|

මහින්දගේ ඩබල් ගේම් ගැන ඒකාබද්ධයේ මැසිවිලි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නිලධාරි මණ්ඩලයක් පත්කිරීම පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම අනුව සිදුවුණා. එහි දී ජනාධිපතිවරයා නැවත වතාවක් පක්ෂයේ සභාපති ලෙස පත්වුණා. එහි දී නව මහලේකම් ලෙස පත්වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පිළිබඳව කා‍ගේත් අවධානය යොමුවුණා.

රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ජනමාධ්‍යවේදියෙක් මෙන්ම ජනමාධ්‍යවේදය පිළිබඳ මහාචාර්යවරයකු ද වනවා. කැලණිය සරසවියේ සේවය කළ ඒ මහතා විද්‍යාලංකාර පිරිවෙනට ගොස් සංඝරත්නයේ ආශීර්වාදය ලබාගත්තා. පසුව මල්වතු අස්ගිරි නාහිමිවරුන් ද හමුවී ආශීර්වාද ලබාගෙන මහාචාර්යවරයා නව තනතුරේ වැඩ ආරම්භ කළා.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහාචාර්යතුමා කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතිකත්වය හා දේශීයත්වය පදනම් කරගත් පක්ෂයක් බවයි. එම පදනමින් පක්ෂය යළි ගොඩනඟා ජයග්‍රහණය කරා මෙහෙයැවීම තම අරමුණ බව ඒ මහතා ප්‍රකාශ ක‍ළා.

මහවැලි ගොවීන් 12, 083 දෙනෙකුට රන්දියවර ඉඩම් ඔප්පු ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගියදා අරලගංවිල දී සිදුවුණා. සියලුම මහවැලි ගොවීන්ට මේ වසර අවසන් වීමට පෙර ඉඩම් ඔප්පු ලබාදෙන බව ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළා.

උත්සවයේ නිවේදන කටයුතු කළ උදවිය කළ වරදක් නිවැරදි කිරීමට ජනාධිපතිතුමා කටයුතු කළේ අතීත නායකයන්ට සාධාරණය ඉටුකරමිනුයි. නිවේදකයන් කීවේ මහවැලි ව්‍යාපාරය ආරම්භ කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය විසින් බවයි. ඒ ගැන සඳහන් කරමින් ජනාධිපතිතුමා කීවේ එතුමිය තමාගේ නායිකාව වුණත් මහවැලිය ආරම්භ කළේ එම රජයෙන් නොවන බවයි. පොල්ගොල්ල වේල්ලට මුල්ගල තබා ඩඩ්ලි සේනානායක අගමැතිතුමා 1969 දී මහවැලි ව්‍යාපාරය ආරම්භ කළ බවත් මැතිනියගේ රජය එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගිය ආකාරයත් ජනාධිපතිතුමා කීවා. පොල්ගොල්ලෙන් උතුරට ජලය නිකුත් කළේ 1976 ජනවාරි 8දා බවත් ඒ මෛත්‍රීපාල සේනානායක ඇමැතිවරයා විසින් බවත් ජනාධිපතිතුමා මතක් කළා.

ගාමිණී දිසානායක මහතා කඩිනම් මහවැලිය ක්‍රියාත්මක කළ ආකාරයත්, එකල විපක්ෂ මන්ත්‍රීවරයකු වූ තමන් සමඟ දිසානායක මහතා පැවැත්වූ සුහද සබඳතාවය ගැනත් මතක් කරන්නට ජනාධිපතිතුමා අමතක කළේ නෑ.

ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංවත්සරය පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැතියේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එහි දී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ මෙම සේවය ක්ෂය වී යන සේවාවක් වුවත් එයට නිසි ගෞරවය දෙන්න රජය කටයුතු කරන බවයි.

තමා කුඩා කාලයේ බෙහෙත් ගන්නට රෝහලට පැමිණි ආකාරය ජනාධිපතිතුමා මෙලෙස සිහිපත් කළා. “අපේ තාත්තා අර කබල් ෆුට් සයිකලයේ මාවත් තබාගෙන ඇඟට තුවායකුත් දමාගෙන කිලෝමීටර් පහක් පමණ දුර ගෙවා පොළොන්නරුව නගරයට පැමිණ ඒ කාලයේ සිටි දොස්තර සිරිල් මහත්තයා වන හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් මට බෙහෙත් අරගෙන දුන්නා” ජනාධිපතිතුමා මේ කතාව කීවේ මෙම වෛද්‍යවරුන්ගේ සේවය තමන් දන්නේ අත්දැකීමෙන් පමණක් නොව කුඩා කල සිට බෙහෙත් ගන්න අයකු වශයෙන් බව කියමින්. සෞඛ්‍ය සේවය සඳහා ඉහළ සම්මාන රටට හිමිවන්නේ එම සේවයේ සිටින සේවක පිරිසගේ උසස් සේවය නිසා බව ද ජනාධිපතිතුමා කීවා.

අගමැතිවරයා සතිය ආරම්භ කළේ මුස්ලිම්වරුන්ගේ ඉෆ්තාර් උත්සවයට අදාළ නිල භෝජනය අරලියගහ මැදුරේ දී සංවිධානය කරමින් ඊට එක්වෙමින්. ඒ සඳහා පක්ෂ විපක්ෂ මුස්ලිම් දේශපාලකයන් සියලුදෙනා සහ මෙරට මෙන්ම විදෙස් මුස්ලිම් ආගමික නායකයන් හා මුස්ලිම් ප්‍රජා නායකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

“ඔබතුමා ආණ්ඩුවේද විපක්ෂයේද කියල නෑ හැමදාම අපට ආරාධනා කරලා ඉෆ්තාර් උත්සවය පැවැත්වූවා. සමහර දේශපාලකයො වගේ ඡන්ද බලාගෙන සුළු ජාතීන් රවටාගන්න ඔබතුමා උත්සාහ නොකරන බව මුස්ලිමවරු දන්නවා” මුස්ලිම් ප්‍රජාවේ බොහෝ දෙනකු අගමැතිට කීවේ එවැන්නක්.

“සමහරු ඡන්දෙ කාලෙට මුස්ලිම්වරුන්ට හා දෙමළ ජනතාවට ආදරෙයි. ඊට පස්සෙ ඒකෙ අනිත් පැත්ත. මමත් එජාපයත් හැමදාම සිංහල වගේම මේ රටේ සියලු සුළු ජාතීන්ට නිසි ගෞරවය දෙනවා. අපි ජාතීන් ලෙස ‍බෙදිලා නොව ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව රට ගොඩනගන්නට කැපවෙමු” අගමැතිවරයා එහි දී කිව්වා.

බ්‍රහස්පතින්දා අගමැතිවරයා හමුවීමට යුද හමුදාපති මහේෂ් සේනානායක අරලියගහ මැදුරට පැමිණියේ අගෝස්තු මස පැවැත්වෙන ජාත්‍යන්තර හමුදා දිනයට අදාළ උත්සවයේ ප්‍රධාන දේශනයට අගමැතිවරයාට ආරාධනා කිරීමටයි.

“මෙතෙක් මේ උත්සවයට ප්‍රධාන දේශනය කරල තියෙන්නෙ පිටරට කෙනෙක්. මෙවර උත්සවයට අපි ඔබතුමාට ආරාධනා කරන්නේ ජාතීන් අතර සංහිදියාවටත් එය වටිනා නිසයි” හමුදාපති මහේෂ් සේනානායක කී විට අගමැතිවරයා අදාළ ආරාධනාව භාරගත්තා. අනතුරුව දෙදෙනා අතර උතුරු නැගෙනහිර ඉඩම් යටිතල පහසුකම් ඇතුළු සංවර්ධනයට අදාළවද අදහස් රැසක් හුවමාරු වුණා. අගමැති හමුවීමට පැමිණ සිටි මැති ඇමතිවරු සමඟ ඔහු කතාබහ කළේ ඉන් අනතුරුවයි.

“විදුලි සංදේශ නියාමන කොමිසම දැන් ආණ්ඩුවේ නිදහස් ජනමාධ්‍ය ප්‍රතිපත්තියට අභියෝග කිරීම විශාල කැළලක්. මුලින් “ඊ නිවුස්” වගේ වෙබ් අඩවි බ්ලොක් කළා. දැන් ඔබගේ සහෝදරයගේ ටී.එන්.එල් එකට පොලීසියත් එක්ක බලෙන් ඇතුල් වෙලා පොල්ගහවෙල ටවර් එකේ බඩු ටික ගලවගෙන ගිහින්.ජනාධිපතිතුමාට මේ ගැන කතා කළේ නැද්ද” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරුවා.

“නෑ. පවුලේ දේවල්වලට මම මැදිහත් වෙන්නේ නෑ”යි අගමැතිවරයා කිව්වා. “ශාන් වික්‍රමසිංහ මෙකට මැදිහත් වෙන්න කියලා ඉල්ලීමක් කළෙත් නැද්ද” දයා ගමගේ විමසුවා.

“මම පාර්ලිමේන්තුවේ ඉන්නකොට ශාන් මට කතා කරලා විස්තරේ කිවුවා. මැදිහත් වෙන්න කියලා කිවුවේ නෑ.මම මැදිහත් වෙන්නෙත් නෑ කියලා එයා දන්නවා. ප්‍රශ්නය අපිම විසදගන්න නම් කියලා එයා මට කිවුවා” අගමැතිවරයා කිව්වා.

“පොල්ගහවෙල කුළුණේ සංඛ්‍යාත 03න් දෙකකට මුදල් ගෙවල තිබිල තියෙන්නේ. ඉතිරි එකේ ප්‍රශ්නය ටී.එන්.එල් එකට කලින් දන්වලා කොමිසමට ප්‍රශ්නය විසදගන්න තිබූණාලු. ඒත් එහෙම නොකර පොලීසියත් එක්ක ඇවිත් බඩු ගලවාගෙන ගිහින් තියෙන්නේ” නවීන් දිසානායක කීවා.

“ජනමාධ්‍ය ඇමතිටත් නොදන්වා මේක කරලා තියෙන්නේ.පනත අනුව එහෙම කරන්නත් බෑ. ඇමතිතුමාත් දැනගෙන තියෙන්නේ බඩු ගලවගෙන ගියාට පස්සෙයි” විජයදාස රාජපක්ෂ කීවේ එවැන්නක්.

“ආණ්ඩුවේ සංවර්ධන වැඩ වේගවත් කරන්න අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කිරීම ගැන ඒකාබද්ධය හා 16 කල්ලිය කැමති නෑ. එතන තියෙන්නෙ පටු දේශපාලනයයි. ඒ වගේම ශ්‍රීලනිපය තුළත් ඒ ගැන මත දෙකක් තිබෙන බව පේනවා. දුමින්ද කැමතියි අමරවීරගෙ ස්ථාවරය ඊට වෙනස්” විජේදාස රාජපක්ෂ කිව්වා.

“සංවර්ධනය වේගවත් කරන්න මන්ත්‍රීවරු එකතුකර ගැනීමයි මෙතන දී කරන්නෙ. අයවැයෙන් එවැනි කටයුතුවලට මුදල් වෙන්කරල තියනවා. ඔවුන්ට කාර්යාල පහසුකම් විතරයි දෙන්නේ. අමාත්‍යාංශ වැඩවලට යන විට ඒකෙ වාහනයක් පාවිච්චි කරන්න ඉඩ ලැබෙනවා. මුදල් දීමක් කරන්නෙ නෑ. ඒවා බොරු. ඒත් කරන වැඩවලට යම් දීමනාවක් දීම සාධාරණයි. ඒ ගැන සලකා බලන්න වෙනවා.” අගමැතිවරයා පැහැදිලි කළා.

“මහින්දගේ කාලේ මේ වගේ අධීක්ෂණ මන්ත්‍රීල දුසිම් කීයක් හිටියද? හොඳම නිදසුන ඒ කාලේ ආරක්ෂක අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රී වෙලා හිටියේ දුම්න්ද සිල්වා” රන්ජන් රාමනායක මතක් කළා.

“ඒකාබද්දයේ ඇතුලේ බෙදීම එයාලා කොච්චර වහන්න හැදුවත් නියෝජ්‍ය කථානයක තෝරන ඡන්දයට එයාලගෙන් කට්ටියක් මග ඇරීම තුළ ඒ රණ්ඩුව එලියට ආවා. 16 දෙනාගෙ කල්ලියත් සම්පූර්ණයෙන්ම දෙකට බෙදිල ඉන්න බවත් එතන දී පැහැදිලි වුණා.” විජේදාස රාජපක්ෂ කළ විග්‍රහය සියලුදෙනා පිළිගත්තා..

“රු.මිලියන 07ක් පොලු තිබ්බා කියල ඕස්ට්‍රේලියානු යුවලක් ගම්මන්පිලට විරුද්ධව නඩු කියනවා විතරක් නෙවෙයි ප්‍රවෘත්ති සාකච්ඡා තියල රෙදිත් ගැලෙව්වා. ඒත් ගම්මන්පිලලා කතාකරන්න ගියාම බුදු වෙලා ඉන්නේ.” චමින්ද විජේසිරි කිව්වා.

“සිංගප්පූරු ගිවිසුම ගැන ප්‍රශ්න අහල බන්ධුල ගුණවර්ධනත් අගමැතිතුමාගෙන් පාර්ලිමේන්තුවේ දී හොඳට අහගත්තා. අපරාදෙ කියන්න බෑ හැම ටීවී චැනල් එකක්ම ඒවා ඔක්කොම ප්‍රචාරය කළා” චමින්ද විජේසිරි කිව්වා.

නියෝජ්‍ය කථානායක තෝරා පත් කර ගැනීමේ ඡන්දය පසුගිය අඟහරුවාදා දින සවස පාර්ලි‌‌මේන්තුවේ දී පැවැත්වුණා. මේ ඡන්දය පැවැත්වීම අඟහරුවාදා දින සිදු වෙයි ද, නැතිනම් බදාදා දින සිදුවෙයි ද කියා මන්ත්‍රීවරු අතර පැවතියේ දෙගිඩියාවක්. කොහොම වුණත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා කවදා ඡන්දය පැවැත්වුවත් ඒ ඡන්දයෙන් ආණ්ඩු පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා නිහඬ මෙහෙයුමක් දියත් කර තිබුණා.එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්‌ ඡන්දය ලබා දීමට සභාගැබට පැමිණ සිටියා. ඡන්දයට නො පැමිණියේ විදේශ ගත වී සිටින මන්ත්‍රීවරුන්‌ සහ අසනීපව සිටි මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් පමණයි.

ඡන්ද විමසීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරු වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්ගේ නම් අඬගැසීමේ දී පැවතියේ නිහඬතාවයක්. මේ තිදෙනාම එම අවස්ථාවේ සභාගැබේ සිටියේ නෑ. ඒ දුටු සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂය දෙසට අත දිගු කර, මොකද සුදර්ශනීට රාජපක්ෂවරුන් කැමති නැතිදැයි විමසුවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙද් දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කෑ ගසා ‌ කියා සිටියේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි අගමැතිවරයා අනිවාර්යෙන්ම කාන්තාවකට ඡන්දය පාවිච්චි කරන බවයි. ඊට ප්‍රතිචාර ලෙස අගමැතිවරයා සිනා සි ඡන්දය ප්‍රකාශ කළා.

සරත් ෆොන්සේකා මහතා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන විට විපක්ෂය දෙසින් “ලේප් රයිට් – ලේප් රයිට්” යනුවෙන් හඬ නැඟුවා. සරත් ෆොන්සේකා මහතා “දැන් ඒවා මතක නෑ” යැයි ඊට ප්‍රතිචාර දැක්වුවා.

අවසානයේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ මොණරාගල දිස්ත්‍රික් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා ඡන්ද 97 ක් ලබා ගෙන නියෝජ්‍ය කථානායක ධුරයට පත් වුණා.

උදාගම්මාන වැඩපිළිවෙළේ 75 වැන්න ලෙස ජනතා අයිතියට පත්වූයේ මඩකළපුව දිස්ත්‍රික්කයේ කෝරලෙයිපත්තු, කන්නගිපුරම් හි “මුල්ලෛයිනගර්” උදා ගම්මානයයි. සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරයා 04 වැනිදා හම්බන්තොට සිට එහි ගියේ එම ගම්මානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙන්නයි. දමිළ ජනයා බහුලව විසූ ඒ පෙදෙසේ දී ඇමැතිවරයා පිළිගැනීමට සාම්ප්‍රදායික දමිළ නැටුම්වලින් සමන්විත විශේෂ සංස්කෘතිකාංග රැසක්ම සමන්විත කර තිබුණා. උත්සව සභාව අරඹමින් සජිත් ඇතුළු පිරිස පිළිගත්තේ නැගෙනහිර හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වූ ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ගේ ටී. එම්. වී. පී. පක්ෂයේ සභාපතිනිය මෙන්ම කෝරලෙයිපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපතිනියද වන සෝභා ජෙයරන්ජිත් මහත්මියයි. සජිත් සමඟ වේදිකාවේ එකට අසුන්ගෙන සිටියේ දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. යෝගේෂ්වරන් සහ ජී. ශ්‍රීනේෂන් දෙදෙනායි. පටු පක්ෂ භේද නොතකා ජාතික වැදගත්කමකින් යුතු මෙවැනි උත්සවයට එක්වීම පිළිබඳව සජිත් මොවුන් සියලුදෙනාට ස්තුතිය පළ කළා.

සිකුරාදා ස්වදේශ කටයුතු අමාත්‍යාශයෙන් ග්‍රාම නිලධාරී පත්වීම් ප්‍රදානය කිරීම අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඉදිරි මාස 18 දී ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානය යොමු කරන්නේ සංවර්ධන කටයුතු සඳහා බව මෙහි දී අගමැතිවරයා කියා සිටියා. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන හා නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් මේ සඳහා සහභාගී වී සිටියා

අවුරුදු දෙකක් රට හදලා ඉදිරි මාස 18 දී ශීඝ්‍ර සංවර්ධනයක් අපි ඇති කරනවා. මෙතෙක් නොතිබූ සංවර්ධන ව්‍යාපාරයක් අපි ගමේ ඇතිකරනවා. රටක් හදන එක ලේසි වැඩක් නොවෙයි. ගම්මානවල දියුණුව සඳහා පමණක් රුපියල් මිලියන 80, 000ක් වෙන්කරලා තියෙනවා. මේ සංවර්ධනය තමයි ජනතාව බලාපොරොත්තු වුණේ. ඒ සඳහා තමයි අපිට ඡන්දය දුන්නේ. ඒ සඳහා අපි ක්‍රියාකරනවා යැයි අගමැති රනිල් වික්‍රමසිහ මහතා එහි දී වැඩිදුරටත් කීවා.

එහි දී වජිර අබේවර්ධන අමාත්‍යවරයා ග්‍රාම නිලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් කියා සිටියේ ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ නායකත්වයෙන් සිදුකෙරෙන ග්‍රාමීය සංවර්ධන කටයුතු සඳහා පූර්ණ සහයෝගය දෙන ලෙසයි.

එහි දී ඇමැති වජිර මෙතෙක් නොකී කතාවක් ද කීවා.

” 1997 දී ග්‍රාම නිලධාරී තනතුර අහෝසි කරන්න එවකට පැවැති රජය උත්සාහ ගත්තා. එදා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා විපක්ෂයේ සිටිමින් ඒ වෙනුවෙන් වහාම මැදිහත්වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ ප්‍රතිඵලයක් ලෙසයි අද මේ ග්‍රාම නිලධාරී තනතුර ආරක්ෂා වෙලා තියෙන්නේ. ග්‍රාම නිලධාරීවරු එදා නඩු ගාස්තු සඳහා වැයවුන මුදල් එකතු කර චෙක්පතකින් රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වූ අවස්ථාවේ එතුමා ඒ මුදල භාර නෙගෙන මාක් ප්‍රනාන්දු විනිසුරුතුමා මගින් එම මුදල් චෙක්පත වෘත්තීය සමිති සුබ සාධන කටයුතු සඳහා ලබා දුන්නා. ”

අඟහරුවාදා සවස වජිර ඇමැතිවරයා අරලියගහ මන්දිරයට ගියේ ඉස්ලාම් ආගමික බැතිමතුන්ගේ උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් උත්සවයට සහභාගීවීමට. එහි දී අගමැතිවරයාත්, කථානායකවරායත් ඇතුළු මැති ඇමැතිවරු රැසක් සමඟ වජිර අබේවර්ධන අමාත්‍යවරයා මේ උත්සවයට සහභාගී වී සිටියා. එහි දී මුස්ලිම් ආගමික නායකයන් රැසක් පැමිණ පසුගිය දා ගිංතොට ප්‍රදේශයේ ඇතිවූ කළහකාරී සිද්ධිය මැඩපැවැත්වීමට ඇමැති වජිර ගත් උත්සාහය පිළිබඳ මහත්සේ ප්‍රශංසා කළා. ඒ අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ

“වජිර ගිංතොට සිද්ධියේ දී ලොකු දෙයක් කරලා සිද්ධිය සමථයකට පත්කළා. ඒ නිසා මහනුවර සිද්ධයේ දීත් වජිර ඒ වැඩ ටික මම භාර දුන්නා යනුවෙන්. ”

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය 06වැනිදා පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී රැස්වුණා. මෙහි දී විශේෂ අවධානයක් යොමු වූයේ 20වැනි සංශෝධනය සම්බන්ධයෙන්. ”අපි විස්ස ගේන්නත් කලින් සමහරු මේක ගැන බොරු බිල්ලෝ හැදුවා. රට බෙදනවා කිවුවා. බටහිර කුමන්ත්‍රණයක් කිවුවා. විස්ස එළියට දැම්මට පස්සේ දැන් ඒ පිරිසට කියාගන්න දෙයක් නැහැ.

විස්ස ගේන්න කලින් සඟ සමුළු තියපු නායක හාමුදුරුවන් වහන්සේලා විස්සේ කරුණු ගැන තවම මොකුත් ප්‍රකාශයක් නිකුත් කරලා නැහැ.” විජිත හේරත් කීවා. ”විස්ස එළියට දාලා නැති තත්ත්වයක් ඇතුලේ බංකොලොත් කණ්ඩායම්වලට ඕනෑම බිල්ලෙන් හදන්න පුළුවන්. නමුත් විස්ස එළියට දැම්මාම ඒකේ කරුණු එක්ක තමයි විවාදයක් තියෙන්නේ. ඒ අයගෙ කිසිදු තර්කයක් සාධාරණීකරණය කරන්න විස්සෙන් මොකුත් හොයාගන්න බැරිවෙලා ඉන්නේ. දැන් වෙන වෙන සම්පප්‍රලාප කියවනවා.

වාගාලංකාර කියවනවා.” අනුර දිසානායක කියා සිටියා. ”මුලින්ම කිවුවා රට බෙදන්න තමයි මේ සංශෝධනය ගේන්නේ කියලා. නමුත් අපි 13වෙනි සංශෝධනයට අදාළ ජනපති බලතල කිසිවකට අත තියලා නැහැ. අපි ඒ අයට අභියෝග කරනවා පුළුවන්නම් විස්සේ තියෙන කරුණුවලින් රට බෙදෙන්නේ කොහොමද කියලා ඔප්පු කරන්න කියලා. ඊට පස්සේ කිවුවා මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා. දේශපාලනය නොදන්නකම එකෙන්ම තේරෙනවා. අධිරාජ්‍යවාදීන්ට ඕනෑ රටේ තනි පුද්ගලයෙක් අතේ බලය තියෙන එක. මොකද තනි පුද්ගලයෙක් නම්මගන්න එක තමයි අධිරාජ්‍යවාදීන්ට පහසු. ඒ අනුව අධිරාජ්‍යවාදී බලවේග විස්සට විරුද්ධ වෙන්න ඕනෑ. මේ කණ්ඩායම් කොයිතරම් කලබල වෙලාද කියනවනම් හැමදේම පටලවාගෙන ඉන්නේ.” ටිල්වින් සිල්වා කීවේ එහෙමයි.

කෙසේ වෙතත් පසුගිය පාර්ලිමේන්තු සතියේ දී මේ සම්බන්ධයෙන් අපූරු සිදුවීමක් වාර්තා වුණා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පසුගිය පස්වෙනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා. එහි දී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා යෝජනාවක් සිදුකර තිබෙනවා. ”විස්ස ගැන අපේ මන්ත්‍රීවරුන්ට හොඳ අවබෝධයක් නැහැ. විස්සේ කරුණු හරියටම දන්නේ නැතුව විවිධ අසත්‍ය කරුණු කියන්න ගිහින් අපි හෑල්ලූ වෙනවා. ඒක නිසා විස්ස ගැන අපේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කරන්න අනුර දිසානායක ගෙන්වන්න ඕනෑ.” වෙල්ගම කියා සිටියා.ඒක හොඳයි.

මොකද විස්ස හදපු අයම ඒ ගැන පැහැදිලි කරන එක හොඳයි.” තවත් මන්ත්‍රීවරයෙක් අනුමත කළා.මෙහි දී කලබලයට පත්වූ 20ට මුල සිටම විරෝධය දක්වන සියලූ දේවල් කුමන්ත්‍රණ ලෙස දකින මන්ත්‍රීවරක් කියා සිටියේ ”අනුර දිසානායක මොකටද අපිට පැහැදිලි කිරීම් කරන්නේ. විස්ස ගැන මම පැහැදිලි කරන්නම්” කියායි. ”මොකෙක් පැහැදිලි කරත් මට කමක් නැහැ. හැබැයි මම අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න ඕනෑ” වෙල්ගම මන්ත්‍රීවරයා මදක් කෝපයෙන් කීවා.

ආණ්ඩුවේ ඇමැතිධුර දරමින් සිට විපක්ෂයට එකතුවන්න හදන ශ්‍රීලනිප කණ්ඩායමට එරෙහිව පොහොට්ටු පක්ෂයේ පිරිසක් ආරම්භ කොට තිබූ සීතල යුද්ධය මේ සතියේ ප්‍රබල ගැටුමක් ලෙස ප්‍රදර්ශනය වුණා. ඒ නියෝජ්‍ය කථානායක තේරීම සඳහා පැවැති ඡන්ද‍යත් සමඟයි. එම තනතුරට එජාපයෙන් තරග කළ ආනන්ද කුමාරසිරි මහතා සමඟ තරගයට ශ්‍රීලනිපයෙන් සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉදිරිපත්කොට තිබුණා. ඒකාබද්ධ විපක්ෂ රැස්වීමේ දී යෝජනා වූයේ සුදර්ශනිට සහය දිය යුතු බවයි. එසේ වුවත් පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ උදවිය එයට කැමැති වුණේ නැහැ.

මෑතක් වනතුරු ආණ්ඩුවේ ඇමැතිධුර දරමින් සිටි පිරිස බාර ගැනීම ගැන පොහොට්ටු පක්ෂය තුළ තිබෙන්නේ දැඩි විරෝධයක්. මේ පිරිස අවසානය දක්වාත් ආණ්ඩුවේ සිටීමට උත්සාහ දැරූ බවත් ඇමැතිකම් අහිමි වූයේ එජාපයේ දැඩි විරෝධය නිසා බවත් ඔවුන් කියනවා. එමෙන්ම මෙම පිරිසට දැන් ඡන්ද පදනමක් නැති බවත් ගමේ ශ්‍රීලනිප ඡන්ද දැන් පොහොට්ටුවට හරවාගෙන අවසන් බවත් කියන ඔවුන් මේ පිරිස බාර ගැනීම නිසා ගමේ පොහොට්ටුවේ සංවිධායකයන්ට අසාධාරණයක් වන බවත් පෙන්වා දෙනවා. සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියට ඡන්දය ලබාදීමටද මෙම මන්ත්‍රීවරුන් කැමැති වූයේ නැහැ.

නියෝජ්‍ය කථානායක ඡන්දය පවත්වන මොහොත වනවිට පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයින් ඇතුළු දහ අට දෙනකු සභාවේ හිටියේ නැත. ඡන්දයේ දී එජාපයේ අපේක්ෂකයා වැඩි ඡන්ද 44ක් ලබමින් ඉහළ ජයග්‍රහණයක් ලැබුවා.

පොහොට්ටුවේ මෙම හැසිරීම නිසා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ආදීන් දැඩි කෝපයට පත්වී සිටිනවා. ඔවුන් තම විරෝධය ප්‍රකාශ කිරීමක් ලෙස එදින හවස මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ නායක සාකච්ඡාව වර්ජනය කළා. මෙලෙස ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩාම තුළ පැහැදිලි බෙදීමක් හටගෙන තිබෙනවා.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඩබල් ගේමක නිරත වී සිටින බවටද ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් නායකයන් මැසිවිලි නගනවා. නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්ද විමසීමේ දී එජාප අපේක්ෂකයා පරාජය කරන්නට ඡන්දය දෙන්නැයි කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රසිද්ධියේ කීවද ඒ මහතා ඡන්දය විමසන අවස්ථාවට නොසිට පිටව යාමත් ඡන්දය දීමට අන් අයට බල නොකිරීමත් මෙම සැකයට හේතුවී තිබෙනවා. මහින්ද සමඟ බැසිල්, නාමල් ආදී රාජපක්ෂවරුන් මෙන්ම මහින්දට හිතවත්ම මන්ත්‍රීවරුන්ද ඡන්දය දීම මග හැරියා. මෙය රාජපක්ෂ මහතා නොනිල වශයෙන් දුන් උපදෙස් මත සිදුවූ බව කියනවා. ඉක්මනින් ආණ්ඩුබලය ගැනීමේ වුවමනාවක් රාජපක්ෂ මහතාට නැති බවත්, එම නිසා බලය ගැනීමේ වැඩ පිළිවෙළ අඩපණ කරන බවටත් තැන තැන චෝදනා නැගෙනවා.

ගොසිප්ලන්තය

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *