|

චෙක් එක සහ ප්‍රතිපත්තිය

‘ඇලෝ… සියා සියාදරිගෙ ඔළුවට ගහලා – ඇලෝ… සියා සියාදරිගෙ ඔළුවට ගහලා’

කඩේ ‍කොළුවා පරිප්පු කිලෝවට කඩදාසි ගොට්ට ගහන ගමන් තාලයට ගයන්නට පටන් ගත්තේය. කොල්ලාගේ ගැයුම අසා ඉස්කෝල මහත්තයාට මතක් වූයේ ‘ජෝන්… සිනා පොඩි එකාගෙ ඔළුවට ගහලා’ නමැති ගීතය ය. එහෙත් කඩේ මුදලාලිට කොල්ලා ගේ ගීයෙන් මතක් වූයේ ‘ෆොන්… සේකා මහරජාගෙ ඔළුවට ගහලා’ කියමින් කරණම් දයාසිරි ‍ෆීල්ඩ් මාෂල් ගේ වේදිකා ගානේ ගිය ආකාරයයි.

‘ඇලෝ… සියා සියාදරිට විතරක් නෙමෙයි එකසිය ගණනකගේ ම ඔළුවට ගහලා කියන්නෙ ඇත්තද?’ ඉස්කෝ‍ල මහත්තයාගෙන් මුදලාලි ඇසුවේ ඒ නිසාය.

ඒ ගැන නම් මට හරියට කියන්න බැහැ. ඒත් ඇලෝසියස් කරණම් දයාසිරි ට ඔළුවට ගහපු එක නම් හොඳටම වටිනවා. කියා එවිට ඉස්කෝල මහත්තයා කීවේය.

ඉස්කෝල මහත්තයා එච්චර දරුණු කතාවක් කීවේ ඇයි දැයි එවිට කඩේ ළමයා ඇසුවේය. එයට ඉස්කෝල මහත්තයා උත්තර දුන්නේ, එකසිය ගණනක් ගත්තු එක අමතකවීම පුදුමයක් නේද කියාය.

ඉස්කෝල මහත්තයා ඒ විදිහට කතා කරන එක වැරදියි. කරණම් දයාසිරි ඒ චෙක් එක අරන් තියෙන්නේ මන්ති ධුර අ‍පේක්ෂකයෙක් හැටියට ඉන්දි මිසක් මහ ඇමති කාලෙවත් ඇමති කාලෙවත් නෙමේ කියලා කියනවා නේද? කියා එවිට මුදලාලි ඇසුවේය.

එහෙම බලාගෙන ගියාම ඇමතිකමක් නැත්නම් කාගෙන් චෙක් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. කියූ ඉස්කෝල මහත්තයා, ඔය ආකාරයට කරුණානායක උන්නැහැ ගෙයක් ගත්ත නම් ඒක මන්ත්‍රි කාලෙ අරන් නිකම් හිටියනම් නඩුත් නැතුව ෂේප් වෙන්න තිබුණ කියා ද කීවේය.

මන්ත්‍රි කාලෙයි මන්ත්‍රිකමට ඉල්ලන කාලෙයි, ඇමතිකාලෙයි කියල චෙක් වලින් සල්ලි ගනිද්දි වෙන වෙනම නීති තියෙනවාද ඉස්කෝල මහත්තයා කියා ඇසුවේ කඩේ ළමයා ය.

නැති වෙන්න බැහැනෙ. එයා නීතිඥයානෙ. කියා එවිට ඉස්කෝලෙ මහත්තයා කීවේය.

එයා නීතිඥයා තියා අග්‍රවිනිශ්චයකාර වුණත් මම නම් එයා කියන කිසිම දෙයක් විශ්වාසකරන්නෙ නැහැයි එවිට මුදලාලි කීවේය.

පවු සිද්ධවෙන කතා කියන්න එපා මුදලාලි කරණම් දයාසිරි එච්චරම නරකද? කියා කඩේ ළමයා ඇසුවේ, ඔලොක්කුවට බව මුදලාලිට වැටහුණේ නැත. ඒ නිසා ඔහු මෙසේ කියන්නට පටන් ගත්තේය. පසුගිය ඡන්ද කාලයක ඔය හදයා ෆොන්සේක මහරජාගෙ ඔළුවට ගහලා කිය කියා රට ‍ව‍ටේ ගිහින් ‍ෆෝන්සේකා ෆොන්සේකාගෙ ඔළුවට ගහලා මහරජාගෙ කරට අතදාගත්තා. එච්චරකලක් තිබුණ හම්බන්තොට වරායෙ ගලත් මහරජා එක්ක එකතු වුණ ගමන් වාෂ්පවෙලා ගියා. ඊළඟට සාටක රජාගෙන් මහඇමතිකමකුත් අරගෙන පුලතිසිට හිටං හිටං කියකිය ඉඳලා පුලතිසි ඡන්දෙ දිණුවට පස්සෙ රෙද්දකුත් ඇඳගෙන හිටං ඇමතිකමකුත් ගත්තා. දැන් මහරජාගෙ පිළිකන්නෙ සකච්ඡා කරන ගමන් හිරගෙවල් දහයක දැම්මත් බය නෑ කියනවා, කඩේ මුදලාලි කීවේය.

සාටක එක්ක ගිය අයයි සාටක ළඟ ඉන්න අයයි ඔක්කොම කියන්නේ හිරගෙවල් දහයක් ගැන. කවුරුවත් හිර ගෙවල් එක දෙකක් ගැන කියන්නෙ නැත්තෙ ඇයි? කඩේ ළමයා ඇසුවේය.

සාටක රජාගෙ සෙට් එකේ අය දීල තියෙන ගේම්වල හැටියට එක හීරේක දාල මදි බව ඒ අයම දන්නවා. ඒ නිසයි; කියා එවිට කඩේ මුදලාලි කීවේය.

සාටක හම්බවෙන්න හාලිඇල පෙරේරාලාගෙ සෙට්එක ගියාම කන්තෝරුකාමරේට ගත්තෙ නැහැ කියන්නෙ මොකද? කියා කඩේ මුදලාලි ඇසුවේ ඉස්කෝල මහත්තයාගෙන් වුවද ඊට උත්තර දෙමින් කඩේ ළමයා කීවේ; මොළයක් තියෙන කෙනෙක් ඔය යක්කු ගේකට වද්දගනීද කියාය.

බැඳුකර කොම්සම් වාර්තාවෙ පිටපතක් කරනම් දයාසිරිටත් දීලා තියෙනව වගේ නේද මුදලාලි? කියා ඇසුවේ ඉස්කෝල මහත්තයා ය.

පිස්සුද මහත්තයො කොමිසම් වාර්තාව දුන්නේ ජනාධිපතිට; ඒක ජනාධිපති කොමිසම, මිසක් ක්‍රීඩා අමාත්‍යාංශ කොමිසමක් නෙමේ. මුදලාලි කීවේය.

මටත් හිතෙන්නෙ කරනම් දයාසිරිට පිටපතක් ලැබිල තියෙනවා. නැත්නම් පළ නොකළ පිටුවල එකසිය අහඅටකගෙ නම් තියෙන බව එයා ටක්කෙටම කියන්නෙ කොහොමද? කඩේ ළමයා කීවේය.

වාර්තාවෙ පිටපතක් ලැබුණෙ නැති වුණාට සුමනෙගෙන් හරි ඉසුරගෙන් හරි අපේ නමත් බලල දැනගත්ත වෙන්න බැරිද? කියා මුදලාලි කීවේය.

මෙය සමහරවිට අමුණුගම පැත්තෙ ආචාර්ය කෙනෙක්ගෙන් අහල දැනගත්තද කියන්නත් අමාරුයි කියා එවිට ඉස්කෝල මහත්තයා කීවේය.

ඒ මොකද ඉස්කෝල මහත්තයෝ අමුණුගම පැත්තෙ ආචාර්යත් දැන් සාත්තර කියන රස්සාව පටන් අරන්ද කියා මුදලාලි ඇසුවේය.

දැන් එයත් සාත්තර කියනවා. චරිත සහතිකත් දෙනවා. ගරන්ටිත් දෙනවා. ටැප් එකෙනුත් නානවා. ඇදගෙනත් නානවා. ඉස්කෝල මහත්තයා කීවේය.

ඉස්කෝල මහත්තයා මොකද එහෙම කිව්වේ කියා කඩේ ළමයා ඇහුවේ නොදන්නාකමටය.

ඇයි එයා මේ ළඟදි මල්වත්ත පැත්තෙදි බය ‍ගෝතගෙ ආර්ථික පිළිවෙත මල් හතයි කියල තිබුණ දැක්කෙ නැද්ද කියා ඉස්කෝල මහත්තයා ඇසුවේ.

ඉතිං බොරුද කඩේ ළමයා ඇසුවේය.

බොරුනෙමෙයි. සහතික ඇත්ත. බයගෝතාගෙ ආර්ථික ප්‍රතිපත්තිය රටට උචිත නැත්නම් වියත්තු මඟට දාන උත්සව තියන්න ෂැංගිලා හෝටලයක් කොහෙන්ද? කියා එවිට ඉස්කෝලෙ මහත්තයා කීවේය.

ශ්‍රී ලංනිපය ටත් නෑ, එජාප යටත් නෑ, පොහොට්ටුවටත් නෑ බය‍ ගෝතාට විතරයි තියෙන්නෙ කියල අමුණුගමුවේ ආචාරි තුමා කියනවා. ඉතිං එයා මෙච්චර කල් යුඇන්පි යෙයි. ශ්‍රී ලංකා එකෙයි නිවුස් කැපිලියි ඇමතිකමුයි ඔක්කොම කොලා නේද? කියා මුදලාලි ඇසුවේය.

ඔන්න මුදලාලිටත් තේරෙන්නෙ නැහැ. හොද්දෙ රහ කියන්න දිවගාල බලන්න ඕන. පක්ෂෙ රහ කියන්න රිංගල කාල බලන්න ඕන. අමුණුගම පැත්තෙ ආචාරිලා ඔය වඩේට නම්දරාපු අය. ඉස්කෝල මහත්තයා කීවේය.

ඉන්කෝල මහත්තයා එතකොට බය ගෝතා පොහොට්ටුවේද, නැද්ද? කඩේ ළමයා අසුවේය.

ඇයි කඩේ ළමයා එහෙම ඇහුවෙ? ඉස්කෝල මහත්තයා ප්‍රශ්න කළේය.

බය ගෝතාට තියෙනවා පොහොට්ටුවට නැහැ කියල අමුණුගම පැත්තෙ ආචාරි කියන නිසා’ කඩේ ළමයා කීවේය.

මම මේ දැන්ම අමුණුගම යනවා ඉස්කෝ‍ල මහත්තයා කීවේය.‍

ඒ ඇයි. මුදලාලි ඇසුවේය.

ඒ ප්‍රශ්නෙට උත්තරේ දැන්ගෙන් එන්න’ ඉස්කෝල මහත්තයා කීවේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *