ණය ගත්තෝ සහ ගෙවන්නෝ – භාතිය බරුකන්ද

 

මේ ආණ්ඩුව විදේශ රටවලින් ණය අරගෙන කළ එක වැඩක් පෙන්වන්න” කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ආණ්ඩුවට අභියෝග කළා. හිටපු ජනාධිපතිවරයාගේ මේ අභියෝගයට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා රාජපක්ෂ ආණ්ඩුවේ ණය කන්දේ සැබෑ තතු හෙළි කළා පමණක් නොව ඒ ගැන තමා සමඟ විවාදයකට පැමිණෙන ලෙස රාජපක්ෂ මහතාට අාරාධනා කළා. ඒත් මුදල් ඇමැතිවරයාගේ මේ අභියෝගයට මහින්ද රාජපක්ෂ මහතා දැක්වූ ප්‍රතිචාරය දැන මේ දක්වා කිසිඳු ආකාරයක සඳහනක් නැහැ.

මේ තත්ත්වය තුළ පවා පාළුගෙයි වළං බිඳින්නා සේ හිටපු පාලකයන් රට පුරා තැන තැන යමින් මහා ණය අර්බුදයක් රට හමුවේ ඇති බව හා වත්මන් ආණ්ඩුව විදේශ රටවලින් ණය අරන් කළ දෙයක් නැති බව කියමින් ජනතාව මුලා කරමින් සිටිනවා. මෙහිදී ඉතාම පැහැදිලිව හිටපු පාලකයන් උත්සාහ කරන්නේ වත්මන් ආණ්ඩුව විසින් ලබා ගන්නා විදේශ ණය දූෂණයට (සොරා කෑමට) ලක් වන බව සහ තමන් විසින් ඉදිකළ සංවර්ධන ව්‍යාපෘති (හම්බන්තොට වරාය- මත්තල ගුවන්තොටුපොළ ආදි) විකුණා දමමින් මුදල් සොයා ගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගන්නා බව ජනතාව හමුවේ අවධාරණය කිරීමටයි.

එහෙත් ප්‍රශ්නය වන්නේ හිටපු පාලක හවුල කියන කතාවට සම්පූර්ණයෙන්ම පටහැනි කතාවක් භූමිය තුළ සිදුවීමයි. මේ සඳහා අපට ආසන්න උදාහරණයක් වෙත ප්‍රවේශ විය හැකියි.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පසුගියදා රජයේ පොහොර සහනාධාරය සම්බන්ධයෙන් සුවිශේෂ හෙළිදරව්වක් කළා. ඒ පසුගිය ආණ්ඩුව විිසින් පොහොර සමාගම්වලට ණය වී ගෙවීම පැහැර හැර තිබූ රුපියල් මිලියන 48,000ක මුදලින් රුපියල් මිලියන 36,000ක් පසුගිය තෙවසර තුළ ගෙවා දැමීමට වත්මන් ආණ්ඩුවට සිදු වූ බවයි. ඒ අතර මේ වසරේ පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 33,000ක් රජය විසින් වෙන්කර තිබෙන බව ද කෘෂිකර්ම ඇමැතිවරයා සඳහන් කළා.

නොගෙවූ පො‍ෙහාර බිල

මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ ණය පමණක් නොව දේශීය ණය පවා වත්මන් ආණ්ඩුව විිසින් නිර්ලෝභීව ගෙවා දමමින් සිටින බව පැහැදිලි කරන කදිම උදාහරණයක්. මෙහිදී අපි තවත් කරුණක් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඒ මෙරට ගොවි ජනතාව දිනා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කළ දැවැන්තම වැඩපිළිවෙළ වන්නේ ද පොහොර සහනාධාර වැඩසටහනයි. 2005 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වූ මේ වැඩපිළිවෙළ මගින් මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වුණේ රුපියල් 350ක් වැනි මිලකට වී ගොවීන්ට පොහොර ලබාදීමටයි. මේ ඡන්ද පොරොන්දුව 2006 වසරේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මගින් මහින්ද රාජපක්ෂ මහතාට ගොවි ජනතාව අතර දැවැන්ත ප්‍රතිරූපයක් හා ඡන්ද පදනමක් ගොඩනගා ගැනීමට පහසු අවස්ථාවක් ලැබුණා. ඒ බව පසුගිය සෑම මැතිවරණයකදීම මනාව පැහැදිලි වුණේ ගොවි ජනපද, මහවැලිය හා උදාගම් බිහිකළ එජාපයට රජරට ඇතුළු කෘෂිකාර්මික ප්‍රදේශවලින් පසුගිය කාලය පුරාම දැවැන්ත පරාජයක් උරුම කර දෙමිනුයි.

එහෙත් මේ වන විට අප හමුවේ නිරාවරණය වෙමින් පවතින කටුක සත්‍යය වන්නේ පොහොර සහනාධාරයට මුවා වී ගොවි ජනතාවගේ ඡන්දය ලබාගත් හිටපු පාලකයන් තමන්ට ඡන්ද ඉල්ලමක් වූ පොහොර සහනාධාරය සඳහා පොහොර සමාගම්වලින් ලබාගත් පොහොර සඳහා ද මුදල් ගෙවා ගත නොහැකිව සිටි බවයි. අද ඒ ණය කන්දත් ගෙවා දැමීමට සිදුව ඇත්තේ වත්මන් ආණ්ඩුවටයි.

මේ රාජපක්ෂ ආණ්ඩුවේ ණය කන්ද වත්මන් ආණ්ඩුව විසින් ගෙවා දමන එක් උදාහරණයක් පමණයි. තවත් මෙවැනි උදාහරණ සිය දහස් ගණනක් අපට ලබාදිය හැකියි.

විදේශ ණය කන්ද ගෙවන හැටි

තමන් විසින් විවිධාකාර දේශීය සමාගම්වලට හා බැංකුවලට ණය වී ඇති ණය කන්ද වත්මන් ආණ්ඩුව විසින් නිර්ලෝභීව ගෙවමින් සිටින ආකාරය ගැන එකඳු වචනයක් කතා නොකරන හිටපු පාලකයන් ජනතාව මුලා කරන්නේ වත්මන් ආණ්ඩුව දැවැන්ත ලෙස විදේශ ණය ලබා ගනිමින් රට ආගාධය කරා තල්ලු කරමින් සිටින බවටයි. ඒ ණයවලින් කිසිඳු සංවර්ධන කටයුත්තක් සිදු නොකරන බවටයි. එහෙත් මේ කතා කොතරම් සාවද්‍ය ඒවා ද යන්න ගැන ඉතාම පැහැදිලි හෙළි කිරීමක් ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව පරිශීලනය මගින් අපට කළ හැකියි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාව අනුව 2017 වසර අවසාන වන විට ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය එ.ජ. ඩොලර් මිලියන 51,824ක් වෙනවා. එය 2016 වසරට සාපේක්ෂව (46,418) ඩොලර් බිලියන 5.4ක ඉහළ යාමක් බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

මිළඟට මතුවන ප්‍රශ්නය වන්නේ ආණ්ඩුව මේ තරම් ණය ලබාගෙන සිදුකළේ කුමක්ද ? යන්නයි. ඒ සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගියදා පිළිතුරු දී තිබුණා. එහිදී ඇමැතිවරයා ඉතාම පැහැදිලි මූලාශ්‍ර මගින් හෙළි කළේ 2017 වසරේදී විදේශ රටවලට ගෙවීමට තිබූ ණයවලින් සියයට 75ක්ම මහින්ද රාජපක්ෂ යුගයේ ලබාගත් ණය වෙනුවෙන් ගෙවීමට සිදු වූ ඒවා බවයි.

මේ සමඟ මුදල් ඇමැතිවරයා තවත් කරුණක් හෙළි කළා. ඒ ශ්‍රී ලංකාව තම ඉතිහාසයේ දැවැන්තම විදේශ ණය ප්‍රමාණය ගෙවීමට නියමිතව සිටින්නේ මේ 2018 වසරේදී බවයි. ඒ අනුව ශ්‍රී ලංකා ආණ්ඩුව මේ වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 2845ක් විදේශ ණය වශයෙන් ගෙවිය යුතුව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ මුදලින් ඩොලර් මිලියන 1789ක්ම මහින්ද රාජපක්ෂ යුගයේ ලබාගත් ණය සඳහා සිදුකළ යුතු ගෙවීම් වශයෙන් සැලකෙනවා. ඒ අනුව 2018දී ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙවීමට නියමිත විදේශ ණයවලින් සියයට 63කට හිමිකම් කියන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි.

“මේ ආණ්ඩුව විදේශ ණය අරගෙන මොකක්ද කරන්නේ ?” “අපි හදපු දේවල් විකුණාගෙන කනවා” ආදි සාවද්‍ය ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යවන හිටපු පාලක හවුල විසින් ගොඩගැසූ මේ ණය කන්දේ කූඨප්‍රාප්තිය සිදුවන්නේ 2019දී බවයි ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නේ. ඒ 2019දී ශ්‍රී ලංකාව විසින් වාර්තා ගත විදේශ ණය මුදලක් ගෙවීමට නියමිත නිසයි. එය අමෙරිකානු ඩොලර් බිලියන 4.2ක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ ඩොලර් බිලියන 4.2න් ඩොලර් මිලියන 3315ක්ම (සියයට 77ක්) මහින්ද රාජපක්ෂ යුගයේ ලබාගත් ණය සඳහා වන ගෙවීම්වීමයි.

යහපාලනයේ ණය බර

මේ සමඟ අපි යහපාලන ආණ්ඩුව විසින් පසුගිය තෙවසර තුළ ලබාගත් ණය ගැන අවධානය යොමු කළ යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව 2015-17 තෙවසර තුළ ආණ්ඩුව විසින් ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1200ක්. මේ ඩොලර් මිලියන 1200න් ඩොලර් මිලියන 600ක් ලබාගෙන තිබෙන්නේ ව්‍යාපෘති සඳහා ණය දෙන සංවිධාන මා ද්විපාර්ශ්වික පදනම මත සහනදායී ව්‍යාපෘති ණය වශයෙනුයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ ණයවලින් සියයට 48ක් වැයකර ඇත්තේ මහින්ද රාජපක්ෂ යුගයේ ලබා ගෙන තිබූ ණය ආපසු ගෙවීම සඳහා වීමයි.

ණය අරගෙන කළ දේවල්

“මේ ආණ්ඩුව අලුතින් ආරම්භ කළ එක සංවර්ධන ව්‍යාපෘතියක් පෙන්වන්න” යැයි අභියෝග කරන පසුගිය පාලකයන්ට මොරගහකන්ද – කළුගඟ ව්‍යාපාරය, පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය, මධ්‍යම පළාත් අධිවේගී මාර්ගය නොපෙනී යාමට හැකියාවක් නැහැ. එහෙත් දේශපාලන කුහකත්වය හා අවස්ථාවාදීකම මත මෙවැනි අති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රටේ සිදුවන බව කටක් ඇර ජනතාව හමුවේ පිළිගැනීමට තරම් අවංකභාවයක් සහ හෘද සාක්ෂියක් හිටපු පාලකයන්ට නැහැ. මේ තත්ත්වය දේශපාලන අවස්ථාවාදය ඉක්මවා ගිය දේශපලන කුහකත්වයක් ලෙස හැඳින්විය හැකියි.

ඒත් අවස්ථාවාදී දේශපාලනඥයන් නොව ඔවුන් කියන දේ අන්ධභක්තියෙන් විශ්වාස කරන පොදු ජනතාවගේ හිතසුව පිණිස 2017 වසර තුළ විදේශ ණය මගින් මූල්‍යනය කළ ප්‍රධාන ව්‍යාපෘති සහ ඊට වැය වූ මුදල් ගැන හෙළි කිරීමක් කළ යුතුයි.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව (පිටුව 174, සංඛ්‍යා සටහන 5:10) අනුව 2017දී විදේශ ණය වශයෙන් (ව්‍යාපෘති) ඩොලර් මිලියන 1535ක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. එයින් ඩොලර් මිලියන 491ක් ප්‍රදානය කර තිබෙන්නේ චීන අපනයන – ආනයන සංවර්ධන බැංකුව විසින්. මේ මුදලින් ඩොලර් මිලියන 316ක් වැය කර තිබෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 1,2 හා 4 වැනි කොටස් දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය සඳහායි. ඒ අතර පිටතට වටරවුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ 3 වැනි අදියර සඳහා ඩොලර් මිලියන 79ක් ද, හම්බන්තොට කේන්ද්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 59ක් ද, මහ කුරුණෑගල ජල සම්පාදන හා මළාපවාහන ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 18ක් ද වැය කර තිබෙනවා.

චීන අපනයන- ආනයන බැංකුවෙන් ලබාගත් ඉහත සඳහන් ඩොලර් මිලියන 491කම වැය කර තිබෙන්නේ අදත් මහින්ද රාජපක්ෂ මහතා විසින් සියලුම ගරුත්වය ලබා ගන්නා දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය හම්බන්තොට කේන්ද්‍ර නගර සංවර්ධනය වෙනුවෙනුයි. මේ තත්ත්වය මහාමාර්ග සංවර්ධන අධිකාරිය විසින් ද පසුගියදා යළිත් තහවුරු කළා. එම අධිකාරියට අනුව මහින්ද රාජපක්ෂ යුගයේ දැවැන්තම අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ මාතර සිට හම්බන්තොට දක්වා කොටසේ ඉදිකිරීම් සිදුවන්නේ වත්මන් ආණ්ඩුව යටතේ. මහින්ද රාජපක්ෂ යුගයේදී මෙන් එක් එක් කොටස් වශයෙන් නොව එකවර අදියර හතරක් යටතේ එකවර ඉදිකිරීම් සිදුවන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ. ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්යේ ඉදිකිරීම් ද එකවර අදියර දෙකක් යටතේ සිදුවෙනවා. කෙරවළපිටිය දක්වා දිගු කරමින් පවතින පිටත වටරවුම් මාර්ගය ද ඇතුළුව අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල මුළු දුර ප්‍රමාණය මහින්ද රාජපක්ෂ යුගය ඉක්මවා යන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල අයිතිය සින්නක්කරවම මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන විට ලංකාවේ සෙසු මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතාට දැවැන්ත වටිනාකමක් ලබාදීමට ඇතැමුන් නොමසුරු වෙනවා. ඒ අතර වත්මන් ආණ්ඩුව විසින් තැනූ බෝක්කුවක් හෝ පෙන්වන ලෙස අභියෝග ද කරනවා. මේ ඊනියා අභියෝගයන්ට නිසි පිළිතුරු මහ බැංකු වාර්ෂික වාර්තාව සංඛ්‍යා ලේඛන සමඟම දක්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ආණ්ඩුව 2017 වසරේදී ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 360ක් විදේශ ණයවලින් වැඩි ප්‍රමාණයක් වැයකර තිබෙන්නේ මාර්ග සංවර්ධනය සඳහායි. ඒ අනුව ඒකාබද්ධ මහාමාර්ග ආයෝජන වැඩසටහන, පිවිතුරු බලශක්ති සහ ප්‍රවේශය වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා වූ ණය පෙළ, අධ්‍යාපනික සංවර්ධන වැඩසටහන ආදි ව්‍යාපෘති සඳහා පසුගිය වසරේ මේ විදේශ ණය මුදල් ලබාදී තිබෙනවා.

මෙහිදී යළිත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත අප අපගේ අවධානය යොමු කළ යුතුයි. මාර්ග සංවර්ධන අධිකාරිය පසුගිය 06 වැනිදා නිකුත් කළ මාධ්‍ය වාර්තාවක දැක්වුණේ මහාමාර්ග සංවර්ධනය සඳහා 2018 වසරට පමණක් රුපියල් මිලියන 169,000ක් වෙන් කර ඇති බවයි. එයින් රුපියල් මිලියන 84,000ක් මහා භාණ්ඩාගාරයෙන් ද රුපියල් මිලියන 85,000ක් විදේශ ආධාර වශයෙන් ද ලැබී ඇති බව හා ප්‍රධාන මාර්ග සංවර්ධන ව්‍යාපෘති 32ක් මේ වන විට රටපුරා ක්‍රියාත්මක වන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පසුගිය 2017 වසරේදී ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් ලබාගත් ව්‍යාපෘති ණයවල වටිනාකම ඩොලර් මිලියන 207ක් වෙනවා. එමගින් දෙවන සෞඛ්‍ය අංශය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, ජල සම්පාදන සහ සනීපාරක්ෂාව වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය, වේලි ආරක්ෂාව සහ ජල සම්පත් සැලසුම් කිරීමේ ව්‍යාපෘතිය, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම, කළමනාකරණ හැකියා වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සහ නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය (01 කොටස) සඳහා මුදල් ලබාදී තිබෙනවා.

ජපානයෙන්-ඉන්දියාවෙන් ආධාර

ජපාන ආණ්ඩුවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලිය 156 වැය කර තිබෙන්නේ මහ කොළඹ සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් අලාභ අඩු කිරීමේ ව්‍යාපෘතිය, කැලණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සහ ජාතික මාර්ග පද්ධතියේ ප්‍රධාන පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහායි. “මේ ආණ්ඩුව ණයට ගත් මුදල්වලින් ගමක බෝක්කුවක්වත් ඉදිකර නැතැයි” වහසි බස් දොඩවන හිටපු පාලකයන්ට මේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරය ඇස් දෙකෙන්ම දැකබලා ගත හැකියි.

ඉන්දීය රජය විසින් ලබාදුන් ඩොලර් මිලියන 62ක ව්‍යාපෘති ණයවලින් ආණ්ඩුව උතුරු පළාත් දුම්රිය සේවය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සහ මුහුදු තීරය ආරක්ෂා කිරීම සඳහා නැව් දෙකක් ප්‍රසම්පාදනය කිරීම කළා. ඒ අතර ඩොයිෂ් බැංකුව ලබාදුන් ඩොලර් මිලියන 35ක ව්‍යාපෘති ණය මුදල වෙන් කර තිබෙන්නේ වානේ පාලම් 537ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙනුයි. හම්බන්තොට නගරය තුළ ගුවන් පාලම් 12ක් ඉදිකළත් පෑලියගොඩ, නුගේගොඩ සහ දෙහිවල ගුවන් පාලම්වල ඉතිරි අඩ නිම කිරීමට නොහැකි වූ රාජපක්ෂ ආණ්ඩුවට රට පුරා වානේ පාලම් 537ක් ඉදිවන ආකාරය දැන් දැකබලා ගත හැකියි.

මේ අතර කැල්යොන් ක්‍රෙඩිට් අග්රිකොල් විසින් ලබාදුන් ඩොලර් මිලියන 28 වැය කරමින් මහ මාතලේ ජල සැපයුම් ව්‍යාපෘතිය ද ස්පාඤ්ඤය විසින් ලබාදුන් ඩොලර් මිලිය 25න් ගුවන් පාලම් තුනක් සම්පාදනය කිරීමට ද ආණ්ඩුව පසුගිය 2017දී පියවර ගත්තා.

ඉහතින් සඳහන් කළේ වත්මන් ආණ්ඩුව විසින් පසුගිය 2017දී විදේශ ණය මගින් රටපුරා ක්‍රියාත්මක කළ සංවර්ධන කාර්යයන්හි ශේෂ පත්‍රය පමණයි. මේ සංවර්ධන ව්‍යාපෘති දෙස බැලූ විට අපට පහසුවෙන් අවබෝධ වන්නේ අදත් මහින්ද රාජපක්ෂ මහතා විසින් ජීවිත බුක්තියට ලියාගෙන තිබෙන බොහෝ සංවර්ධන ව්‍යාපෘති අදත් ක්‍රියාත්මක වන්නේ වත්මන් ආණ්ඩුව විසින් ලබාගත් ණයවලින්ම බවයි.

මේ තත්ත්වය තුළ “මේ ආණ්ඩුව ණයට ගත් සල්ලිවලින් කළේ මොනවද ?” ප්‍රශ්න කරන හිටපු පාලක හවුලට ලබාදිය හැකි සරල පිළිතුර වන්නේ “ඔබ විසින් කාබාසිනියා කළ ජාතික ආර්ථිකය යළි නගාසිටුවමින් ද ඔබ විසින් ගිල දැමූ කෑමවල බිල ද අප විසින් නිර්ලෝභීව ගෙවමින් සිටින අතර රටට, ජනතාවට දැනෙන ප්‍රදර්ශනකාමයෙන් තොර තිරසර සංවර්ධනයක් වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති බවයි.

සටහන-

භාතිය බරුකන්ද 

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *