය. අධිකරණයට ද එම නීතිය පොදු ය. ඒ තර්කය අනුව යන්නේ නම් මකුළුවකු සිය දැලට වැටෙන රොඩු බොඩු ඉවත් කරන්නා ‍සේ අධිකරණ පද්ධතිය විසින්ම අධිකරණය දූෂණය කරන තැනැත්තන් ඉවත්කරන පිළිවෙතකට යා යුතුව ඇත. අපේ අධිකරණය එවැන්නකට සූදානම් ද යන ප්‍රශ්නය අසුවහොත් කණගාටුවෙන් වුවද ඊට නැත! යන උත්තරය දෙන්නට මෙරට ජනතාවට සිදු වේ. නැත! යන උත්තරයට හේතුව සරත් නන්ද සිල්වා මහතා වැන්නකු ප්‍රධානත්‍වයේ තබාගනිමින් රටේ නීතිය පසිඳලන්නට නීතිඥයන් විනිසුරන් කටයුතු කිරීම පමණක් නොවේ. අලි ඇතුන් සොරකම් කළ බවට චෝදනා ලැබූ විනිසුරන් ද මෙරට සිටින බව පසුගිය කාලයේ හෙළිදරව් විය. තමන්ගේ ශ්‍රේණිවල තමන්ගේ මිතුරකු වරදක් කළ විට අනෙකුන්ට ඒ ගැන ඉවක් ආරංචියක් තොරතුරක් නොලැබේ යැයි විශ්වාස කළ හැකි ද? එසේ නම් හොර අලි සන්තකයේ තබාගෙන සිටින තම සගයා ගැන අධිකරණ ක්ෂේත්‍රයේ අය නොදැන සිටියා විය නොහැකිය. ඒ අනුව සැක කළ හැක්කේ සිය සගයාගේ වරද දැක දැකත් අනෙකුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇති බවය. ස්ත්‍රී දූෂණ චෝදනා ලැබූ විනිසුරුවරයා ගැන ද අධිකරණයේ උගත් මහත්වරු අනුගමනය කරන ලද්දේ නිහඬ පිළිවෙතක් නම්, ඔවුන් අධිකරණයේ පාරිශුද්ධභාවය කෙළෙසීමට හවුල් වූ පිරිසක් ලෙස හඳුනා ගැනීමෙහි වරදක් තිබේද? තවත් අතකින් ගත් කළ වැරදි කරන විනිසුරන් අගවිනිසුරන් නීතිඥයන් දැක දැක නිහඬව සිටීම ම අධිකරණයේ උත්තරීතර බවට කැළලක් අධිකරණයට අපහාසයක් කර තිබේ. දූෂිතයන් බැංචියට නැඟීම අධිකරණයට අපහාසයකි. එය නිහඬව ඉවසා සිටීම ද ඒ තරම්ම අපහාසයකි.

ගෝඨාභය රාජපක්ෂ නඩුවලින් බේරී සිටින්නේ අධිකරණ තීන්දුවකට මුවා වෙමිනි. ඔහුගේ නඩුව විනිශ්චය කිරීමෙන් විනිසුරන් ඉවත් වෙමින් සිටිති. ඉන් සිදු වන්නේ නඩු විභාගය කල් යෑමයි.

පසුගිය සතියක එක් උසාවියකට ඉදිරිපත් කෙරුණු දේශපාලනඥයකුට ඇප ලබාගත නොහැකි වූයේ විනිසුරුවරයා අසනීප වූ බව නිසා යැයි කියැවිණි. විනිසුරුගේ අසනීපයට වන්දි ගෙවන්නට අදාළ තැනැත්තාට නැවත වරක් රිමාන්ඩ් බන්ධනාගාර ගත්වන්නට සිදු වූයේ නම් විනිශ්චය සාධාරණ ද? එකී තැන්ත්තා එම සිද්ධිය ප්‍රශ්න කළේ නම් එම ප්‍රශ්න කිරීම අධිකරණයට අපහාස කරන ලෙස අර්ථ දක්වන්නටත් ඊට දඬුවම් කරන්නටත් ඉඩ ඇති බැවින් සියල්ල නිහඬව දරා ගන්නට සිදු වී තිබේ.

විධායකයෙන් වරදක් වුව ද ව්‍යවස්ථාදායකයෙන් වරදක් වුව ද වෙනත් ආයතනයකින් වරදක් වුව ද කෙනෙකුය යා හැකි එකම තැන සහනය පැතිය හැකි එකම ස්ථානය අධිකරණයයි. අධිකරණය කෙරෙහිත් විශ්වාසය තැබිය නොහැකි නම් අධිකරණයෙන් සාධාණත්වයක් ලැබීම ගැන ඇත්තේ සැකයක් නම් ජනතාවට ඉන් පසුව ඇත්තේ දෙවියන්ගේ පිහිට පැතී ම හෝ අවි ආයුධවල සරණයාම පමණි.

විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය යන තුන්කට්ටුවෙන් විධායකය විවේචනය කරන්නට ජනතාවට අයිතියක් ඇත. ව්‍යවස්ථා දායකය ද එහි සාමාජිකයන් ද විවේචනය දරන්නට පුළුවන එහෙත් අධිකරණය?

එවැනි තත්ත්වයක නීතිඥ සංගම් වෙර දැරිය යුත්තේ අධිකරණයේ අඩුපාඩු විවේචනය කරන්නන් අධිකරණයට අපහාස කරන්නන් ලෙස හංවඩු ගසන්නට නොවේ. අධිකරණ ක්ෂේත්‍රය තුළ ගැවසෙමින් අධිකරණය කිළිටි කරන්නන් හඳුනාගනිමින් ඔවුන් හෙළිකරව් කර ක්ෂේත්‍රයෙන් පිටුවහල් කරන්නට ය. එවිට කිසිවකු අධිකරණය විවේචනය නොකරනු ඇත. අපහාස දනොකරනු ඇත. අධිකරණය විශ්වාස කරනු ඇත. ඊට ගරුකරනු ඇත.

සම්පත් අමරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *