අජිත් කටපියා ගන්න ඔබේ සැබෑව මෙන්න – රුවන් ලොකු විතානගේ

කීත් නොයාර් මහතා

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් මේ වන විට ගල්කිස්ස අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි අවධානයක් දිනා ගත් නඩුවක් වශයෙන් සැලකිය හැකිය. ඊට හේතුව වන්නේ දීර්ඝ කාලයක් පුරා කිසිදු පරීක්ෂණයකින් තොරව, (පහරදීම සිදු වූ 2008 මැයි 22 වැනි දා සිට),හමස් පෙට්ටියේ බහා ලා තිබූ මෙම සිදුවීම විමර්ෂණයට ගැනීම සමග ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් එරෙහිව පසුගිය දශකයේ (2005-2015), සිදු වූ තර්ජනය කිරීම්, පහරදීම්, පැහැර ගැනීම් සේම ඝාතනය කිරීම් හා සම්බන්ධ සිදුවීම් ජාලයේ සැඟවුණු තැන් මෙම නඩු විභාගය සමග නිරාවරණය වීමය. ඒ සමග විශ්වාස කළ නොහැකි තරම් බලවත් අදිසි හස්ත සහ සැලසුම් මේ හරහා හෙළි වීමය.

හිටපු යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක, විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා කීත් නොයාර් සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීම මෙහි හැරවුම් ලක්ෂයක් වශයෙන් සේම දේශපාලන හා ආරක්ෂක අංශවල බොහෝ දෙ‍නකු තුළ දැඩි තිගැස්මක් ඇති කළ සිදුවීමක් වශයෙන් ද එය සැලකිය හැකිය. මෙම නඩුව තීරණාත්මක අවසානයක් කරා ළඟා වුවහොත් ඇතැම් විට ඉදිරි ජනාධිපතිවරණයේදී යළි බලය අල්ලා ගැනීමට සිහින දකිමින් සිටින පරාජිත රෙජිමයේ ප්‍රබලයින් කිහිප දෙනකුගේ දේශපාලන ජීවිතය ද වැලිකඩින් නිමා වීමට ඇති හැකියාව පහසුවෙන් බැහැර කළ නොහැකිය.

මේ තත්ත්වය තුළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහදීම සම්බන්ධයෙන් මේ වන විට විභාග වෙමින් පවතින නඩුවට විවිධ පාර්ශ්ව වෙතින් සිදු වෙමින් පවතින මැදිහත්වීම් හා මත දැක්වීම් වඩාත් තීව්‍රර වෙමින් පවතින ස්වභාවයක් පැහැදිලිව හඳුනා ගත හැකිය. මෙහිදී දැකිය හැකි විශේෂත්වය වන්නේ අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින නඩුවකට බලපෑම් වන ආකාරයේ මත දැක්වීම්, වාර්තා කිරීම් ආදිය අධිකරණයට අපහාස කිරීමක් වශයෙන් සැලකෙන වාතාවරණයක් හමුවේ පවා අඛණ්ඩව සිදුවීමය.

අධිකරණ කටයුතු බාහිර පාර්ශ්වයන්ගේ මැදිහත්වීම්වලින් හා බාධා කිරීම්වලින් තොරව ස්වාධීනව පවත්වා ගෙන යා යුතුයැයි සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ. ඒ අනුව කිසියම් අධිකරණයක් ඉදිරියේ විභාග වෙමින් පවතින නඩු කටයුක්තක් හෝ ඊට අදාළ දෙයක් ඊට අගතියක් හෝ බලපෑමක් වන ආකාරයෙන් වාර්තා නොකළ යුතු දෙයක් සේ පිළිගැනේ.

ඊනියා මැදිහත්වීම

මේ සමග ලිපියේ ආරම්භක සටහන වෙත අවධානය යොමු කළ යුතුය. ඒ මෙජර් නීතිඥ අජිත් ප්‍රසන්නට පසුගිය 30 වැනිදා ගල්කිස්ස අධිකරණ විනිසුරුවරයා තරයේ අවවාද කළ සිදුවීම වෙතය.

ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් වන නඩු විභාගය පසුගිය 30 වැනිදා ගල්කිස්ස අධිකරණයේදී යළි විභාගයට ගත් අවස්ථාවේදී මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගේ නීතිඥයකු ලෙස මෙජර් අජිත් ප්‍රසන්න මහතා පෙනී සිටීම සහ අජිත් ප්‍රසන්න මහතා විසින් සිදු කරනු ලදැයි සඳහන්, නඩුවට බලපෑමක් වන ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයේ අවධානය යොමු කර ඇත. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ සැකකාර අමල් කරුණාසේකර මහතාගේ නීතිඥයකු ලෙස පෙනී සිටිමින් මෙජර් අජිත් ප්‍රසන්න මහතා අවස්ථා ගණනාවකදී මාධ්‍ය හමුවේ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින අතර නඩු විභාගයේ වමර්ශනයන්ට ද එමගින් බලපෑම් එල්ල වන බවයි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගෙන් අජිත් ප්‍රසන්න මහතා ඔහුගේ නීතිඥයකු වශයෙන් පෙනී සිටින්නේද ? යන්න විමසා ඇති අතර එහිදී සැකකාර අමල් කරුණාසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ මේජර් අජිත් ප්‍රසන්න මහතා තමාගේ නීතිඥයකු වශයෙන් පෙනී නොසිටින බවත්, තමා කිසි විටෙක ඔහු වැන්නෙකුගේ සේවය ලබා නොගත් බවත්ය.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගල්කිස්ස අධිකරණ විනිසුරුවරයාගේ අවධානය යොමු කළ අතර එහිදී විශ්‍රාමික මෙජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගේ නීතිඥයකු ලෙස පෙනී සිටීමෙන් වළකින ලෙස අධිකරණය විසින් මේජර් අජිත් ප්‍රසන්න මහතාට දැඩිව අවවාද කළේය.

පසුගිය කාලය පුරාම අජිත් ප්‍රසන්නලා ඇතුළු හිටපු මිලිටරි කල්ලි විවිධ නම්වලින් සංවිධාන අටවා ගෙන සැබෑ රණවිරුවන් විකුණාගෙන කමින් සිටින්නේ හුදු ජීවනෝපාය මාර්ගයකින් ඔබ්බට ගිය සැලසුම් සහගත බල ව්‍යාපෘතියක අංගයක් වශයෙන් බව බොහෝ දෙනකුගේ අදහසය. මේ අදහස අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තහවුරු කළ හැකි සිදුවීම් රැසක් ඔහුගේ නායකත්වයෙන් හා මෙහෙයවීම යටතේ පසුගිය කාලය පුරා අඛණ්ඩවත්, පුළුල්වත් සිදුවෙමින් පවතී. එය සැබෑ රණවිරුවන්ට පමණක් නොව රටේ, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය හා ජාතික ආරක්ෂව ඇතුළු තවත් අංශ ගණාවකට තීරණාත්මක බලපෑමක් සිදුකරන හෙයින් ජනතාවගේ අවධානය ඒ වෙත කඩිනමින් යොමු විය යුතුය.

මේ වන විට තීරණාත්මක අවසානයක් කරා ළඟා වෙමින් පවතින කීත් නොයාර් සිදුවීමට අදාළව ප්‍රබල මතවාදී මැදිහත්වීමක් සිදුකරන සංවිධානයක් වශයෙන් “මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය සහ එහි නායක මේජර් අජිත් ප්‍රසන්න සැලකිය හැකිය. ඔහු විසින් පසුගිය කාලය පුරා මෙම සිදුවීමට අදාළව මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ද ඔහුට සහ ඔහුගේ කල්ලියට අයත් වෙබ් අඩවි, සමාජමාධ්‍ය භාවිත කරමින් ද අඛණ්ඩ ප්‍රචාරයක් ගෙන යමින් සිටින ආකාරයක් අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය.

මෙහිදී නිරීක්ෂණය කළ හැකි සුවිශේෂ කරුණක් වන්නේ මේජර් අජිත් ප්‍රසන්න මහතා මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය නමින් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කරවීම ආදි රණවිරුවන්ට අදාළ විවිධ නඩු කටයුතු සඳහා සේම විශ්‍රාමක රණවිරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් (ඇවන්ගාඞ්) පෙනී සිටින අතරතුර මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගේ නීතිඥයෙක් වශයෙන් ද ජනමාධ්‍ය හමුවේ පෙනී සිටිමින් විවිධ ප්‍රකාශ නිකුත් කිරීමය.

මෙහිදී අප ප්‍රථමයෙන් මේජර් අජිත් ප්‍රසන්න යනු කවරෙක්ද ? ඔහුගේ දේශපාලන න්‍යාය පත්‍රය කුමක්දැයි හඳුනාගත යුතුය.

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ

මේජර් අජිත් ප්‍රසන්න මහතා සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශයට පත්වන ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය වාර්තාකරණයක් අනුව අපට පෙනී යන්නේ ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු බවයි. අභීත රණවිරුවකු බවයි. රට ජාතිය වෙනුවෙන් නොබියව, දිවි හිමියෙන් සටන් කළ රණවිරුවකු බවයි. ඒ නිසා ඔහුට මව්බිම වෙනුවෙන් දිවිපිදූ, ආබාධිත වූ, විශ්‍රාමික හෝ අදත් ක්‍රියාන්විත සේවයේ යෙදී සිටින රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නිසැක අයිතියක් තිබෙන බවයි.

එහෙත් මේ සමග, මෙජර් අජිත් ප්‍රසන්න මහතාගේ ඊනියා රණවිරු සේවය ගැන සේම ඔහුගේ ක්‍රියාකාරීත්වය, අවංකභාවය ගැන ද දැඩි ප්‍රශ්න කිරීම් පවතින බව අප වටහා ගත යුතුය. එහිදී ප්‍රථමයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ මව්බිමේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මේ වන විට දැවැන්ත රණවිරු චරිතයක් බවට පත්ව සිටින මේජර් අජිත් ප්‍රසන්න මහතා 2007 දී හමුදාවෙන් විශ්‍රාම ගිය අයකු වන බවයි. එසේනම් ඉතාම පැහැදිලිව මේජර් අජිත් ප්‍රසන්න මහතා දහස් සංඛ්‍යාත රණවිරුවන් මව්බිම වෙනුවෙන් තම ජීවිතය පූජා කළ, ඇස්, මස්, ලේ දන් දුන් අවසන් මහා සටනේදී මව්බිම වෙනුවෙන් ඉටුකළ යුතු අභීත වගකීම හිතාමතාම පාවා දුන් විශ්‍රාමික හමුදා නිලධාරියෙක් පමණකි. ඔහුට විජයග්‍රාහී අවසන් මහා සටන වෙනුවෙන් තම ජාතකය කිසිසේත් සුජාතකරණය කිරීමට කිසිසේත් නොහැකිය. මන්ද වඩාත් තීරණාත්මක හෝරාවේ ඔහු විශ්‍රාමිකයෙක් පමණක් වන නිසාය.

අජිත් ප්‍රසන්නලාගේ අරමුණ කුමක්ද ?

දෙවැනි කරුණ ද මීටම අදාළ වේ. ඒ යුද හමුදා වාර්තා අනුව මේජර් අජිත් ප්‍රසන්න මහතා ක්‍රියාන්විත රාජකාරියේදී ස්ථාන මාරු නොගොස් මග හැර සිටි තැනැත්තෙකි. කොටින්ම ඔහු යුද බිමට යාම වෙනුවට ලොක්කන් පසුපස ගාටමින්, සීත කාමරවල රැදී සිටීමට දැඩි ප්‍රයත්නයක් ගෙන ඇත. තම සහෝදර සටන් සඟයින් කොටි මරු කපොළු බිඳ දමමින් මාව්ල්ආරුවේ සිට පුදුමාතලන් දක්වා වසර දෙකක් පුරා අඛණ්ඩ, දීර්ඝ සංග්‍රාමයකට යෙදේදී මේ ඊනියා රණවිරුවා සේවයෙන් ඉල්ලා අස්වූවා පමණක් නොව සේවය කළ කාලයේ පවා ස්ථාන මාරු මඟ හරිමින් කට්ටි පැන ඇත.

මෙජර් අජිත් ප්‍රසන්න මහතා විභාග වංචා සම්බන්ධයෙන් අතේ මාට්ටු වී දඬුවම් ලැබූ වංචාකාරයෙක් ද වීමය. ඒ ඔහු කර්නල් විභාගයට පෙනී සිටීම සඳහා ලියු විභාග ලිවීමේදී හොර කර හසුවී දඬුවම් ලැබූ අයෙක් වීමය.

අද ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා වැනි සැබෑ රණවිරුවන්ට අපහාස උපහාස කරමින් ද ඊනියා දේශප්‍රේමීන්ගේ වන්දිභට්ටයින් ලෙසින් ද පෙනී සිටිමින් ඉතාම පටු හා අවස්ථාවාදී දේශපාලන බල වුවමනා ඉටුකර ගැනීම වෙනුවෙන් සැබෑ රණවිරුවන් විකුණා කමින් සිටින අජිත් ප්‍රසන්නලාගේ සැබෑ පැටිකිරිය මෙලෙසය. අද රණවිරුවන් සේ සිංහ වෙස් ගෙන සිටින බොහෝ දෙනකු සිංහ හම පොරවා ගත් කැනහිළුන් බව අපට මනාව සනාථ වන්නේ අජිත් ප්‍රසන්නලා හරහාය.

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නගේ සහ ඔහු නායකත්වය දෙන මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ දේශපාලන න්‍යාය පත්‍රය අප මීළඟට හඳුනාගත යුතුය. මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ මැදිහත්වීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන මධ්‍යස්ථමතධාරීන් ඔවුන් වෙත ඉදිරිපත් කරන ප්‍රධාන චෝදනාව වන්නේ ලංකාවේ මහා රණවිරුවා වන හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ප්‍රමුඛ රණවිරුවන් සිය ගණනක් රාජපක්ෂ රෙජිමයේ දණ්ඩනයට ලක්ව ජම්පර් අන්දවන විට මේ අජිත් ප්‍රසන්නලා ඇතුළු රණවිරුවන් සිටියේ කොහේද ? ඊට එරෙහිව සිදු කළේ කුමක්ද ? යන්නයි.

මේ චෝදනාව සඳහා මේ දක්වා අජිත් ප්‍රසන්නලා පමණක් නොව රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින ඊනියා දේශප්‍රේමීන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිට අතුරලියේ රතනහිමි දක්වා ඊනියා දේශප්‍රේමීන් කිසිදු උත්තරයක් ලබාදී නැත. ඒ වෙනුවෙන් අදත් සිදුවන්නේ හැකි සෑම අවස්ථාවකදීම ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අපහාස කිරීම හෝ තමන්ගේ පව් ඔහුගේ කරපිටින් යැවිය හැකි කෙටි මං සෙවීමය.

දේශපාලන ව්‍යාපෘති

එහෙත් අජිත් ප්‍රසන්නලා පසුගිය කාලයේ රණවිරුවන්ගේ තත්ත්වය හා ගරුත්වය තම පටු දේශපාලන බල ව්‍යාපෘති වෙනුවෙන් අඛණ්ඩව අපයෝජනය කරන ගලගොඩඅත්තේ ඥානසාර, ඇවන්ගාඞ් හිමිකරු ආදීන් වෙනුවෙන් සේම හිටපු පාලක හවුල වෙනුවෙන් ද අඛණ්ඩව පෙනී සිටිමින් රණවිරු ලේබලය යටතේ “අත නොතබනු” යැයි අවවාද කරන ආකාරය නම් පැහැදිලිව දැකිය හැකිය. ඒ අතර 2020 දී හෝ හැකි ඕනෑම මොහොතක රාජපක්ෂ රෙජිමය යළි බලයට ඔසවා තැබීම සඳහා අවශ්‍ය මතවාදී පදනම සකසමින් සිටින ආකාරය ද පහසුවෙන් වටහා ගත හැකිය.

එසේ නම් අජිත් ප්‍රසන්නලා ඊයේ සේම අදත් හෙටත් පෙනී සිටිනු ඇත්තේ සැබෑ රණවිරුවන් වෙනුවෙන් නොවන බව අප අවබෝධ කරගත යුතුය.සැබෑ සංග්‍රාම භූමියෙන් තීරණාත්මක අවස්ථාවේදී පලා ගොස් යළි සිංහ වෙස් ගෙන විජයග්‍රාහී මහා සංග්‍රාමයේ සියලු වටිනාකම් තම මල්ලට දමාගෙන සදාකාලිකව බලය අල්ලා ගෙන සිටීමට තැත් කරන ඊනියා රණවිරුවන් සහ කිසිදා රණබිම අත නොහැර ගිය සැබෑ රණවිරුවන් අතර වෙනස හඳුනා ගැනීමට තීරණාත්මක හෝරාව ළඟා වෙමින් පවතින බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

රුවන් ලොකු විතානගේ

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *