අමුතු ආණ්ඩුව – එම්.ඕ.ඒ. ද සොයිසා
යහපාලන ආණ්ඩුව අමුතුම අකාරයේ ආණ්ඩුවක්ය. හේතුව එයට දේශපාලන විනයක්, දේශපාලන සදාචාරයක් නොමැති වීමය. කොහේ යනවාද කොහොම යනවාද යන්න පිළිබඳව පොදුවේ පිළිගත් දැක්මක් නොමැති වීමය. සමගියට වඩා අසමගිය, විශ්වාසයට වඩා අවිශ්වාසය, එකමුතුකමට වඩා ඇණකොටා ගැනීම, සාමූහිකත්වයට වඩා පෞද්ගලිකත්වය පදනම් කරගෙන ක්‍රියාකිරීම ය.ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක යහපැවැත්ම සම්බන්ධයෙන් තිබිය යුතු බවට විශ්ව ව්‍යාප්තව පිළිගත් පොදු මූලධර්ම කිසිදු බියකින් හා ලජ්ජාවකින් තොරව අමු අමුවේ උල්ලංඝනය කරමින් පවත්වා ගෙනයන ආණ්ඩුවක් වීමය.
මෙවැනි ආණ්ඩුවක් හැඳින්වීම සඳහා දේශපාලන විද්‍යාව තුළ පිළිගත් කිසිදු ආකාර වර්ගීකරණයක් යොදාගත නොහැකිය. එම නිසයි යහපාලන ආණ්ඩුව අමුතු ආණ්ඩුවක් ලෙස හැඳින්වීමට සිදුව තිබෙන්නේ. ආණ්ඩුව අමුතු ආණ්ඩුවක් වනවිට එමගින් කෙරෙන වැඩ කටයුතුද අමුතු වීම පුදුමයට හේතුවක් නොවේ. මෙම අමුතු වැඩකටයුතුවල සමස්ත ප්‍රතිඵලය වී තිබෙන්නේ රටේ පාලනය අතිශයින්ම අවුල් සහගත තත්ත්වයකට පත් වීමය. ජනතාවට කිව නොහැකි ආකාරයේ විවිධ අපහසුතාවන්ට මුහුණ දීමය. ඉතාම කෙටියෙන් කියනවා නම් යහපාලනයක් පවත්වා ගෙනයාම කෙසේ වෙතත් ආණ්ඩුවක ප්‍රධානම කාර්යය ලෙස සැළකෙන රට පාලනය කිරීම යන කාර්යයවත් යහපාලන ආණ්ඩුවට හරියට කිරීමට නොහැකි බවය. අද වනවිට දැකිය හැකි වන්නේ. ඒ තරමටම රාජ්‍ය බලය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් දුර්වල සහ අර්බුදකාරී මට්ටමකට මේ වනවිට යහපාලන ආණ්ඩුව පත්ව තිබෙන තත්ත්වයකුයි එහි ක්‍රියාකාරිත්වය මගින් පෙන්නුම් කරන්නේ.
සමස්ථයක් ලෙස ගෙන බලන විට 1948 පෙබරවාරි 04 දින බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලැබීමෙන් පසුව ගත වූ වසර 70 ක කාලය තුළ මෙරට පිහිටවූ ආණ්ඩු අතුරින් නරකම සහ දුර්වලම ආණ්ඩුව ලෙස යහපාලන ආණ්ඩුව හැඳින්වීමේ කිසිදු වරදක් නොමැත. යහපාලන ආණ්ඩුව දෙස බලන විට පෙනී යන්නේ එය රුවල බිඳී ගොස් මහා සාගරයක් මැද අතරමං වී කොහේ යනවාදැයි යන එන මං නොදැන ඉබාගාතේ එහාට මෙහාට පාවෙමින් තිබෙන නැවක් හා සමාන වන බවය. මෙවැනි නෞකාවක් විනාශ වීම වැළැක්විය නොහැක. හේතුව ගොඩබිමකට ළඟාවීමට ප්‍රථමයෙන් මුහුද මැද දී හමුවන ගල් පරයක හැපී විනාශ වී යාමට ඇති ඉඩකඩ බොහෝ සෙයින්ම වැඩි බැවිනි.
යහපාලන ආණ්ඩුවද මේ වනවිට මුහුණ දී තිබෙන්නේ මෙවැනි ඛේදජනක ඉරණමකටය. එසේවූවද යහපාලන ආණ්ඩුව ඉක්මනින් හැපී විනාශ වී යාහැකි ගල්පරයක් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ මේ වනවිට දැකිය නොහැක. හේතුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එයට කරන ලද සංශෝධන මගින් එම ගල්පර ඉවත් කර තිබීමය. හැපීමට ඇති ගල්පර තිබෙන්නේ බොහොම ඈතින්ය. ඒ වූ කලී 2020 වර්ෂයේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයයි. එබැවින් එම ගල්පර දෙක හමුවෙන තෙක් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය නමැති සාගරය තුළ ඉබාගාතේ වුවද පාවෙමින් ඉදිරියට ඇදීයාමේ හැකියාව යහපාලන ආණ්ඩුවට ලැබී ඇත.
බලාපොරොත්තු හා අපේක්ෂාවන් රාශියක් පෙරටු කොටගෙන හැට දෙලක්‍ෂයක ඡන්දදායකයින්ගේ සහභාගිත්වයෙන් මෙයට වසර තුනකට පමණ පෙර දී පිහිටවූ යහපාලන ආණ්ඩුවට ඉහත දැක්වූ ආකාර අභාග්‍ය සම්පන්න තත්ත්වයකට මුහුණ දීමට සිදුවූයේ ඇයි ද යන ප්‍රශ්නය මෙහි දී මතු වේ.එක් හේතුවක් හෝ දෙකක් නොව ඒ කෙරෙහි හේතු සාධක රාශියක් බලපා තිබෙන අතර එයින් එකක් වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුවේ විධායක අංශය සංවිධානය කර තිබෙන ආකාරයයි.
1950 වර්ෂයේ දී ඩිගෝල් සෙනෙවියා විසින් ප්‍රංශයට හඳුන්වා දුන් දෙමුහුන් විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ආකෘතිය ආදර්ශයට ගනිමිනුයි ජේ. ආර්. ජයවර්ධන විසින් 1978 ව්‍යවස්ථාව යටතේ විධායකය සංවිධානය කර තිබෙන්නේ. මෙම දෙමුහුන් විධායකයේ මූලික ලක්‍ෂණය වන්නේ විධායකයේ එක් කොටසක් එනම් ජනාධිපතිවරයා නිශ්චිත නිල කාලයක් සඳහා ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමත් අනෙක් කොටස වූ අගමැති ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය ජනතාව විසින් තවත් මැතිවරණයක දී තෝරාපත් කරන පාර්ලිමේන්තු නියෝජිතයින් අතුරින් ජනාධිපතිවරයා විසින් තෝරාපත් කිරීමත්ය. මෙසේ කිරීමේ දී පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ගේ බහුතර කැමැත්ත හැසිරවිය හැකි මන්ත්‍රීවරයා අගමැති තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා වගබලා ගතයුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.
මෙම දෙමුහුන් විධායකයක් සහිත ආණ්ඩුක්‍රමය සාර්ථකව ක්‍රියාත්වීමට නම් අවශ්‍යයෙන්ම තිබිය යුතු එක් දේශපාලන කොන්දේසියක් තිබේ. එනම් විධායකය හා ව්‍යවස්ථාදායකය එකම දේශපාලන පක්‍ෂයකින් සමන්විත වීමය.
එසේ නොවන විට එනම් ජනාධිපතිවරයා එක් දේශපාලන පක්‍ෂයකිනුත් අගමැති ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය තවත් දේශපාලන පක්‍ෂයකිනුත් තේරීපත් වූ විට විධායකයේ කොටස් දෙක අතර ගැටුම් ඇතිවීම වැලැක්විය නොහැකි දෙයක් බවට පත් වේ. මෙයාකාරයට විධායකයේ කොටස් දෙක එකිනෙක සමඟ ගැටෙන විට ආණ්ඩුකරණය අවුල් සහගත වී රට දේශපාලන වශයෙන් අර්බුදකාරී තත්ත්වයකට පත්වීම කිසිසේත්ම වැළැක්විය හැකි නොවේ. අද යහපාලන ආණ්ඩුව මුහුණ දී තිබෙන්නේ මෙම අර්බුදයටය. මෙම අර්බුදයෙන් ගොඩ ආ හැක්කේ එක්කෝ යහපාලන ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් යහහැසිරීම යන සිද්ධාන්තයට අනුව කටයුතු කිරීමට පුරුදු පුහුණු වීමෙනි. නැතිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පවත්වා විධායකයේ දෙවන කොටසද විධායකයේ පළමු කොටස අයත් වන පක්‍ෂයටම අයත් කර ගැනීමට කටයුතු කිරීමෙනි. එසේත් නැතිනම් විධායකයේ පළමු කොටස වන ජනාධිපතිවරයා වෙනස් කොට විධායකයේ දෙවන කොටසට ගැලපෙන ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමෙනි.
මෙයින් යහහැසිරීම යන්නෙන් අදහස් කරන්නේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව දෙකක් එකට ජීවත් වීමට පටන් ගත්පසු එම ජීවිතය කඩාකප්පල් කර නොගෙන ඉදිරියට පවත්වා ගෙනයාම සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව අදාළ වන කොන්දේසීය. එනම් නීතියට අනුව ක්‍රියා කිරීම, සාමූහිකත්වය පදනම් කරගෙන තීන්දු තීරණ ගැනීම, වගකීම සහ වගවීම සමසේ බෙදාහදා ගැනීම, ආණ්ඩුකරණයේ දී හිමිවන නින්දා මෙන්ම ප්‍රශංසාද සමව භුක්ති විඳීම, එකිනෙකා සමඟ ආරවුල් ඇතිකර නොගැනීම, ආරවුල් ඇතිකර ගත්තද ඒවා දුරදිග යාමට ඉඩ නොතබා ඉක්මණින් හා සාමකාමීව නිරාකරණය කර ගැනීම, එකිනොට බොරු නොකිරීම, එකිනොට හොරා රහසේ වැඩ නොකිරීම, එකෙක් පරයා යමින් අනෙකා ඉහළට යාමට වංචනික ලෙස ක්‍රියා නොකිරීම, එක් පාර්ශ්වයක සතුරන්යැයි සැළකෙන අය සමඟ හොර රහසේ ගනුදෙනු කිරීමෙන් නැතිනම් ඞීල් දැමීමෙන් වැලකීම, එකෙක් විසින් අනෙකා පාවා නොදීම, දෙපාර්ශ්වය කරන සෑම දෙයක්ම විවෘතව කිරීමට වගබලා ගැනීම යනා දී වශයෙන් කරුණු කාරණා රාශියක් අන්තර්ගත දෙයක්ය.
ඉතාම කෙටියෙන් කියනවා නම් හොඳ සහ යහපත් පවුල් ජීවිතයක් ගතකිරීම සඳහා අදාළ වන්නේ කුමන කරුණු කාරණාද ඒ සියල්ලම යහහැසිරීම සිද්ධාන්තයට අයත්වන අතර යම් ආණ්ඩුවක් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වවල සහභාගිත්වයෙන් ගොඩ නැගුණ විට එවැනි ආණ්ඩුවක් පවත්වා ගෙන යාම සඳහා වඩාත්ම සුදුසු ක්‍රමය යහහැසිරීමේ සිද්ධාන්තය අනුව කටයුතු කිරීම බව පිළිගත් පොදු සිද්ධාන්තය වේ. මෙහි දී මතුවන ප්‍රශ්නය වන්නේ යහපාලන ආණ්ඩුවට යහහැසිරීම අනුව ක්‍රියාකිරීමේ හැකියාවක් තිබෙනවාද යන්නය. ගත වූ තෙවසරක කාලය තුළ යහපාලන ආණ්ඩුවේ නායකයින්ගේ හැසිරීම තුළින් පෙන්නුම් කරන්නේ යහහැසිරීමේ මූලධර්ම තඹ සතයක ප්‍රමාණයකින්වත් මායිම් කර නොමැති බවය. අද යහපාලන ආණ්ඩුව මුහුණ දී ඇති අර්බුදයට බලපා තිබෙන හේතු සාධක අතුරින් ප්‍රධානම එකක් වන්නේ මෙයයි. මෙයින් පෙන්නුම් කරන්නේ කුමක්ද? දේශපාලනය සහ රාජ්‍ය පාලනය හෙවත් ආණ්ඩු කිරීම පිළිබඳව යහපාලන ආණ්ඩුකරුවන්ට කිසිදු ආකාර දැනුමක් හෝ අවබෝධයක් නොමැති බවය.
යහපාලන ආණ්ඩුවේ නායකයින්ට යහහැසිරීම පදනම් කරගෙන ආණ්ඩුකරණය ක්‍රියාවට නැංවීමට නොහැකි වන්නේ නම් පවතින දේශපාලන අර්බුදයෙන් ගොඩ ඒමට ඇති දෙවන විකල්පය පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් කරා යාමය. ඒ හරහා විධායකයේ දෙවන කොටස විධායකයේ පළමු කොටසට ගැලපෙන සේ සකස් කර ගැනීමය. නමුත් මෙම විකල්පය ක්‍රියාවට නැංවීම යහපාලන ආණ්ඩුකරුවන් යහහැසිරීමට පුරුදු පුහුණු කිරීමට වඩා අසීරු සහ අමාරු එකක් වේ. හේතුව මහ මැතිවරණයකින් තේරීපත් වූ පාර්ලිමේන්තුවක් එසේ තේරීපත් වී දිවුරුම් දුන් දින සිට වසර හතර හමාරක් ගතවන තුරු විසුරුවා හැරීමට නොහැකි වන සේ ව්‍යවස්ථාමය විධිවිධානයක් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාත්මක කිරීමය. එබැවින් මෙම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තව අවුරුදු එකහමාරක් බලා සිටීමට සිදුවේ.
පවතින අර්බුදය විසඳා ගැනීමට ඉහත දැක්වූ විකල්ප දෙක ප්‍රායෝගික වශයෙන් භාවිතයට ගත නොහැකි නම් ඉතිරී වී අති අවසාන විසඳුම වන්නේ විධායකයේ ඉහළ කොටස වන ජනාධිපතිවරයා වෙනස් කොට විධායකයේ දෙවන කොටසට ගැලපෙන ආකාරයට ජනාධිපති තනතුර ගලපා ගැනීමය. මෙසේ කිරීම සඳහා ප්‍රථමයෙන්ම දෝෂාභියෝගයක් මගින් බලයේ සිටින ජනාධිපතිවරයා තනතුරෙන් ඉවත් කළයුතුය. දෙවනුව ජනාධිපතිවරණයක් පවත්වා නව ජනාධිපතිවරයකු තෝරාපත් කරගත යුතුය. නමුත් මෙම විකල්පය හුදෙක් සිතුවිල්ලක් පමණක් වනවා මිස කුමන අයුරකින්වත් යථාර්තකරණය කරගත හැකි විකල්පයක් නොවේ. හේතුව බලයේ සිටින ජනාධිපතිවරයකු තනතුරෙන් ඉවත් කිරීම සඳහා 1978 ව්‍යවස්ථාවෙන් යොදා තිබෙන විධිවිධාන ලෝකයේ ඒ සඳහා යොදා තිබෙන විධිවිධාන අතුරින් අතිශය අමාරු සහ අතිශය සංකීර්ණ විධිවිධාන වීමය.
ඉහත දැක්වූ කරුණුවලින් පැහැදිලවම පෙනී යන්නේ යහපාලන ආණ්ඩුව මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒමට කිසිදු ආකාර මාර්ගයක් නොමැති බවය. මෙම අර්බුදයට හේතුව සම්මුති ආණ්ඩුවක් පවත්වා ගෙන යාමට අවශ්‍ය දේශපාලන දැනුම සහ අවබෝධය, දේශපාලන විනය සහ දේශපාලන සදාචාරය යහපාලන ආණ්ඩුකරුවන්ට නොමැති වීම පමණක්ම නොවේ. ජේ. ආර්. ජයවර්ධන විසින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිර්මාණය තළ අසහාය බලැති ජනාධිපති තනතුර මෙන්ම ආණ්ඩුක්‍රම නීතිය හා භාවිතය පිළිබඳව ප්‍රවීණයන්යැයි හඳුන්වන කිහිප දෙනෙක් විසින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ නිර්මාණය කළ බලගතු පාර්ලිමේන්තුවද මෙම අර්බුදයට එක සමාන ලෙස බලපා ඇත. රට තුළ මේ වනවිට අමුතුම ආණ්ඩුවක් බිහි වී තිබෙන්නේ මෙම හේතු සාධක තුනේ බලෑමෙන්ය.අමුතු ආණ්ඩුව කුමන අර්බුදයක් තිබුණද ඉදිරි අවුරුදු දෙකත් ගත කරනු ඇත. එහි බරපැන දැරීමට සිදු වන්නේ අහිංසක මහජනතාවටය.