බුලත් කොළේට නැවත ඉඩ නොදෙන්න පොහොට්ටුවෙන් සීතල යුද්ධයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳුදා හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශයට ගියා. දකුණේ පැතිර යන වෛරස් උණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති පියවර ගැන සොයා බලා අවශ්‍ය උපදෙස් ලබාදීම ජනාධිපතිතුමාගේ ගමනේ අරමුණ වුණා. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා හා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහ සමුළුවට සහභාගි වීමට විදෙස් ගතව සිටින නිසා ප්‍රශ්නයට ඍජුව මැදිහත්වීමට ජනාධිපතිතුමා තීරණය කළා.

දකුණේ පැතිර යන වෛරස් උණ තත්ත්වය මේ වනවිට බොහෝ දුරට පාලනය කොට ඇති බව මෙහි දී නිලධාරින් ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. පාසල් වැසීමේ අවශ්‍යතාවක් දැනට නැති බව ද ඔවුන් කීවා. ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ මුදල් ප්‍රතිපාදන ප්‍රශ්නයක් කර නොගෙන අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙසයි.

කරාපිටිය රෝහලේ වසංගත රෝග අංශයේ පවතින අඩුපාඩු පිළිබඳව පළවූ මාධ්‍ය වාර්තා ගැනද ජනාධිපතිතුමා විමසුවා. එම ප්‍රශ්න විසඳීමට කඩිනම් පියවර ගෙන ඇති බව නිලධාරින් කීවා. ජනාධිපතිතුමා කීවේ කිසිදු අඩුපාඩුවක් නැතිව ‍රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමට සියලු කටයුතු කළ යුතු බවයි. අවශ්‍ය ඖෂධ ආදිය ටෙන්ඩර් පටිපාටියෙන් තොරව මිල දී ගැනීමටත්. නැතහොත් අවශ්‍ය මිලදීගැනීම් සඳහා කැබිනට් පත්‍රිකාවක් බදාදා ඇමැති මණ්ඩලයේ අනුමැතිය සඳහා සකස්කොට එවන ලෙසත් ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නා.

කැලණිය පෙතියාගොඩ ධර්මාකර පිරිවෙනේ පැවැති ආගමික කටයුතුවලට හා විවෘත කිරීම්වලට ජනාධිපතිතුමා පොසොන් පොහොයදා සහභාගි වුණා. උදේ නවය වනවිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විහාරස්ථානයට පැමිණියා., ප්‍රතිසංස්කරණය කරන ලද පැරණි විහාර මන්දිරය, වෙහෙර වහන්සේගේ ප්‍රාකාරය, දහම්පාසල් ගොඩනැගිල්ල ආදිය ජනාධිපතිතුමා අතින් මෙහි දී විවෘත කෙරුණා. දහම් පාසල් සිසු සිසුවියන් පනස් දෙනෙකුට ත්‍යාග ප්‍රදානය කිරීමත් ප්‍රදේශයේ විදුහල් කිහිපයකට පරිගණක බෙදාදීමත් ජනාධිපතිතුමා අතින් සිදු වුණා. පසුව ජනාධිපතිතුමා ආගමික වතාවත්වලට හා ධර්ම ශ්‍රවණයට ද එක් වුණා. විජයදාස ‍රාජපක්ෂ, රංජිත් සියඹලාපිටිය හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇමැතිවරුන් හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සමරුව බදාදා සවස පැවැත්වුණේ කොළඹ පදනම් ආයතනයේදී. එහි ආරාධිත ලැයිස්තුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම තිබුණත් එතුමාට නිල ආරාධනය ලැබී තිබුණේ නැහැ. එසේ වුවත් කරුණ සොයා බලා ජනාධිපතිතුමා එම ස්ථානයට ගියා. තමන්ට තැන් තැන්වල එල්ලවන විවිධ චෝදනාවන්ට එහි දී ජනාධිපතිතුමා උත්තර දුන්නා.

සියල්ල අවුල් වුණේ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාරගත් නිසා බවට වූ චෝදනාවට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා කීවේ එජාපයට තිබූ මන්ත්‍රී ධුර 47 න් ආණ්ඩුවක් කරන්නේ කොහොමද කියායි. දින සියයේ වැඩ පිළිවෙළ සකස් කළේ කවුදැයි තමන් නොදන්නා බව කී ජනාධිපතිතුමා සියල්ල අවුල් වුණේ එම වැඩ පිළිවෙළ නිසා බව කීවා. කළ යුතුව තිබුණේ තමා ජනාධිපති වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාම බව ද කීවා. එසේ කරන ලෙස එදා කිසිවකු ඉල්ලා නොසිටි බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. මාදුළුවාවේ සෝභිත හිමි දෙවි කෙනෙක් වී සිටී නම් සත්‍යය හෙළිකරනු ඇතැයි ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහ සමුළුවට සහභාගි වී සිටින රාජිත සේනාරත්න ඇමැති‍වරයා එම සංවිධානයේ උප සභාපති තනතුරට පත්කරගනු ලැබුවා.

අගමැති රනිල් බ්‍රහස්පතින්දා උදේම සිරිකොත ගියේ එජාප කෘත්‍යාධිකාරි රැස්වීමටයි. වෙනදාටත් වඩා විශාල පිරිසක් එදින සිරිකොතට පැමිණ සිටියා.

“ජනාධිපතිතුමා ඊයේත් එජාපයයි ඔබතුමායි නැති කළා” බෙහෝ දෙනකු කීවේ අගමැතිවරයා වාහනයෙන් බැස ඇතුලට යන අතරේයි.

“කෘත්‍යාධිකාරියේ දී ඒ ගැනත් කට්ටිය කතා කරාවි.බලමු ….බලමු. කලබල වෙන්න එපා. ” අගමැති කීවේ සුපුරුදු සැහැල්ලුවෙන්.න්‍යාය පත්‍රය අනුව කෘත්‍යාධිකාරිය අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණා. වැඩිවෙලා නොගොස්ම ජනාධිපතිවරයා සෝභිත හිමිගේ උත්සවයේ දී කළ කතාව ගැන බොහෝ දෙනෙක් කතා කරන්නට වුණා.

“ජනාධිපතිතුමා හිතෙන හිතෙන වෙලාවට එජාපයට හා අගමැතිතුමාට පහර දෙනවා. ඒත් ඔබතුමා හෝ පක්ෂය මේවාට උත්තර දෙන්නේ නැති එකෙන් ඒ ඔක්කොම කුණු එජාප එකවුන්ට් එකටයි වැටෙන්නේ ” බොහෝ දෙනකු කීවේ එවැනි කතාවක්.

“ ජනාධිපතිතුමාට ඔහුගෙ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය කාටවත් වළක්වන්න බෑ. එජාපයේ අපි කලබල විය යුතු නැහැ. ඕවාට උත්තර බැඳීමත් අනවශ්‍යයි. ” අගමැති කීවේ සිනාමුසුවයි.

“ ඒත් ගහන්න ගහන්න වදින එකා අන්තිමේ මෝඩයා බවට පත්වෙනවා.අපි දැන් උත්තර නොදුන්නත් අවශ්‍ය වෙලාවට මේවාට නිසි උත්තර දෙන්න ඕනෑ. ඒවගේම එතුමා පෙන්වා දෙන අපේ වැරදි සත්‍ය නම් ඒවා වහාම නිවැරදි කර ගැනීමත් අත්‍යවශ්‍යයි. ” කෘත්‍යාධිකාරියේ බහුතරයකගේ අදහස එය වුණා. එහි දී අගමැතිවරයා හිස සැලුවා මිසක කිසිවක් කීවේ නෑ. තවත් බොහෝ දෙනකු ජනපතිගේ කතාව හා වෙනත් දේ ගැන විවිධ අදහස් පළ කළා. කෘත්‍යාධිකාරිය නිම කළ අගමැතිවරයා තේ පානය සඳහා සිය කාර්යාලයට ගිය විට එජාප මැති ඇමතිවරු හා කෘත්‍යාධිකාරී සාමාජිකයින් බොහෝ දෙනෙක්ද එතනට රැස් වි සිටියා.

“2016 අප්‍රේල් 09 දා ජනාධිපතිතුමා කරපු කතාවක එතුමා කියන්නේ මහින්දට හෙලිකොප්ටර් දුන්නේ එයා කියලයි. දැන් ඒක අගමැතිතුමාගේ ඇඟේ ගහන්න හදනවා. සමාජ ජාලාවල ඒ වීඩියෝ එක මම දැක්කා ” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“අනික දින 100 වැඩ පිළිවෙළට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය විහාරමහා දේවී එකේ බුදු පිළිමේ ඉදිරිපිට එලිදක්වන වෙලාවේ ජනාධිපතිතුමා කළ කතාවක් දැන් සමාජ ජාලාවල තියෙනවා මම දැක්කා. ඒකෙ දී එතුමා කියන්නේ දින 100 වැඩ පිළිවෙළ හදන්න හා එය ක්‍රියාත්මක කරන්නත් තමා කැපවන බවයි.දැන් එතුමා වෙන බයිලාවක් කියනවා” බදුලු දිස්ත්‍රික් එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි කීවේ සිනා මැදයි.

“දින 100 ඉවර වුණු ගමන් පාර්ලිමේන්තුව විසුරවන්න එජාපය යෝජනා කළා. සිවිල් සමාජය හා සෝභිත නාහිමි කියන්නේ 19 වැනි සංශෝධනයත් සම්මත කරලා විසුරවන්න කියල නිසා තව කල් ගනිමු කියල යෝජනා කළේ ජනාධිපතිතුමාමයි ” අගමැතිවරයා අතීතය සිහිපත් කළා.

“එජාපය කියපු වෙලාවෙ මහ ඡන්දයට ගියා නම් අපට මන්ත්‍රීධුර 120 ක්වත් ගන්න තිබුණා. කල් දැමීමෙන් එජාපයටයි අවාසි වුණේ. ” නවීන් දිසානායක කීවා. “ අපේ මාමණ්ඩි කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණු රැස්වීමක ජනාධිපතිතුමා අගමැතිතුමා හා එජාපයට ප්‍රහාර එල්ල කිරීම නිසා කථානායකතුමත් අපහසුතාවයකට පත් වෙලා කියල ආරංචියි. ” නවීන් වැඩිදුරටත් කීවා. ජනාධිපතිවරණය දිනපු ගමන් එජාප නායකයා අගමැති කරන බව මැතිවරණ වේදිකාවල ජනතාවට කියපු එක කාටවත් අමතක කරල දැන් කතා කරන්නත් බැහැ. ” ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ සියලු දෙනා අනුමත කළා.

“අගමැතිතුමාගේ ස්ථාවරය හරි. කතාවලට උත්තර දීම වෙනුවට රට පාලනය, ණය ගෙවීම, ආයෝජන ගෙන ඒම, ජනතාවට සහන දීම වගේ ආණ්ඩුවේ මූලික අරමුණුවල පිහිටා කටයුතු කිරීමට මූලිකත්වය දීම ඉතා නිවැරදියි. ” නවීන් දිසානායක කීවා.

“ ජනාධිපතිතුමා දැන් දේශපාලන ලෙස විශාල පීඩනයක ඉන්න හැඩයි. ඒකට එජාපය පළි නෑ. ”චමින්ද විජේසිරි වැඩි දුරටත් කීවා.

“රු.ලක්ෂ 10 ක් පගාව අරන් දයාසිරි නාපු නෑම පුදුමයි. ඔහු පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත මේ ගැන කතා දෙකක් කීම තුළ ඔහු තවත් හිර වුණා.දයාසිරි බැඳුම්කරේට ගැහුවෙ එයාට දීපු මුදල මදිවෙලා කියලයි කුරුණෑගල පැත්තෙ ඒකාබද්දේ අය ඒ පැත්තේ පතුරවන්නේ කියල ආරංචියි. ” රන්ජන් රාමනායක කීවේ සිනා මැදයි.

“ දැන් අපි 20 වැනි සංශෝධනයට මොකද කරන්නෙ” සභානායක කිරිඇල්ල ඇසුවේ අගමැතිගෙන්.

“ජවිපෙ ඒකට හදිසි වුණා වැඩිද කියලත් හිතෙනවා. අපි කතා කරලා බලමු. රටට වඩාත් හොඳ දෙයක් කරමු” අගමැති කීවා.

“ජවිපෙ මුලින්ම මහින්දලා එක්ක මේක කතා කළාම 20 සම්මත වෙනකොටම පාර්ලිමේන්තුව විසුරවන කොන්දේසිය දාලා. පාර්ලිමේනුතුවේ කවුරුත් ඒකට කැමති නැති පාටයි” නවීන් දිසානායක මෙන්ම විජේදාස රාජපක්ෂ කීවේ එකම කතාවක්.

“මැලේසියාව වගේ එක පාරට ලංකාවේ හොරු ඇල්ලුවේ නැති වීම ගැන අද නොයෙක් මත තියනවා. මැලේසියාවේ වගේ ලංකාවේත් හොරු ගැන පරීක්ෂණ පටන් ගත්තා. ලංකාවේ සමහරුන්ට නඩු දැම්මා. අත්අඩංගුවටත් ගත්තා. අපේ පවතින නීතිය අනුව බොහෝ දෙනෙක් ඇප ගත්තා. අමෙරිකානු නීතිය අනුවත් මැලේසියාවේ පරීක්ෂණ යන බව ආරංචියි” විජේදාස රාජපක්ෂ කීවා.

“ලංකාවේ නීතියෙන් හොරුන්ට මිනීමරුවන්ට දඬුවමට වඩා රැකවරණ ලැබෙන බවයි ජනතාව කියන්නේ. ගෝඨාභය අත්අඩංගුවට ගැනීම පවා වළක්වන නියෝග දිගින් දිගටම ඒම ගැනත් ජනතාව එකඟ නෑ” චමින්ද විජේසිරි මෙන්ම රන්ජන් රාමනායක කීවේ එකම අදහසක්.

“ගෝඨාභය බේරුවලත් බැසිල් ගාල්ලෙත් මුස්ලිම් නෝම්බි උත්සවයට යාම ගැන සමාජ ජාලාවල මාර විග්‍රහ යන්නේ” සිංහලයා ගැන බලන්න අපි වෙන කෙනෙක් තෝර ගත්තනම් හොඳයි කියලයි” ඒවායේ ගෝඨාභයට ප්‍රහාර එල්ල කරන්නේ. සිංහල ජාතිවාදීන් හැමෝගෙම අදහස ගෝඨාභය හා බැසිල් අනවශ්‍ය වැඩක් කළ බවයි. උත්සවයකට මුස්ලිම් අය ඒවි. ඒත් මුස්ලිම් ඡන්ද එයාලට ගන්න බෑ” රන්ජන් රාමනායක කීවා.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ඉකුත් සති අන්තයේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල නව උදා ගම්මාන 3ක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවවලට සහභාගී වීමට ගියේ ඒ වන විට පැවැති ඉතා අයහපත් කාලගුණ තත්ත්වයද නොසලකමින් නොච්චියාගම, කුසුම්පුර “නීලහරිතගම”සහ “විජය ශ්‍රී ගම” 70 වන සහ 71 වන ගම්මාන පිහිටා තිබුණේ එකිනෙකට සමීපව හෙයින් ගම්මාන දෙකම සඳහා සංවිධානය කර තිබුණේ එකම එක නිල උත්සවයක් පමණයි. සජිත් උත්සව භූමියට පැමිණ සිය මෝටර් රථයෙන් බසිනවාත් සමගම මහා ධාරාණිපාත වැස්සක් ආරම්භ වුණේ සියලු කටයුතු අවුල් කරමින්. “මදැයි මං මෙච්චර අමාරුවෙන් මුදල් හොයාගෙන ගම්මාන දෙකේ පාරවල් හැදුවා. ඔක්කොම මඩ ගොහොරක් වුණානේ” හැරිසන් කතා කළේ ශෝකජනක ස්වරයකින්. සජිත් කීවේ “ඇ‍ඟේ කොච්චර මඩ තැවරුණත් කමක් නෑ. මටනම් ගම්මාන දෙකේ හැම ගේකටම යන්න ඕනෑ. ඒක නං වෙනස් කරන්න බෑ” කියායි. ඒ අනුව සජිත් සහ හැරිසන් පෙරටුකොට ගත් නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින් ඇතුළු පිරිස ගම්මාන දෙකේ නිවෙස් වෙත ඇවිද ගියේ මුළුමනින්ම මඩ වුණු මාවත් දිගේය.”නීලහරිත ගමේ” නිවාස 31 කි. “විජය ශ්‍රී ගමේ” නිවාස 21 කි. නිවෙස්වලට යද් දී අසන්නට ලැබුණේ එකම විදියේ කතාවක්. “සර්ලා මේ වැස්සේ මඩේ එරි එරි අපේ ගෙවල් බලන්ඩ එන එකක් නෑ කියලයි අපි උන්නේ” ඔවුන් කියද් දී “මෙහෙම මඩ ගාගෙන එරි එරී යනකොට තමයි ජනතාව විඳින දුක හොඳට දැනෙන්නේ. නිකරුණේ මඩ ගහන කොටයි.බොරු චෝදනා කරන කොටයි. මට දැනෙන්නේ මගේ ජීවිතයට අලුත් පන්නරයක් ලැබෙනවා කියලයි” සජිත් කීවා.

රට පුරා වැසි අඩු වුව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට වැඩ අඩු වූයේ නැහැ.ආපදා සිදු වූ දිස්ත්‍රික්කයන් හි විපතට පත්වූවන් වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීමත් ඔවුන්ට වන්දි මුදල් ලබාදීම සඳහාත් අවශ්‍ය කටයුතු සිදුකිරීමත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සිදුවෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ සඳහා දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටියා.

” අපි හැමදාම වැස්සක් ආවම, ගංවතුර ඇතිවුණාම, බත් පැකට් බෙදනවා. පස්සේ චෙක් ලියලා ඒවා බෙදාගෙන යනවා. මේ දේ දැන් අවුරුදු 100ක් විතර කරන්න ඇති. මේ වැඩේ නවත්තන්න ඕනෑ. ගංවතුර ගලන ගංඟාවල ජලය පාලනය කරලා ප්‍රයෝජනයට ගන්න ඕනේ. පුත්තලමට අවුරුදු දෙකක් නියඟය නිසා ආධාර දුන්නා. දැන් වහිනවා. පුත්තලමේ ගම්බිම් යටවෙලා. දැන් ගංවතුර ආධාර දෙනවා. තව මාස කිහිපයකින් නැවත පුත්තලමට නියං ආධාර දෙන්න වෙනවා. මේ ආපදා අවස්ථාවල දී ඒවා පාලනය කරන්න තියෙන සැලසුම් ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මේ රට අසාර්ථක රාජ්‍යයක් බවට පත්වෙනවා.” යැයි ඇමැති වජිර මාධ්‍ය හමුවේ කීවා.

”ශිල්ප අභිමානී 2017″ හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා සම්මාන ප්‍රදානෝත්සවය සඳුදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කර තිබූ එම වැඩසටහන සඳහා ඇමැති වජිර සම්මන්ත්‍රණ ශාලාවට යන විට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් පැමිණ සිටියේ නැහැ. ඇමැති රිෂාඩ් වජිරගෙන් ඉල්ලීමක් කළා.

”ඇමතිතුමා, මං වෙනුවෙන් ඔතන වැඩ ටික හොඳින් බලා ගන්න.ඒ මහතා ඉල්ලා සිටියා ”

මොහොතකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එතැනට පැමිණියා. ජනාධිපතිවරයා පිළිගත්තේ ද ඇමැති වජිර විසින්. ඉන් අනතුරුව ප්‍රදර්ශනය ද නැරඹූ ඔවුන් දෙදෙනා සම්මාන ප්‍රදානයට ද එක්වුණා. ”

සඳුදා සවස් කාලයේ මල් පාරේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ විශේෂ රැස්වීමක් පැවැත්වුණා. ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුර වළක්වා ගැනීම සඳහා ගිං ගඟ හරස්කර ඉදිකිරීමට යෝජනා කර ඇති ජලාශයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන්. අග්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ උපදේශක ආර්.පාස්කරලිංගම් මහතාගේ සහ ඇමැති වජිර අබේවර්ධනගේ මූලිකත්වයෙන් පැවැති මේ රැස්වීම සඳහා චීන ධූත කණ්ඩායමක් ද රජයේ විවිධ ආයතන නියෝජනය කරන නිලධාරී නිලධාරිනියන් ද පැමිණ සිටියා.

එහි දී ගිං ගඟ ජලාශය ඉදිකිරීමේ කටයුතු සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇති බැවින් අදාළ පරීක්ෂණ වාර්තා සැකසීමේ කටයුතු ඉක්මනින් ආරම්භ කර මාස හයක් වැනි කෙටි කාලයකින් එය අවසන් කළ යුතු බව ද තීරණය වුණා. 2022 හෝ 2023 වර්ෂය වනවිට ජලාශයේ ඉදිකිරීම් කටයුතු නිමා කිරීමට ද අවශ්‍ය බව ඇමැති වජිර සඳහන් කළා.

ජවිපෙ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස 20වැනි ව්‍යවස්ථා සංශෝධනය පසුගිය 25වැනි සිකුරාදා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දුන්නා. මෙම අවස්ථාවට ජවිපෙ පක්ෂ නායකයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි වූ අතර කථානායකවරයාද පැමිණ සිටියා. ජවිපෙ විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදුන් කෙටුම්පත නීතිපතිවරයාට යොමු කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුව එය කථාතානායකවරයා විසින් විෂයභාර අමාත්‍යවරයාට යොමු කෙරෙන අතර ඉන් අනතුරුව විවාදයට ගැනීම සිදුවනු ඇති. ”ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවරමට අනුව කටයුතු කරනවානම් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුව තිබෙනවා. එනිසා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ සම්බන්ධයෙන් තම මතය රටට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවේ වගකීම තමයි මාස දෙක තුනක් ඇතුළත මෙම පනත විවාදයට ගෙනඒමට කටයුතු සැලැස්වීම” අනුර දිසානායක කියා සිටියේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

“ඇත්තටම අද රටේ ප්‍රධාන ප්‍රශ්න 03ක් තියෙනවා. එකක් ආර්ථික ක්‍ෂෙත්‍රයේ ඇති වී තිබෙන අර්බුදය. අනෙක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය. තුන්වෙනි කරුණ ජාතික සමගිය පිළිබඳ ප්‍රශ්නය. මේ කරුණු 03ටම එකම විදියට මැදිහත් වෙන්න ඕනෑ. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සාකච්ඡාවක් හදන්න තමයි අපි 20 ගෙනාවේ. දැන් ඒ ගැන විශාල සංවාදයක් හදන්න ඕනෑ” ටිල්වින් සිල්වා කියා සිටියා.

”ඔව්, අපි මේ ගැන ජනතාව දැනුවත් කරන සංවාදයක් අරඹන්න ඕනෑ. ඒ වගේම 20 ගැන පැහැදිලි කරන ලියවිල්ලක් ජනතාව අතරට ගෙනියන්න ඕනෑ. ඒ වගේම ආගමික නායකයින්, වෘත්තිකයින්, කලාකරුවන්, වෘත්තීය සමිති නායකයින් හමුවෙලා ඔවුන් සමඟ මේ ගැන සංවාදයක් ආරම්භ කරන්න ඕනෑ.” බිමල් රත්නායක කීවා.

“සමහරු අපිට චෝදනා කරනවා මේ වෙලාවේ කතා කරන්න ඕනෑ ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි රටේ ඇතිවෙලා තියෙන අර්බුදය ගැන කියලා. රටේ හැම ප්‍රශ්නයකටම ව්‍යවස්ථාවෙන් උත්තර හොයන්න බැරි වුණත් මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අලූත් සංවාදයක් ඕනෑ. ඒක කරන්න වෙන කවුරුවත් ඉදිරියට එන්නේ නැහැ. අපිට විතරයි ඒක කරන්න පුළුවන්” සුනිල් හඳුන්නෙත්ති අදහස් දැක්වූවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැන් එක්තරා ආකාරයක සීතල යුද්ධයක් ආරම්භ කොට තිබෙනවා. එය ආරම්භ කොට තිබෙන්නේ මෙතෙක් කල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දී දැන් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට එක්වන්නට යන කණ්ඩායමේ බලපෑමට එරෙහිවයි.

රජයෙන් ඉවත් වූ දහසයදෙනාගේ කණ්ඩායමේ අරමුණ වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සම්මුතියක් ඇතිකරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය නැවත ශක්තිමත් කරගෙන එයින් ඉදිරි මැතිවරණ සඳහා තරගකිරීමයි. පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය එයට ඉඩදීමට සූදානම් නැහැ. ඔවුන් සිතන්නේ ආණ්ඩුවේ සිට පැමිණෙන අය තම කණ්ඩායමට වැද්දගත යුත්තේ කණිෂ්ඨයන් පිරිසක් වශයෙන් බවයි. ශ්‍රීලනිපය දැන් දියවී හමාර බවත් දැන් සටන ඇත්තේ එජාපය හා පොදුජන පෙරමුණ අතර බවත් මෙම කණ්ඩායමේ අදහසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදයේ රැස්වීමක් පසුගියදා බත්තරමුල්ලේ නෙළුම් මාවතේ එම පක්ෂ කාර්යාලයේ දී සඳුදා පැවැත්වූයේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටයි. බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පැවැති රැස්වීමට හිටපු පළාත් සභා බලවතුන් වූ එස්. එම්. රංජිත්, ටී. බී. හේරත් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා. එම කණ්ඩායම තීරණය කළේ ඉදිරි පළාත් සභා මැතිවරණයට තම කණ්ඩායම තරග කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන් හා පොහොට්ටුව ලකුණින් බවයි. ඔවුන් එලෙස තීරණය කළේ යළි ශ්‍රීලනිපය සමගිකොට බුලත්කොළය හෝ පුටුව ලකුණින් තරග කිරීමට දහසය දෙනාගේ කණ්ඩායම දරන උත්සාහයට ප්‍රතිචාරයක් වශයෙනුයි.

මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාද දඹුලු විහාරයේ කළ සංචාරයකින් පසුව ජනමාධ්‍යවේදීන් අමතා මෙම අදහසම ප්‍රකාශ කළා. ඔහු කීවේ ඉදිරියට එන සියලු මැතිවරණවලට තමන් තරග කරන්නේ පොදුජන පෙරමුණ ලෙස හා පොහොට්ටුව ලකුණින් බවයි. විපක්ෂයට එන ඕනෑම පිරිසකට තමන් හා එකතු වී එලෙස තරග කළ හැකි බව ද ඒ මහතා කීවා.

මෙලෙස ශ්‍රීලනිපයෙන් එන පිරිසට එරෙහිව එක් සීතල යුද්ධයක් පවතිද්දි තවත් සීතල යුද්ධයක් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට ඉදිරිපත් කිරීමට එරෙහිවයි. ඒ ගැන යළිත් වතාවක් ප්‍රකාශකොට තිබුණේ වාසුදේව නානායක්කාර මහතාය. ඒ මහතා මාධ්‍යයට කීවේ ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කළහොත් ජනාධිපතිවරණය ජයගත නොහැකි බවයි. ජනාධිපතිවරණයට සුදුස්සා චමල් රාජපක්ෂ මහතා බවත් ඔහු මධ්‍යස්ථ පුද්ගලයකු බවත් වාසුදේව නානායක්කාර මහතා කීවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ලවන ප්‍රධාන චෝදනාවක් නම් ඔහුගේ අනුග්‍රහය ලබමින් ක්‍රියාත්මක වූ සංවිධාන මගින් මුස්ලිම් විරෝධයක් ගොඩනැගීමයි. එයට පිළිතුරු දීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වූයේ බේරුවල මග්ගොන රෝයල් ප්ලාසා හෝටලයේ පැවැති ඉෆ්තාර් උත්සවයට සහභාගි වෙමින්. එහි දී ඔහු කීවේ බේරුවල හා දර්ගා නගරයේ සිදුවීම්වල දී තමන් මුස්ලිම්වරුන්ට හතුරුව කටයුතු නොකළ බවයි. එසේ වූවද ඒ බව ජනතාවට කියන්නට පවා අවස්ථාව නොලැබුණු බව ‍ගෝඨාභය රාජපක්ෂ මහතා එහි දී ප්‍රකාශ කළා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *