|

බොරුවට සොරුන් හොයමින් සැබෑ ‍හොරුන් රැකීම – සී ජේ අමරතුංග

දැන් මෙහෙයුම පටන්ගෙන තිබෙන්නේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් මුදල් ලබාගත් බව කියන දේශපාලනඥයන්ගේ නම් ලැයිස්තුව සොයන්නටය. එහෙම ලැයිස්තුවක් ‍තිබෙන බව කියැවුණේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ලක්ෂ දහයක් ලබාගත් බව හෙළිවීමත් සමඟය. ඔහු කීවේ තවත් දේශපාලනඥයන් පිරිසක් එලෙස මුදල් ලබාගත් බවකි. එකසිය දහඅටක ලයිස්තුවක් ඇති බවට කතාවක් කොහෙන්දෝ කඩාපාත් වුණි. ඇතැම් ජනමාධ්‍යවලටත් දේශපාලනඥයන්ටත් දැන් මෙය හොඳ බයිට් එකක් වී ඇත්තේ එය යොදාගෙන ප්‍රතිවාදීන්ට මඩ ගසන්නට අවස්ථාවක් උදාවී ඇති නිසාය.

‍චෝදනාව නියමින් හා අනියමින් එල්ලවන සියලු දෙනාට දැන් මෙය ප්‍රශ්නයකි. මන්ත්‍රීවරුන් කතානායකතුමාගෙන් ඉල්ලා ඇත්තේ එහෙම ලැයිස්තුවක් තිබෙනවානම් හෙළිදරව් කරන ලෙසයි. මලික් සමරවික්‍රම ඇමැතිවරයා ජනාධිපති ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ ලැයිස්තුවක් ඇතිනම් හෙළිදරව්කොට තමන්ගේ නිදොස් බව පෙන්වන ලෙසයි. තවත් මැති ඇමැතිවරුන්ට මෙය ප්‍රශ්නයක්වී ඇති බව පෙනෙන්නට ඇත. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කීවේ තමන්ට ලක්ෂයක චෙක්පතක් ලැබුණු බව හා තමා එය වෙනත් අපේක්ෂකයන් දෙදෙනකුට දුන් බවයි.

බොරු ප්‍රචාරයක් පමණයි

බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන වගකීම දරන ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා කියා තිබුණේ කොමිසමේ වාර්තාව සමඟ විවිධ ලේඛන ඇතත් අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම්වලින් මුදල් ලබාගත් නාමලේඛනයක් ඒ සමඟ නැති බවයි. බැඳුම්කර වාර්තාවේ ඉතිරිකොටස් නිකුත් කිරීමට ඒ මහතා නීතිපති උපදෙස් පතා ඇති අතර සංවේදී නොවන පරිච්ඡේද ගණනාවක් මේ වනවිටත් නිකුත්කොට ඇත. දැනගන්නට ඇති ආකාරයට ඒ සමඟ මුදල් ලබාගත් දේශපාලනඥයන්ගේ හෝ වෙනත් අයගේ නාමලේඛනයක් නැත. එසේ වුවද අන්තර්ජාලයේ එබඳු ලේඛනයක් පළකොට ඇතැයි ද එය ව්‍යාජ වාර්තාවක් බව ද කියා ඒ ගැන පරීක්ෂණ පවත්වන්නැයි පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත්වී ඇත.

ඇලෝසියස්ගේ සමාගම්වලින් මුදල් ගත් 118 දෙනකුගේ ලැයිස්තුවක් ඇතැයි කියන කතාව අම්පාරේ වඳපෙති කතාව මෙන්ම බොරු ප්‍රචාරයක් බව කතානායක කරු ජයසූරිය මහතා පැවසූ බවටද වාර්තා පළවී ඇත. එය නිවැරදි වාර්තාවක් යැයි සිතෙන්නේ ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළේද එබඳුම අදහසක් වන නිසාය. මෙයින් සිදුවී තිබෙන්නේ ඇත්තටම මුදල් ගෙන අතටම අසුවී සිටින උදවිය කෙරෙන් අවධානය ඈත්වීමයි. ඒ වෙනුවට දැන් අවධානය තිබෙන්නේ වෙනත් අල්ලස්කාරයන් පිරිසක් සොයන්නටය.

කරුණු සිදුවෙමින් තිබෙන ආකාරයට පෙනෙන්නේ දේශපාලන ව්‍යාපෘති අනුව කටයුතු කරමින් ජනතාව නොමග යැවීමට කිසියම් පිරිසක් කටයුතු කරමින් සිටින බවයි. එම කතාව ගොඩනගන්නට හදන්නේ මෙහෙමය. “දයාසිරි මෙතරම් මුදලක් ගත්තානම් අනෙක් අය ඊට වඩා ලබාගෙන තිබිය යුතුය. ඒ අයද හෙළිදරව් කළ යුතුය. හැමවිටම ආණ්ඩුවට ඇඟිල්ල දික්කරන්න දඟලන කණ්ඩායම් කියන්න හදන්නේ එහෙමය. දූෂණ විරෝධීන් කියා ගන්නා සමහරුද ක්‍රියාත්මක කරන්නේ එබඳු න්‍යාය පත්‍රයක් බව පෙනේ. එම න්‍යාය පත්‍රයටම වැඩ කරන ජනමාධ්‍ය කරන්නේ කිසිදු පදනමක් නැති මෙම බේගල්වලට ඉහළ ප්‍රචාරයක් දීමයි. දූෂණ විරෝධයේ නාමයෙන් මෙබඳු දේශපාලන ගේම් ගහන්න යනවිට වෙන්නේ සැබෑ දූෂණ සෙවීම කෙරෙන් අවධානය ඉවත් වීමය. අනෙක් අතින් දූෂණ ගැන කියන කතා ගැන ජනතා විශ්වාසය පළුදු වීමයි.

අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම්වලින් දේශපාලනඥයන් මුදල් ලබාගෙන නැතැයි අපට කෙසේවත් කිව නොහැකිය. සබඳතා ඇති දේශපාලනඥයන් ‍එලෙස මුදල් ලබාගෙන තිබෙනවා විය හැකිය. එසේ වුවද අපට පෙනෙන විධියට හා මේ වනවිට කරුණු හෙළිදරව් වී ඇති ආකාරයට බැඳුම්කර කොමිසමේ වාර්තාව සමඟ නම් ඇලෝසියස්ගේ සමාගම්වලින් මුදල් ගත් පිරිසකගේ ලැයිස්තුවක් තිබිය නොහැකිය. බැඳුම්කර කොමිසන් වාර්තාවේ එවැනි කිසිඳු සටහනක් ද නැත.

බැඳුම්කර කොමිසම කීවේ කුමක්ද?

යම් හෙයකින් මේ කියන විදියට එකසිය දහඅටක වාර්තාවක් ඇත්නම් එහි එජාප මන්ත්‍රීවරුන්ද සිටිය යුතුමය. වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව එසේ නොමැතිව එකසිය දහඅටක ලැයිස්තුවක් සැකසිය නොහැකිය.

බැඳුම්කර කොමිසමේ වාර්තාවේ පැහැදිලිව සඳහන් වන්නේ අර්ජුන් ඇලෝසියස්ගේ සමාගම්වලින් එක්සත් ජාතික පක්ෂයට හෝ එහි යම් දේශපාලනඥයකුට මුදල් ලැබුණු බවට කිසිම සාක්ෂියක් තමන්ට නොලැබුණු බවයි. බැඳුම්කර වාර්තාවේ (ඉංග්‍රීසි මුල් පිටප‍ෙත්) 875 වන පිටුවේ අවසන් කොටසේ ඒ බව සඳහන් වන්නේ මේ ආකාරයෙනි. බැඳුම්කර ගනුදෙනුවෙන් පර්පචුවෙල් ට්‍රෙෂරීස් ඉපැයූ ලාභය එක්සත් ජාතික පක්ෂයට ලැබුණේය යන සැකය ගැන සඳහන් කරන කොමිසම කියන්නේ මෙයයි.

“කෙසේ වුවත් ඉහතකී අනුමානයන් නිසා එක්සත් ජාතික පක්ෂයේ සභාපති හා ලේකම්ගෙන් මෙන්ම ගරු අගමැතිතුමාගෙන් අප විශේෂයෙන්ම ප්‍රශ්න කළේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමෙන් හෝ එයට සම්බන්ධ සමාගම්වලින් පක්ෂයට හෝ එයට සම්බන්ධ කිසියම් සාමාජිකයකුට මුදල් ආධාර ලැබුණද යනුවෙනි.”

“තිදෙනාම පැහැදිලිව ප්‍රකාශ කළේ එබඳු කිසිදු මුදල් ලැබීමක් ගැන තමන් නොදන්නා බවටයි.”

“මෙම සාක්ෂි වැරදි බව හැඟෙන කිසිදු තොරතුරක් අප වෙත ඉදිරිපත් වූයේ නැත.”

ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සාමාජිකයකුට මුදල් ලැබුණු බවට කිසිදු සාක්ෂියක් ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත්වී නැති බවයි. මුදල් ලැබුණු එජාපයේ කාගේ හෝ නමක් ඇති ලැයිස්තුවක් බැඳුම්කර වාර්තාව සමඟ තිබිය නොහැක්කේ ඒහෙයිනි. තිබෙනවා නම් තිබිය හැක්කේ එජාප නොවන අයගේ ලැයිස්තුවකි. එවිට ප්‍රශ්නය මතුවන්නේ එජාප නොවන එකසිය දහඅටක් පාර්ලිමේන්තුවේ නම් නොමැති නිසාය.

එජාප කිසිවෙක් මුදල් ගෙන නෑ!

කොමිසම් වාර්තාවේ 30 වන පරිච්ඡේදය වෙන්ව ඇත්තේ පර්පචුවෙල් සමාගමේ ලාභයට සිදුවූයේ කුමක් ද යන්න පෙන්වාදීමටය. 873 පිට සිට 875 පිට දක්වා වන එම කොටසින් කොමිසම කියන්නේ එම ලාභය සමාගම් සමූහයේ වෙනත් සමාගම්වලට මාරුකොට ඇති නමුත් සමාගම් සමූහයෙන් පිට ගොස් නැති බවයි.

බැඳුම්කර ගනුදෙනු ‍ගැන සොයා බැඳුම්කර කොමිසම ඉතාම විනිවිදභාවයෙන් කටයුතු කළ බවත් අවශ්‍ය සාක්ෂි සියල්ලම පාහේ ගොනුකරගත් බවත් අපි දුටුවෙමු. අගමැතිතුමාට පවා එය ඉදිරියේ පෙනී සිටින්නට සිදුවිය. තිබෙන චෝදනා සියල්ල ගැන එමගින් සොයා බැලීය. ඉන්පසු දී තිබෙන තීන්දු නොපිළිගැනීමට කිසිදු හේතුවක් නැත. ඒවා පිළිගත නොහැකි බව කිසිවකු කියා නැත. එසේනම් එජාපයේ කිසිවකු බැඳුම්කර මුදල් ලබා නොගත් බවට දී ඇති විනිශ්චය ද ප්‍රශ්න කළ නොහැකිය. කොමිසම කියන්නේ එබඳු සාක්ෂි නොලැබුණු බවයි.

මෙයින් පෙනෙන්නේ ඇලෝසියස්ගෙන් මුදල්ගත් එකසිය දහඅටකගේ නැත්නම් ඊට වැඩි ගණනක ලැයිස්තුවක් බැඳුම්කර වාර්තාව සමඟ ඇතැයි කීම පට්ටපල් බොරුවක් බවයි. එවැන්නක් ඇත්නම් එය සඟවා වාර්තාව ලියන්නට කොමිසමට කිසිදු හේතුවක් නැත. කවුරුන් හෝ එවැන්නක් කියනවා නම් එය සැලකිය හැක්කේ කොමිසමට අපහාස කිරීමක් වශයෙනි. එම නිසා කවුරු කවුරුත් දැන් මෙලෙස ජනතාව නොමග යැවීමෙන් පරිස්සම් විය යුතුය.

දැන් අප නැවතත් කල්පනා කළයුතු කාරණයක් ඇත. එය නම් බැඳුම්කර ගනුදෙනුව ගැන සෙවූ ජනාධිපති කොමිසමේ පිටු එක්දහස් ගණනක වාර්තාවක් පිටව තිබියදී හා මෙම ගනුදෙනු ගැන පැහැදිලි තීන්දු එමගින් දී තිබියදී එහි අතුරුදන් පිටු සොයන්නට සමහරුන්ට තදියම්වී තිබෙන්නේ කුමන හේතුවක් නිසාද යන්නයි. එයද තේරුම් ගැනීම අපහසු නැත. එයට එකම හේතුව නම් විපක්ෂයේ දේශපාලන න්‍යායපත්‍රයට යොදාගත හැකි තීන්දු එම වාර්තාවේ නොමැතිවීමයි. එහි පැහැදිලිව සටහන්කොට ඇත්තේ විපක්ෂය ගෙනයන ප්‍රචාරවලට පදනමක් නැති බවයි.

පට්ට පල් බොරු

විපක්ෂයේ ඊනියා ආර්ථික විශේෂඥයෝ පසුගිය කාලයේ පට්ට ගණන් බැලීමක් කළහ. තවමත් කරමින් සිටිති. ඔවුන් එයින් කියන්නේ මහබැංකු වංචාවේ පාඩුව රුපියල් ට්‍රිලියන ගණනක් වන බවයි. එසේ කියන්නේ 2015 පෙබරවාරි 27දා බැඳුම්කර නිකුත්කිරීමේදී බැංකු පොලිය ඉහළ ගිය බවත්, එම ඉහළයාම නිසා වසර තිහක් තිස්සේ ගන්නා ණයවලට වැඩි පොලියක් ගෙවීමට සිදුවන බවත් ඒ අනුව ගණන් බැලූවිට අලාභය ට්‍රිලියන ගණනක් වන බවයි. මේ ඊයේ පෙරේදා දේශපාලන න්‍යායපත්‍රකාරයෙක් එබඳු කතාවක් කියා තිබුණේ බැඳුම්කර වාර්තාවෙන් ඒ ගැන පැහැදිලි නිගමනයක් දී තිබියදීය.

ඒ ගැන බැඳුම්කර වාර්තාවේ 932 වන පිටුවේ සඳහන් වන්නේ මේ ආකාරයෙනි.

“කෙසේවෙතත් සාක්ෂි මගින් තහවුරු වූයේ, කල් ගතවූවිට හා විශේෂයෙන්ම 2015 අප්‍රේල් 11 දින බැංකු පොලී අඩු කිරීමත් සමඟ පොලී අනුපාත මෙන්ම භාණ්ඩාගර බැඳුම්කර පොලී අනුපාතද ක්‍රමානුකූලව අඩුවූ බවයි.”

“ඊළඟ ඡේදයේ මෙසේ සඳහන්ය.”

“2015 සිට සිදුවූ පොලී ඉහළ යාමට එකම හේතුව පෙබරවාරි 27දා බැඳුම්කර නිකුතුව නොවේ… “අතිවිශාල ණයබර, ගෙවුම් ශේෂ හිඟය, වෙළෙඳ හිඟය හා මෙහි සඳහන් කළ යුතු නැති තවත් අපහසුතා රාශියක් නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රශ්න ගණනාවකට මුහුණදී තිබිණි.”

“මෙම තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ සියලුම ආර්ථික දුර්වලතාවලටත් 2015 පෙබරවාරියෙන් පසු බැංකු පොලී අනුපාත හා භාණ්ඩාගාර බැඳුම්කර පොලී වැඩිවීම්වලට හේතුව 2015 පෙබරවාරි 27දා බැඳුම්කර නිකුතුව යැයි කීම සාධාරණ නැත.”

බැඳුම්කර කොමිසම මේ කියන්නේ කුමක් ද? 2015දී සිදුවූ පොලී ඉහළ යාමට හේතුව බැඳුම්කර නිකුතුවේ පොලිය ඉහළයාම නොවන බවයි. රටේ අධික ණයබර හා වෙනත් ප්‍රශ්න එයට හේතුවූ බවයි. එමෙන්ම කල්යනවිට එය නැවත පහතවැටුණු බවයි. 2015 අප්‍රේල් 11දා බැංකු පොලී අඩුකිරීමෙන් පසුව එය සාමාන්‍ය තත්ත්වයට පැමිණි බවයි.

විපක්ෂය අනාථයි

කොමිසම කියා නැති කාරණයක් ද මෙහිදී සිහිපත් කළ යුතුය. 2015 ජනවාරි අගදී යහපාලන රජය ඉදිරිපත් කළ අය වැය ලේඛනය මගින් රජයේ සේවක වැටුප් රුපියල් දසදහසකින් වැඩිකිරීම, ඛනිජ තෙල් මිල විශාල ලෙස අඩුකිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කිරීම ඇතුළු සහන රැසක් දුන් බවයි. එයින් රජයේ වියදම් විශාල ලෙස වැඩිවන අතරම ආදායම විශාල ලෙස අඩුවූ බවයි. එවිට රජයට විශාල මුදලක් හදිසියේ අවශ්‍යවූ අතර පොලී ඉහළ යාමට එයද හේතුවූ බව ඉතා පැහැදිලි කාරණයකි.

මෙලෙස බැඳුම්කර ගනුදෙනුව නිසා පොලී ඉහළගියා නොව රටේ පොලී ඉහළයාම බැඳුම්කර ගනුදෙනුවෙන් පෙන්නුම් කළාද විය හැකිය.

මේ අනුව විපක්ෂයේ ඊනියා විශේෂඥයන්ගේ පට්ට ගණන් හැදීමේ ක්‍රමවේදය බැඳුම්කර ජනාධිපති කොමිසම විසින් ඉවත දමා ඇති බව පැහැදිලිය. ට්‍රිලියන ගණනක පාඩුව ගැන කතාව පසෙකට දමා කොමිසම කියා ඇත්තේ එම ගනුදෙනුවේ පාඩුව හැටඅටකෝටි අසූහත්ලක්ෂ හැට දෙදහස් එකසියයක් පමණක් බවයි. මෙම සංඛ්‍යාව සසඳා පෙන්වන්නට යමක් හොයනවිට මේ ලේඛකයාට හමුවූයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තම ආයතනයේ ජීවිත රක්ෂණ හිමියන්ට මේ වසරේ ගෙවන ලාභාංශ ප්‍රමාණය රුපියල් කෝටි හැට අටක් බවයි. විපක්ෂය කියන මහබැංකු කොල්ලයේ තරම ඒකය.

මේවා කළේ කවුද? මුදල් තියෙන්නේ කොහේද? යන සියල්ල ද බැඳුම්කර කොමිසන් වාර්තාවේ පැහැදිලිව සටහන්කොට ඇත. එහි ප්‍රධාන සැකකරුවන් මේ වනවිට රිමාන්ඩ් භාරයේය.

විපක්ෂයේ ගේම් කාරයන් දැන් බැඳුම්කර වාර්තාවේ සැඟවුණු අමුත්තා සොයන්න පටන්ගෙන තිබෙන්නේ වාර්තාවෙන් තම පච ප්‍රචාරවලට බඩේ පාර වැදී ඇති නිසාය. ඒ සියල්ල කුණු කූඩයට වැටී ඇති නිසාය. ඉතින් දැන් කරන්නේ තවත් මොකක් හෝ පචයක් ප්‍රචාරය කරමින් ජනමතය අවුල් කරන්නට උත්සාහ දැරීමයි.

චීනයේ හිටපු නායක සභාපති මාඕ සේතුං කීවේ “නැති සතුරකු මවාපාන්නේ සැබෑ සතුරා වසන්කිරීමටයි කියාය.” අපට කියන්න වෙන්නේ බොරු සොරකු මවාපාන්නේ සැබෑ සොරුන් රැකගැනීමටයි කියාය.

විපක්ෂය දැන් කරන්න උත්සාහ දරන්නේ ඒකයි. එයද සාර්ථක නොවන බව සිකුරුය.

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *