දත සුදු ගෝඨා සහ බියසුලු අජිත් – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

‘දී කිරට බළලුත් සාක්ෂි කියානවා’ යැයි කියමනක් තියෙනවා. ඒ කියමන මගේ මතකයට ආවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ගැලවුම් කාරයෙක් වශයෙන් මේ මොහොතේ කලඑළි බැස සිටින විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ජුනි මස 03 දා මාධ්‍ය හමුවක දී කළ ප්‍රකාශක් නිසයි. ඔහුගේ ප්‍රකාශය මෙසේයි.

“නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියා ගෝඨාභය රාජපක්ෂ මහතාට කතරගම ගෙයක් තිබෙන බව. ඔහුගේ නමින් දැනට අවුරුදු හත අටකට කලින් නිකුත්කළ වතුර බිලක් පෙන්නල තමයි කියන්නේ කතරගම ගෙයක් තියනවා කියලා. ඒ සමඟම රජයේ මාධ්‍යයක් වන ස්වාධීන රූපවාහිනී නාළිකාවේ ප්‍රවෘත්තියක් ලෙස විකාශය වුණා කතරගම ගෙයක් පෙන්වමින් මෙය ගෝඨාභය රාජපක්ෂගේ නමින් තිබෙන බව වතුර බිල කියලා වතුර බිලක් පෙන්නුවා. දැන් කියනවා මේ ගෙදර අයිති ගෝඨාභය රාජපක්ෂට ඔහු මහජන දේපළ අනිසි ලෙස යොදවලා මේ ගේ හදවලා තිබෙනවා කියලා”

අජිත් ප්‍රසන්න මහතා හමුදාවේ විශ්‍රාමිකයකු සේම නීතිඥයකුද බවයි කියන්නේ. ඔහුගේ තර්කය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා නමින් කතරගම නිවෙසට නිකුත්කර ඇති වතුර බිල අවුරුදු හත අටක් පැරණියි. වතුර බිලකින් නිවෙසක අයිතිය තහවුරු කළ හැකි බව අවබෝධකරගන්නට මහා නීති දැනුමක් අවශ්‍ය වන්නේ නැහැ. පදිංචිය සහ අයිතිය තහවුරු කිරීමේ මූලාශ්‍රයක් වශයෙන් වතුර බිල් සහ ලයිට් බිල් නීත්‍යානුකූලව පිළිගන්නා නිසයි අවුරුදු හත අටක් පරණ වතුර බිලක් බව කී පමණින් අදාල නිවෙස, බිලෙහි නම සඳහන් තැනැත්තාට අයිති එකක් නොවන බවක් තහවුරු වන්නේ නැහැ. අවුරුදු හත අටක් පැරණි ලයිට් බිලක් කතරගම නිවෙසට නිකුත්කර ඇත්නම් එසේත් නැත්නම්, මීට වසර හත අටකට පෙර එකී කතරගම නිවෙසට වතුර බිල් නිකුත් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමින් නම් එහි අර්ථය මීට වසර හත අටකට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතාට එම නිවෙසේ හිමිකමක් තිබී ඇති බවයි.  ඊළඟ කරුණ වන්නේ නීතිඥයකු බවද කියා ගන්නා අජිත් ප්‍රසන්න මහතා අදාළ වතුර බිල් වසර හත අටක් පරණ බව කීව ද ඒවා නිකුත් කළ දිනය සාධාරණ සැකයකින් තොරව ඔප්පු නොකිරීමයි. එසේ නම් ඔහුට කරන්නට තිබුණේ අදාළ වතුර බිල නිකුත් කර ඇති දිනය නිවැරදිව මාධ්‍ය හමුවේ ඉදිරිපත් කිරීමයි. ඒ අනුව අජිත් ප්‍රසන්න මහතාට අදාළ නඩුව දිනන්නට බැරි බව හොඳටම විශ්වාසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සුද්ධවන්තයකු කරන්නට නම් අජිත් ප්‍රසන්න මහතා කළ යුතුව තිබුණේ අදාළ නිවස ගෝඨාභය රාජපක්ෂ මහතාට අයිති එකක් නොවන බව තර්කානුකූලව ඔප්පු කිරීමයි. එහෙත් ඔහු ඒ වෙනුවට කරන්නේ තරුණයන්ගේ භාෂාවෙන් කිවහොත් නිකම්ම නිකන් වැල් බයිලා කියමින් ජනතා උදහසින් ගෝඨාභය ගලවා ගන්නට උත්සාහ දැරීම පමණයි.

තවත් අතකින් ගත් කළ අයිතිකරුවන් නැති දේපළ සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට ඇත්තේ කූප්‍රකට ඉතිහාසයක් බව රටේ ජනතාවගෙන් වසන් කරන්නට පුළුවන්කමක් නැහැ. උදාහරණයක් වශයෙන් මල්වානේ ඉඩම ගන්නට පුළුවනි. රාජපක්ෂ පවුලේ නිල නැකැත් ඇදුරා වන සුමනදාස මහතා මෑතක දී ඉහත ඉඩමට අදාළව උසාවියට ප්‍රකාශ කර තිබුණේ ඉඩම සම්බන්ධයෙන් නැකැත් කටයුත්තක් කරදෙන ලෙස බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිය තමාගෙන් ඉල්ලූ බවයි. අයිති නැති ඉඩම්වලට නිවාසවලට නැකැත් බලවන්නට කවුරු හෝ ඉදිරිපත් වනවාද? එයත් හරියටම තවකෙ‍නකුට අයිති නිවසකට වෙනත් කෙ‍නකුගේ නමකට වතුර බිලක් නිකුත් කරනවා යැයි කීම හා සමානයි නේද?

අජිත් ප්‍රසන්න ඉහත මාධ්‍ය ප්‍රකාශයේ දී වැඩිදුරටත් උත්සාහ කර තිබුණේ ඇවන්ගාඩ් මිග් ගනුදෙනුව ලංකා හොස්පිටල් ගනුදෙනුව ඩී.ඒ. රාජපක්ෂ කෞතුගාරය ආදිය සම්බන්ධ වංචා ඇතැයි කියමින් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නට මීට පෙරත් උත්සාහ කළ බවයි. ඉහත කරුණු සම්බන්ධයෙන් විභාග වෙමින් පවතින නඩුවලට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ගැවී ඇති බව බොරුවක් හෝ රහසක් නොවෙයි. එසේ තිබියදී ඇත්ත වසන් කරමින් අජිත් ප්‍රසන්න මහතා උත්සහ කරන්නේ, ඉහත නඩුවලට පටලවා ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නට ආණ්ඩුව උත්සාහ කළ නමුත් ජ්‍යෙෂ්ඨ නීතිඥයන් උසාවි නියෝගලබා ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමෙන් වලක්වා ගත් බවට අදහසක් සමාජ ගත කරන්නයි. එහි දී අජිත් ප්‍රසන්න මහතා පැහැදිලිවම කරන්නේ කොලය වසා ගැසීමක්. මන්ද ජ්‍යෙෂ්ඨ නීතිඥයන් තියා කවර නීතිඥයෙක්වත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ස්වාධීනව ඉදිරිපත් වී ඔහුව අත්අඩංගුවට ගැනී‍මෙන් වලක්වාගත්තේ නැහැ. අත්තවශයෙන්ම සිදු වූයේ ඉහත කරුණු සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට පත්වීමට නියමිත බව දැනගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිඥයන් යොදවා තමා අත්අඩංගුවට ගැනීම වැලැක්වීමට වාරණ නියෝගයක් ලබාගැනීමයි. ඉන් පැහැදිලි වන්නේ අජිත් ප්‍රසන්න මහතා මහ ඉහළින් වර්ණනා කරමින් වීරයකු ලෙස හුවා දක්වන්නට උත්සාහ කරන ගෝඨාභය රාජපක්ෂ මහතාට තමාට විරුද්ධව ඇති චෝදනාවකට උසාවිය හමුවේ පෙනී සිට නිවැරදි බව ඔප්පු කරන්නට තරම්වත් ආත්මශක්තියක් නැති බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා සතුව ඇතැයි කියන කතරගම නිවස සම්බන්ධ කාරණය යටගැසීමට අජිත් ප්‍රසන්න මහතා ගොඩනඟන තවත් තර්කයක් වන්නේ, ඉහත චෝදනාව ඉදිරිපත් කරන රන්ජන් රාමනායක මහතා කලක් ඇමරිකාවේ සේවය කළ බව සහ එහි දී ක්‍රෙඩිට් කාඩ් වංචාවක් කර ඇති බවයි. රන්ජන් රාමනායක මහතා ක්‍රෙඩිට් කාඩ් වංචාවක් කළා ම කියමු. එසේ වූවාය කියා ගෝඨාභය රාජපක්ෂ මහතා යම් වරදක් කර ඇත්නම් එය නිවැරදි වනවාද? අනෙක් අතට රන්ජන් රාජමනායක මහතා යනු අජිත් ප්‍රසන්න මහතා පවසන අකාරයට ඇමරිකාවට අවශ්‍ය කරන නොහොත් වෝන්ටඩ් පුද්ගලයෙක් නම් ‍ඇමරිකාව ඔහු අත්අඩංගුවට ගන්නැයි හෝ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකා ආණ්ඩුවට නොකියන්නේ ඇයි? අනෙක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමින් ඇති බව කියන කතරගම නිවෙසේ වතුර බිල් රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කරන තුරු අජිත් ප්‍රසන්න මහතාට ක්‍රෙඩිට් කාඩ් ප්‍රශ්නයක් මතක් නොවුණේ ඇයි?

ඉස්සා තමාගේ නළලේ අසූචි තබාගෙන මම සුදනා කියා කියනවා යැයි කතාවක් ගැමිවහරේ තියෙනවා. ඉහත කියමන මතක් ‍වන්නේ අද රාජපක්ෂවරුන්ගේ ගැලවුම්කාරයා වශයෙන් පෙනී සිටින අජිත් ප්‍රසන්න මහතාගේ අතීත පැටිකිරිය අවුස්සා බලන විටයි. අද රණවිරුවකු වශයෙන් භෞතීස්ම ලබන්නට උත්සාහ කළත් අජිත් ප්‍රසන්න මහතා කළ යුද්ධයක් නැහැ. යුද්ධය දරුණු සමයේ ඔහු යුද පිටියේ සිටියේ නැහැ. සරත් ‍ෆොන්සේකා වැනි සැබෑ රණවිරුවන් බිහිසුණු යුද්ධයකට මුහුණ දෙද්දී අද සරත් ෆොන්සේකා මහතාට මඩගසන්නට දත කන අජිත් ප්‍රසන්න 2007 වන විටත් යුද්ධයෙන් විශ්‍රාම ගත් අයෙක්. හමුදාවේ සේවය කළ කාලයේ පවා ඔහු ස්ථානමාරු නොගොස් යුද බිමට නොයා යුද්ධය මගහැර සිටි අයකු බවයි කියන්නේ.

ඊළගට රන්ජන් රාමනායක මහතාට ක්‍රෙඩිට් කාඩ් චෝදනා කරන ඔහු තමා කර්නල් විභාගයට පෙනී සිටීමේ දී විභාග වංචාකර හසුවූවකු බව අමතකව ඇත්තේ කෙසේදැයි සිතා ගත නොහැකියි. අත්තවශයෙන්ම අජිත් ප්‍රසන්න වැන්නවුන් සැබෑ රණවිරුවන්වත් සැබෑ නීතිඥයන්වත් නෙමෙයි රාජපක්ෂ වලවුවෙන් බඩවැඩුමක් පතා කහින ඇස්බැන්දුම්කාර කපටියන් පිරිසක් පමණයි.

අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *