ආපදා කළමනාකරණයේ ආපදාව – අනුර සූරියබණ්ඩාර

හදිසි අනතුරකට මුහුණ දුන් තැනැත්තන් බේ‍රා ගැනීමේ පෙරහුරුවක් ගලේවෙල දී පැවැත්වුණු බවත් එතැනට කඩාවැදුණු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එකී කටයුත්තත පලක් නොමැත්තක් බව පවසා අදාළ නිලධාරින්ට ද බැණවැදී එය නවතා දමන්නට යෙදුණු බව 2018.05.26 සෙනසුරාදා පුවත්පතක පළකර තිබුණි. එහි දී තෙවරප්පෙරුම මහතා කියා තිබුණේ හදිසි අනතුරකට මුහුණ දීමේ පෙරහුරුවට වියදම් කළ මුදල් ඒ වන විට ස්වාභාවික අපදා හේතුවෙන් අවතැන්ව සිටින ජනතාවට ‘බත් පාර්සල්’ ලබා දීමට වැය කළේ නම් වැදගත් බවයි.

‘ඒ අතරතුර 2018.05.27 ඉරිදා රාවය පුවත්පතේ මුල් පුවතින් වාර්තා කර තිබුණේ; ජල ගැලීම් නාය යෑම් ආදි අපදාවල දී ජනතාවගේ ජීවිත උපරිම ලෙස ආරක්ෂා කිරීමට සහ ස්ථිර විසඳුම් ‍ලබාදීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ව‍රයෙක් පසුගිය වසරේ ඉදිරිපත් කළ ව්‍යපෘති වාර්තාවක් අපදා කළමනාකරණ මධ්‍යස්ථනය විසින් නොසලකාහැර ඇති බවයි.

ගලේවෙල දී සිදු වූයේ විපතකට මුහුණදීමට සූදානම් වීමකි. පාලිත තෙවරප්පෙරුම මහතාගේ මතය අනුව එසේ අනතුරකට මුහුණදීමට සූදානම් වීමට වඩා අපදාවකට ලක්වූවනට බත් පාර්සල් දීම වැදගත් වේ. ඔහුගේ එම මතයෙන් මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් සකස් කළ යෝජිත ආපදා කළමනාකරණ ව්‍යාපෘති වාර්තාව හමස් පෙට්ටියට දැමීමෙන් ද මෙරට දේශපාලනඥයන් සහ නිලධාරින් අපදා සම්බන්ධයෙන් දක්වන අකල්පය පැහැදිලි වේ. එනම් අපදා වලක්වා ගැනීමට කටයුතු කරනු වෙනුවට සහනාධාර සැපයීම කෙරෙහි වැඩි බර තබා කටයුතු කරන්නට ඔවුන් සූදානම් බවයි.

පසුගිය දා ඒකාබද්ධ විපක්ෂය විසින් අපදා තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් ඉල්ලා තිබුණි. ඔවුන් ඒ විවාදය ඔස්සේ බලාපොරොත්තු වන්නේ සහ උත්සහ කරනු ඇත්තේ ද අපදා තත්ත්වට දඩමීමා කරගෙන ආණ්ඩුවේ පතුරුයවා දේශපාලන වාසියක් ලබා ගැනීමට මිස අපදා සඳහා තිරසාර විසඳුමක් ලබා දීමට ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කරන්නට නොවන බව පැහැදිලිය.

2015 ජනවාරි මාසයේ මැතිවරණ පරාජයට මුහුණ දෙන විට මහින්ද රාජපක්ෂ නොනිල නායකත්වය දරන ඒකාබද්ධ විපක්ෂය වසර නමයක් රට පාලනය කර තිබුණි. ඊට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන යුගයේ දී ද ඔවුහු පාලනයට හවුල්ව සිටියහ. වසර තුනකට පෙර එනම් 2014 වසරේ කොස්ලන්ද මීරියබැද්ද නායයාම් සිදු වූයේ රාජපක්ෂ පාලන සමයේය. රාජපක්ෂ යුගයේ කොළඹ ගංවතුර තත්ත්වයක් ඇති වූ විට ගංවතුර පාලනය සඳහා වැවක් ඉදිකිරීම ගැන කතා කළ නමුත් 2017 වසරේ ද කොළඹට මහා ගංවතුර තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවිය. රාජපක්ෂ යුගයේ ගංවතුර ප්‍රශ්නයට විසඳුම් බලා දුන්නේ නම් මේ වන විට කොළඹ ගංවතුර පාලනය වී තිබිය යුතුය.

2016 වසරේ මැයි මාසයේ අරණායක රාමස්ර කන්ද නාය යාමෙන් 127 දෙනෙකු මියයන විට මීරියබැද්ද නායයාමට ගත වී තිබුණේ වසර එකහමාරකට මදක් වැඩි කාලයකි.

ඊළඟට 2017 අප්‍රේල් මාසයේ වැසි සමඟ මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේය. එයින් ඇති වූ ප්‍රශ්න ද මේ වන තුරුත් මුළුමනින් විසඳී නැත. මීතොටමුල්ල සිදුවීමෙන් මාසයක් පමණ ගෙවුණු තැන දී කොළඹ ගම්පහ සහ තවත් ප්‍රදේශවල බරපතල ගංවතුර තත්ත්වයක් ඇති විය. මෙවර ගංවතුර තත්ත්වය හේතුවෙන් පවුල් 32,136ක 1,25,954 ජනතාව අනතුරට පත්ව සිටිති. මියගිය ගණන 16ක් ලෙස දැක්වේ. නිවාස 64 කට මුළුමනින් අලාභහානි සිදු වී ඇති අතර නිවාස 3841කට අර්ධ වශයෙන් හානි සිදු වී තිබේ. ගලවා ගැනීමේ කටයුතු සඳහා යුද හමුදාවේ 525ක් නාවික හමුදාවේ 525ක් යොදවා ඇති අතර යුද හමුදාවේ 5388ක් නාවික හමුදාවේ 606ක් ගුවන් හමුදාවේ 270ක් මතරව සුදානම් කර සිටිති. මේ සියල්ල සඳහා මෙන්ම වන්දි ආධාර ආදිය සඳහා වැය කෙරෙන මුදල් සහ ශ්‍රමය තිරසාර අපදා කළමනාකරණ ව්‍යාපෘතියක් ඔස්සේ මුලුමනින්ම නොවෙතත් යම්කිසි මට්ටමකට හෝ ඉතිරිකර ගැනීමට හැකියාව තිබේ.

ගිය වසරේ කොළඹ ගංවතුර තත්ත්වයෙන් පසුව අදාළ අංශවලින් කියැවුණේ ගංවතුර ඇති වීමට හේතුව ජලය බැස යන කාණු පද්ධතිය ඇළමාර්ග ආදිය බාධා වන අයුරින් ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් බවයි. එකී අනවසර ඉදිකිරීම ඇළ මාර්ග නිසි පරිදි නඩත්තු කිරීම කොළඹ අවට තෙත් බිම් අනවසරයෙන් ගොඩ කිරීම නැවැත්වීම වැනි යෝජනා එකල ගංවතුර පාලනයට ඉදිරිපත් කරනු ඇසුනි. එකී යෝජනා කෙතරම් දුරට ක්‍රියාත්මක වූයේ ද යන්න ගැටලු සහගත වන්නේ නැවතත් ගංවතුර තත්ත්වයකට කොළඹ සහ ගම්පහ මුහුණ දී ඇති බැවිනි. එසේම කැලණි ග‍ඟේ ගංවතුර පාලනය සඳහා ඇළ මාර්ග වලට බාධා වන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම පිළිබඳව ගංවතුර තත්ත්වය ආසන්න යේ නැවතත් බලධාරින් කතාකරන ආකාරය අසන්නට ලැබුණු බැවිනි. එසේම මුතුරාජවෙල අනවසර ගොඩකිරීමක් පිළිබඳ වාර්තා වූ බවත් එය නතර කරන්නට ජනාධිපතිවරයාට මැදිහත් වන්නට සිදු වූ බවත් ජනාධිපති නියෝග ද නොතකා ගොඩකිරීම සිදු වූ බවටත් වාර්තා පළ වූ බවත් මෙහි දී මතක්කර ගැනීම වටී.

ස්වාභාවික විපත් දේශගුණික විපර්යාසවලට ලක්වන රටවල් හය අතරට ශ්‍රී ලංකාව ද එක් වී ඇති බවට ඒ අතරතුර වාර්තා පළ‍‍‍වේ. මෝසම් වැසි සක්‍රීය වන බව කීමෙන්, අසවල් අසවල් ජලාශවල වාන් දොරටු විවර කරන බව කීමෙන්, සුළ‍ඟේවේගය ගැන අනාවැකි කීමෙන්, නායයාම් ගැන අනතුරු ඇඟවීමෙන්, වර්ෂාව ලැබුණු ප්‍රමාණය කීමෙන් කෙසේවත් මේ තත්ත්වයට විසඳුම් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට කළ යුතු වන්නේ පේරාදෙනිය විශ්ව විද්‍යාලය සකස්කර ඇති බව කියැවෙන අපදා කළමනාකරණ ව්‍යාපෘති වාර්තාව වැනි දේ හමස් පෙට්ටියෙන් ගෙන අඩුපාඩු ඇතොත් සකසා ක්‍රියාවේ යෙදවීමයි. එසේ නැතහොත් ලබන අප්‍රේල් – මැයි මෝසම් වැස්ස සක්‍රිය වන විට අපදාවන්ද සක්‍රිය වනු ඇත.

අනුර සූරියබණ්ඩාර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *