‘උඩ බලාගෙන කෙල ගැසූවිට වැටෙන්නේ මුහුණට’ම බව ජනපති නොදනී ද? – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්‍ගේ 76වන ජන්ම දින සංවත්සරයට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතිශය වේගවත් කතාවක් කර තිබුණා. ඒ කතාව මුළුමනින්ම ගත් විට එක්සත් ජාතික පක්ෂයට දෝෂදර්ශනය එල්ල කරන්නට කළ එකක් බවයි පෙනෙන්නේ. සම්මුතිවාදී ආණ්ඩුව යනුවෙන් හැඳින් වෙන මේ ආණ්ඩුවේ ප්‍රධානියාවන්නේ ජනාධිපතිවරයායි. අගමැතිවරයා එම ආණ්ඩුවේ දෙවැනි නායකයායි.

සෝභිත හිමියන් අනුස්මරණ උත්සවයේ දීජනාධිපතිවරයා කළ කතාව හැම අතින් ම ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකා රත්කරමින් කළ කතාවලට සමානයි. පළාත් පාලන මැතිවරණයේ දී ජනාධිපතිවරයා කළ කතාවලින් උත්සාහ කළේ එක්සත් ජාතික පක්ෂයට ප්‍රහාරාත්මකව වචන එල්ලකිරීම මගින් මහින්ද රාජනක්ෂ වෙතට හෙවත් පොහොට්ටුව දෙසට නැඹුරුවී තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද තමන් වෙතට දිනාගැනීමට යැයි අනුමාන කරන්නට පුළුවන්. නමුත් ඔහුගේ ඒ අරමුණ සාර්ථක නොවූ බව පැහැදිලි වන්නේ පොහොට්ටුවට ඡන්දයෙන් පළමු තැනත්, එක්සත් ජාතික පක්ෂයට දෙවන තැනත් ජනාධිපතිවරයා නායකත්වය ‍දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තුන්වැනි තැනත් ලැබීම නිසයි. ජනාධිපතිවරයා ආණ්ඩුවේ එක් පාර්ශ්වයක් වන එක්සත් ජාතික පක්ෂය විවේචනය කරන තරමට ම ඔහුගේ ඡන්ද පදනම වැඩිවැඩියෙන් දියාරුවෙමින් මහින්ද රාජපක්ෂ පිළ ශක්තිමත් වීමයි සිදුවුණේ.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76වන ජන්ම දින සංවත්සර උළෙලේ දී ජනාධිපතිවරයා කළ කතාව අනුව පැහැදිලි වන්නේ එය සම්මුතිවාදී ආණ්ඩුවේ සියලු වැරදි සහ අඩුපාඩු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් ඔහු නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයත් පිට පටවා තමන් නිවැරැදි යැයි හුවා දක්වන්නට කළ උත්සාහයක් බවයි. ආණ්ඩුවේ සියලු අඩුපාඩු වැරදිවලට හේතුව රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂය බව මදකට පිළිගත්තා වුවත් ඒ වැරදි සහ අඩුපාඩුවල වගකීමෙන් ජනාධිපතිවරයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාට නිදහස්විය හැකිවන්නේ නැහැ.  හේතුව ඔහු මෙරට විධායක ජනාධිපතිවරයා මෙන්ම ආණ්ඩුවේ ප්‍රධානියා ද වන නිසායි. එජාප යේ රනිල් වික්‍රමසිංහ මහතා යම් වරදක් කළේද එය සිදුවනතුරු බලාසිටීමේ වරද, එය නිවැරැදි නොකිරීමේ ‍වරද ජනාධිපති වශයෙන් සහ ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා බාර ගත යුතුයි.

සෝභිත හිමි ජන්ම දින සමරු උළෙලේ දී ජනාධිපතිවරයා කියා තිබුණු එක් කතාවක් වන්නේ ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂ මහතාට තිබුණු ආරක්ෂක රථ ඔහුට අවශ්‍ය ලෙස රැගෙන ගිය බව සහ ජනාධිපති ආරක්ෂාවට තිබුණු අලුත් තාක්ෂණික උපකරණ ද මහින්ද රැගෙන යන්නට ඇති බව හා තමාට තවමත් ඒවා නැති බවයි. එය එසේ සිදු වී නම් එය මහින්ද රාජපක්ෂ මහතාගේ දක්ෂතාවයට වඩා සැලකිය යුත්තේ විධායක ජනාධිපති වශයෙන් මෛත්‍රිපාල මහතාගේ දුර්වලතාවක් වශයෙන් නොවේද? මහින්ද රාජපක්ෂ යුගයේ පොදු ජනතාවගේ දේපල කොල්ලකෑම් වලට දඬුවම් කරනවා තියා වත්මන් විධායක ජනාධිපතිවරයාට අයිති දේ කොල්ලකෑම සම්බන්ධව මහජනතාව ඉදිරියේ නහයෙන් ඇඬීම ඇර වෙනත් කළ හැකි දෙයක් විධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නැද්ද?

මෛත්‍රිපාල සිරිසේන මහතා කියා ඇති තවත් කතාවක් වන්නේ මැතිවරණ පරාජයෙන් පසුව මහින්ද මහතාට නිවෙසට යාමට හෙලිකොප්පටරයක් දීම ගැනයි. ඒ ගැන ඔහු මෙලෝ දෙයක් දන්නේ නැතිලු. ඔහුගෙන් ඇසුවේත් නැතිලු. එවැනි ආකාරයෙන් වැඩ කරන අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට හෝ පරීක්ෂණයක් කිරීමට හෝ ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරියා වන විධායක ජනාධිපතිවරයාට හැකියාවක් නැතැයි පිළිගන්න පුළුවනිද?

දින 100 වැඩ සටහන ගැනත් ජනාධිපතිවරයා සිය විවේචනය එල්ල කරල තිබුණේ; දින 100 වැඩසටහන තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් නොතිබුණු බවත් එය කවුරු හැදුවාදැයි තමා නොදන්නා බවත් කියමිනුයි. ඔහු ගේ වචනවලින්ම එය මෙසේයි.

“දින 100 වැඩ පිළිවෙලත් සමඟ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් ඒ තුළ තිබුණේ නැහැ. මම දන්නේ නැහැ මේක හැදුවේ කවුද කියල. ඒක තමයි කරගත්තු මෝඩම වැඩේ. ඔළුවක් තිබුණා නම් හදන්න තිබුණේ මම දිවුරුම් දීලා පාර්ලිමේන්තුව විසුරුවන්න”

පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශයටත් දින 100 වැඩ සටහන ඇතුළත්ව තිබුණා පොදු අපේක්ෂකයා ලෙස ඔහු මැතිවරණයට ඉදිරිපත් වුණේ දින 100 වැඩ සටහනට අඩංගු දේ මොනවාදවත් දන්නේ නැතිවද?

තමා දිවුරුම් දුන් විගස පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව ප්‍රකාශකරන්නට මෛත්‍රිපාල මහතාට තිබුණේ නැද්ද? දින 100 වැඩසටහන සම්පාදකයන් ඊට අකමැති වූවා නම් මෛත්‍රිපාල සිරිසේන මහතාට තිබුණේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් නොවී ඉන්නටයි. එසේත් නැති නම් ඔහුට තිබුණේ ජනාධිපතිවශයෙන් දිවුරුම් දුන් වහාම විධායක බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්නටයි. එසේ නොකර අවුරුදු තුනකට පසුව දින 100ට එල්ල කරන චෝදනා පිළිගත නොහැකියි.

ජනාධිපති ධූරය සම්බන්ධයෙන් සෝභිත හිමියන්ගේ එක් කොන්දේසියක් වුණේ ජනාධිපතිවරයා කොයි පක්ෂයෙන් පත් වුණත් ඔහු පක්ෂ දේශපාලනයෙන් ඉවත් වී ස්වාධීන පුද්ගලයෙක් වශයෙන් කටයුතු කරන්නට පටන්ගත යුතු බවයි. හේතුව විධායක ජනාධිපති යනු රටේම ජනාධිපති මිස පක්ෂයක ජනාධිපති නොවිය යුතු නිසයි. නමුත් මෛත්‍රි මහතා කළේ, ජනාධිපති වූ විගස පක්ෂය බාරගැනීමයි. සෝභිත හිමි ජන්ම දින උත්සවය අමතමින් ඔහු ඒ ගැන කියා තිබුණේ මෙහෙමයි.

“ශ්‍රී ලං.නි.ප. සභාපතිකම මම බලනේ ඉල්ලා ගත්තේ නැහැ. ඉල්ලුවෙත් නැහැ. හුඟක් අය කියන්නේ මම ගත්තා කියලා. කාගෙන්ද මම ගත්තෙ. පක්ෂයේ මන්ත්‍රිවරු ඔක්කොම ඇවිත් මට ඒක බාර දුන්නා.”

හේතුව කුමක් වුවත්, ආකාරය කුමක් වුවත් දැනටත් මෛත්‍රිපාල මහතා ශ්‍රී ලං. නි. ප. යේ සභාපති ය. සභාපතිධුරය සම්බන්ධ කාරණයේදීත් ඔහු උත්සාහ කරන්නේ ආණ්ඩුවේ අඩුපාඩු සම්බන්ධ කාරණයේ දී මෙන්ම අනුන් මත වරද පටවා තමන් ගේ අත සෝදා ගන්නට ය. ඔහුගේ කතාව අනුව ඔහු සම්පූර්ණයෙන්ම නිර්දෝශීය. වැරදි කර ඇත්තේ අගමැති ය. එක්සත් ජාතික පක්ෂය ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ය. ඔහු ආණ්ඩුවට බනින්නේ ජනාධිපති ආණ්ඩුවේ ප්‍රධානියා නොවේ ය, පවතින්නේ සම්මුතිවාදි ආණ්ඩුවක් නොවේය කියා වාගේය. ආණ්ඩුවේ වැරදි තමාගේත් වැරදි බවත් ආණ්ඩුවට බැන වැදීම තමාටම බැණ ගැනීම බවත් ඔහුට වැටහෙන්නේ නැත. ගැමි භාෂාවෙන් ‘උඩ බලාගෙන කෙල ගසනවා වාගේ’ යයි කියන්නේ මෙසේ හැසිරෙනවාට ය.

අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *