දේශපාලනයේ පියවරු සහ පුත්තු – සම්පත් අමරසිංහ

පියවරු සහ පුත්තු යනු රුසියානු නවකතාවකි. එම නව කතාවේ නම සිහිපත් වූයේ අපේ රටේ දේශපාලනයේ පියවරුන් ගේ පුත්තුන්‍ ගේ කල්කිරියාව දැක්වෙන පුවතක් 2018 ජුනි 07 දා පුවත්පත්වල පළ වී තිබීම නිසා ය.

ඉහත ප්‍රවෘත්තියේ පුස්තුත පුත්‍රයා යශෝධ රං‍ගේ බණ්ඩාර නමැත්තෙකි. ඔහු රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා ය. එකී පුත්‍රයා ගමන්ගත් කැබ් රථයක් පාරෙන් පිටතට පැන ගෙයකට කඩා වැදී තිබේ. හේතුව රථයේ රියැදුරුට වාහනය පාලනය කරගැනීමට නොහැකි වීම ය. වාහනය පාලනය කරගත නොහැකිව ඇත්තේ මත්වතුර පානය කර සිටි නිසාය. ඇතැම් පුවත්පතක දැක්වුණු ආකාරයට රිය තුළ කඩු ද තිබී ඇත. පොලු ද තිබී ඇත. මත්පැන් ද කටගැස්ම ද තිබී ඇත.

මත්පැන් බයිට් පාවිච්චි කිරීම වරදක් යැයි එක හෙළා කිව නොහැකි වුවද මත්පැන් පානයෙන් පසුව රථවාහන පැදවීම වරදකි. ඊටත් වඩා වරදක් වන්නේ අදාළ වාහනය පියා රාජ්‍ය අමාත්‍ය ධුරය දරන අමාත්‍යාංශයකට අයත් එකක් වීම ය. රථය පැමිණ ඇත්තේ සංචාරක හෝටලයක සාදයක් අවසන් කර බව ද පැවසේ. ආමාත්‍යාංශවලට වාහන ලබා දෙන්නේ ජනතා සේවයෙහි යෙදවීමට නොව අමාත්‍යවරුන්ගේ රාජ්‍ය ආමාත්‍යවරුන්ගේ දරුවනට රාත්‍රි සාදවලට යාමට නොවේ මේ වාහනය මෙකී පුතා අපචාරයේ යෙද වූ පළමු අවස්ථාව යැයි අපට පිළිගන්නට පුලුවන් කමක් නැත. රජයේ වාහන අවභාවිතයේ යොදවන  එකම ඇමති පුතා ද ඔහු නොවනවා විය යුතුය. කවුරු කෙසේ කළ ද ඒවාට වැය වන්නේ පොදු ජනතාව මත බර පටවා උපයන බදු මුදල් ය.

බලය අයුතු ලෙස භාවිත කරන දේශපාලක පුතුන් ගැන පසුගිය කාලයේ ඕනෑවටත් වඩා අසන්නට ලැබුණි. හිටපු රජතුමාගේ පුත් කුමාරවරු පිරිස ඒ අතරින් ප්‍රමුඛයෝ වූහ. ඔවුන්ට විරුද්ධව තරඟ දිනන්නට කිසිවකුට එකල හැකියාවක් තිබුණේ නැත. කොළඹ පාරවල් වසා ලැම්බොගිනි රේස් පදින බව ද ඒ කාලයේ කියැවිණ. ඊට අමතරව ඔවුන්ගේ ක්‍රීඩා නාලිකාවලට කාර් රේස් පදින්නට කොළඹ මං මාවත් සකස් කෙරුණේ ඔවුන්ගේ දේශපාලන ශක්තිය යොදවා හමුදා ශ්‍රමය අවභාවිතාවේ යොදවමිනි. තාජුදින් ඝාතනය ආදිය සැලකිය හැක්කේ එකල කුමාරවරු තම පියාගේ බලය අවකල් ක්‍රියාවේ යෙද වූ ආකාරයට උදාහරණ වශයෙනි.‍

එකල කරළියේ සිටි තවත් පුතෙක් වූයේ කැළණියේ ආචාර්ය දුටු ගැමුණු ගේ පුත්‍රයා ය. ඔහු රාත්‍රි සමාජ ශාලා වල කළ රැඟුම් එකල පුවත්පත් වල පළ වූ නමුත් ඒවාට එරෙහිව නීතිය පවා තදින් ක්‍රියාත්මක වූ බවක් පෙනුණේ නැත.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට එපා වීම කෙරෙහි බල පෑ එක් ප්‍රධාන සාධකයක් වශයෙන් දේශපාලන පුතුන් ගේ එවැනි නොමනා මොඩ වූන් බල පෑ බව ද රහසක් නොවේ.

බලය අයථා පරිහරණය සේම රථවාහන අයථා පරිහරණය ද එකල දේශපාල‍නයේ පුතුනට හුරුව තිබුණු බව අමුතුවෙන් කිවයුතු නැත. ලොකු ලොකු පුතුන් ලොකු ලොකුවට රාජ්‍ය වාහන අවභාවිත කරන කල පොඩි පොඩි පුතුන් පොඩි පොඩියට එය කළහ.

ජනතාව යහ පාලනයට උනන්දු වූයේ ඒ සියල්ල නතර කිරීම සඳහාය. පාලිත රංගේ බණ්ඩාර යනු ද එකල රාජපක්ෂ පාලනයේ අවනීතියෙන් බැට කෑ තැනැත්තෙකි. එසේම ඔහු එකල අවනීතියට එරෙහිව සටන් කළ තැනැත්තකු බව ද කිව යුතුය.

එසේ කරළියට ආ රං‍ගේ බණ්ඩාර ගේ පුතුන් කුමාරවරුන් ගිය මඟම ඊටත් වඩා හොඳින් ගමන් කරන්නේ නම් ඒ ගැන කිවයුත්තේ කුමක් ද?  එසේ විමසන්නට සිදුව තිබෙන්නේ 2017 වසරේ දී ද යශෝධ රං‍ගේ බණ්ඩාර මහතා ඉඟිනිමිටිය පදුගොල්ල ප්‍රදේශයේ දී මවක සහ දරුවන් දෙදෙනකු රැගත් යතුරු පැදියක් සිය මෝටර් රථයේ ගටා සිව් දෙනාට ම බරපතළ තුවාල සිදුකර ඇති බැවිනි. එයට අදාළ නඩුව ආනමඩුව මහේස්ත්‍රාත් උසාවිය විභාග වෙමින් තිබේ. ඉන් කියැවෙන්නේ එම ඇමති පුතා එකම වරද යළි යළිත් කරන බව ද?

පාලිත රං‍‍ගේ බණ්ඩාර යනු මේ දිනවල එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් විය යුතු යැයි සටන් කරමින් සිටින්නෙකි. ඒ අතර ඔහු නිතර කියන්නේ පුත්තලමට ඇමතිකමක් අවශ්‍ය බවයි.

පුත්තලමට ලැබී ඇති නියෝජ්‍ය ඇමතිකම අවභාවිත වන ආකාරය අනුව පුත්තලමට ඇමතිකමක් ලැබුණොත් රැයකට එක වාහනයක් නොව දෙකක් හැප්පෙන්නට පුළුවන.

පුතුන් නිසා වැනසුනු දේශපාලකයන් මෙරට කොතෙකුත් සිටිති. මහ රජාණෝ එක් අයෙකි. කැලණියේ දුටු ගැමුණු තවත් කෙනෙකි. උඩතලවින්න ඝාතනය ආදිය පිටුපස සිටියේ ද දේශපාලන පුතුන් ය. ඒ එක දෙ‍කක් පමණි. තවත් අවශ්‍ය කෙනකුට තම තමන් දන්න චරිත මතක්කර ගත හැකිය.

පාලිත රංගේ බණ්ඩාර මහතා ට තම දේශපාලන අනාගතය වළක නොවැටී බේරාගන්නට නම් පුතුන්ගෙන් පරිස්සම් වීමත් පුතුන් පරිස්සම් කරගැනීමත් වැදගත්ය. එක්සත් ජාතික පක්ෂය හදනවාට වඩා සේවයක් ඉන් කළ හැකි වනු ඇත. මන්ද රජයේ වාහනවලින් හනිමුන් යන, ඒවා හප්පාදමා විනාශකරන, ඒ හරහා ජනතාව පීඩාවට පත්කරන මැති ඇමතිවරු නිසා ජනතා පිළිකුලට ලක්වන්නේ අදාළ තැනැත්තන් පමණක් නොව සමස්ථ ආණ්ඩුවම වන නිසා ය.

සම්පත් අමරසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *