සෝභිත හිමිගේ අනුවන කම හා ජනාධිපතිගේ පණ්ඩිතකම – ජයවීර සෙනෙවිරත්න

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෝභිත හිමි අනුස්මරණ රැස්වීමට සහභාගි වී කළ කතාව දැන් ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත. එය දේශපාලන වශයෙන් ඉතා වැදගත් හෙයිනි.

එම රැස්වීමේ දී ජනාධිපතිතුමා ඇසුවේ දින සියයයේ වැඩ පිළිවෙල හැදුවේ කවුද? කියා ය. ඔහු කීවේ එක මෝඩ ම වැඩේ කියලාය. ඔළුවක් තිබුණා නම් හදන්නට තිබුණේ තමා පත් වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට බවය.

මෙයින් කියන්නේ දින සියයේ වැඩ පිළිවෙල හැදුවේ මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයෙන් බව මුළු රටම දැන සිටිය ද පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා දැන නොසිටි බවයි. මේ මෝඩම වැඩේ කාගෙද? ඔළුවක් නැතැයි ජනාධිපතිතුමා කීවේ කාටද? යන්න කාට කාටත් සිතාගත හැකිය.

තවුරුවත් හදා දුන් එම වැඩ පිලිවෙළ රැගෙන මෛත්‍රිපාල සිරිසේන මහතා රට වටේ ගියේය. ඒ මේ මෝඩ වැඩේ කරන්නට වරම් ඉල්ලාගෙනය. හැට තුන් ලක්ෂ‍යක් ඡන්දය දුන්නේ ඒ මෝඩ වැඩේටය. එම ජනතාව ගැන කියන්නේ කුමක්ද? ඔවුන්ටත් ඔළුවක් තිබුණේ නැතිද?

මාදුළුවාවේ සෝභිත හිමියන්ට අවශ්‍යවූයේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නටය. පොදු ‍අපේක්ෂකයන් සෙ‍ව්වේ ඒකටය. ඒ බොහෝ දෙන ඒකරාශි කරන්නටය.

මෛත්‍රීපාල සිරිසේන මහතා නැති නම් මෙයට ඉතිරිව සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාය. එසේ වුව ද ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායකයා ය. එවිට මැතිවරණය පෙනෙන්නේ එජාපයේ වැඩක් හැටියට ය. වෙනත් පොදු අපේක්ෂකයෙක් ඕනෑ වුණේ ඒකටය. නැතුව දිනන්නට බැරි නිසා නොවේ. මෛත්‍රිපාල සිරිසේන මහතා ම මීට පෙර කීවේ ‘ජනාධිපතිවරණ‍ය තියන්න එපා පරදිනවා’ කියා තමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිට කී බවයි. ඒ පරදිනවා කීවේ රනිල් ට ය. තමා ආවේ නැතිනම් දින්නන්න බැරි යයි දැන් කියන කතාවත් මෛත්‍රිගේ එදා කතාවත් පරස්පරය. එදා කී කතාව හරි නම් මෛත්‍රී පොදු අපේක්ෂකයා වූයේ මහින්ද පරදින බව දැනගෙනය. ජනාධිපතිධුරය ‍ලැබෙන බව දැනගෙනෙය. එසේ නොමැතිව මාදුළුවාවේ සෝභීත හිමියන් ප්‍රමුඛ සිවිල් සමාජයේත් ප්‍රජාතන්තවාදය වෙනුවෙන් වටන් කළ දේශපාලන බල‍වේගවලත් අරමුණ හා අභිලාෂ ගැන කැපවීමකින් නොවන බව දැන් කියන කතාවලින් පැහැදිලිය.

රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්ෂකයා කරන්නට සෝභිත හිමියන් එකඟ වී සිටිය ද ඒ ගැන උන්වහන්සේට ප්‍රශ්නයක් තිබිණි. රනිල් එජාප යේ නායකයාය. ඔහු අතට විධායක ජනාධිපති තනතුර ලැබුණහොත් ඔහු හෝ එම පක්ෂ එම බලය අත් හරින්නට අකමැතිවේය යන්න එම ප්‍රශ්නයයි. ජනාධිපති වී මැතිවරණයක් තබා ආණ්ඩුවක් පිහිටුවා ගතහොත් ජනාධිපති අහෝසි කරනවා බොරුය. පසුගිය කාලයේ අත්දැකීම් එයයි.

ජනාධිපතිවරයා පත්කරගෙන මහ මැතිවරණයකට නොගිහින්  තිබෙන පාර්ලිමේන්තුවෙන්ම විධායක ජනාධිපතිධරය ‍අහෝසි කරන්නටත් අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු කරගන්නටත් සෝභිත හිමියන් වැඩපිළිවෙලක් හැදුවේ ඉහත කී උගුලෙන් ගැලවෙන්නට ය.

මෙහි දී සෝභිත හිමියන් හිතුවේ ජනාධිපතිවරණය පැරදුණු පක්ෂයක් වහාම මැතිවරණයකට මුහුණ දෙන්නට කැමති නොවන බවයි. ජනාධිපතිධුරය ‍තමා අතේ නැති නිසා එය අහෝසි කරන්නට සහාය දෙනු ඇති බවයි. එසේ සහාය නොලැබුණු විටෙක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ විකල්පය ක්‍රියාවට නැගිය හැකිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට එක්වනු ඇතැයි අපේක්ෂාවක්ද විය. බොහෝ දෙනා සිටියේ කලකිරීමෙනි. මෛත්‍රීපාල සිරිසේන මහතා ද පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගන්නා විට කියැවුණේ ඔහුත් සමග හතලිහක පමණ පිරිසක් පැමිණෙන බවයි. පොදු අපේක්ෂක කම දෙන්නට එම බලාපොරොත්තුව ද එක හේතුවකි. ‍එහෙත් පැමිණියේ අතලොස්සකි. සිරිසේන මහතා සමඟ එන්නට වැඩි දෙනෙකු කැමති නොවීය.

කෙසේවෙතත් ජනාධිපතිවරණයෙන් පසුව තත්ත්වය වෙනස් වෙමින් තිබිණි. පිරිසක් එන්නට හැදුවේ “අප්පච්චි මළෝ”  කියාගෙනය. එවිට මහින්ද රාජපක්ෂ මහතා ගේමක් ගැසුවේය. මෛත්‍රී එයට කර ගැසුවේය. මෙහෙම තත්ත්වයක් ඇති වනු ඇතැයි මාදුළුවාවේ සෝභිත හිමියන් ගණන්බලා නොතිබුණි. ජනාධිපතිතුමා දැන් කියන කතා වලින් පෙනෙන්නේ එය උන්වහන්සේ ගේ අනුවන කමක් බවයි.

හතලිස් හත් දෙනෙකුගෙන්  දින සීයය කරන්නේ කොහොමදැයි කියන්න දෙයක් නැත. සෝභීත හිමියන්ට අනුව දින සියය කරන්නේ මුළු පාර්ලිමේන්තුව ම සහය කරගෙනය. එහි හිටියේ එජාපය පමණක් නොවේ. දෙමළ සන්ධානය හා ජනාතා විමුක්ති පෙරමුණමු ද මහින්ද සමඟ සිට ඉවත් වූ ජාතික හෙළ උරුමය, මුස්ලිම් පක්ෂ මෙන්ම ශ්‍රී ලංනිපයෙන් ඉවත්ව පැමිණි කිහිප දෙනාද අමතක කරන්න බැරිය. ශ්‍රී ලංනිප සභාපති කම ලබා ගැනීම  මගින් ජනාධිපති තමන්ගේ පක්ෂයේ කෙනෙකු නොවුණා නම් මහින්ද සමඟ නැගිටින්නට හදන සියලු දෙනාද විධායක ජනාධිපති ක්‍රමට ‍අහෝසි කරන්නට  සහය දෙන්නට ඉ තිබිණි. මාදුළුවාවේ සෝභිත හිමියන් ගණන් බැලු‍වේ එහෙමය. රොටිය ඇට්ටකුණා වුණේ ජනාධිපතිකම විපක්ෂයට හිමිවීම නිසාය.

දහනව වන සංශෝධනයට ශ්‍රී ලංනිපයේ සහය ගන්න අමාරු වූ හැටිත් තමාට ඒ සඳහා වෙහෙසෙන්නට වූ සැටිත් ජනාධිපතිතුමා අපූරුවට පැහැදිලි කළේය. එය ඇත්තකි. මහින්ද පිලට අවශ්‍ය වූණේ ජනාධිපති බලය රැක ගන්නටය. විධායක බලතල අහෝසි කරන යෝජනාව හොඳටම දියාරු කළේ ඔවුන්ගේ බලපෑමෙනි. ඒ වන විට තමන්ගේ පක්ෂයේ නායකයාව සිටි ජනාධිපතිවරයාගේ බලය දුර්වල කරන්නට ඔවුනට අවශ්‍ය නොවීය. අවශ්‍ය වුණේ එම ජනාධිපති ලවා ඒජාපයට පහර ගසන්නට එම බලය රැකගන්නට ය. දහනවයට අමාත්‍ය දක්වා විරුද්ධ වූයේ ඒකය. අන්තිමට එය සම්මත කළේ එසේ නොකළේ නම් වහාම පාර්ලි‍මේන්තුව විසුරුවාහරින ලෙස එජාප යත්, සිවිල් සමාජයත් බලපෑම් කොට තිබූ නිසාය.  දහනමය සම්මත නොවුනා නම් ජනාධිපතිවරයාට සිදුවන්නේ එදා රෑම පාර්ලිමේන්තුව විසුරුවා හරින්නටය.

මේ තත්ත්වය තුළ ‘මෝඩකම් කළේ’ හා ‘ඔළුවක් නැත්තේ’ (වචන ජනාධිපතිතුමාගේය) කාටදැයි පැහැදිලි නැතත් ඇත්ත ගේම් කරයා නම් පැහැදිලිය. ඒ නම් හිටපු ජනාධිපති රාජපක්ෂයි. ඔහුට අවශ්‍ය වූයේ තමන්ට අහිමි වූ ජනාධිපතිකම නැවත තම පක්ෂයට ගෙන එම ජනාධිපතිත් අමාරුවේ දමා ඔහු ලවා එක්සත් ජාතික පක්ෂයට ගස්සවන්නටය. දැන් මේ සිදුවන්නේ ඒකය.

එක අතෙකින් බැලූ විට මේ තත්ත්වය ඇති වෙන්නට ඉඩ දුන් අපි හැමෝටම ‘මෝඩයින්’ හා ‘ඔළුවක් නැති උදවිය’ කීමේ වරදක් නැත. කණගාටු හිතන්නේ පණ්ඩිතයන්ට සිදු වී තිබෙන අකරතැබ්බය දුටු විට ය.

ජයවීර සෙනෙවිරත්න

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *