හිපොක්‍රටිස්ගේ හයිපොක්‍රසිය – නිශාන්ත කමලදාස

 මේ කතා කරන්නේ වෛද්‍යවරයෙකුගේ හෘද සාක්ෂිය ය. අපි පළමුව ඊට සවන් දී බලමු.

“අප අයත් වන්නේ උත්තරීතර වෘත්තියකට ය. ඒ වෘත්තිය තිබෙන්නේ දුකට පත් අය සුවපත් කිරීමට ය. ඔවුනට නිවන සැලසීමට ය. සහනයක් වීමට ය. ඒ නිසාම වෙනත් වෘත්තිකයෙකු නොකරන දිවුරුම් දීමක් අපි කරන්නෙමු. එවැනි දිවුරුම් දීමක දී අපි මෙසේ ද කියමු.

රෝගියෙකුගේ සහනය උදෙසා අවශ්‍ය වන සියලු පියවර ගැනීමට මම මා උගත් විද්‍යාව යොදා ගනිමි. ඒ හිපොක්‍රටිස් දිවුරුමට අනුව ය.

එහෙත් රෝගීන්ගේ අවාසනාවට අප උගෙන තිබෙන්නේ වෛද්‍ය විද්‍යාව පමණක් නොවේ. අප අතර ඇතැමෙක් පොල් කැඩීමේ හා දඩයම් කිරිමේ කලාවත් අමතරව උගෙන තිබේ. ඒ නිසා රෝගීන් සුවපත් කිරීමේ මුවාවෙන් පොල් කැඩීමත් දඩයමේ යෑමත් අපි හරි හරියට කරන්නෙමු. ඒ කියන්නේ සල්ලි ඇති රෝගියාටත් සල්ලි නැති රෝගියාටත් හැඳි දෙකක් හිපොක්‍රටීස්ට හොරා අප අතර ඉන්නා අය විසින් භාවිතා කරන බව ය.

අප අතර ඉන්නා හිපොක්‍රටිස්ගේ දිවුරුම බැරැරුම්ව ගත් සමහර අය හැරුණු කොට සෙසු අය වඩාත් පුහුණු වී ඇත්තේ පොල් කැඩීමේ නොහොත් දඩයමේ යෑමේ කලාව ය. ඒ රෝගීන්ගේ සුවය කෙසේ වුව ද වෛද්‍යවරයාගේ සුවය තිබෙන්නේ ම එතැන නිසා ය. ඒ නිසා වැඩ වර්ජන කරන නොකරන කාලයේ කියා වෙනසක් නැත. වෙලාව ආපුවහම චැනල් එකට ඉගිලෙන්නේ නිකම් බෙහෙත් ගන්නට එන මිනිසුන් ගැන වගේ වගක් නැතුව ය.

එහෙම කෙනෙකුට රෝගීන් වෙනුවෙන් යැයි කියා රෝගියෙකු බිල්ලට ගැනීම සිම්පල් ය.

ඇත්තට ම මෙහි දී සිදුවන්නේ අපූරු වැඩකි. බිල්ලට දෙන්නේ සල්ලි නැති නිසා රජයේ රෝහලට එන අහිංසක රෝගියාව ය. පොල් කඩන්න ගන්නේ මුදල් විසි කරන්නට හයිය ඇති පෞද්ගලික රෝහලට එන රෝගියාව ය.

තමා වෙතට එන ඕනෑම රෝගියෙකු සුව කරන්නට දිවුරුම් දී තිබුණත් මෙසේ දෙවිදියකට සලකන්නට වෙන්නේ රෝගියාගේ කරුමයට ය. දුප්පත්කම පෙර කරුමය නිසා සිදු වන දෙයකි. ඒකට දිවුරුම් දුන් අප වගකියන්නට ඕනෑ නැත.

අපේ වගකීම තියෙන්නේ මුදල් ගෙවන එක්කෙනා ගැන ය. එහෙම නොකළොත් ඔහු හෙට අපට පොල් කඩන්න ඉඩ තියන්නේ නැත. අපේ සුවය තියෙන්නේ කැඩූ පොල් ප්‍රමාණයේ ය. ඒ අප අතර සැලකිය යුතු පිරිසක් හිතන විදිහ ය.

වෛද්‍ය වර්ජනයක දී රජයේ රෝහල්වල මැස්සො වහන්නේත් චැනල් කරන තැන්වල මීමැස්සන් මෙන් සෙනග රොක් වන්නේත් ඒ නිසා ය. වෛද්‍ය වර්ජනයක් නිසා චැනල් සේවය අඩාල වූවා යැයි තවම වාර්තා වී නැත්තේ ඒ නිසා ය.

පැත්ත මාරුවීම

ඒ වුනාට අප ඉන්නේ ජනතාවගේ පැත්තේ ය. මුදල් ඇති එකාට අන් අය ඉක්මවා වෛද්‍ය අධ්‍යාපනය ලබා දීමේ අසාධාරණය අපට දැනෙන්නේ එය අපේ නහර බඩවැල් කා ගෙන හදවත ඉරා ගෙන යන්නේ අප ජනතාවගේ පැත්තේ නිසා ය.

මුදල් ඇති එකාට සෞඛ්‍ය පහසුකම් අන් අය ඉක්මවා ලබා දීමේ අකටයුත්ත ගැන අපට එහෙම ම දැනෙන්නේ නැත. එතකොට අප ඉන්නේ සල්ලි තියෙන එකා පැත්තේ ය.

අධ්‍යාපනය එකකි. සෞඛ්‍ය තවත් එකකි. අධ්‍යාපනය සම්පූර්ණයෙන් නිදහස් විය යුතු ය. සෞඛ්‍ය ටිකක් මිශ්‍රව තිබුණාට කමක් නැත. එහෙම නොවුනොත් අප පොල්කඩා ඉවර ය. දඩයමේ ගිහින් ඉවර ය. ඒ නිසා ම එහෙම දැනෙන්නේ නැති එක හොඳ ය.

හිපොක්‍රටිස්ගේ දිවුරුම අවසානයේ අවසන්වන්නේ මේ හයිපොක්‍රසියෙනි.

වෛද්‍යවරුන්ට ද වෙන වෘත්තිකයින්ට මෙන්ම වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට පුළුවන. විරෝධ පාන්නට පුළුවන. එහෙත් රෝගීන් බිල්ලට ගන්නට අවසරයක් හිපොක්‍රටිස් විසින් දී නැත. හිපොක්‍රටිස්ගේ හොම්බට අනින්නට හිතෙන්නේ ඒ වෙලාවට ය.

සෞඛ්‍ය සේවය මුදලට විවෘත කරන ගමන් උසස් අධ්‍යාපනය මුදලට වහන්නට ඉඩක් යුක්තියේ මූලධර්මයන් විසින් ලබා දී නැත. ඒ වුනාට යුක්තිය අත දිග හැර කන්නට දෙන්නේ නැත.

හිපොක්‍රටිස් හා යුක්තිය පරණ කතන්දර ය. දැන් තියෙන්නේ ජාතික පාසලට ළමයා දා ගැනීමටත් ඩියුටි ෆ්‍රී කාර් ගැනීමටත් හාම්පුතුන්ට බිලි පූජා තියන්නටත් රෝගීන් බිල්ලට ගැනීමේ අලුත් ම කතන්දරයක් ය. ඉතින් පින්වතුනි අපට සාදු කියන්න. අප සමග සටනට එක්වන්න. මේ ඔබේ දරුවාගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ඔබේ දරුවා බිල්ලට දි අප කරන සටන ය. සෞඛ්‍ය මිශ්‍ර කරන අතරේ අධ්‍යාපනය අමිශ්‍රව තබා ගැනීමේ සටන ය. ඉතිරි සටන් ද ඒ වගේ ම ය.

අද ඔබේ දරුවා මිය යා හැකි ය. එසේ වුව ද ඔබ සිතිය යුත්තේ ඔබේ දරුවාගේ හෙට ගැන ය. අවශ්‍ය නම් හිපොක්‍රටිස්ගෙන් වුණත් අහලා බැලිය හැකි ය. එහෙම බය නැතුව අප කියන්නේ අසන්නට දැන් එහෙම කෙනෙක් නැති නිසා ය.

වෛද්‍ය වෘත්තිකයෙකුට මේ හෘද සාක්ෂියේ කතාව අසාධාරණ සේ පෙනී යන්නට පුළුවන. එයට හේතුවක් තිබේ. මේ ආත්මාර්ථ සාධනයේ යෙදෙන්නේ වෛද්‍ය වෘත්තිකයන් පමණක් නොවන බැවිනි. එසේ තිබිය දී මේ මැදිහත් වීම කරනුයේ හේතු දෙකක් ඇති ව ය. වෛද්‍යවරුන් වෙනත් වෘත්තිකයන්ට වඩා ගෞරවයට පාත්‍රවන නිසා ම ඔවුන්ට අන් අයට වඩා තමන්ගේ වෘත්තීය වගකීම් ගැන වැඩි අවධානයක් තිබිය යුතු නිසා ය. දෙවැන්න ඔවුන් විසින් ඔවුන්ගේ අරගලයේ ගලග්‍රහණයට ගන්නේ රටේ අසරණම ජන කොටසක් වඩාත් අසරණව පිළිසරණ පතා එන මොහොතක නිසා ය. තෙවනුව දැනටමත් රාජ්‍ය සේවයේ සිටින වෙනත් වෘත්තිකයන්ට වඩා වරප්‍රසාද ලැබෙන නිසා ය. සිව්වනුව ඉහත සඳහන් ඇතැම් කාරණා නිසා ඔවුන් සතුව අපමණ සමාජ බලයක් තිබීම නිසා ම අසාධාරණ ඉල්ලීම් පවා ඉදිරිපත් කොට ගැලවී යෑමට තවමත් ඔවුන්ට හැකියාව ඇති නිසා ය. පස්වෙනුව ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති ආදර්ශය අනුව යමින් අසිපත් ලෙලවන්නට සූදානම් තවත් වෘත්තිකයන් පිරිසක් වේදිකාවට බසිමින් සිටින නිසා ය.

බලය ලැබෙන්නට ලැබෙන්නට කෙනෙක් නිහතමානී විය යුතු ය. බලය වැඩි තැනැත්තන් විශේෂයෙන් තමන් කටයුතු කිරීමේ දී ඒ බලය නිසි ලෙස භාවිතා කරන බවට වග බලා ගත යුතු ය. බලය භාවිතා කිරීමට පෙර දෙවරක් සිතිය යුතු ය. වෛද්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය සංගමය නම් ඒ බවක් පල කර නැත.

ඉන්දියානු ගිලන් රථ සේවය අතිශයින් පහත හෙලා කතා කිරීමෙන් නොනැවතී ඒ තුළ රෝ ඔත්තුකරුවන් දැකීමෙන් නොනැවතී එයින් රෝහල්වලට ගෙන එන රෝගීන් බාර නොගන්නා බවට ද තර්ජනය කිරීමට තරම් වෘත්තීය සංගමයකට පහළ වැටිය හැකි වූයේ ඒ හේතුවෙන් ය.

එසේ වුව ද ඔවුන්ට ඒ තර්ජනය ක්‍රියාත්මක කළ නොහැකි විය. අද රෝගීන් අපමණ ගණනකට සේවය සලසමින් ඉන්දියානු ගිලන් රථ සේවය ක්‍රියාත්මක වන්නේ ය. තමන්ගේ තර්ජනාංගුලිය ගිල ගැනීමට අවසානයේ වෛද්‍ය වෘත්තීය සංගමයකට සිදු වීම කෙතරම් ඛේදජනක ද? කොතරම් උත්ප්‍රාසජනක ද?

අවම වශයෙන් තමන්ගෙන් සිදු වූ ඒ වැරැද්ද ගැන සමාවක් ගැනීමටවත් ඔවුන් නිහතමානී නොවූයේ ඇයි? ඒ ගැන කිසි ම මාධ්‍යකරුවකු ඔවුන්ගෙන් ප්‍රශ්නයක්වත් නොනගන නිසා ඔවුන්ට හෙට ද එවැනිම තර්ජනවලින් රට පුරවාලීමේ ඉඩකඩ තිබේ.

සිංගප්පූරුව සමග ඇති කර ගත් වෙළඳ ගිවිසුමක් සම්බන්ධයෙන් වෛද්‍ය සංගමය මැදිහත් වීම ද ඒ සංගමය අනුව යමින් වෘත්තිකයන්ගේ සංගම් ගණනාවක් ද එයට එකතු වීම ද අපට මේ වෘත්තිකයන්ගේ ක්‍රියාකාරිත්වය නැවත විමසීමට අවස්ථාවක් සපයන්නේ ය. අප එසේ කියන්නේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව රට අඳුරේ තබමින් යම් රහස්‍යභාවයක් පවත්වා ගැනීමට දැරූ ප්‍රයත්නය ද විවේචනය කරමින් ය. ඇත්තට ම විරෝධතාවයන්ට තටු ලැබෙන්නේ මෙවැනි නොකටයුතු ක්‍රියා නිසා බව ද නැවතත් අවධාරණය කියමින් ය.

තරගයට ඇති බිය

ආණ්ඩුව කළේ නොමනා වැඩක් වුව ද එසේ කරන්නට ඇත්තේ ම ඇතිවන බොරු විරෝධතා මග හැරීමට යයි කෙනෙකුට තර්ක කළ හැකි ය. එහෙත් කළ යුතු ව තිබුණේ විරෝධයේ පදනම බිඳ දැමීම ය.

දැන් අපි මේ විරෝධයේ මූලික පදනම දෙසට හැරෙමු. මේ ගිවිසුම නිසා අපේ වෘත්තිකයන්ට රැකියා අහිමි වී යනු ඇතැයි බිය වීම මෙහි පදනම ය. තරගයට කොහොමටත් කැමති නැති වෘත්තිකයන් බිය වී කෑ ගැසීම පුදුමයට කරුණක් නොවේ යැයි කියමින් මේ භිතිය හිස් එකකැයි කියා නිකම්ම ඉවත දැමිය හැකි ය. එහෙත් මේ සඳහා වඩා කරුණු පැහැදිලි කරන පිළිතුරක් දිය යුතු ය.

යුක්තිය වෙබ් අඩවියේ පලව තිබූ සී ජේ අමරතුංග මහතාගේ සටහන මේ සඳහා දිය හැකි හොඳම ප්‍රතිචාරය ය. එම සටහනේ මෙසේ සඳහන් වෙයි.

උපුටනයේ ආරම්භය – “ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා සිංගප්පූරුවේ වෘත්තිකයන් මෙරටට පැමිණ මෙරට වෘත්තීයවේදීන්ගේ රැකියා අහිමිවනු ඇතැයි ඇති කරගෙන තිබෙන බිය පදනම් විරහිත එකක් බව ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන රිකාර්ඩෝ හවුස්මන් මහතා පසුගිය දා කොළඹ දී ප්‍රකාශ කළේය.

මේ ගිවිසුමෙන් වෘත්තිකයන්ට නිදහසේ මෙරටට පැමිණීමට අවස්ථා සලසා නැති බවත් එසේ සැලසුවද සිදුවිය හැක්කේ සිංගප්පූරුවෙන් මෙරටට පැමිණීම නොව මෙරටින් එරටට යාම බව ද හවුස්මන් මහතා පැවැසීය. සිංගප්පූරුවේ වෘත්තිකයන්ගේ වැටුප් මට්ටම් ශ්‍රී ලංකාවට වඩා ඉහළ බව පෙන්වා දුන් ඒ මහතා, ඔවුන්ට මෙරටට පැමිණීමට දිරිගැන්වීමක් නැති බව ද කීවේය.

ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් අඩු වැටුපට මෙරටට පැමිණීමේ අදහස් ගැන සඳහන් කළ මහාචාර්යවරයා කීවේ ඉන්දියාවේ වෙනත් වෘත්තීන්හි වැටුප් අඩු වුවද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ වැටුප් ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බවයි. එම නිසා ඔවුන්ගේ පැමිණීම ගැන ඇත්තේ ද අස්ථාන බියක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ හාවර්ඩ් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයකු වන මහාචාර්ය රිකාර්ෙඩා් හවුස්මන් මහතා කෙනඩි රාජ්‍ය පාසලේ ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග අංශයේ මහාචාර්යවරයා ලෙස ද කටයුතු කරයි. ඇඩ්වකාට් මත සම්පාදන ආයතනය විසින් පසුගිය බදාදා කොළඹ දී සංවිධානය කර තිබූ දේශනයක් අවසානයේ සභාවෙන් නැඟුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හවුස්මන් මහතා ඉහත අදහස් ප්‍රකාශ කළේය.

සිය දේශනයේ දී ඒ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ විදේශීය වෘත්තිකයන්ට මෙරටට සංක්‍රමණය වීමට අවස්ථාව දීම නොව එම අවස්ථා සීමාකර තිබීම බවයි. විදේශික සංක්‍රමණික වෘත්තිකයන් දේශීය වෙළෙඳ පොළට ඇතුළුවීම නිසා දේශීය වශයෙන් රැකියා වියුක්තිය ඇති වනු ඇතැයි හා වැටුප් පහත වැටෙනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළ ද සැබැවින්ම සිදුවන්නේ රැකියා සුලභවීම හා වැටුප් ඉහළ යාම බව ජාත්‍යන්තර අත්දැකීම් උපුටා දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේය.

සංවර්ධනයේ ඉදිරියට යාමට නම් අපගේ අපනයන විවිධාංගීකරණය කරමින් එයට තව තවත් භාණ්ඩ එක් කළ යුතු යැයි කී මහාචාර්යවරයා එය කළ හැකි වන්නේ විවිධ වර්ගයේ කුසලතා ඇති වෘත්තිකයන් රට තුළට ගෙන්වා ගැනීමෙන් බව ද ‍පෙන්වා දුන්නේය. වෙනත් රටවල මෙන් මෙබඳු වෘත්තිකයන් ගෙන්වා ගැනීම සඳහා අප රටේ ද නිත්‍ය පදිංචිය හා පුරවැසිභාවය ලබාදීමේ ක්‍රම හා නීති රීති අලුතින් සැකසිය යුතු බව ද ඒ මහතා කීය.

ජාත්‍යන්තර අත්දැකීම් උපුටා දක්වමින් මහාචාර්යවරයා කීවේ ඇල්බේනියාවෙන් ග්‍රීසියට ගොස් රැකියා කළ ජනයා ග්‍රීසියේ ඇති වූ ප්‍රශ්න නිසා ආපසු පැමිණි විට එරටේ රැකියා විරහිතභාවය වැඩිවී වැටුප් පහළ වැටෙනු ඇතැයි බොහෝ දෙනා සිතා සිටි බවයි. එහි දී සිදු වූයේ රැකියා අවස්ථා වර්ධනය වී වැටුප් ද ඉහළ යාමය. ලොව සෑම රටකම අත්දැකීම් එසේම බව මහාචාර්ය හවුස්මාන් මහතා පෙන්වා දුන්නේය.“ -උපුටනයේ අවසානය.

අපේ රටේ වෘත්තිකයන් බිය ය. ඒ වෙන එකකට නොව ඔවුන්ගේ තැන නැතිවනවාට ය. සයිටම් විරෝධය පිටුපස ද පුද්ගලික සරසවි පිටුපස ද තවත් බොහෝ විරෝධයන් පිටුපස ද තිබුණේ තිබෙන්නේ මේ බිය ය.

වෙනත් රටවල අත්දැකීම් මෙසේ ඉදිරිපත් කළ ද ඔවුන් අවදානමක් ගැනීමට සූදානම් නැත.

අප රටේ හොර වෙද්දු දහස් ගණනක් සිටිති. ඔවුන් විසින් අනාථ කරනු ලබන ජනයා ලක්ෂ ගණනකි. එහෙත් ඒවාට වෛද්‍ය සංගමය මුණිවත රකින්නේ ඒ ලෙඩුන් තමන්ගේ සාමාජිකයන්ගේ පාරිභෝගිකයන් හෝ සේවාලාභීන් නොවන නිසා ය. ඔවුන් තරගකරුවන් හැටියට ඒ නිසා නොසැ ලකෙන නිසා ය. උන් ඉන්නේ තමන්ගේ වපසරියෙන් පිට නිසා ය.

අබ සරණයි

ඇත්තටම වෛද්‍ය වෘත්තිකයන් විසින් විරෝධය දැක්විය යුත්තේ මේ හොර වෙදුන්ට ය. එහෙත් ඔවුන්ගේ අභිප්‍රාය ලෙඩුන් බේරා ගැනීම නොවේ. තමන්ගේ ව්‍යාපාර බේරා ගැනීමට ය. තමන්ගේ බඩ වියත රැක ගැනීමට ය. ඒ නිසා මේ වෙළඳ ගිවිසුම්වලට එරෙහිව කරන විරෝධ රට පිළිබඳ කැක්කුමකින් කරන ඒවා ලෙස බාර ගත නොහැකි ය.

හිපොක්‍රටිස්ගේ වත්මන් යුගයේ ඉන්නා ලාංකික ගෝලයන් වැඩි දෙනෙක් හයිපොක්‍රසියක (අනුනුත් මුලාකරවන තමන් ව ද මුලාකරගන්නා හයිපොක්‍රසියක) ඇතැයි අප කියන්නේ ඒ නිසා ය. ඒ ගොඩට සෙසු වෘත්තිකයන් ද වැටුනහම රටට අබ සරණ ය.

සංවර්ධනය නැතිවන විට රැකියා උත්පාදනය නොවේ. ව්‍යාපාරික අවස්ථා ඇති නොවේ. අධ්‍යාපන අවස්ථා ඇති නොවේ. තමන්ගේ රැකියා ද නැතිවෙතැයි බිය ඇතිවේ. එවිට තිබෙන සීමිත අවස්ථා සඳහා කා කොටා ගැනීම් ඇති වේ. තමන්ගේ ස්ථානය රැක ගැනීමට අරගල ඇරඹේ. ගැටුම් කැරලි ඇති වේ. සංවර්ධනය ඒ නිසා තවදුරටත් ඇණ හිටියි. දැන් ඇත්තේ විෂම චක්‍රයකි. මේ චක්‍රය ඇරඹෙන්නේ අප කලින් ලිපියේ ද සඳහන් කළ පරිදි මනෝ විකාරයන් නිසා ය. මේ ලිපියේ විස්තර සහිතව එයින් සමහර මනෝ විකාරයන් දක්වා තිබේ. ඒ මනෝ විකාරයන්ගේ වැඩි මනත් අවාසනාව ඒවාට වග කිව යුත්තේ වෘත්තිකයන් වීම ය. මනෝ විකාර බැහැර කිරීමේ වගකීම ද කරට ගත යුතු වෘත්තිකයන් ම වීම ය. ඒ නිසා ම වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමු ද ඒ අමාරුව යැයි මේවා දකින විට අපට කියවෙන්නේ ඉබේට ම ය.

නිශාන්ත කමලදාස

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *